මාත් යකඩ වගේ තැ‍ෙළන තරමට හැඩ වුණා | සිළුමිණ

මාත් යකඩ වගේ තැ‍ෙළන තරමට හැඩ වුණා

  • තව අවුරුදු දෙක තුනක් මේ විදිහට ගියොත් ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රය චීනෙටම යනවා.
  • ඉංජිනේරු උපාධිය අතේ තියාගෙන මං සුපවයිසර් රස්සාවක් බාර ගත්තා.

 RN කන්ස්ට්‍රක්ෂන්ස් හදපු ඔබ කවුද...

දැවැන්ත ඉදිකිරීම්වල යෙදෙන කොන්ත්‍රාත්කරුවෙක්. ශිල්පීය දැනුම ඇති ඉංජිනේරුවෙක්. ඒ ඉංජිනේරු දැනුමෙන් රටට කර්මාන්තයක් හදා රැකී රක්ෂා බිහිකළ ව්‍යවසායකයෙක්. ඒ සියල්ලට වඩා, සරමක් හැඳ කුඹුරෙ වෙල් යායෙ ඇවිදින, තව ම ගම විඳින සරල මනුස්සයෙක්.

කොයිතරම් පිරිසකට ඔබ රස්සා හදා තිබෙනවද...

තුන්දහස් හාරසියයක් විතර. ඉන් දෙසිය පනහක් ඉන්දියානු සේවකයෝ. ඔවුන් ඉරිදා විතරයි නිවාඩු. දවස් හයම වැඩ. ‘ස්කිල් ජොබ්ස්’වලට අවශ්‍ය මිනිස්සු අපේ රටේ නැත්නම් මොකද කරන්නේ. අපිටත් සිද්ධ වෙනවා පිටරටින් ගේන්න. රුපියල් කෝටි 17.5ක් එක මාසෙකට සේවක පඩි ගෙවන සමාගමක් මේක.

‘අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය චීන්නු ගිල ගනිමින් ඉන්නවා...’ එහෙම දැනිලා නැද්ද ඔබට...

‍මොකද නැත්තේ? අද වෙනකොට අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ සියයට හතළිහක් - හතළිස් පහක් පවතින්නේ ඔවුන්ගේ අතේ. ඔවුන් ආයෝජනයක් කරන්නේ නිකම් නෙවෙයි. කොන්ත්‍රාත්කරුවෝ - සේවකයෝ - හිමිකරුවෝ - අමුද්‍රව්‍ය මේ සියල්ල එහෙන් රැගෙන එනවා. ඊට පස්සෙ උපයන හැම සතයක්මත් චීනෙට අරන් යනවා. තව අවුරුදු දෙක තුනක් මේ විදිහට ගියොත් ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රය චීනෙටම යනවා. දේශීය කර්මාන්ත ටික කඩා වැටෙනවා. රජයේ අවධානය වහා යොමුවිය යුතු බරපතළ තත්ත්වයක් මේක.

ඇයි ඉතින්, ඔබලාට බැරි ආණ්ඩුවට බලපෑම් කරන්න...

අපේ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් හැටියට විතරක් නෙවෙයි, වාණිජ මණ්ඩල හරහාත් අපි රාජ්‍ය ‍නායකයන්ට, මේ බව කිහිපවරක් දන්වා තිබෙනවා. නමුත් තීන්දු තීරණ ගැනීම ප්‍රමාදයි.

ව්‍යාපාරයක් සාර්ථක වෙන්න බලපාන හේතුවක් කියන්න...

