මහින්දට පහර නොදී ආරක්ෂා කරන්නද කියන්නේ | සිළුමිණ

මහින්දට පහර නොදී ආරක්ෂා කරන්නද කියන්නේ

ආණ්ඩුව කරන හැම වැඩකම අඩු පාඩු හොයන ඔබේ පක්ෂයට මොනරාගල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මඟින් ජනතාව හොඳ පිළිතුරක් දුන්නා. මොකද ඒ ගැන කියන්න තියෙන්නෙ.

ගම් පෙරළිය. එන්ටර්ප්‍රසිස් ශ්‍රී ලංකා, මේ වගේ ඇස් රටව්ටන ව්‍යාපෘති හදලා එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න බැහැ. අපි විශ්වාස කරන්නෙ නැහැ එජාපයට පණ දෙන්න මේ වගේ ව්‍යාපෘතිවලින් පුළුවන් වෙයි කියල.

මේක එක පක්ෂයක නෙමෙයි රජය විසින් ජනතාවට ලබා දුන් ජීවන ව්‍යාපෘතියක්..

රජය බලයට පත් වුණේ හොරු අල්ලනවා කියලනේ. අල්ලපු එක හොරෙක් ඉන්නවද? දඬුවම් දුන්නෙ කාටද? ජනතා විරෝධය එනකොට වරින් වර මේ වගේ දේවල් තියලා ඒ විරෝධය වහ ගන්න හදනවා. මේ ව්‍යාපෘති එජාපයේ ගොඩ එන්න හදපුවා කියලා රටම දන්නවා.

ඔබ එසේ කිව්වත් රජය නීතිය අතට ගෙන නැහැ. හොරුන් සම්බන්ධව ක්‍රියා කරන්න අධිකරණය බාර දීලා තියෙන්නෙ‍‍.

ඕක ගැලවුමට කියන කතාවක්නෙ, 2015 ජනවාරි 8 වැනි දා වගේම ඒ අවුරුද්දෙම අගෝස්තු 17 වැනිදා ජනතාව දුන් වරමට පටහැණිව ආණ්ඩුව කටයුතු කරන බව ආණ්ඩුවත් දන්නවා, ජනතාවත් දන්නවා, ඉදිරි මැතිවරණ ජය ගන්න ආණ්ඩුව ගහන ගැටයක් විතරයි මේ. මේක ඇත්තෙන්ම අල්ලසක්.

මා යළිත් අහන්නේ මැති ඇමැතිවරුන්ට පවා නඩු පවරන තත්ත්වයක් තිබිය දී ඇයි ඔබ ඒ සුබදායක තත්ත්වය නොදකින්නේ.

මහජන පීඩනයෙන් ගැලවෙන්න එක්කෙනෙකුට දෙන්නෙකුට යම් යම් නීතිමය කටයුතු ‍ කෙරෙනවා. ඒ වුණත් ඒ එකක්වත් ඉදිරියට යන බවක් පේන්න නැහැ. අපිට පේන්නෙ මෙතැන ඩීල් එකක් තියෙන්නෙ, ජනතාවට පේන්න එකිනෙකාට කියවා ගත්තාට, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන මේ කට්ටියම යම් එකඟතාවක ඉන්න බවක් අපට පේනවා‍.

ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන එල්ල වෙලා කියලා ආණ්ඩුවේ ඇමැති කෙනෙකුම කියලා තිබුණා. රට සාමය කරා ඇවිත් තියෙන මේ අවස්ථාවේ එවන් ප්‍රකාශ ගැන ඔබ පක්ෂය දරන අදහස මොකක්ද?

