විමල්ගේ කළු කොඩි | සිළුමිණ

විමල්ගේ කළු කොඩි

මහින්ද ඉන්දියාවේ ගිහින් මෝදිත් මුණගැහිලා... නාමලුත් එක්ක ගිහින් මෝදිට මුණගස්සවලා... ඒ විතරක් නෙවේ, රාහුල් ගාන්ධිත් හමු වෙලා...’ ආණ්ඩුවාදියෝත්, මහින්දවාදියෝත් හැමෝම එක එක තාලයේ කතා කියති. හැබැයි, මේ සංචාරයවත්, ඒ හමුවීම්වත් ‘මැජික්’ නොවෙන බව සමහරුන්ට තෙරෙන්නේ නැත. මීට වසර කීපෙකට පෙර මහින්ද ආණ්ඩු කරන විට රනිලුත් ඔහොම බොහෝ රටවලට ගියේය. ආරාධනාත් ලැබුණේය. හැබැයි එහෙම කියලා මේ හැටි කලබලයක් තිබ්බේ නැත.

මහින්දගේ කාලයේ මහින්දලාම කියන විදිහට ලංකාවට එරෙහිව ලොකුම කුමන්ත්‍රණ තිබ්බේ අමෙරිකාවෙන්ය; නැත්නම් යුරෝපයෙන් සහ බටහිරින්ය. හැබැයි එහෙම කියලා ආණ්ඩු පෙරළියක් වුණේ නම් නැත. මහින්දගේ ආණ්ඩුව පෙරළුණාම මහින්දත්, ඔහුගේ සහචරයනුත් කීවේ ‘වැඩේ දුන්නේ ඉන්දියාවේ රෝ-එක’ කියලාය. ඒ දවස්වල මහින්දලා, විමල්ලා, ගම්මන්පිලලා ඉන්දයාව ‘පට්ටා ගැසූ’ අයුරු ආයෙමත් සිහියට ගන්න-එක එදාට වඩා අදට හොඳය. ‘ඇමෙරිකානුවන්, නෝවීජියානුවන්, යුරෝපීයයන් සහ ඉන්දීය රෝ ඔත්තු සේවය මට විවෘතවම විරුද්ධව කටයුතු කළා...’ මහින්ද රාජපක්ෂ මෙහෙම කීවේ හොංකොංහි ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින්ය. ඒ බව 2015 මාර්තු 13 වැනිදා ‘ඉන්දියා ටුඩේ’ පුවත්පත වාර්තා කර තිබිණි.

මහින්දට වඩා එදා ඉන්දියාවට පහර දුන්නේ විමල්ය. ‘ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි එනවා. එන්නේ වෙසක් බලන්න තොරණ බලන්න නෙවෙයි. කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන්නාන්සේලාට ඒ පාවා දීමට එරෙහිව මෝදි අගමැතිට පේන්න මුළු රටම කළු කොඩිවලින් පුරවන්න!’ (2017 මැයි 01, ගාලු මුවදොර පිටියේදී)

විමල් එතැනින් නැවතුනේ නැත: ‘ඉන්දියාවට අවශ්‍යව ඇත්තේද ශ්‍රී ලංකාව කැබලි කොට දකුණ එට්කා ගිවිසුම හරහාත්, උතුරු නැ‍ඟෙනහිර හනුමාන් පාලම ඉදි කිරීම හරහාත් තම ග්‍රහණයට ගැනීමයි. අද ඉන්දියානු වුවමනාව වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ආපසු හැරවීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාව තුළ දිගේලි වෙමින් තිබෙනවා...’ (2016 සැප්තැම්බර්, කළුතර නගර ශාලාවේදී)

ඊළඟට ඉන්දියාවට කුඩු වෙන්න ගැහුවේ ගම්මන්පිලය: ‘වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක් වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි. බස්නාහිර හා දකුණේ පමණක් ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවටත්, වතුකරයේ නව නිවාස දසදහසක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු-තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් කියලා අපි අහනවා. මෝදි අගමැතිවරයා දික්ඔයදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ජනතාව ඇමතුයේ ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන අකාරයෙන්, දකුණු පසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයාද වම්පසින් එහි මහ ඇමැතිවරයාද සිටින බව සිතමින් තමයි ජනතාව ඇමතුවේ.’ (2017 මැයි 15 දින)