ව්‍යාපාරයක් ආරම්භ කරද්දි වැදගත් වෙන්නෙ රුපියල් සත නෙවෙයි. ආත්ම ‍ශක්තිය සහ දැක්ම. ව්‍යාපාරයක් සාර්ථක වෙන්නත් මේ කාරණා දෙක ප්‍රධානයි. සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නම් තමන්ගෙ අරමුණ හොඳින් අවබෝධ කර ගත යුතුයි. ඒ අරමුණ කරා යා හැකි සෑම අඩිතාලමක් ම දැමිය යුතුයි. අවස්ථා අත් නොහැර, කාලය ජීවිතය උපරිම ලෙස කැප කරමින්, සිය කණ්ඩායම ශක්තිමත් කරමින් ඔවුන් හා එක්ව අරමුණ කරා යා යුතුයි. සාර්ථක ව්‍යවසායකයකුට හුදෙකලා ගමනක් නැහැ. ඒ වගේ ම ව්‍යාපාරය ඕනෙ නම්, ඒ තුළ ඔබ සියයට සියයක් සිටිය යුතුයි.

ඉදිකිරීම් කර්මාන්තයේ බොහෝ දෙනා දියුණු වෙන්නෙ රජයේ කොන්ත්‍රාත්වලින් නේද...

ආණ්ඩු‍ෙව් කොන්ත්‍රාත් බලපානවා තමයි. හැබැයි ඒවා කොහොම හරි ලබා ගන්න කියලා පගා දෙන සිරිත මගේ නැහැ. මං මෙතෙක් කරපු එක ම රජයේ ව්‍යාපෘතියකටවත් එහෙම පගාව කියලා එක රුපියලක් දීලා නැහැ. මතුවට දෙන්නෙත් නැහැ. මං තරග කරන්නේ ටෙන්ඩරයට විතරයි. දැනට මගේ ක්‍රියාත්මක ව්‍යාපෘති 24 න් 12 ක්ම රජයේ ඒවා.

ඇයි ඔබ යකඩ බිල්ඩින් නිෂ්පාදනයට අත ගැහුවේ...

ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එදා හිටි හෝ අද ඉන්න දැවැන්තයන්වත් යකඩ බිල්ඩින් නිෂ්පාදනයට අත ගහන්නෙ නෑ. ඒක තනිකරම ඉංජිනියරින් වැඩක්. මං ඉංජිනේරුවෙක් වීමත් සමහරවිට, මේ අමාරු කටයුත්තට අතගහන්න ආසාවත් ඇති කිරීම කෙරෙහි බලපාන්න ඇති.

ලංකාවේ යකඩ ගොඩනැගිලිවලට තිබෙන්නෙ කොහොම ප්‍රවණතාවක් ද...

මං ස්ටීල් බිල්ඩින් හදන්න අතගැහුවේ 2007 දි. ඒ වෙන‍කොට, කර්මාන්තශාලා, වෙයාර්හවුස් සඳහා මේ යකඩ ගොඩනැගිලි 80%ක් ගෙනාවේ පිටරටින්. ලංකාවෙ හැදුවෙ 20% යි. 2007 මං පටන් අරන් 2010 වෙනකොට ලංකාවේ 70% ක් යකඩ හදන තැනට ඒ ක්ෂේත්‍රය මං දියුණු කළා. 30%ක් යකඩ ආනයනය අඩු කළා. ලංකාවෙ හදන 70% න්, 50% ක් හදන්නේ මං. ඉස්සරත් මේ බිල්ඩින් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ලේක් හවුසිය, කාගිල්ස් ගොඩනැගිල්ල, ගෆූර් බිල්ඩිම එවැනි පැරැණි යකඩ ගොඩනැගිලි. ආර්.ඒ.ඩි. මෙල් මාවතේ අපි හැදූ ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං බිල්ඩිම... ඩාලි පාරේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය වගේ දැවැන්ත ගොඩනැගිලි කර්මාන්තශාලා රැසක් මේ වෙනකොට අපි යකඩින් නිර්මාණයකොට තිබෙනවා.

ඔබ ව්‍යාපාර ලෝකයේ හිස් තැනක් හොයාගෙන...

