පාපැදියේ පිබිදීමට නව ජවයක් එක් කරමු | සිළුමිණ

පාපැදියේ පිබිදීමට නව ජවයක් එක් කරමු

තෙවැනි වරටත් පැවැති එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය ලාංකේය පාපැදි ක්‍රීඩාව නවමු දිශාවකට රැගෙන යෑමට සමත් වූ බව රහසක් නොවේ. සියල්ල කුණු වී ඇති මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ තෙවැනි එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියේ පිරිමි අංශයේ තරගය වැඩිම දුරකින් නිමා කිරීම, කාන්තා පාපැදි ඉතිහාසයේ ප්‍රථම වරට අදියර දෙකින් සමන්විත පාපැදි තරගයක් පැවැත්වීම සහ පැරා විවෘත පාපැදි තරගයක් ප්‍රථම වරට සංවිධානය කිරීම ඒ අතර ප්‍රමුඛය.

ලොව අතිශයින් ජනප්‍රිය ක්‍රීඩා අතර, ප්‍රමුඛ ස්ථානයක් පාපැදි ක්‍රීඩාවට හිමිවෙයි. මුලින් ම මෙරටට පාපැදි ක්‍රීඩාව හඳුන්වා දුන් කාලවකවානු පිළිබඳ තොරතුරු සොයා ගත නොහැකි වුවද, පාපැදි තරග විසිවන සියවසේ මුල් කාලයේ පටන් ම සංවිධානාත්මක මට්ටමින් නොපැවැති නමුත් හාපුරා කියා සංවිධානාත්මක මට්ටමින් පැවැත්වූ පාපැදි තරගය වශයෙන් හමුවන්නේ 1950 ඔක්තෝබර් 08 දා පැවැති සමස්ත ලංකා සයිකල් මැරතන් තරගයයි. පාපැදි ක්‍රීඩාව අදට වඩා 50 දශකයේ කොතරම් ජනප්‍රිය තලයක තිබුණේ ද යත්, ප්‍රථම තරගය වූ එම තරගයට එක්වී ඇති තරගකරුවන් ප්‍රමාණය 2000 කී. ක්‍රමයෙන් ඉදිරියට පැමිණි පාපැදි ක්‍රීඩාවෙන් 1960 රෝමයේ පැවැති ඔලිම්පික් උලෙළට මොරිස් කුමාරවේල් වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයකි. එතෙක් දුර පැමිණි ලාංකේය පාපැදි ක්‍රීඩාව ඉන්පසු ගමන් ගන්නේ කොහෙටද යන්න විමසා බැලීම වටියි.

මෙරට පවා අදටත් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස පාපැදි ක්‍රීඩාව හඳුන්වා දිය හැකිය. ශක්තිය, වේගය සහ තරගකාරිත්වය හරහා ජය පැරදුම තීරණය කරන පාපැදි ක්‍රීඩාව තරගකරුවන්, තරගකාරියන් පැත්තෙන් ගත්ත ද, ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ඒ අපේ රටේ පොදු ජනයාගේ ක්‍රීඩාව ලෙස ද හැඳින්වෙන පාපැදි ක්‍රීඩාව සාමාන්‍ය පන්තියේ බොහෝ දෙනකු නිරත වීමටත් වඩා පාපැදිය මෙරට සාමාන්‍ය ජනයා අතර පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සැලකෙන නිසා විය යුතුය. කෙසේ වෙතත් තරගයක් අතරතුර මඟ දෙපස එක්රොක් වන පිරිස දුප්පත් ද, පොහොසත් ද භේදයක් නොමැතිවීම ද මෙහි විශේෂත්වයකි. ‍

කෙසේ වෙතත් වි‍ෙශ්ෂයෙන් මෙරට පොදු ජනයාගේ ක්‍රීඩාව වූ පාපැදි ක්‍රීඩාව මීට වසර කිහිපයක සිට පාලකයන් විසින් සෙල්ලමකට ගැනීම නිසා, දිනෙන් දින ම එය පල්ලම් බසින තැනට පත්ව තිබීම කණගාටුවට කරුණකි. මේ ක‍්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පාපැදි සම්මේලනය සඳහා පත්වන අදූරදර්ශී පාලකයන්ගේ ක්‍රියා කලාපයන් ලාංකේය පාපැදි ක්‍රීඩාව මහමගට ම වැටීමට හේතු වී ඇති බවයි. පසුගිය කාලයේ මෙරට පාපැදි ක්‍රීඩාව භාර ගත් නිලධාරීන්ගේ පදයට නැටූ ක්‍රීඩා අමාත්‍යවරුන් ද මේ කඩා වැටීමට අඩු වැඩි වශයෙන් සම්මාදම් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ක්‍රීඩාව නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඒ නිසාම තම ටයි හා කෝට් ආරක්ෂා වී තිබෙන බව අමතක කරන නිලධාරින් පිරිසක්, සිටින එකම රට ශ්‍රී ලංකාව විය යුතුය. මෙරට පාපැදි ක්‍රීඩා‍ෙව් පමණක් නොව, දැනට ක්‍රියාත්මක වන බොහෝ සංගම් - සම්මේලනවල තත්වය ද මීට වෙනස් නැත. අද එස්.එල්.ටී. ස්පීඩ් අප් සහ ගුවන් හමුදා පාපැදි සවාරි දෙක නැත්නම් මෙරට පාපැදි ක්‍රීඩාවට ද දෙයියන්ගේ ම පිහිට පමණි. ලාංකේය පාපැදි ඉතිහාසයේ විශිෂ්ටත ම පාපැදි තරගය ලෙස සැලකෙන ලංකා සවාරිය වැළලී ගොස් බොහෝ කල්ය. ජාතික වශයෙන් කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ වශයෙන් තරගාවලි පැවැත්වෙන්නේ ද නැත. පසුගිය කාලයේ වාර්ෂිකව පාපැදි තරග පැවැත්වෙන කැලැන්ඩර් නිකුත් කළද ඒවා ඉලක්කම් සහ කොළ කැබලිවලට සීමා වී තිබේ.

පාපැදි සම්මේලන නිලධාරින් ද කුලල්කා ගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. ක්‍රීඩා නිලවරණවලට ඉදිරිපත් වීම තබා අසලකටවත් වද්දා ගැනීමට නුසුදුස්සන් ක්‍රීඩා ඇමැතිවරුන්ගේ ආශිර්වාද ඇතිව පාපැදි සම්මේලනයට රිංගාගෙන කළ විනාශයන් ඕනෑ තරම්ය. මේවායින් අදටත් විපාක විඳින්නේ මෙරට පාපැදි ක්‍රීඩාව සහ එහි නිරතවන්නන් බව බලධාරින්ට සිහිපත් කර දිය යුතුය.

 

අදහස්