තෙල් මිල සූත්‍රය සහ එයින් උගත් පාඩම | සිළුමිණ

තෙල් මිල සූත්‍රය සහ එයින් උගත් පාඩම

ඉන්ධන මිල ගණන් නැවත වතාවක් මිල සංශෝධනය කර තිබේ. එය වත්මන් ආණ්ඩුව අනුගමනය කරන මිල සූත්‍රයට අනුව ය. කැබිනට් මණ්ඩලය මෙරට මුහුණ දී ඇති ආර්ථික ස්වභාවය ගැන ගැඹුරින් සලකා බලන ලද අතර ණයගැති භාවය දුරු කර සමාජ අභිවෘද්ධිය ඇති කරනු අරමුණු කරගෙන යෝජනා කරන ලද මිල සූත්‍රය අනුගමනය කරන්නට පසුගිය මැයි මාසයේ දී තීරණය කළේ ය.

වරින් වර උච්චාවචනය වන ඛනිජ තෙල් මිල ලෝකයේ ඕනෑ ම රටකට බරපතළ ප්‍රශ්නයකි. මෑතක් වන තුරු අඩු මිල ගණන්වලට තිබුණ බොරතෙල් මිල ඉහළ නගිමින් තිබේ. නොයෙක් රටවල පවතින අයහපත් කාලගුණය හා බලශක්තිය වැඩිපුර පාවිච්චිය එයට එක හේතුවකි. ඉන්දියාව නොබෝදා තෙල් මිල වැඩි කරන ලද අතර ජනතාව දින ගණනක් එයට විරුද්ධ ව පාරට බැස විරෝධය පළ කළේ ය. දිල්ලියේ දේශපාලනඥයෝ පා පැදිවලින් නගරයට පැමිණි අතර කර්නාටක ප්‍රාන්තයේ දී අශ්වයෝ භාවිත කරමින් විරෝධය උත්සන්න කර ඇත. සයිබිරියාවේ ප්‍රධාන නගර වල මාර්ග වාහන වලින් අවහිර කර විරෝධතා පවත්වා තිබේ. සියෙරාලියොන්, දකුණු අප්‍රිකාව, හයිටි, බ්‍රසීලය යන රටවල් ද ඉන්ධන මිල හෙයින් ඇවිළුණ සටන් වලින් උණුසුම් විය. මෙක්සිකෝවේ ගැටුම් නිසා සිය ගණනක් තුවාල ලබා සිවු දෙනකු මරුමුවට පත් විය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් බල පවත්වන මිල සූත්‍රය ජනතාවට යම් අපහසුතා ඇති කරන නමුත් වෙනත් විකල්පයක් නැත. පාඩුව භාණ්ඩාගාරයට බැර කර පසු ව අතිරේක පොලියක් සහිත ව ජනතාවගෙන් ම අය කරන බදුවලින් පියැවීම විශාල ආර්ථික අකාර්යක්ෂමතාවක් බව විශේෂඥයෝ පෙන්වා දී ඇත. සම්මත ක්‍රමයකට අනුව අය කිරීමට තීරණය කරන්නේ ඒ අනුව ය. මිල සූත්‍රය එක ම විකල්පය නො වේ. ලෝකයේ වෙනත් රටවල් බලශක්ති භාවිතය පිළිබඳ අලුත් ප්‍රවණතා කෙරෙහි නැඹුරු වෙමින් සිටී. අපට ද එවැනි ප්‍රවේශයකට යා හැකි ය. එහෙත් ආයෝජනයට ධනය සීමිත අවස්ථාවක රාමුව වෙනස් කිරීම ඉක්මණින් කළ හැකි දෙයක් නො වේ.

ඉන්ධන මිල සූත්‍රය රටට අලුත් දෙයක් නො වන බව ද දැක්විය යුතු ය. 2002 වසරේ සිට 2003 අවසාන කාලය දක්වා ඉන්ධන මිල සූත්‍රය මෙරට බලගැන්වී තිබිණි. පසු ව බලයට පත් ආණ්ඩුව එය නතර කරන ලද අතර වක්‍ර බදු පැනවීම මගින් අලාභ පාලනය කළේ ය. ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් මිල අඩු අවස්ථාවල එහි වාසිය ජනතාවට අහිමි වූ අතර, පැරණි පාඩු සහ බැංකු පොලිය පියවා ගන්නා තෙක් ඉහළ මිල මට්ටමක පවත්වාගෙන ගියේ ය. 2012 වසරේ රැපියල් බිලියන 55 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කර තෙල් ණය පියවා ඇත.

