බලාපොරොත්තුව ඉෂ්ට වුණේ අාබාධයෙන් පස්සේ | සිළුමිණ

බලාපොරොත්තුව ඉෂ්ට වුණේ අාබාධයෙන් පස්සේ

ඉන්දික රුවන් කුමාර SLT පැරා පාපැදි ශූරයා එස්.එල්.ටී. පැරා පාපැදි තරගය ජයගත් ඉන්දික රුවන් කුමාර සමඟ කතාබහකට අපි මේ ඉඩකඩ වෙන් කළෙමු.

ඔබ ලාංකේය පාපැදි ඉතිහාසය වෙනස් කළ පලමුවැනි ක්‍රීඩකයා. පළමු වැනි පැරා විවෘත පාපැදි තරගයට එනකොට ඔබට මොකද හිතුණේ?

මම මීට කලින් පැරා පාපැදි රේස් පැදලා තියෙනවා. ඒ හැම එකක් ම වගේ දිනලා තියෙනවා. පළමු වැනි විවෘත පැරා පාපැදි රේස් එක ගැන අහන්න ලැබුණාම සතුටු වුණා. අපි වගේ අයට විවෘත සයිකල් තරගයක් පැවැත්වීම ගැන මට ඊට කළින් අපේ රෙජිමේන්තු අතර පැවැත්වෙන පැරා පාපැදි තරග තමයි දිගට ම වගේ පැදලා තිබුණේ. 2016 -17 -18 දක්වා තිබුණු පැරා හැම පාපැදි රේස් එකක් ම දිනලා ඉන්නේ.

ඔබ පාපැදි පදින්න යොමු වුණේ කොයි කාලයේදි ද?

ආබාධ වුණාට පස්සේ තමයි පැරා පාපැදි තරගවලට යොමු වුණේ. 2005 දී තමයි යුද හමුදාවට ගියේ. 2008 දී මඩු පල්ලියේදී බිම්බෝම්බයක් පෑගිලා තමයි ආබාධිත වුණේ.

අප්‍රේල් මාසයේ තමයි තුවාල වෙලා රෝහල්ගත වුණේ. 2009 ජනවාරි මාසය විතර වෙනකම් රෝහල්ගත වෙලා හිටියේ. ඊට පස්සේ තමයි සිංහ රෙජිමේන්තුවට ආවේ. අඹේපුස්ස මුලස්ථානයට ඇවිත් තමයි ආබාධිත ක්‍රීඩා කණ්ඩායමට එකතු වුණේ.

කවුද ඔබට මේ යෝජනාව ගෙනාවේ.

මාව ක්‍රීඩා කණ්ඩායමට ගන්නේ චන්ද්‍රසිරි සර්. සර් කතා කළාම දෙපාරක් හිතන්නේ නැතුව ආවා. මම 2000 ඉඳලම රේස් පදිනවා.

2005 දී යුද හමුදාවට ගියාම රේස් පදින එක නැවැත්තුවා. ඒ දවස්වල තිබුණු ක්‍රියාන්විත රාජකාරි එක්ක ක්‍රීඩාව කරන්න බැරි වුණා. ආබාධ වෙලා සනිප වුණාට පස්සේ තමයි ආයෙත් සයිකලයට ගොඩ වුණේ.

පාසල් යන කාලයේ මලල ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටියා. සමස්ත ලංකා දක්වා ම ආවා. මීටර් 100 -200 තමයි මම ඒ දවස්වල ඉසව් විදියට කළේ. මට දිගටම ක්‍රීඩාව කරගෙන යන්න බැරි වුණා. මගේ ඉස්කෝල ගමනත් ඒ එක්කම වගේ නැවතුණා.

අම්මා - තාත්තා මොනවද කළේ?

අම්මා පෙර පාසල් ගුරුවරියක් තාත්තා ගොවිතැන් වගේ වැඩ තමයි කළේ. පාසල් ගමන නවතින්න ආර්ථිකය බලපෑවා කියලා කියන්නත් බෑ.පාසල් ගමන නවතින කොට නම් අම්මා බැන්නා. මට හැබැයි ඉගෙනීමෙන් එහෙම ඉදිරියට යන්න හිතුණේ නෑ. පවුලේ මල්ලි විතරයි. එදා අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා.