ඔව්, දැවැන්ත ඉදිකිරීම් සමාගමක් වුණත් අත නොගහන පැත්තක්, මං මේ රටේ කරමාන්තයක් විදියට දියුණු කළා. ආයතනයක් දියුණු කරගන්නවට වඩා අමාරු ඒ දියුණුව පවත්වාගෙන යන්නයි. රෙඩිමික්ස් කර්මාන්ත ශාලාවකින් පටන් ගෙන සිමෙන්ති - කොන්ක්‍රීට් ගල්, රූෆින් ප්‍රඩක්ට්ස්, සැන්ඩ්විච් පැනල්, එස්කා ෆෝල්ඩින් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෑම අංගයක් දක්වා ම ව්‍යාප්ත වෙලා අහස උසට නැඟුණු ගොඩනැගිලි හැදුවට මට වැඩිම තෘප්තිය තිබෙන්නේ මේ කරන්න අමාරු කර්මාන්තය කිරීමෙන්. මොකද ඒ වෙනස නිසයි මේ ක්ෂේත්‍රයේ අපි කැපී පෙනෙන්නේ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

රඹුක්කන - පරපේ කියන දුෂ්කර ගමේ උපන් මං, මුලින් ම යන්නෙ පරපේ මහා විද්‍යාලයට. හය වැනි පන්තියේ පටන් නුවර ධර්මරාජෙ. මං උසස් පෙළ කළේ විශ්ව විද්‍යාලයට තේරුණේ ධර්මරාජෙන්.

පුංචි කාලෙත් ඔබ දක්ෂයෙක් හැඩයි...

කිසිම විශේෂ දක්ෂකමක් නොපෙන්වූ සාමාන්‍ය ළමයෙක්. මං ඕ - ලෙවල් ඉංග්‍රීසි ෆේල්. දහයෙ පන්තියෙදි අපේ ඉංග්‍රීසි ටීචර් පන්තියට ආවෙම ‘එදිරිසිංහ ස්ටෑන්ඩ් අප්...’ කියාගෙන. ඒ ආ ගමන් අන්තිම පේළියෙ ඉන්න මාව හිටවලා ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහනවා. මට උත්තර දීගන්න බැහැ. ළමයි හිනාවෙනවා. ඒක හැමදාමත් සිද්ධ වුණා. ඒ ගුරුවරිය ගමෙන් ආපු මාව, ඒ පෝසත් පවුල්වල ළමයි ඉදිරියේ විහිළුවක් බවට පත් කළා. පුදුමාකාර මානසික වදයක් දුන්නා. අන්තිමේ මට, දන්න ඉංග්‍රිසි හෝඩියත් කියා ගන්න බැරි තැනට ආවා. ඉංග්‍රීසි නීරස වුණා. හැබැයි ඊළඟ අවුරුද්දෙ බොහොම වෙර වීරිය දාලා එස් පාස් එකක් ගත්තා.

දක්ෂයෙක් නෙවෙයි නම් කොහොමද විශ්වවිද්‍යාලෙ ගියේ...

තනියම, හුඟක් මහන්සිවෙලා. මට ටියුෂන් යන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ නිසා රිවිෂන් පන්තියකට ගියා. යාළුවො හවස ටියුෂන් ගියාම, බෝඩිමේ මං විතරයි. හරි නිදහස්. මං පාස්ට් පේපර්ස් ගන්නවා. ඔරලෝසුව ළඟ තියා ගන්නවා. පැය තුනෙන් මං ප්‍රශ්න හයක් ලියනවා. ලියලා මිසක් නැඟිටින්නෙ නෑ, අනික මං කවදාවත් ප්‍රශ්න දහයකට මහන්සි වුණේ නැහැ. ප්‍රශ්න හයයි මගේ ඉලක්කය වුණේ. මං ඉපදුණේ 1965. ඒ ලෙවල් කළේ 1985. ඒ විසි ව‍සරෙ මට අදාළ හැම ප්‍රශ්න පත්තරයක් ම අඩුම තරමෙ මං සියවතාවක් තනියම කරලා ඇති. ‘බ්‍රයිට් කේස්’ එකක් නොවුණට මං ස්පීඩ් එක හදාගත්තෙ එහෙමයි.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අපේ පවුලෙ ළමයි හතර දෙනාගෙන් නාහෙට නාහන දඟම ළමයා මං. අයියයි අක්කයිවත් මල්ලිවත් මං තරම් දැඟලුවෙ නැහැ. ඒ වුණත් දරු හතර දෙනෙක් එක්ක අම්මයි තාත්තයි පරිස්සමින් ජීවිතේට මුහුණ දෙන හැටි මං හොඳින් අවබෝධකරගෙන හිටියා. සති අන්තවල ගෙදර ආවම අයියයි මායි මල්ලියි රබර් වතුවල ඔට්ටුපාළු ඇහින්දා. රබර් ඇට එකතු කළා. ඉරටු ගෑවා. පොල්කටු එකතු කළා. මේ සේරම විකුණලා මුදලක් හොයා ගත්තා. අමතර පොතක් පතක් ගන්න වුණොත් වියදම් කළේ ඒ සල්ලි. ඒවා කළේ කවුරුවත් කියලා නෙවෙයි. අපිට ම හිතිලා.