විමල් මොනතරම් දේශපාලන අනාත බවකින් ඉන්දියාවට පහර දුන්නාද කීවොත්, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවති නිදහස් කුසලාන අවසාන ක්‍රිකට් තරගයේදී ලංකාවේ ක්‍රීඩාලෝලීන් සහාය දුන්නේ ඉන්දියාවටය. ඒ, ඒ දිනවල බංගලි හැසිරීම මෙරට කිසිවෙක් නොරිස්සූ නිසාය. එහෙත් මේ සහාය දීම විමල් අරගත්තේ සිය තක්කඩි දේශපාලන අසනීපය වෙනුවෙනි. ඔහු මෙහෙම කීවේය: ‘බංගලිදේශය සහ ඉන්දියාව අතර පැවති නිදහස් කුසලාන අවසාන ක්‍රිකට් තරගයේදී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ඉන්දියාව වෙනුවෙන් ජයපැන් බීව්වා. බංගලිදේශය කිසිදාක ශ්‍රී ලංකාවට දේශපාලනිකව අත පොවන රටක් නොවෙයි. බංගලිදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ අශෝබන හැසිරීම් දෙස බලලා ඉන්දියාවට චියර් කළාට කමක් නැහැ. නමුත් අපේ රටට දේශපාලනිකව අත පොවන ඔත්තු සේවා සිටින ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගහන්න ඒ චියර් එක යොදා‍ගන්න ඉඩ දෙන්න එපා. මේ අගමැතිතුමා, ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කර දෙන එට්කා ගිවිසුම අතේ තියාගෙන සිටින බවද හොඳින් මතක තියාගන්න.’ (2018 මාර්තු 20)

හිටපු ජනපති මහින්දට ඉන්දියාවෙන් ආරාධනයක් ලැබුණේය. ඒ පිටුපස සුබ්‍රමනියම් ස්වාමි සිටි බව කියවේ. ඔවුන් කියන්නේ එහිදී මහින්දට සම්මානයකුත් ලැබෙනවා කියලාය. සුබ්‍රමනියම් ස්වාමිගෙන් ලැබෙන ට්විටර් පණිවිඩයකින් විමල්ලා පිනා ගිහින්ය. එය පදනම් කරගෙන විමල්ලා කියන්නේ ආපහු මහින්ද ජනාධිපති වෙනවා කියලාය. සුබ්‍රමනියම් ස්වාමි මෝදිගේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකි.

ඉන්දීය ආණ්ඩුවේ ප්‍රධානියා වන මෝදි මෙහි පැමිණ ජනපති අගමැති සමඟ නිල ලෙස සමීප වීම විමල්ලාට අනුව කුමන්ත්‍රණයකි. එතකොට මෝදිගේ ආණ්ඩුව කැතය... කුමන්ත්‍රණකාරීය... ලංකාවට හතුරුය...!

ඒ ආණ්ඩුවේම සමීපතයකු වන සුබ්‍රමනියම් ස්වාමී මහින්දට සමීප වෙන-එක දේශප්‍රේමීය... අපූරුය... මනරම්ය... ආස්වාදජනකය..

විමල්ලාට, මහින්දලාට මෝදි නරක් වෙන්නත් ස්වාමි හොඳ වෙන්නත් එකම හේතුව තමන්ගේ වාසියය. මෙහෙමත් දෙබිඩ්ඩෝ කියලා කියන්නේ ආණ්ඩුවාදීන්වත්, මහින්දවාදීන්වත් නොවේ, නිර්පාක්ෂික මිනිස්සුය.

මහින්ද ආණ්ඩුව හදන විට ඉන්දියාව ඔහුට සමීපය. ඒ හිතවත්කම හැදුවේ බැසිල්ය. යුද්දෙට කලින් හෝම්වර්ක් කළේ බැසිල් කියා සමහරු කීවේ ඒකය. 2005 දිනුවේ මහින්දය. ජවිපෙ හා හෙළ උරුමයේ සහායෙන් ඔහුට 50.29%කුත් රනිල් වික්‍රමසිංහට 48.43%කුත් ලැබිණි. එදා ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ ඡන්ද වර්ජනය කිරීමට නියෝග කර, ඡන්දය දැමීමට ගිය දෙමළ ඡන්ද දායකයකුගේ අතක්ද කැපුවේය. දෙමළ ඡන්ද තිබුණා නම් මහින්ද 2005දී බලයට පත් වන්නේ නැත. කවුරුන් මොනවා කීවත් ඉන්දියාව එදා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර ගෙන ඒමේ විශේෂ පුද්ගලයා බැසිල්ය. බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා අම්මාන් සිටියේ ඉන්දියාව පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමාන්ගේ (ඉන්දියා) සහාය ලැබිණි.

යුද්දේ වෙලාවේ ඉන්දියාවට බැසිල් ගියාම විමල්ලා සද්ද නැතිව සිටියහ. බැසිල් කීවේ ඉන්දියාවයි ලංකාවයි අඹුසැමියෝ වගේ කියලාය. ‘පුණ්‍ය භූමියට කිණ්ඩි කළා’ යැයි කියා එදා විමල්ලා බැසිල්ට එරෙහිව කට ඇරියේ නැත.

