ඉවසිලිමත් මිනිස්සු | සිළුමිණ

ඉවසිලිමත් මිනිස්සු

පසුගිය මාස දෙක තුළ දී යුරෝපයේ උෂ්ණත්වය ඉතා ඉහළ මටම්මක තිබිණි. මෙය යුරෝපය අත්වින්ද කටුකතම ගී‍්‍රස්ම සෘතුව ලෙස සටහන් විය. විටෙක එය මැදපෙරදිග රටවල තත්ත්වයට පත් වූ අතර දහවල මෙන් රාති‍්‍රය ද ඉතා උණුසුම් ය. ස්වභාවික ජීවිතයට වඩාත් කැමති ජර්මන් ජාතිකයන් තමන් ගේ නිවෙස්වල වායුසමනය කරන යන්ත‍්‍ර සවි නොකර තිබීම නිසා මෙම උෂ්ණත්වය ඔවුන් දැඩි පීඩාවකට ලක් කළේය.

මගේ අසල්වැසියාට අනුව වසරේ මාස දෙකක් තුළ පමණක් ඇති රශ්මිය වෙනුවෙන් වායුසමන යන්ත‍්‍රයක් වෙනුවෙන් මුදලක් වැය කිරීම අපරාධයකි. එය විදුලිය අපතේ යැවීමක් වනවා පමණක් නො ව නිවසේ අලංකාරයට හානියක් ගෙන දෙන්නකි. රස්නය විඳගැනීමට නොහැකි තැන රාති‍්‍ර කාලයේ දී ද දරුවන් සමග නිවෙස්වලින් පිට කාලය ගත කරන්නට බොහෝ දෙනෙකුට සිදු විය.

එහෙත් කිසිවෙකුත් හෝ මෙම හදිසි පරිසර විපර්යාසය ගැන මැවිසිලි දොඩනවා මට අසන්නට නොලැබිණි. නගරසභා කාර්යාලයේ යම් කිසි වැඩකට ගිය අවස්ථාවක මට දරාගත නොහැකි උෂ්ණත්වයක් ඒ තුළ දැනුණු අතර මුවින් නොබැණ එම තත්ත්වය යටතේ විදුලි ලාම්පු නිවා රාජකාරි කරන පිරිස් මට දැකිය හැකි විය. සාමාන්‍යයෙන් බොහෝ කාර්යාල හා අනෙකුත් ආයතනය දහවල් කාලයේ පවා විදුලි එළිය නැතිව පවත්වාගෙන යන්නට හැකි අයුරින් ගොඩනංවා ඇති අයුරු ජර්මනියේ දැකිය හැකිය. එමඟින් ඔවුන් හරිත විප්ලවයට දායකත්වය සපයනු ලැබේ. මෙම සිදුවීමත් සමග මට ලෙබනනයේ තානාපති කාර්යාලය ආශී‍්‍රත සිදුවීමක් මතක් විය.

ලෙබනනයේ තානාපති කාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙන යෑමට තීරණය කිරීමත් සමඟ ම දහවල විදුලි ලාම්පු නැතිව ඇතුළත ආලෝකවත් කළ හැකි තැනක් සොයා ගැනීමට මම වඩාත් උත්සුක වූයෙමි. මෙයට හේතුව ලෙබනනයේ විදුලි සැපයුමේ ඇති ගැටලු නිසා පෞද්ගලික විදුලි ජනන යන්ත‍්‍ර හිමියන් ගෙන් විදුලිය ලබාගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වීමයි. ලෙබනනයේ රජය මගින් සැපයෙන විදුලිය දිනකට ලැබෙන්නේ පැය 12කට අඩු කාලයක දී පමණි. මේ නිසා අඩුම මුදලකට විදුලිය පිරිමසා ගන්නට අපට සිදු වූ අතර ලැබෙන විදුලිය ප‍්‍රමාණ වත් නොවීම නිසා වඩාත් පීඩා වින්දේ මාය.

