අපි ඇෆ්ගන්වලටත් පැරදුණේ ඇයි? | සිළුමිණ

අපි ඇෆ්ගන්වලටත් පැරදුණේ ඇයි?

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩා ලොව ප්‍රධානතම රටවල් සූදානම් වනුයේ ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන (එක්දින ජාත්‍යන්තර) තරගාවලිය ඉලක්ක කරගෙනය. ශ්‍රී ලංකාවත් ඊට අයත්ය.

කෙසේ වෙතත් ලබන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් අතරින් මේ වන විට දැඩි පසුබැසීමකට ලක් වූ කණ්ඩායමක් සිටී නම් එයත් ශ්‍රී ලංකාව විය යුතුයි. ඊට නවතම නිදසුන මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලියයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙවර පැවැත්වෙන්නේ 14 වැනි ආසියානු කුසලාන තරගාවලියයි. මෙවර මුල් වටයේදී ම තරගාවලියෙන් ඉවතට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයන්ට ලක්වෙමිනි.

ආසියානු කලා‍පයේ ටෙස්ට් වරම් ලැබූ රටවල් ගණන පහකි. ඒ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයයි. ගත වූ කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට දේශීය මෙන්ම විදේශයන්හිදී ලැබූ පරාජයන් නිසා එක් දෙයක් පැහැදිලිය. එනම් එක්දින ජාත්‍යන්තර තරගවල දී ටෙස්ට් වරම් ලැබූ ආසියානු රටවල් අතර අවසන් ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී තිබෙන බවයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 137කිනි. එය මෙම තරගාවලි ඉතිහාසයේදී ලකුණු අනුව ශ්‍රී ලංකාව ලැබූ විශාලතම පරාජයයි. එමෙන්ම බංග්ලාදේශය එක් දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේදී විදේශයකදී ලකුණු අනුව ලැබූ විශාලතම ජයත් මෙය වේ.

දෙවන තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 91 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය. එය ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලැබූ ප්‍රථම ජයත් වේ. ඇෆ්ගනිස්තානය ගත වූ කාලයේදී ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජය කර තිබේ. එම දස්කම් අගය කළ යුතුව තිබේ. ඒ එරටේ සිවිල් යුද්ධයක් පවතින වාතාවරණයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට යාමට ඔවුනට අවස්ථාව ලැබී තිබෙන බැවිනි.

බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂය. ඒ ගැන කිසිඳු විවාදයක් නැත. එසේ වුවත් මෙවර ලැබු අන්ත පරාජයන් පිළිබඳ දැඩි අවධානයක් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් විසින් කළ යුතුව තිබේ.

විශේෂයෙන්ම 2017 වසරේ සිට එක්දින ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව ලැබූ දරුණු පසුබැසීම පුදුම සහගතය. එය දෙස් විදෙස් තරගවලට අදාළය. 2017 ජනවාරි සිට ‍මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 40 කට ක්‍රීඩා කර තිබේ. මින් තරග 30 ක්ම පරාජයට පත් විය.

එක්දින ලෝක කිරුළ හිමිකර ගත් කලක් එක්දින තරග විශේෂඥයන් ලෙසට ලොව ඉහළතම ස්ථානයක සිටි ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකින් ඉහත ආකාරයක ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් බලාපොරොත්තු විය නොහැකිය.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයන්ට හේතු කිහිපයක්ම බලපෑවේය. තරගවල කාසියේ වාසිය පරාජය වීම එක් හේතුවකි. ඩුබායි සහ අබුඩාබි ක්‍රීඩාංගණවලදී කාසියේ වාසිය දිනා ගැනීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම එහිදී මුලින්ම පන්දුවට පහර දී ලකුණු 250 ක් හෝ ඊ‍ට වැඩිය රැස් කර ගැනීම තරගයේ ජය ලබා ගැනීමට තීරණාත්මක වේ. ඒ එහි තණතීරුවල තිබෙන මන්දගාමි බව නිසාය. එහිදී දෙවනවරට පන්දුවට පහර දෙන පිතිකරුවන්ට දඟ පන්දු යවන්නන් හමුවේ ක්‍රීඩා කිරීම අසීරු නිසාය.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යනු ලොව ප්‍රබලතම දඟ පන්දු යවන්නන් සිටින රටවල් ය. ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කිරීම පහසු නැත. ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් සිදු වූයේ එයමය. මෙම ක්‍රීඩාංගණවල දත්තයන්ට අනුව මුලින්ම පන්දුවට පහර දුන් කණ්ඩායම් වැඩි තරග ගණනක් ජයගෙන තිබේ.

මෙවර ශ්‍රී ලංකා පිලේ පරාජයන්ට දුර්වල පන්දු රැකීමත් විශාල කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන්ම උඩ පන්දු අත් හැරීම ඊට දැඩි බලපෑමක් කළේය. බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදී ශතකයක් (144) රැස් කළ මුෂ්ෆිකර් රහිම් සහ ඇෆ්ගනිස්තානයේ රහ්මට් ෂාහ් (72) ලබා දුන් උඩපන්දු රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැත.

ගත වූ කාලය තුළදී ප්‍රතිවාදීන් ලබා දුන් උඩපන්දු රැසක්ම රැක ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වූයේ නැත. එම දුර්වලතාව කෙතරම් ද යත් එක්දින ජාත්‍යන්තර තරගවලදී වැඩිම උඩපන්දු ගණනක් අත්හැරිය කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පමණක් වීමෙන් ම පැහැදිලි වේ.

පිතිහරඹය දුර්වල වීමත් ශ්‍රී ලංකා පරාජයන්ට බලපෑවේය. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවට අනුව එක්දින ජාත්‍යන්තර තරගයකදී ලකුණු 250 ක් හෝ 262 ක් රැස් කිරීම අසීරු නැත. එහෙත් එහිදී නිසි සැලැස්මකට අනුව පිතිහරඹයේ නිරත විය යුතුයි. නමුත් මෙම තරගවලදී එවැනි දෙයක් ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබුණේ නැත.

ශ්‍රී ලංකා පන්දු යැවීමත් ඉහළ මට්ටමක පවතින බවක් දක්නට ලැබුණේ නැත. එසේ වුවත් පන්දු රකින්නන් විසින් උඩපන්දු අත්හැරීම පන්දු යවන්නන්ගේ වරදක් නොවේ.

ආසියානු කුසලාන තරගාවලි (එක්දින ජාත්‍යන්තර) ඉතිහා‍සයේ වඩාත් සාර්ථකම දෙරට වනුයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ඔවුන්ට ශූරතා පහ බැගිනි. ශ්‍රී ලංකාවට අනුශුරතා හයකි.

මෙසේ මෙම තරගාවලි ඉතිහාසයේ සාර්ථක වූ ශ්‍රී ලංකාව මෙවර එහි මුල් වටයෙන්ම ඉවතට යාම පහසුවෙන් අමතක කර දැමිය නොහැකිය.

මෙවැනි වාතාවරණයක් යටතේ ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රියා කිරීම දැනටමත් විශාල අභියෝගයක් වී තිබේ.

දැන් වහාම කළ යුතුව තිබෙන්නේ ලෝක කුසලාන සිහිනය ගැන සිතීම නොවේ. දිගින් දිගටම එක්දින ජාත්‍යන්තර තරගවලදී ලබන පරාජයන්ට තිත තැබීමය. ඒ සඳහා නිසි පිළියම් යෙදීමයි.

 

අදහස්