හැබැයි තමන්ම කැඳවාගත් ජනාධිපතිවරණයකින් පරාජය වූවාට පසු මහින්ද ඉන්දියාවට හතර අතේ බැන්නේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු 2015 වසරේ මාර්තු මාසයේ ‘සවුත් චයිනා මෝනින් පෝස්ට්’ පුවත්පතට පවසා තිබුණේ, තම පරාජය පිටුපස ඉන්දියාවේ රෝ සංවිධානය සිටින බවය. එම පුවත ඉන්දීය පුවත්පත්වල සිරස්තලයක් බවටද පත් විය. විමල්ලා ඒ කතාව කරේ තියාගෙන දිවුවෝය. වහින්නේත්, පායන්නේත්, ගඟ ගලන්නේත්, නොගලන්නේත්, හුස්ම ගන්නේත්, නොගන්නේත්, කුරුල්ලන් පියාඹන්නේත්, මල පහ කරන්නේත් කුමන්ත්‍රණ මත පිහිටා බව තරයේ විශ්වාස කරන විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස මහින්දගේ ‘රෝ ඔත්තු සේවයේ කතාව’ අතුරුපසක් බවට පත් කරගත්හ.

විමල්ලා කවදත් මිනිසුන් තුළ සැකය සහ භීතිය නිර්මාණය කොට, ඒ භීතියෙන් ගලවාගැනීමේ වීරයා සිටින්නේ තමන් අසල බව සමාජගත කරයි. එය ඔවුන්ගේ ‘එදාවේල’ වැඩපිළිවෙළය. එට්කා ගිවිසුම, සුව සැරිය, නිවාස ව්‍යාපෘති වැනි සියලු දේ විමල්ලා මවන භීතියේ කොටස්ය.

හැබැයි මහින්ද යුගයේ සියල්ල දායාදය!

‘ඒ කාලේ නැතුව මිහිඳු හාමුදුරුවෝ මේ ආණ්ඩුව කාලේ වැඩිය නම් විමල්ලා කියයි ඒකත් කුමන්ත්‍රණයක් කියලා! අටළොස් කුලය එහෙම මේ කාලේ ආව නම් කියයි අපේ මිනිස්සුන්ට ඉන්දියාවෙන් ශිල්පක්‍රම ගෙනත් කුමන්ත්‍රණයක් කරනවා කියලා!’ යැයි හිතවතෙක් කීවේය.

මෙරට තරුණ කැරලි දෙකකදී එහි නායකයෝ ව්‍යාප්තවාද දෙකක් ගැන බිල්ලන් මැවූහ. එකක් ඇමෙරිකානු ව්‍යාප්තවාදයය. අනෙක ඉන්දීය ව්‍යාප්තවාදයය. දෙකම හොඳ සටන් පාඨය. මුල් කැරැල්ලේදී ඇමෙරිකාව රාක්ෂයෙක් විය. දෙවැන්නේදී ඉන්දියාව රාක්ෂයෙක් විය.

2016 පෙබරවාරි 28 අපූරු ලිපියක් රාවය කතෘ වික්ටර් අයිවන් විසින් ‘ඉන්දියානු භීතිකාව’ යනුවෙන් ලියා තිබිණි. එහි මෙවැනි සටහනක් විය:

‘පසුකලකදී යශෝධා ව්‍යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිගෙන් ඒ කාලයේදී දේවල් සිදුවූ නියම ස්වරූපය පෙන්නුම් කරන අපූරු කතාවක් මට අසන්නට ලැබුණි. ඒ බිහිසුණු කාලයේදී ඔහුද ආරක්ෂාව සඳහා ජවිපෙ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහු ජවිපෙ නායකයන්ට වැදගත් වන්නට ඇත්තේ ඔහුට අගමැති ඩී.බී. විජේතුංගට තිබුණු සමීප සම්බන්ධය නිසා විය යුතුය. ඔහුගේ කොළඹ නිවස ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් පවත්වන ස්ථානයක් බවට පත්ව තිබුණි. විජේවීර එහි පැමිණි කිසියම් දිනකදී යශෝධාට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ඔහුගෙන් අසන ලදුව ඔහු විජේවීරට කියා තිබෙන්නේ දේශීය ව්‍යාපාරිකයන්ගේ සීනි වෙළෙඳාමට ලංකාවේ ඉන්දියානු වෙළෙඳුන්ගෙන් ලොකු තර්ජනයක් තිබෙන බවය. ඉන් දින කිහිපයකට පසුව පිටකොටුවේදී ඉන්දියානු සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ වෙළෙන්දෙකුට වෙඩි තබා මරා දමන ලද බවත් එතැන් සිට ලංකාවේ ලොකුම සීනි ආනයනකරු බවට පත්වීමේ හැකියාව තමන්ට ලැබුණු බවත් ඔහු මට කීවේය.’

