තිලකා, කාන්ති, දිනුදා තුන්දෙ­නා­ටම මං ආද­රෙයි | සිළුමිණ

තිලකා, කාන්ති, දිනුදා තුන්දෙ­නා­ටම මං ආද­රෙයි

කල­ණට මොක ද වුණේ?, කැලේට අත­හැ­රිය ද?, මහ වස­ව­ර්ති­යෙක්ලු නේද?, මං ගැන කියපු කතා නම් ඉව­ර­යක් නැහැ. ගෙවුණු දවස් ටිකේ රටේ හැමෝම වගේ මං ගැන කතා වුණා.“අනේ අපොයි” කිව්වා. ටිවී­වල පත්ත­ර­වල මං ගැන හුඟක් දේ පළ­වුණා. අවු­රුදු ගාණක් මං ගැන හොයපු බලපු නැති අය එක­පා­ර­ටම මා ගැන කතා­වෙන්න ගත්තා.

පුදු­මයි!.

මගේ අයි­ති­කා­රයෝ කියන්න ගත්තේ මං මහ දරු­ණුයි කියලා. ඇත්ත මං දරු­ණුයි තමයි. කවුද මාව දරුණු කළේ. කැලේ ගහ­කොළ අතර ඇවිද ඇවිද හිටපු මාව සිදා­දි­යට ගෙනාවේ ඇයි. අපිට උරුම කැලේ, නිද­හසේ ඉන්න නැති වුණාම තරහා යනවා තමයි. ඒ මදි­වට කකු­ල්ව­ලට දම්වැල් දාලා. ඒවා කකුල් වල­ටම ඇළිලා, තුවාල වෙලා ලේ එන­කොට, රිදෙන කොට මම කාටද කියන්නේ. කවු­රු­වත් ඇවිල්ලා මගේ කකුල් දෙක දිහා බලලා ඇයි කියලා ඇහුවේ නැහැ. අවු­රුදු ගාණක් තිස්සේ මං වින්ද දුක දන්නේ මං විත­රයි. මොනවා වුණත් ලස්ස­නට සැර­සිලා මහා උජා­රු­වෙන් පෙර­හරේ ධාතු කර­ඩුව වඩ­ම්මපු එක විත­රයි මට තිබුණු එකම සැන­සීම.

අපේ පර­ම්ප­රාවේ අය දව­සට කිලෝ මීටර් පන­හ­කට වැඩිය කැලේ ඇවි­දි­නවා. අවු­රුදු ගාණක් තිස්සේ එකම ගහක බැඳලා හිටපු මම දන්නේ ඒ ගහ වටේ පරි­ස­රය ගැන විත­රයි. අව්වට වේලෙ­මින් වැස්සට තෙමෙ­මින් හිටපු මට දැන් රිදි­ය­ගම සෆාරි උද්‍යා­නයේ ගෙවන ජීවි­තය හරි­යට දිව්‍ය­ලෝකේ ගියා වගේ.

මං දන්නවා දැන් කවුරු කවු­රුත් මට හිනා­වෙ­නවා ඇති. ‘සෆාරි’යට ආව ගමන් අලි කෙල්ලෝ යාළු කර ගත්තා කියලා. ඇත්තම කිව්වොත් අස­රණ වෙලා හිටපු මාව මෙහාට ගේන්න හැමෝම යෝජනා කළාම මගේ හිත ගැස්සුණා. නන්නා­ඳු­නන පැත්ත­කට කොහොම එන්නද? කියලා.