ඔබට තිබුණු හීන - අරමුණු මොනවද...

පුළුවන් තරම් හොඳින් ඉගෙන ගන්න එක. දහයෙ පන්තියෙ හැම ළමයෙක් ම දිග කලිනම් අඳිද්දි මං ඇන්දෙ කොට කලිසම්. මගේ අම්මයි තාත්තයි ගුරුවරු. දවසක්, තාත්තා මාව බලන්න එද්දි නුවර ඉස්ටේෂ‍මේදි දේශපාලන පලිගැනීමකට කට්ටියක් යකඩ පොලුවලින් පහර දීලා. හය මාසයක් දැඩි සත්කාරෙ හිටියා. අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ අම්මත් ඉස්කෝලෙ ගියේ කඩින් කඩ. ගෙදර ආර්ථිකය බිංදුවට වැටිලා. දිග කලිසම් මහලා දෙනවා තියා, මගේ බෝඩින් ගාස්තු ගෙවාගන්න අම්මා ළඟ සල්ලි නැතිවුණා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් ඉගෙන ගන්නම ඕනේ. මගේ ඉලක්කය වුණේ එච්චරයි.

එහෙනම් දරාගැනීම අරපිරිමැස්ම ඔබේ ජීවිතයේ හැමදාම තිබෙන්න ඇති...

තාත්තා මාව නැවැත්වුවේ ධර්මරාජෙ කිට්ටුවම බෝඩිමක. ඒ බෝඩිමේ ළමයි 15 ක්. ඒ හැමෝටම හවුලට හරි කාමරයක් ඇඳක් තිබුණා. ඒ ඇඳට මෙට්ටෙකුත් තිබුණා. ඒත් මං හිටියෙ ගේ ඇතුළෙ පැසේජ් එකක. එතැන කාමරයක් කළේ අකුලන්න පුළුවන් රෙදි ස්ක්‍රීන් එකකින් වටකරලා. අනෙක් ළමයි ඇඳන්වල නිදාගනිද්දි මට තිබුණෙ බූරු ඇඳක්. අනෙක් ළමයි පාඩම් කරන කල් විතරයි මටත් වෙලාව දුන්නෙ. රෑ නවය වෙද්දි ලයිට් නිවනවා. ස්ක්‍රීන් එකකින් වටකරපු තැනක් නිසා, මට ලයිට් එකක්වත් නැහැ. ගෙයි සාලෙ ලයිට් එක දැම්මොත් තමයි මට එළිය එන්නෙ. ඒත් මගෙත් වරදක් තිබුණා. තාත්තා ඔත්පළ වෙලා. අම්මා ළඟ සල්ලි නැහැ. ඉතින්, මගේ බෝඩින් ගාස්තු කවදාවත් වෙලාවට දෙන්න ලැබෙන්නෙ නැහැ.

එතකොට අරපිරිමැස්ම...

