එකම දිනකදී මහපොළ දෙන්න සැලසුමක් | සිළුමිණ

එකම දිනකදී මහපොළ දෙන්න සැලසුමක්

විශ්වවිද්‍යාල සිසුන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව නිශ්චිත දිනයකදී මහපොළ වාරික ලබා දීමට හැකි වන පරිදි 2019 වසරේ ජනවාරි මස සිට මහපොළ ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතිව්‍යූහගත කිරීමට මහපොළ භාරකාර අරමුදල සූදානම් වන බව එහි අධ්‍යක්ෂක පරාක්‍රම බණ්ඩාර මහතා සිළුමිණට පැවැසීය.

මේ අනුව ලබන ජනවාරි මාසයේ සිට දැනට ක්‍රියාත්මක මහපොළ අස්සන් ලේඛනය ඉවත් වන අතර, මේ වෙනුවට අදාළ විශ්වවිද්‍යාලය විසින් එම මහපොළ ශිෂ්‍යත්වලාභීන් පිළිබඳ වගකිවයුතු සහතිකයක් සෑම මසකම මහපොළ භාරකාර අරමුදලට ලැබෙන්නට සැලැස්වීමට නියමිතය. මේ යටතේ සෑම මහපොළ ශිෂ්‍යත්ව ලාභියකුම සිය මාසික පැමිණීම 80%ක් සම්පූර්ණ කර තිබිය යුතු අතර, යම් හෙයකින් එසේ අසම්පූර්ණ නම් ඒ පිළිබඳ අදාළ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පිළිගත හැකි පරිදි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇත. එසේම මාසිකව නිකුත් කරන මෙම සහතිකයේදි අදාළ විශ්වවිද්‍යාලය විසින් ශිෂ්‍යත්ව ලාභියා විනය විරෝධි කටයුත්තකට සම්බන්ධ වූවාද නැද්ද යන්නසනාථ කළ යුතුය.

මේ කොන්දේසි මාලාව සම්පූර්ණ කරන සෑම මහපොළ ශිෂ්‍යත්ව ලාභියකුටම ලබන වසරේ ජනවාරි මස සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සෑම මසකට 10 වැනිදාට පෙර අදාළ මහපොළ ශිෂ්‍යාධාරය තමන්ගේම බැංකු ගිණුමට ලැබෙන්නට සලස්වන බව මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ අධ්‍යක්ෂවරයා පැවැසීය.

Comments