ක්‍රිකට් පිටියෙන් ගොවි‍පොළට | සිළුමිණ

ක්‍රිකට් පිටියෙන් ගොවි‍පොළට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව එංගලන්තය ජය ගත්තේ 4 - 1 ක් වශයෙනි. මෙම තරගමාලාවේ නිමාවත් සමඟ ම වාර්තාගත එංගලන්ත ආරම්භක පිතිකරු සහ හිටපු නායක ඇලස්ටෙයාර් කුක් ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගත්තේය.

ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති පස්වන සහ අවසන් තරගය ආරම්භයට පෙර එය තමන් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය බවට හෙතෙම ප්‍රකාශ කර තිබුණි.

ඒ ‍ෙහ්තුව නිසාම කුක් ක්‍රීඩා කරනු දැකීමට විශාල නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණියහ. එය තම ජීවිතයේ තවත් සුවිශේෂි මතක සටහනක් බවට පත් කර ගැනීමට ඔහු සමත් විය. ඒ ප්‍රථම ඉනිමට ලකුණු 71 ක් සහ දෙවන ඉනිමට ලකුණු 147 ක් රැස් කර ගනිමින්ය. තරගයෙන් එංගලන්තයට ලකුණු 118 ක ජයක් හිමිකර ගත්තේය . කුක් තරගයේ වීරයා ය.

“මේ විශ්‍රාම ගැනීම ගැන මා ගත වූ මාස හයක පමණ කාලය පුරා කල්පනා කළා. මම සෑම විටම මානසිකව සවිමත්. එසේ වුවත් ගත වූ කාලයේදී එය අඩුවෙන බව දැණුනා.” කුක් සිය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පැවසීය.

කුක් තමන් ජාත්‍යන්තරව විශ්‍රාම ගැනීමට තීරණය කළ බව එංගලන්ත නායක ‍ජෝ රූට් හට දැනුම් දෙනු ලැබුවේ සිවුවැනි ටෙස්ට් තරගය ඇරඹීමට පෙර ය. එම තීරණය වත්මන් එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස්ට කුක් විසින් දැනුම් දී තිබෙන්නේ එම තරගය අතරතුරදී ය.

කෙසේ වෙතත් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තම තීරණය කුක් දැනුම් දෙනු ලැබුවේ සිවුවැනි තරගය නිමාවත් සමඟිනි.

“එය ඉතා හැඟුම්බර අවස්ථාවක් බවට පත් වුනා. මගේ අවසන් තරගයේදී මා ශතකයක් රැස් කළත් මගේ තීරණය ගැන වෙනසක් නැහැ. කෙසේ වෙතත් මම තවදුරටත් එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.” කුක් තවදුරටත් පවසයි.

වාර්තා රැසක හිමිකරුවා

පුරා වසර 12 ක පමණ කාලයක් 33 හැවිරිදි කුක් ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. එහිදී ජාතික සහ ලෝක වාර්තා රැසකුත් ඔහු සතුය. හෙතෙම අති දක්ෂ ස්ලිප් පන්දු රකින්නෙක් ද වේ. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ගණනකට සහභාගි වීම, වැඩි ම ලකුණු ගණනක් සහ ශතක ගණනක් රැස් කිරීමත් මෙම වාර්තා අතරට අයත්ය.

ටෙස්ට් ඉතිහාසයේ මේ වන විට වැඩි ම ලකුණු ගණක් රැස් කළ පිතිකරුවන් අතර කුක්ට හිමි වනුයේ පස්වැනි ස්ථානයයි.

(1) සචින් තෙන්දුල්කාර් (ඉන්දියාව) 15,921

(2) රිකී පොන්ටිං (ඔස්ට්‍රේලියාව) 13,378

(3) ජාක්ස් කාලිස් (දකුණු අප්‍රිකාව) 13,289

(4) රාහුල් ඩ්‍රාවිධ් (ඉන්දියාව) 13,288

(5) ඇලස්ටෙයාර් කුක් (එංගලන්තය) 12,472

 

එමෙන් ම වැඩි ම ටෙස්ට් ලකුණුලාභි වමත් පිතිකරුවාත් කුක් වේ.

ටෙස්ට් ලකුණු 600 සිට 13000 දක්වා රැස් කළ ලොව ළාබාලතම පිතිකරුවාය. ටෙස්ට් ලකුණු 2000 සිට 6000 දක්වා රැස් කළ ළාබාලතම එංගලන්ත පිතිකරුවා කුක් ය.

ටෙස්ට් තරග ජයග්‍රහණ 50 ක් හිමි කර ගත් ප්‍රථම එංගලන්ත ක්‍රීඩකයාය. පිට පිට වැඩි ම ටෙස්ට් තරග ගණනකට (161) ක්‍රීඩා කළ ක්‍රීඩකයාය. එය ලෝක වාර්තාවකි.

ටෙස්ට් ලකුණු 10,000 ක් රැස් කළ දෙවන ආරම්භක පිතිකරුවාය. එහි ප්‍රථමයා ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ය. ටෙස්ට් ලකුණු 11,000 සහ 12,000 ක් රැස් කළ ප්‍රථම ආරම්භක පිතිකරු වන්නේ ද කුක් ය.

තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කළ 16 වැනි එංගලන්ත ක්‍රීඩකයාය. ඒ ඉන්දියාවට එරෙහිව 2006 දී නාග්පුර්හීදී ය. ප්‍රථම ඉනිමට ලකුණු 60 කි. දෙවන ඉනිමට නොදැවී ලකුණු 104 කි. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 3000 වැනි ශතකයක් විය.

සිය ප්‍රථම සහ අවසන් ටෙස්ට් තරගවලදී ශතක රැස් කරන ලද ලොව පස්වැනියාය.

ආසියාවේ දී වැඩි ම ලකුණු ගණනක් රැස් කර ගත් ආසියානු නොවන ක්‍රීඩකයා ය. එංගලන්තය වෙනුවෙන් දිග ම (වැඩිම කාලයක් ගත කළ) ටෙස්ට් ඉනිමේ හිමිකරුවාය. 2015 වසරේ දී පාකිස්තානයට එරෙහිව අබුඩාබි‍යේදී කුක් ලකුණු 263 ක් රැස් කර ගත්තේය. ඊට ගත වූ කාලය විනාඩි 836 කි.

නායකත්වය දරමින් ප්‍රථම ටෙස්ට් තරග 05 දීම ශතක රැස් කළ ප්‍රථම නායකයාය. ඔහුගේ සමස්ත නායකත්ව වාර්තාවක් උසස් මට්ටමක පවතියි. ටෙස්ට් (2010 - 16), තරග 59, ජය 24, පරාජ 22, ජය පැරදුමක් නැති 13, ජයග්‍රාහි ප්‍රතිශතය 40.67%

එක්දින ජාත්‍යන්තර (2010 - 14), තරග 69, ජය 36, පරාජ 30, සමවීම් 01, ජය පැරදුමක් නැති 02, ජයග්‍රාහි ප්‍රතිශතය 54.47%

20 - 20 ජාත්‍යන්තර (2009), තරග 01, පරාජ 01

පවුලේ තොරතුරු

කුක් ගේ පියා ග්‍රෙහැම් ය. හෙතෙම විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකි. එමෙන් ම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මව ස්ටෙෆනි වේල්ස් ජාතික ගුරුවරියකි. කුක්ට සොහොයුරන්ම දෙදෙනෙකි.

කුක් සංගීතයටත් ලැදිය. එමෙන්ම ඊටත් දක්ෂය. ඔහුගේ බිරිය ඇලිස් හන්ට්ය. ඔවුන් කුඩා කළ සිටම හඳුනති. මේ යුවලට එල්සි සහ ඉසබෙල් යන දූවරුන් සිටිති. කුක් පවුලට තවත් දරුවෙක් එකතු වීමට නියමිතයි.

ඇලස්ටෙයාර් කුක් පිටිය තුළදී මෙන් ම ඉන් පිටතදීත් සාමකාමීව ජීවත් වන පුද්ගලෙයකි. එමෙන්ම තමන් සුපිරි තරුවක් ලෙසට කිසි දිනෙකවත් ආඩම්බර බවක් ඔහු තුළ නැත.

තමන් ඉදිරියේදී ජීවිතය ගත කරන අයුරුත් ඔහු දැනටමත් හෙළිකර ඇත. කුක් පවුල සතුව ගොවිපළක් තිබේ. එහි වැඩ කටයුතුවලට සම්බන්ධ වීම ඔහුගේ බලාපොරොත්තුව වේ.

සම්පූර්ණ නම :- ඇලස්ටෙයාර් නේතන් කුක්

උපත :- 1984 දෙසැම්බර් 25

උපන් පළාත :- ග්ලොෂ්ටර්

සුරතල් නම් :- කුකී. චෙෆ්

උස :- අඩි 6 අඟල් 2

පිතිහරඹය :- වමතින්

පන්දු යැවීම :- දකුණත් මන්දගාමි

ක්‍රීඩා කළ වෙනත් කණ්ඩායම්

බෙඩ්ෆර්ඩ්ෂයර්, එසෙක්ස්, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) එංගලන්ත ලයන්ස්, එංගලන්ත අවුරුදු 19 න් පහළ

ජාත්‍යන්තර තරග කාලය :- 2006 - 2018

ටෙස්ට් තරග 161 ලකුණු 12,472 වැඩිම 294 සාමාන්‍යය 45.35 ශතක 33 අර්ධ ශතක 57 උඩපන්දු 175 කඩුලු 01 ඉනිමක හොඳම 06 - 1 සාමාන්‍යය 7.00

එක්දින ජාත්‍යන්තර තරග 92 ලකුණු 3204 වැඩිම 137 සාමාන්‍යය 36.40 ශතක 05 අර්ධ ශතක 19 උඩපන්දු 36

20 - 20 ජාත්‍යන්තර තරග 04 ලකුණු 61 වැඩිම 26 සාමාන්‍යය 15.25 උඩපන්දු 01‍

සම්මාන

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වසරේ

ටෙස්ට් ක්‍රීඩකයා - 2011

විස්ඩන් වසරේ ක්‍රීඩකයා - 2012

ගරු සම්බුනාම - එම්.බී.ඊ., සී.බී.ඊ.

අදහස්