ඔබ පාසල් යන්නේ නැතුව හමුදාවට යන කොට ගෙදර තත්ත්වය කොහොමද?

අම්මා - තාත්තා නම් ඉගෙන ගන්න කියලා බැන්නා. අපොස සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරන්න ඒ ප්‍රතිඵල මදි වුණා. ඊට පස්සේ තමයි හමුදාවට යන්න තිරණය කළේ.

ඔබට රෙජිමේන්තුවෙන් ලැබෙන සහාය කොහොමද?

සිංහ රෙජිමේන්තුවෙන් සයිකල් රේස් පදින්න ඕනෑ කරන අඩුපාඩු හදලා දෙන්නේ වික්‍රමසිංහ සර්. මටත් අද හරි සතුටු දවසක්. සර් අද බ්‍රිගේඩියර් තනතුරේ ඉඳලා ජනරාල් තනතුර බාර ගන්නවා. පැරා ක්‍රීඩකයන්ට තිබුණු පළමුවැනි විවෘත සයිකල් රේස් එක දිනුවා. ඒ අපේ රටේ තිබුණු පළමුවැනි විවෘත පැරා සයිකල් රේස් තරගය.

පාසල් යන කලයේ ඔබට තිබුණු ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

පාසල් යන කාලයේ එහෙම බලාපොරොත්තුවක් නම් තිබුණෙත් නෑ. හැබැයි හමුදාවට ආවට පස්සේ සයිකල් ටිම් එකට බැදෙන්න ඕනෑ කියලා ලොකු ආශාවක් තිබුණා. හැබැයි ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න බැරි වුණා. පුහුණුවෙන් පස්සේ ක්‍රියාන්විත රාජකාරිවලට සම්බන්ධ වුණා. ආබාධයෙන් පස්සේ තමයි බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්නේ.

ඔබ පැරා පාපැදි ක්‍රිඩකයෙක් වුණේ කොයි කාලයේද?

2013 ඉඳලා. 2016 ඉඳලා යුද හමුදා පැරා තරගවලට එකතු වුණා. ඊට පස්සේ ඉඳලා හැම පැරා සයිකල් තරගයක් දිනුවා. සිවිල් තරගත් මේ අතර තිබු‍ණා. මේ හැම තරගයක් ම දිනුවා.

එස්.එල්.ටී. පැරා තරගයට එන කොට මොකද හිතුණේ?

මේ තරගය ලංකාවට ම විවෘතයි කියන කොට පොඩි චකිතයක් තිබුණා. මට රෙජිමේන්තු අතර තරගයක් නම් තිබුණේ නෑ. මේ තරගය විවෘතයි කියන කොට ජයග්‍රහණය ගැන නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. හැබැයි තරගයට ආවාට පස්සේ නම් තරගයක් දෙන්න පුළුවන් කියලා හිතුණා. වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ කියලත් හිතුණා. මේ තරගයට 13 ක් හිටියා. සිවිල් එක්කෙනෙක් හිටියා. ඉතිරි අය හැමදාම හම්බ වෙන අය තමයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ඉදිරි ගමන තිබෙන්නේ මේ බයිසිකලෙන් ම තමයි. මට කවුරුහරි අත දෙනවා නම් ජාත්‍යන්තර පැරා සයිකල් තරගවලදී රටට කීර්තියක් ගෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැනට මම වෛද්‍ය හේතු උඩ විශ්‍රාම ගිහින් ඉන්නේ එහෙම ඉදලා තමයි පැරා තරගවලට ඉදිරිපත් වෙන්නේ. දැනට මගේ වයස තිස් තුනයි. පාපැදියෙන් ම තමයි අනාගතයට මුහුණ දෙන්න වෙන්නේ. මේ පාපැදිය මගේ. ඕනෑ කරන දේවල් සිංහ රෙජිමේන්තුවෙන් අරගෙන දෙනවා. මේ සයිකලය ගැන මට විශ්වාසයක් තියෙනවා.

Comments