ඒ ඇමැතිවරයා මොන අදහසකින් ඒ ප්‍රකාශය කිව්වද කියන්න මම දන්නෙ නැහැ. නමුත් රටේ ආරක්ෂාව ගැන නම් අපට බය වෙන්න දෙයක් නැහැ. අපි හොඳටම දන්නවා වැටුණු ත්‍රස්තවාදීන්ට ආයිත් නැඟිටින්න හැකියාවක් නැති බව. ඒ වුණත් ඇතැම් පිරිස් ජාතිවාදය උතුරේ වගේම දකුණේත් වපුරලා තියෙනවා. වපුරලා පැට්‍රල් දාල තියෙන්නේ. දැන් ගිනිකූරක් ගහන්න විතරයි තියෙන්නේ. ඒ තත්ත්වය ඉතාම භයානකයි. ජාතිවාදීන්ට එරෙහිව තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. සමහරු බොර දියේ මාළු බාන්නයි හදන්නේ.

බස්නාහිර පළාත් සභාවේ පුටු සිද්ධිය ගැන කතා කළොත් දැන් ආණඩුකාරවරයා ඒ පුටු ගෙන්වීම නවත්වලා තියෙනවා. ඒකෙන් පළාත් සභාවට ආර්ථික හානියක් වනවා නේද?

සිදු කරපු දූෂණය අපි පෙන්වා දුන්නා. එතැනින් එහාට නීතිමය කටයුතු කරන්න දැන ගන්න ඕන. ලක්ෂ හය හමාරත් කියන්නේ ගෙවල් 5කට 6කට හොඳ පුටු සෙටි 5ක් 6ක් ගන්න පුළුවන් වියදමක්නේ. පළාත් සභාවේ මාසෙකටම ඉන්න පැය කිහිපයකට ඒ වගේ අතිවිශාල වියදමක් කරන්න පුළුවන්ද?

නමුත් විදේශයෙන් ඇණවුම් කළ මේ පුටු සඳහා යම් වන්දියක් ගෙවන්න වෙනවා. ඒ ගැන වගකීම දරන්නේ කවුද?

අපි දන්නෙ නැහැ මේ ගිවිසුමේ දිග පළල මොනවාද කියා, අපට ඒව වැඩකුත් නැහැ. දූෂණය අපි පෙන්වා දුන්නා. වන්දියක් ගෙවන්න වෙනවා නම් ඒ අධිභාරය අදාළ නිලධාරීන්ගෙන් වගේම ඒ සඳහා මැදිහත් වූ දේශපාලඥනයන්ගේ පෞද්ගලික මුදලෙන් අය කර ගත යුතු වෙනවා.

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ පහළ යෑම මතයි බොහෝ රටවල ඛනිජ තෙල් මිල තීරණය වන්නේ. අපේ රටේ ඉන්ධන මිල වැඩිවීමත් ඔබ පක්ෂය දකින්නේ ආණ්ඩුවේ වරදක් ලෙසින් නේද?

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ ගිය සැණින් ආණ්ඩුව මිල ඉහළ දමනවා නම් මොකටද ආණ්ඩුවක්, ආණ්ඩුව ජනතා ප්‍රශ්න ජනතා ගැටලු නිරාකරණය කළ යුතුයි. තෙල් මිල ඉහළ යෑම ආණ්ඩුව කළමනාකරණය කර ගත යුතු වෙනවා. බොරු ඉන්ධන මිල සූත්‍රයක් ලබා දීලා මාසෙකට වරක් ඉන්ධන මිල ඉහළ දමනවා.‍ මේ තත්ත්වය මත බුලත් විටේ සිට තේ කෝප්ප‍යේ සිට මිල ඉහළ යනවා. ජනතාව‍ගේ ජීවන වියදම ඉහළ යනවා.

ඔබ එසේ පැවසුවත් අසල්වැසි ඉන්දියාවේ පවා දිනපතාම මේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ පහළ යනවා.