සති දෙකකට සැරයක් ගෙදර ගියා ම, වියදමට අම්මගෙන් රුපියල් දහයක් ලැබෙනවා. බෝඩිමට ඇවිත් මං ඉස්සරවෙලාම කරන්නෙ එකයි හැත්තෑපහක් දීලා ලාම්පුතෙල් බෝතලයක් ගන්න එක. ඒ, බෝඩිමේ නවයට ලයිට් නිවපුවම කුප්පි ලාම්පුව පත්තු කරගෙන පාඩම් කරන්න ඕ‍ෙන නිසා. ඊට පස්සෙ මං ඊළඟ දෙසතියම පිරිමහ ගත්තේ අර රුපියල් දහයෙන් ඉතුරු සල්ලි ටික. සත විසිපහේ බස් ගාස්තුව ඉතුරු කරගන්න, කිලෝ මීටර් තුනහතර අනන්තවත් මං පයින් ගිහින් ඇති.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

මං මුලින් ම රස්සාවක් කළේ විශ්වවිද්‍යාලෙ පටන්ගන්න කල් ගෙදර හිටි කාලෙ. DSI එකේ ස්ටෝර්ස් ක්ලාක්. ඊට පස්සෙ විශ්වවිද්‍යාලෙ පටන් ගත්තා. ඒත් වරින්වර වහනවා. ඊළඟට මං ග‍ෙම් කඩයක් කළා. හොඳට දියුණු කළා. ආපහු විශ්ව විද්‍යාලෙ පටන් ගන්නකොට මට මෝටර් සයිකල් දෙක තුනක් ම තිබුණා. අයියට කඩේ බාර දීලා මං විශ්වවිද්‍යාලෙ ගියා. ආයෙ වහපුවම ඇවිත් අක්කගෙ මහත්තයාගෙ බස් එකේ කොන්දොස්තර වැඩේ කළා. ඊළඟට ටුවරිස්ට් ගයිඩ් රස්සාව කළා. මම ටුවරිස්ට් බෝඩ් එකේ ලයිසන් සහිත ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. දවසට රුපියල් ලක්ෂෙ හම්බ කරපු දවස් තිබුණා. ඒ රස්සාව නිසා අන්තිමට මං විශ්වවිද්‍යාලයට යද්දි කාර් දෙකතුනක අයිතිකාරයෙක්.

ඉංජිනේරු උපාධියට සරිලන රස්සාවක් ලැබුණද...

DSI ඉංජිනියර් එකේ රස්සාවක් ලැබුණා. ටික කාලයක් මං එතැනින් අයින් වුණා. මං ආපහු රස්සා හොයන්න පටන් ගත්තා. ඇවිදිමින් ගිහින් කොටුවෙ බ්‍රිස්ටල් බිල්ඩිම ළඟ නැවතුණා. එතැන ඉදිකිරීමක් කරනවා. මං රස්සාවක් ඇහුවා. තිබුණෙ සුපවයිසර් වැඩක්. ඉංජිනේරු උපාධිය අතේ තියාගෙන මං ඒ සුපවයිසර් රස්සාව බාර ගත්තා. ගියේ සුපවයිසර් වුණාට සයිට් ඉංජිනියර් විදියටත් වැඩ කළා. ඒත් මට ගෙවපු රුපියල් තුන්දාහෙ පඩියට එක රුපියලක්වත් වැඩි කළේ නැහැ. එහෙමයි කියලා හොර වැඩ කළෙත් නැහැ. මං කොන්ක්‍රීට් මික්චර් සමාගම් දෙක තුනකට කතා කළා. ‘ඔය කොන්ක්‍රීට් අතුරන වැඩවලට කට්ටිය ඕ‍නෙ නම් කියන්න...’ ඒ කාලෙ එහෙම අමතර අවස්ථාවන් ඕනෙ තරම් තිබුණා. මං දන්න කියන බාස් උන්නැහේලා කණ්ඩායමක් හදාගත්තා. රස්සාවට අමතරව පොඩි පොඩි කොන්ත්‍රාත් පටන් ගන්න ගත්තා. කම්බි නැමුවා, සිමෙන්ති දැම්මා. අවශ්‍යතාව අනුව මාත් ඕනෑම වැඩක් කළා.