මහජනතාවගේ බදු

වත්මන් ආණ්ඩුව මිල සූත්‍රය යෝජනා කරන අවස්ථාව වන විට 2017 වසරේ දී රුපියල් බිලියන 217 ක හා 2018 වසරේ මාස හතරක් තුළ රුපියල් බිලියන 18 ක පාඩුවක් තෙල් සංස්ථාව වාර්තා කර තිබිණි. මේවා මෙම වේගයෙන් තව තවත් වර්ධනය වීමට ඉඩ හැර එහි බර අවසානයේ දී භාණ්ඩාගාරයෙන් ගෙවීම කළ හැකි දෙයකි. එහෙත් භාණ්ඩාගාරයට එකතුවන ධනය මහජනතාවගේ බදු බව අමතක කළ යුතු නැත. මෑතකදී සංශෝධනය කරන ලද වැට් හා උපයන විට ගෙවීමේ බදු දැනටමත් ජනතාව අපහසුවට පත් කර තිබේ. එවැනි පසුබිමක තෙල් ආනයන පිරිවැය පියැවීමට තවත් බද්දක් එකතු කිරීම දුෂ්කර ය. කෙලින් ම ජනතාවට පැවරීම එයට වඩා සාධාරණ තත්ත්වයකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ අනුව මෙරටට ආනයනය කරන ඉන්ධන වලින් සියයට හැත්තෑවක් ඉහළ ආදායම් මට්ටමක ජීවිත ගත කරන සියයට තිහක ජන කොටසක් පරිහරණය කරන බව නීරීක්ෂණය කළ හැකි විය. සියයට හැත්තෑවක බහුතර ජන කොටසක් සිය වක්‍ර බදු ඉහළ පැලැන්තියේ ජනතාවගේ සුඛ විහරණය සඳහා ගෙවමින් සිටියේ ය. මිල සමාන කර සියලු ම දෙනා එක මිලක් ගෙවන මට්ටමකට පත් කිරීම හැර විකල්පයක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිල සූත්‍රය ගැන ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වමින් අනාවරණය කළ කරුණක් ද සිහිපත් කළ යුතු ය. ඉන්ධනවලට ගෙවන සහනය නතර කළහොත් එම මුදල මෙරට වැව් 20,000 ක් ප්‍රතිසංස්කණයට වියදම් කළ හැකි අතර, එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 178 බැගින් බෙදා දිය හැකි බව කියා සිටියේ ය. ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ පියවා ගෙන රජයේ අය වැය හිඟය පාලනය ඉන්ධන මිල සූත්‍ර යෝජනාවේ අරමුණ විය. පුරවැසියන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට සහන සැලසීම ආණ්ඩුවක වගකීමකි.

ශ්‍රී ලංකාවට ගෙවුම් ශේෂය සම්බන්ධ අර්බුදයක් තිබේ. අපනයනයෙන් ලැබෙන ආදායම රටට අවශ්‍ය ආනයන වෙනුවෙන් ප්‍රමාණවත් නැත. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම, සංචාරක කර්මාන්තය හා අපනයන ආදායම වේගයෙන් දියුණු කර ගත යුතු ය. ආණ්ඩුවේ ඉලක්කය වසර 2020 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 22 ක විදේශ ආදායමකි. එය සාර්ථක කරගතහොත් යම් ප්‍රමාණයකින් ආනයන අපනයන පරතරය සමබර කර ගත හැකි ය. එම ඉලක්කය සාර්ථක කරගත නො හැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලින් තාවකාලික විනිමය සංචිත ලබා ගැනීම හැර විකල්පයක් නැත.