අපේ තියෙන්නේ හැමදාම ඉහළ යන සූත්‍රනේ. අනෙක ඉන්දියාවේ ඒවා අපට අදාළ නැහැ. ආණ්ඩුව කරන්නේ ලෝක බැංකුවේ පද වලට නටන එකනේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන්න යනවා. අපේ තෙල් සංචිත ‍තියා ගන්න විදිහක් නැහැ. තෙල් ගබඩා තියෙනවද? තෙල් ගබඩා කරලා කළමනාකරණය කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙන්නේ. ඒක වහගන්න එක එක සූත්තර ගේනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට ආ දා කිරි පැකට් ප්‍රශ්නය මේ දිනවල සමාජ මාතෘකාවක් වෙලා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අසා තිබුණා ඇයි ඒ පැකට් බිව්වෙ කියලා, ඒ ගැන එතුමාට විරුද්ධව දැඩි ප්‍රතිචාර එල්ල වුණා.

මේ කිරි පැකට් කතාව මේ තරම් ඇදගෙන යන්නෙ ඒකාබද්ධය එදා කරගත්ත නා ගැනීම වහගන්නනේ. එදා කොළඹට ආ පිරිස හරියට ‘බාර් කොම්පැනියක’ දැන්වීමක් වගේ. ආව අයගෙන් බහුතරයක් හොඳ පදමට මත් වෙලා හිටියේ. ජනතාවට ප්‍රශ්නයක් වුණා මේ අයද රට හදන්න ඉල්ලන්නේ කියලා, ඒ වැරැද්ද අවමානය වහගන්න දැන් කිරිපැකට් එකක් අල්ලගෙන දඟලනවා. කිරිපැකට්වලට යම් අයෙක් මොනවා හෝ නුසුදුසු යමක් දමා තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. ඒ ගැන අපිත් කියනවා. ඒ ව‍ගේම ඒ පැකට් පානයෙන් අපහසුතාවට පත් වූ අවට අපේ කනගාටුවත් පළ කරනවා. නමුත් ඇත්ත තත්ත්වය ජනබලයක් ගෙන එන්න ගිහින් වෙච්ච කළු පැල්ලම වහගන්න කිරිපැකට් එකක් යොදාගන්න හදන එකයි.

ඔබ පක්ෂයේ අය නිතරම ආණ්ඩුවට වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහතාට දොස් පවරනවා. ඇයි ආණ්ඩුවට වැඩියෙන් ඒ මහතාට පහර දෙන්නේ.

එයාට පහර දෙන්න ඕන තමයි , එයා තමයි රජයේ දේපළ විනාශ කිරීම පටන් ගත්තේ. මහජන දේපළ තමන්ගේ හා තම ඥාති පවුල්වල ප්‍රයෝජනයට අරගෙන ර‍ටේ හැම පුරවැසියෙක්ම රුපියල් 535000ක ණය කාරයෙක් කළේ මහින්ද රාජපක්ෂයි. තමන්ගේ පවුල්වලට ර‍ජයේ දේපළ විකුණමින් සුව සම්පත් හදා ගත්ත එයාට පහර දෙන්නේ නැතිව ආරක්ෂා කරන්න කියලද ඔබ කියන්නේ.

ලාල් කාන්ත මහතා කියලා තිබුණා ආණ්ඩුව විවේචනය කිරීම ඉදිරියේදී පරිස්සමින් කරන්න පක්ෂය කටයුතු කරන බවක්. ඒකත් ඩීල් එකක්වත්ද?

අපිට කා එක්කවත් ඩීල් නැහැ. සමාජ කථිකාවත් තියෙන ඒවට අපි ප්‍රතිචාර දක්වපුවහම සමහර අය ඒ විවේචන අල්ලගෙන එයාලගේ වැඩවලට ආයුධයක් කර ගන්නවා. හරියට ‘ඌරො කැකුණ තළනකොට හබන් කුකුළන්ට මඟුල් වගේ’ ඒක නිසා අපේ විවේචන විරෝධතා අනෙක් අයට ආයුධ කර නොගන්න විදිහට සිදු කරන්නයි අපි කටයුතු කරන්නේ.

සංවාදය - තාරක වික්‍රමසේකර

Comments