ඒ කියන්නෙ, ඉංජිනේරුකම පැත්තක තිබෙද්දී ඔබ කොන්ත්‍රාත් කළා...

ඔව්. ඔය කාලෙ වෙන‍කොට මං විවාහ වෙලා. ගමේ ගේ හැදුවෙ, ළඟ තිබුණු කාර් වෑන් ඔක්කොමත් විකුණලා. මට ඕනෙ දැන් ‘ඩොක්ටර් සනී’ කාර් එකක් ගන්න. මං හුඟක් මහන්සියෙන් වැඩ කළා. මගේ වැඩ දන්න, අපි එක්ක වැඩ කරපු කොන්ක්‍රීට් මිශ්‍ර සමාගමක් මට ඒ ආයතනයේ ඩිරෙක්ට කෙනෙක් හැටියට එන්න කිව්වා. මම ගියා. බොහොම වැටිලා තිබුණු ඒ කොම්පැනිය මං හොඳ තැනකට ගෙනාවා. ඒත් මගේ අවශ්‍යතාවකදි ඔවුන් දක්වපු ප්‍රතිචාර අනුව මං ‍ෙත්රුම් ගත්තා මෙච්චරකල් මං විකිණිලා විතරයි කියලා. ‘දැන් හොඳටම ඇති! මේ වගේ මිනිස්සු ළඟ මං ආයෙ වැඩ කරන්නෑ!’ මං තීරණයකට ආවා.

මොනවද ඔබ කළේ...

සන්කෙන් ලංකා සමාගමට ගිහින් කතා කළා. ඔවුන් මට ඉඳුරුව බීච් හෝටලයේ කම්බි නවන කොන්ත්‍රාත්තුවක් දුන්නා. කම්බි කිලෝඑකක් නවන්න රුපියල් එකයි පනහයි. මං ‘හා!’ කිව්වා. බාස්ලා තුන්දෙනකුත් අරන් මං වැ‍ෙඩ්ට අතගැහුවා. රබර් ලෑලි දාපු පොල් අතු මඩුවක අපි රෑට නිදාගත්තෙ. ටිකෙන් ටික මං ලේබර් පිරිස 50 දක්වා හදා ගත්තා.

ජීවිතයේ වැටෙන අවස්ථාවල ඔබ හිතන්නෙ මොනවද...

ඊට ව‍ඩා හොඳින් ආපහු නැඟිටින විදිය. ඔය කම්බි නවන කොන්ත්‍රාත්තුව කරන කාලෙම තව හොඳ කොන්ත්‍රාත් එකක් මට ලැබුණා. ඒක අපි එක්කම වැඩ කරපු සමහර කොන්ත්‍රාත්කරුවන්ට දරා ගන්න බැරිවුණා. එක දවසක් රෑක මගේ බාස්ලා පොල් අතු මඩුවෙ නිදා ඉන්නකොට ගඩොල්වලින් ගහලා බාස්ලා පණස් ගාණටම තුවාල කරලා, මරනවා කියලා බයත් කරලා. ඒ මිනිස්සු යන්න ගියා. මගේ කොන්ත්‍රාත්තුවත් ඉවරයි. ඔහොම සිදුවීම් මේ ගෙවුණු ජීවිතයේ මං සිය ගණනක් පහු කරලා ඇති.

එතකොට ආපහු නැගිට්ටේ...

කොන්ත්‍රාත්වලින්මයි. මං නිකම් හිටියෙ නැහැ. කොන්ත්‍රාත් හොය හොයා ගියා. බියගම ඇන්කර් ෆැක්ටරියෙ කානු හදන වැඩේ මට ලැබුණා. මාස අටක් ඇතුළත මං ආපහු මිනිස්සු 120 ක් දක්වා වැඩි කර ගත්තා. ඔය වැඩේ ඉවර වුණාම තව එකක් ලැබුණා. ඊට පස්සෙ තව එකක්. මොන බාධකේ ආවත් මං කොන්ත්‍රාත් අත්හැරියෙ නැහැ.

