පාසල් රිය හිමියන්ට ශක්තියක් වන ‘රිය ශක්ති’ | Page 2 | සිළුමිණ

පාසල් රිය හිමියන්ට ශක්තියක් වන ‘රිය ශක්ති’

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය වැඩසටහන’

රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන - හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහනක් වන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ සහන පොලී ණය වැඩසටහන සමාජයේ විවිධ මට්ටම් නියෝජනය කරන ජනතාවට තම බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම සදහා මහත් වූ අස්වැසිල්ලක් වී තිබේ.

සහන ණය යෝජනා ක්‍රම 16 කින් සමන්විත ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ මෙම රජයේ පොලී සහනාධාර වැඩසටහන යටතේ ජනතාවට අවශ්‍ය සහන පොලී ණය මුදල් මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු විසින් මේ වන විටත් ලබා දෙන අතර තමන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීම සදහා මෙතෙක් රජයේ බැංකු වෙත ඒමට මැළිකමක් දැක්වූ ජනතාව පවා ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ තමන් බලාපොරොත්තු වන ණය මුදල් ඉල්ලුම් කිරීම සදහා පෙලෙඹී තිබේ. විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද අනෙකුත් ණය යෝජනා ක්‍රම වලට සාපේක්ෂව මෙම ණය ලබා දීමේ ක්‍රියාවලිය සරල හා නම්‍යශීලී එකක් වීමද මේ සදහා ජනතා උද්යෝගය වැඩි වීමට හේතුවක් වී තිබේ.

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ මෙම සහන ණය ලබා දීමේදී මෙරට ක්‍රියාත්මක පාසල් බස් රථ හා වෑන් රථ හිමියන් නගා සිටුවීම සදහාද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ අනුව එම ක්ෂේත්‍රය නගා සිටුවීම සදහා ‘රිය ශක්ති’ නමින් සහන පොලී ණය යෝජනා ක්‍රමයක්ද හදුන්වා දීමට පියවර ගැනුණි.සමස්ත ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක් අනූව මෙම ‘රිය ශක්ති’ සහන පොලී ණය යෝජනා ක්‍රමය හදුන්වා දීමට රජය තීරණය කර ඇති අතර එය බොහෝ දෙනෙකුගේ අගය කිරීමටත්, පැසසුමටත් ලක්ව ඇත.

මෙරට ප්‍රවාහන සේවාව තුළ පාසල් දරු දැරියන් සදහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන පාසැල් බස් රථ හා වෑන් රථ සදහා සුවිශේෂී ස්ථානයක් වන අතර මේ වන විට මෙරට පාසල් පද්ධතිය තුල අධ්‍යාපනය හදාරන ලක්ෂ 43 කට ආසන්න ශිෂ්‍ය පිරිස අතරින් සැළකිය යුතු දරු දැරියන් පිරිසක් සිය ප්‍රවාහන මාධ්‍ය ලෙස පාසල් බස් රථ හා වෑන් රථ භාවිතා කරන බව තහවුරු වී ඇත.මෙයින් බස්නාහිර පළාත නිදසුනක් ලෙස ගතහොත් පාසල් බස් හා වෑන් සිය ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදා ගන්නා ශිෂ්‍ය පිරිස 7.3% ක් පමණ වෙතැයි සදහන් වේ.

කෙසේ වුවත් මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පවත්වා ගෙන යන පාසල් බස් හා වෑන් රථ සිය මෙහෙවර පවත්වා ගෙන යන්නේ විවිධ බාධක හා අවහිරතා මධ්‍යයේ බව එම සේවාවන් හී නිරත වන්නෝම පවසති. මේ වන විට මෙරට තුළ සිය ප්‍රවාහන කටයුතු සිදු කරන බොහෝ පාසල් බස් හා වෑන් රථ ධාවනයට නුසුදුසු තත්ත්වයන් හී පවතින බව මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණ රැසකින්ද හෙළි වී තිබේ.

මේ ආකාරයට ධාවන තත්ත්වයේ නොමැති පාසල් බස් රථ හා වෑන් රථ තවදුරටත් සිසු සිසුවියන් ප්‍රවාහනයේ යෙදීම එම සේවාවේ ගුණාත්මක තත්ත්වය පළුදු කිරීම සදහා සෘජුවම බලපායි.නොසැලකිලිමත් හා අවිධිමත් ලෙස මෙම සේවාවන් පවත්වාගෙන යාම නිසා අනතුරු රැසක් සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිය ප්‍රවාහන මාධ්‍ය ලෙස මෙම බස් රථ හා වෑන් රථ යොදා ගත් සිසු සිසුවියන් රැසකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණු අවස්ථා රැසක් පිළිබදවද පසුගිය කාලය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ අසන්නට,දකින්නට ලැබුණි.