කෙසේ වෙතත් මගේ නිවසට ලෙබනන් රජය මඟින් ලබාදෙන විදුලිය වෙනුවෙන් මසකට රුපියල් 4000ක් පමණක් වැය කිරීමට මට හැකි වූයේ විදුලිය අරපරිස්සමින් භාවිතා කිරීමේ හේතුවෙනි.

තානාපති කාර්යාලය පිහිටි තට්ටු තුනකින් යුත් ගොඩනැගිල්ලේ විදුලි සෝපානයට විදුලිය ලබා දීම ප‍්‍රශ්නයක් විය. එය කි‍්‍රයාත්මක කිරීම පිණිස පෞද්ගලික විදුලි ජනන යන්ත‍්‍රයකින් විදුලිය මිලදී ගන්නේ නම් මසකට ඩොලර් 500ක් හෙවත් රුපියල් 70,000ක් පමණ වැය කළ යුතු විය. මුදලට අමතර ව තවත් හේතු නිසා මෙම මුදල වැය කිරීමට මම නොකැමැත්තක් දැක්වූවෙමි.

දිනක් මා හමුවට ගොඩනැගිල්ලලේ තුන්වන මහළට පියගැට පෙළ නැග්ගේ ලංකාව වෙනුවෙන් සිරියාවේ පෙනී සිටින කොන්සල්වරයා ය.

තමන් ගේ පීප්පයක් වන් ශරීරය ඔසවාගෙන පඩිපෙළ නැග්ග ඔහු විනාඩි පහළොවක් පමණ පුටුවේ ඉඳගෙන හති ඇරීමෙන් පසු ව මට කථා කෙළේ වතුර වීදුරුවක් එක හුස්මට උගුරෙන් පහළට දමා ගනිමිනි.

“කාර්යාලයේ විදුලි සෝපානය කැඩිල ද?” ඒ ඔහු ගේ පළමු ප‍්‍රශ්නය විය. ”ලෙබනනයේ විදුලි ප‍්‍රශ්නය හරිම දරුණුයි. ඔබට විදුලි ජනක යන්ත‍්‍රයක් ගන්න පුළුවන්නේ.” ඔහු නැවතත් කියා සිටියේ මගෙන් පිළිතුරක් නොලද හෙයිනි.

“විදුලි සෝපානය වැඩ කරන්නේ රජයේ විදුලිය ඇත්නම් පමණයි. සාමාන්‍යයෙන් දහවල් කාලයට රජයේ විදුලිය ලැබෙන්නේ නැති තරම්. අනෙක කරුණු තුනක් හින්දා මම පෞද්ගලික විදුලිය සෝපානය සඳහා ගන්නේ නැහැ.”

මෙවර ඔහු දෑස් ලොකු කරමින් මා දෙස බැලූවේ කුතුහලයෙනි.

“එකක් තමයි අධික මිල. දෙවන කරුණ සෝපානය නැති නිසා කාර්යාලයේ අය අනවශ්‍ය වේලාවට හා ඕපාදූප කියන්න ගොඩනැගිල්ලේ මහල් අතර ගමන් කරන්නේ නැහැ.

අනෙක ආරක්ෂක හේතුවක්. මීට පෙර ගොඩනැගිල්ලේ දී අපේ කාර්යාලයේ ආරක්ෂාව පතාගෙන පැනලා එන ගෘහ සේවිකාවන් ගේ ප‍්‍රශ්න කථා කරන්න එන ලෙබනන් ජාතිකයන් සමහර වේලාවට අපේ නිලධාරින්ට පවා පහර දීලා තියෙනවා. ඉතින් තට්ටු තුනක් උඩට නැග්ගාම ඔවුන් ගේ කේන්තිය නිවෙනවා. අනෙක ප‍්‍රශ්නයක් ඇති කරලා ඉක්මනින් යන්න විදිහක් නැහැ.” මම ඔහුට කරුණු පැහැදිලිකෙළෙමි.

“මම හිතන හැටියට කම්මැළිකම යන්න හොඳ ව්‍යායාමයකුත් ලැබෙනවා නිකම්ම.” ඔහු සිනහවෙමින් පවසා, තවත් වතුර වීදුරුවක් ඉල්ලා සිටියේ ය.

රංජිත් ගුණරත්න

අදහස්