රජරට දරු පැටවුන්ටත් වකුගඩු අපලය | Page 2 | සිළුමිණ

රජරට දරු පැටවුන්ටත් වකුගඩු අපලය

ප්‍රෞඩ ඉතිහාසයකට උරුකම් පාන රජරට ප්‍රදේශය කාලයෙන් කාලයට බරපතළ ගැටලුවලට මුහුණ දෙන්නේ අතීතයේ පටන්ය. දුර්භික්ෂ, මැලේරියා වසංගත, සතුරු ආක්‍රමණ වැනි විවිධාකාර උපද්‍රවවලට මුහුණදුන් රජරට ජනතාව මේ වන විට මුහුණපා ඇති දරුණුම අභියෝගය වකුගඩු රෝගය යි. මෙහි ඇති වඩාත්ම ඛේදජනක තත්වය වන්නේ රජර‍ට ප්‍රදේශයේ පාසල් ළමයින්ගෙන් 8% - 10% ක් අතර පිරිසක් වකුගඩු රෝගයේ මුල් අවදියේ පසුවීම යි. ඒ බව අනාවරණය වූයේ මහාචාර්ය චන්න ජයසුමන කළ පරීක්ෂණයකිනි. රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුර වකුගඩු රෝගින් වීම ර‍ටකට ශුභදායි නොවේ. පාසල් ළමයින්ගෙන් 8%- 10% ක් අතර ප්‍රමාණයක් වකුගඩු රෝගයේ මූලික ලක්ෂණ පළ කිරීම සම්බන්ධයෙන් අනාවරණය කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඒ පිළිබඳව විමසුවේ එබැවිනි. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, මහාචාර්ය සුනෙත් අගම්පොඩි, වෛද්‍ය අමරසිංහ සහ ආර්. නාඔටුන්න මෙම පරීක්ෂණයේ සෙසු පාර්ශ්වකරුවෝ‍ වෙති.

මෙම පරීක්ෂණයට උතුරුමැද පළාතේ පාසල් 67 ක දරුදැරියෝ 2880 ක් තෝරා ගනු ලැබූහ. එනම් අනුරාධපුර, දිඹුලාගල, කැබිතිගොල්ලෑව, හිඟුරක්ගොඩ සහ පොලොන්නරුව යන අධ්‍යාපන කලාපවල පාසල් දරුදැරියෝ ඊට අයත් වූහ.

5වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලැබූ දරුවන් 2880 දෙනකු අතරින් පරීක්ෂණය සඳහා පිරිමි දරුවෝ1453 ක් ද ගැහැනු දරුවෝ 1412 ක් ද තෝරා ගනු ලැබූහ. ඊට සිංහල දරුවෝ 2298 ක්ද මුස්ලිම් දරුවෝ 387ක් ද දමිළ දරුවෝ4 ක් ද අයත් වෙති.

“අපිට දරුවන් 2880 ම පරික්ෂණයට සහභාගි කර ගන්න පුළුවන් වුණේ නැහැ. මොකද පැයකට වඩා ක්‍රීඩාවක නිරත වීම, උණ රෝගයෙන් පෙළීම, මාසික ශුද්ධවීම සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම යන කාරණා හතරට ඇතුළත් දරුවන්ව පරීක්ෂ‍ණයෙන් ඉවත් කරන්නට සිද්ධ වුණා. ඒ දරුවන්ගේ මුත්‍රා සාම්පල් වෙනස් වීමෙන් අපට නිවැරදි දත්ත ලබා ගන්න බැරිවෙන නිසයි අපි එහෙම කළේ”. යනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන පැහැදිලි කළේය.

මෙම පරීක්ෂණයට සහභාගි වූ දරුදැරියන්ගේ මුත්‍රා සාම්පල් පරීක්ෂා කර බැලීමේදී ඇතැම් සාම්පල්වල වකුගඩු රෝගීන් මුල් අවදියේ පිට කරන ප්‍රෝටීන් අඩංගු වී තිබිණි. එය දරුවන්ගෙන් 8% - 10% ත් අතර ප්‍රමාණයක් විය. අනාගත වකුගඩු රෝගින් බිහි වීමේ ප්‍රබල අවදානම මතු වන්නේ එතැන් සිට ය.