මට මත­කයි මං පුංචි කාලේ පින්න­ව­ලින් මාතර දෙවි­නු­ව­රට එද්දි ආවෙත් බයෙන් බයෙන්. හැමෝම මං දිහා බැලුවේ සැකෙන්. හිතා­ගෙන ඉන්නේ මම කිසිම අණක් ගුණක් නොදන්න අලි­යෙක් කිය­ලනේ. මම මෙහෙම හිටි­යට බොහෝම ලැජ්ජා­කා­රයා. පෙර­හ­රක යද්දි වුණත් අලි කෙල්ලෝ දිහා බැලුවේ හොරෙන්. ආදරේ ගැන නොහි­තු­ණාම නෙමෙයි. එත් ඉතිං එක තැන­කට කොටු­වෙච්ච මං මගේ දුක ගැන හිත­නවා ඇරෙන්න ආදරේ ගැන කොහොම හිත­න්නද. දම් වැල්ව­ලින් ගස් බැඳලා ඉන්න­කොට මට තරහා යනවා. ඒ වෙලා­වට තමයි වැදෙන කෙනෙ­කුට වැදි­යන් කියලා පොලු කෑලි­ව­ලින් ගහන්නේ. ඇත්තම කිව්වොත් සෆා­රි­යේදි මට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. මම දැන් මගේ වැද­ග­ත්කම පෙන්නන්න ඕන. ආද­ර­යක් ගැන කිසිම දව­සක නොහි­තපු මට දැන් අලි කෙල්ලෝ තුන්දෙ­නෙක්ම ඉන්නවා. තිලකා ,කාන්ති හා දිනුදා මගේ පාළු­වට කාන්සි­යට දුක නිවන්න මගේ ළඟ ඉන්න එකම මට සැන­සී­මක්. පොඩි ප්‍රශ්නෙ­කට තියෙන්නේ ‘පින්න­ව­ලයා’. එයා ළඟ­දිම පින්න­වල අලි අනා­ථා­ගා­ර­යට යව­නවා කියලා තමයි කියන්නේ. ජීව­කයි ඉසි­රයි තාම කොලු ගැටව්. අවු­රුදු තිහක් තිස්ප­හක් වෙන මේ මා එක්ක එයා­ලට හැප්පෙන්න බැහැ. අලි මදි­වට හරක් කිව්වා වගේ දෙහි­ව­ලින් ගෙනාව අප්‍රි­කාවෙ එකෙ­කුත් මෙහෙ ඉන්නවා. මේ මොනවා වුණත් දැන් මගේ හිත ආද­ර­යෙන් පිරිලා. මටත් හැඟිම් දැනීම් තියෙ­නවා කියලා දැනෙ­නවා. තුවා‍ල­ව­ලින් දැනෙන වේද­නාව අඩු­වේ­ගන යනවා. කකුල් දෙකම සනීප වුණාට පස්සේ මට තව සුවය දැනේවී. දැන් මාව බැදපු දම්වැල් වෙනස් කරලා. ටිකෙන් ටික සනීප වුණාම, මගේ මුරණ්ඩු ගති අඩු­වු­ණාම මාව කැලේට යවනා කියලා තමයි හැමෝම කතා වෙන්නේ.

පශු වෛද්‍ය මහ­ත්තු­රුයි වන­ජීවී මහ­ත්තු­රුයි නොහි­ටින්න මගෙ කකු­ලට මොන­වැ­යින් මොනවා වෙන්න තිබු­ණද දන්නේ නැහැ. දැන් මගේ ජීවි­ත­යට ආර­ක්ෂා­වක් දැනෙ­නවා.

අපොයි දෙයි­යනේ! මාධ්‍ය ආය­ත­න­වල ඇත්තෝ ඉස්සෙ­ල්ලම තම තමන් මං ගැන රටට හෙළි­කළා කියලා එක දාගන්න හද­න­වලු. අනේ දෙයි­යනේ මුන්දැලා මාවත් මාකට් කර­නවා නෙව. මොනවා වුණත් කමක් නැහැ මගේ ජීවි­ත­යට සැන­සී­මක් ලබා දෙන්න උදව් වුණු හැමෝ­ටම මෙන්න මගේ ආචා­රය කිව්වා..

ඉසවි

අදහස්