එතකොට ඔබ, ඔබේ සමාගම අරඹන්නේ...

1996 නොවැම්බර් මාසෙ. ඒ කා‍ෙල මං තරමක් ඔළුව උස්සලා. මං හිතුවා මේක තමයි වෙලාව. මගේ නමින් R අකුරත් මල්ලිගෙ නිශාන්ත නමින් N අකුරත් අරගෙන තමයි ‘RN කන්ස්ට්‍රක්ෂන්ස්’ නම හැදුවේ.

අද මේ සමාගම තිබෙන්නේ කොහොම තැනෙකද...

1996 පටන් අරන් 2005 වෙන‍කොට, ඉදිකිරීම් සමාගමකට යා හැකි ඉහළ ම කැටගරිය වන M1 ලෙවල් එකට එන්න අපිට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, 2006 දී පළමු වතාවට ලංකාවෙ විශිෂ්ටතම ගොඩනැගිල්ල විදියට යකඩ ගොඩනැගිල්ලක් ICTAD සම්මාන ලැබුවා. ඒ, සීතාවක අපි හදපු ‘ඔරිට් ඇපරල්ස්’ කර්මාන්තශාලා ගොඩනැගිල්ල. එතැන් පටන් අද දක්වා කොන්ක්‍රීට්, යකඩ.... මේ ඕනෑ ම අමුද්‍රව්‍යයකින් අපි හැදූ දැවැන්ත ඉදිකිරීම් වෙනුවෙන් සම්මාන සහතික සිය ගණනක් අපි ලබලා ඇති.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

මට දරුවො පස් දෙනෙක්. ලොකු දුව සුනෙලි. වයස 21 යි. එයා දැන් ට්‍රේනි කෙනෙක් විදියට මෙහෙ වැඩ. ඊළඟට ඉන්නෙ සනුල. වයස 13 යි. නෙතුලට 12 යි. තුන්වැනියා මනුල පුතා, වයස 8 යි. බාලයා රුතිල. වයස 5 යි. එකම දුවයි, ඉලන්දාරි හතරයි. දරුවො දහයක් හිටියා නම් ඒත් ආසයි. මගේ දරු පස්දෙනාට මං හොඳ යාළුවෙක්. මගේ වයිෆ් එරන්ති. උපාධිධාරිණියක්. කොන්ටිටි සර්වේ කෙනෙක්. අද සියල්ලෙන් ඈත්වෙලා දරුවො වෙනුවෙන් කැපවෙලා. අපි පවුලක් හැටියට ටෙනිස් ගහනවා. දරුවො මාෂල් ආට්ස්, මියුසික් හැමදේම කරනවා. මගේ දරුවො පස්දෙනා විතරක් නෙවෙයි, මල්ලිගෙ දරුවො හය දෙනාත් මේ හැමදේම අපි එක්ක කරනවා.

වස්තුව දේපළ... මේ සියල්ල ඔබට ලැබුණෙ වාසනාව නිසාද...

නැහැ. මං හුඟක් මහන්සිවෙලා දුක් විඳගෙන ගත්තු ඉංජිනේරු උපාධිය නිසා. අද වෙනකල් මට පිහිට වුණේ මගේ ඒ ඉංජිනේරු දැනුම. මගේ ව්‍යාපාර හය පිළිබඳවම මං දැනුවත්. මැනුෆැක්චරිස්වලදි යකඩ ද... කොන්ක්‍රීට් ද... මොන පදනමින් හදන අලුත් නිෂ්පාදනයක් ද, ඒ ගැනත් මං දැනුවත්. ඒ හැම තැනකම මං ඉන්නවා. කැපවීමේ මහන්සියෙ ප්‍රතිඵල මිස, මේ කිසි දෙයක් වාසනාව කියලා ඉබේ ලැබුණු දේ නෙවෙයි.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්