බිල්ලන් මවන්නේත් ඒ බිල්ලන්ම තේරුම් ගන්නේත් එහෙමය.

කන්න ඕනෑ වන විට ඕනෑම කබරයා තලගොයා කරන්නට විමල්ලා සමත්ය; මහින්ද ඊටත් වඩා සමත්ය. සපත්තු අස්සේ මානව හිමිකම් වාර්තා සඟවාගෙන මානව හිමිකම් ගිය මහින්ද ‘ශ්‍රී ලංකාව යනු මිනී කන්නන්ගේ දේශයක්’ බවට නම්බුනාමයක් ලෝකයෙන් අරන් දුන්නේය. හැබැයි ඔහු ජනාධිපති වූ දා සිටම මානව හිමිකම්වලට බැලස්ටික් මිසයිල ගැසුවේය.

අද මේ ආණ්ඩුවේ නායකයෝ වෙනත් රටවල නායකයන් හමු වන විට මහින්දලා ‘අවි’ හදාගෙනම පහර දෙති. හැබැයි එදා ස්වාසිලන්තයෙන් එන ගෝත්‍රික සල්ලාල රජවරු මේ අයට කීර්තිමත්ය. මෝදි එනකොට කුමන්ත්‍රණයකට බව කී අයට ගෙදර යන ගමන් අප්‍රිකාවේ ජනපති තෙල් ගහන්න ගුවන් යානය ගොඩ බැස්සාමත් ඒ කාලයේ මාර වැඩක්ය.

ඉන්දියාව තරහ කරගත්තේ මහින්දමය. මුළු රටම චීනෙට දෙන ගානට ගිය මහින්දට ඉන්දියාව එරෙහි විය. යුද්දේ කරද්දීත් ඉන්දියාව සද්ද නැතිව සිටියේය.

‘අරුන් අපේ උන් මරනවා...’ තමිල්නාඩුව එහෙම කියද්දිත් ඉන්දියාව බලපෑම් නොකළේය.

‘ලංකාවේ අන්න උඹලගේ මිනිස්සු මරනවා...’ බටහිරින් එහෙම කියද්දීත් ඉන්දියාව සද්ද නැතිව සිටියේය.

හැබැයි එහෙවු ඉන්දියාව කුණු ගොඩකට දමා මහින්ද චීනය අල්ලාගත්තේය; මත්තල දුන්නේය; ගුවන්තොටුපළ දුන්නේය; පෝට් සිටි දුන්නේය; ෂැන්ග්‍රිලා දුන්නේය; පාරවල් ටික දුන්නේය.

ඉන්දියාව බලාගෙන, ඉවසාගෙන සිටියේය. අන්තිමට මහින්දම ඇනගත්තේය.

මහින්දවාදීන්ට අනුව රනිල්-මෛත්‍රී සම්පන්දන් හමු වුණත් වැරදිය; හිනා වුණත් වැරදිය. මේ ආණ්ඩුවේ කවුරුන් හෝ ගිහින් ලෝකයේ හොඳම කෙනකු හමු වුණත් මහින්දවාදීන්ට ඒක වරදක්ය. ඔවුන් පේන්නේම පරහක්ය. හැබැයි මහින්දලා ගිහින් හමුවෙන හැමෝම හොඳය... අපූරුය...

ඒ දිනවල විපක්ෂනායක ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණයකට රටකට ගියත් කීවේ ‘අන්න! කේළාම් කියන්න යනවා...’ කියලාය. ‘එතකොට, මේ දැන් මහින්දලා යන්නේ මොකටද?’ කියා අහන්න කවුරුවත් අහන්නේ නැත. කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා කරගන්නා කතාව ටිකක් පරණය. හැබැයි පරණ වුණාට කතාව හැමදාටම වලංගුය. මහින්දගේ ඉන්දීය ගමනත් ඒ ගමනට ප්‍රතිචාර දක්වන ආකාරයත් බැලුවාම කබර-තලගොයි කතාව එදාට වඩා අදට ගැළපෙන බවක් පෙනේ.

මෝදි එනකොට විමල් එදා කීවේ ‘දැන් රටේ හැමෝම කළු කොඩි දාන්න’ කියලාය. මහින්ද ඉන්දියාවට ගිහින් ‘ඉස්සරහට මම ඉන්දියාව එක්ක ඉස්සරට වඩා ගනුදෙනු කරනවා’ කියලා ආපහු එනකොටත් විමල් ‘කළු කොඩි දාමු’ යැයි කියයිද දන්නේ නැත!

එහෙම කීවොත් අන්න එදාට, ‘නුඹයි මගේ පුතා විමල්’ යැයි කියා මිනිසුන් කියනු ඇත.

මානාභරණ

Comments