‘රිය ශක්ති’ සහන ණය යෝජනා ක්‍රමය හදුන්වා දී එය ජනගත කිරීමේදී පාසල් බස් රථ හා වෑන් රථ කර්මාණ්තය මේ වන විට මුහුණ දී සිටින මේ කණගාටුදායක තත්ත්වය පිළිබදවද විශේෂයෙන් සලකා බලා ඇති බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි. ඒ අනුව වඩා ඵලදායී සහ සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සදහා මෙම සහන පොලී ණය හදුන්වා දුන් අතර මෙමඟින් පාසල් ළමුන් සඳහා වඩාත් ආරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් ලබා දීමට හැකි වෙතැයි අපේක්ෂා වී තිබේ.

පාසල් ප්‍රවාහන වෑන් රථ හිමියන් දැනට භාවිතා කරනු ලබන යල් පැන ගිය හා අබලන් වූ බස් හා වෑන් වෙනුවට අවම වශයෙන් ආසන 28 ක් සහිත නවීන මාදිලියේ, පහසුකම් සහිත බස් රථ අලුතෙන් මිලදී ගැනීමට මෙම ණය මගින් දිරි ගැන්වෙන අතර පාසල් වෑන් රථ හිමියෙකුට රුපියල් මිලියන 4 ක (රුපියල් ලක්ෂ හතළියක) උපරිමයකට යටත්ව ඒ සදහා ණය මුදල් දීමට පියවර ගෙන ඇත.

ණය ආපසු ගෙවීම සඳහා වසර 5 ක කාලයක්ද ලබා දෙන අතර මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනය කර ඇත්තේ ‘රිය ශක්ති’ සදහා අය කෙරෙන පොලිය 3.38%ක් පමණක් බවයි. මෙහිදී ණය සඳහා ගෙවිය යුතු පොලියෙන් සියයට 75 ක් (¾ ක්) රජයෙන් ගෙවනු ලබන අතර ණය ලබා ගන්නා පුද්ගලයා ගෙවිය යුත්තේ දැනට පවතින පොලී අනුපාතයෙන් 1/3 ක් පමණි.

නවීන මාදිලියේ, පහසුකම් ඇති පාසල් බස් රථ මිලදී ගන්නා පාසල් බස් රථ හිමියන් සදහා පොලී සහනාධාර ලබා දීමට පමණක් 2018 වසර වෙනුවෙන් රජය රුපියල් මිලියන පනහක මුදලක් වෙන් කර ඇති අතර මෙම ණය යෝජනා ක්‍රමය සමග අත් වැල් බැද ගනිමින් සිය කර්මාන්තය රැක ගැනීමට දැනටත් එම කර්මාන්තයේ නිරත බස් රථ හිමියන් උනන්දු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව බොහෝ පිරිසක් මේ වන විටත් ‘රිය ශක්ති’ ණය පහසුකම් ලබා ගැනීම සදහා අදාල බැංකු වෙත ඉල්ලුම් කර ඇතැයි පැවසෙන අතර දැනටමත් සුදුසුකම් සැපිරූ අය වෙත එම ණය මුදල් ලබා දීමට එම බැංකු මගින් කටයුතු යොදා තිබේ. ඉදිරියේදී තවත් අය වෙත එම ණය ලබා දෙනු ඇති අතර අලුතෙන් මෙම ක්ෂේත්‍රයට එක් වීමට බලාපොරොත්තු වන අය සදහාද පාසල් බස් රථ සංගම් හී එකගත්වය මත අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට එම බැංකු විසින් කටයුතු යොදා ඇත.

‘රිය ශක්ති’ මෙම සහන පොලී ණය යෝජනා ක්‍රමය නිසා සුවපහසු ලෙස තම ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට මෙතෙක් පාසල් බස් හා වෑන් භාවිතා කළ දරු දැරියන්ට පමණක් නොව තම ප්‍රවාහන අවශ්‍යතා සදහා මෙතෙක් විකල්ප ක්‍රම භාවිතා කළ දරු දැරියන් විශාල පිරිසකටද නිසැකවම අවස්ථාව උදා වනු ඇත.

ඒ අනුව මෙරට පාසල් බස් රථ කර්මාණ්තයේ නැවුම්, හැරවුම් ලක්ෂ­්‍යයක් සනිටුහන් කිරීමට මෙම ‘රිය ශක්ති’ සහන පොලී ණය යෝජනා ක්‍රමයට හැකියාව ලැබෙනු නියතය.

Comments