දිනෙන් දින ඉහළ යන රජර‍ට වකුගඩු රෝගින් අනාගත පරපුර පාසල් දරුවන්ගෙන් ප්‍රකට වීම රටක බරපතළ තත්වයකි.

මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීමෙන් උතුරුමැද පළාතේ ජනතාව පමණක් නොව දරුදැරියන් ද වකුගඩු රෝගයට ගොදුරුවන බවය. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන මහාචාර්ය චන්න ජයසුමන, උතුරුමැද පළාතේ ගොවිතැනින් ජීවත්වන ජනතාව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වකුගඩු රෝගීන් බවට පත් වීම රටේ සංවර්ධනයට කිසි සේත් හිතකර නොවන බව සඳහන් කළේය.

“මධ්‍යම ඇමෙරිකා‍වේ එක්සැල්වදෝර් සහ නිකගුරුවා යන රටවල්වලත් අපේ වගේම මේ ප්‍රශ්නය තිබුණා. කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීමෙන් ඒ රටවල්වල වැඩිහිටියන් වකුගඩු රෝගයට ගොදුරු වුණා.

ඊට පස්සේ පාසල් යන වයසේ දරුවන් වකුගඩු රෝගින් වුණා. දැන් අපේ රටෙත් ඒ තත්වය ඇතිවෙලා. බලාගෙන ගියාම ඒ රටවල්වලත් අපෙත් ප්‍රශ්නය එක සමානයි. දියුණු වෙමින් පවතින රටවල්වලට මෙය හොඳ දෙයක් නොවෙයි”. යනුවෙන් මහාචාර්ය චන්න ජය‍සුමන පැවසීය.

දරුවන් යනු රටක අනාගතය භාර ගන්නා සිටින පිරිසය ය. ඔවුන්ගෙන් යම් ප්‍රමාණයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බව මේ වන විට හෙළිදරව් වී ඇත.

දියවැඩියා දරුවන් හැර සෙසු දරුවන් අපට එයින් මුදා ගත හැකිය. ඒ, දරුදැරියන්ගේ කෑම බීම පාලනය කිරීමෙන් හා ව්‍යායාමවල නිරත කරවීමෙනි. නමුත් කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රවන ජලය නිසා වකුගඩු රෝගයට ගොදුරුවන දරුවන් ඉන් ගලවා ගන්නේ කෙසේද ?

පාසල් දරුවන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දී තිබේ. මෙය රජය විසින් අවධානය යොමු කළ යුතු කාරණයකි. දරුවන් රෝගි වීමෙන් රටේ අනාගත ශ්‍රම බළකාය පහත වැටේ. එය රටක ඵලදායිතාවට සහ කාර්යක්ෂමතාවට සෘජුව බලපානු ඇත.

එමෙන්ම රෝගින් වෙනුවෙන් රජය විසින් දරන වියදම සුළුපටු නැත. එය රටක සංවර්ධනයට බාධාවක් නොවන්නේද?.

දැනට හඳුනාගෙන සිටින උතුරුමැද පළාත් වකුගඩු රෝගයේ මුල් අවදියේ පසුවන පාසල් දරුවන් ගැන දිගින් දිගටම සොයා බලමින් පිරිසුදු වතුර සහ පෝෂ්‍යදායි ආහාරපාන ලබා දීමෙන් එම දරුවන්ගේ රෝගි තත්ත්වය පාලනය කර ගත හැකි බව මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.

එහෙත් රෝග පාලනයට වඩා රටකට වටින්නේ රෝග නිවාරණයයි. මේ සඳහා ජාතික වැඩ පිළිවෙළක අවශ්‍යතාව දැන් පැන නැගී ඇති බැවින් නොපමාව ඊට විසඳුම් ලබා දීමට ඉදිරිපත් වීම රජයේ වගකීමකි.

අදහස්