සාර්ථක අවසානයක්

ආණ්ඩුවට සැලැස්මක් තිබේ. දෙස් විදෙස් ආයෝජන නැංවීම ය. එක පැත්තකින් විදේශීය ආයෝජන කැඳවන අතර, අනෙක් පැත්තෙන් ව්‍යවසායකත්වය නංවන වැඩ පිළිවෙළ අරඹා තිබේ. මේවායෙන් අලුතින් යමක් නිපදවන අලුත් සේවා ආරම්භ වන අවස්ථාවක රජයේ ආර්ථික තත්ත්වය වර්ධනය වෙතැ යි අපේක්ෂා කෙරේ. විනිමය ගැටලු සීමා වී ආර්ථිකය සක්‍රීය වන අවස්ථාවක ලෝක වෙළෙඳ පොළේ සිදුවන සුළු මිල වෙනස්කම් දරාගත හැකි ආර්ථිකයක් බිහිවනු ඇත. තවත් පැත්තකින් සලකන විට දුෂ්කර ආර්ථිකයක් තුළ රාජ්‍ය වියදම කළම­ෙනාකරණය කරගැනීමට ද උපාය මාර්ග අවශ්‍ය ය. අමාත්‍යංශ පිරිවැය සීමා කර ඒවායෙන් ඉතිරිකරගන්නා ධනය ආයෝජනය කර පවතින ආර්ථික රාමුව වෙනස් කරගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් පිටරටින් ආනයනය හැර අන් මඟක් නැත. එවැනි අවස්ථාවක තෙල් මිල හමුවේ අර්බුදයක බව පිළිගත යුතු ය. තෙල් මිල උත්සන්න වී රජයේ වත්කම් හීන වූ වකවානුවක පසුගිය රජය හෙජිං ගිවිසුම අත්සන් කරන ලද අතර, එය සාර්ථක අවසානයක් කරා යොමු නො කිරීමෙන් අලාභ සිදුවිය. හෙජිං හෙවත් ස්ථිර මිලක් වෙනුවෙන් තුන්වැනි පාර්ශ්වයක් මැදිහත්වීම ලෝකයේ සාමාන්‍ය සිද්ධියකි. එය සිදුවූ අක්‍රමවත් භාවය මෙරට ඛනිජ තෙල් කර්මාන්තය දුබල කරන ලද අතර, වන්දි නඩු තුනක දී විශාල ගාස්තුවක් ගෙවා අපහසුතාවෙන් වැලකෙන්නට සිදුවිය. නොයෙක් ආණ්ඩු තෙල් මිල හමුවේ අනුගමනය කරන ලද ක්‍රමවලින් පෙන්වන්නේ අවසානයේ විය හැකි තත්ත්වයයි. ජනතාව වෙත අවම බරක් එනම් ආනයන පිරිවැය හා රජයේ සම්මත බදු හැරෙන්නට අනවශ්‍ය පොලී අය නො කරන ඉන්ධන මිල ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම මිල සූත්‍රයෙහි වටිනාකමයි.

ඉන්ධන මිල සූත්‍රය හඳූන්වා දුන් 2018 මැයි මාසයේ සිට සැප්තැම්බර් 10 වැනිදා කරන ලද මිල සංශෝධනය දක්වා අවස්ථා හතරක දී මෙරට අලෙවි කරන තෙල් වර්ග මිල වැඩි කර ඇත. පෙට්‍රල් මිල රුපියල් 13 කින් හා ඩීසල් මිල රුපියල් 14කින් වැඩි වී ඇති බව දැක්වෙයි. එය පසුබිම් කරගෙන ජනතාවගේ ජීවන වියදම ඉහළ ගිය බව පිළිගත යුතු ය. ඉන්ධන මිල වැඩිවීම එදිනෙදා ජන ජීවිතයට බලපාන ප්‍රශ්නයකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යන වියදම ඉහළයාම වැළැක්විය නො හැකි ය.පාසල් ප්‍රවාහන සේවා සිය ගාස්තු සියයට පහකින් වැඩි කරන බව නිවේදනය කර තිබේ. ඔක්තෝබර් 01 දා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් නංවන බව දක්වා ඇත.

මිල සූත්‍රය

බස් ගාස්තු සියයට දහයකින් නැංවිය යුතු බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය නිවේදනය කර තිබේ. කැබිනට් මණ්ඩලය සියයට 12.5 කින් බස් ගාස්තු වැඩි කිරීම පසුගිය මැයි මාසයේ දී අනුමැතිය දුන් අතර, එය වාර්ෂිකව සිදුවන ගාස්තු සංශෝධන එකඟතාව අනුව සිදුවිය. මෙවැනි අවස්ථා මිල සූත්‍රයක බර පැති වන අතර එහි ඇති සැහැල්ලුව නො පෙනෙන පොලිය හා රජයේ අනවශ්‍ය පීඩනය ලිහිල් වීම බව සැලකිල්ලට ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් මෙට බලශක්ති භාවිතාව ගැන නව අධ්‍යයන කළ යුතු මොහොත උදා වී තිබේ. තව දුරටත් ඛනිජ තෙල් මත යැපෙන ස්වභාවය වෙනස් කළ යුතු ය. ආණ්ඩුව වසර 2040 වන විට ඉන්ධන භාවිතයෙන් වාහන ධාවනය නතර කරන ඉලක්කයක සිටී. එය මෙවර අය වැය යෝජනාවකි. රජයේ වාහන හා මගී බස් රථ විදුලියෙන් ධාවනය කරන්නට සූදානම් වෙයි. පොදු ජනතාවට හා ව්‍යාපාරික අංශ වලට සූර්ය තාප විදුලිය නිෂ්පාදනය හුරු කරමින් සිටී. සාමාන්‍ය පාරිභෝගිකයන්ට සියයට පනහක පොලී සහනාධාරයක් සහිතව සූර්ය විදුලිය කට්ටල මිල දී ගැනීමට බැංකු ණය යෝජනා ක්‍රම සකස්කර තිබේ.

පරිසර හිතකාමී වාහන

මෙවැනි යෝජනා තවත් පහසු කළ යුතු අතර ආනයනික සූර්ය කෝෂ වල බදු අඩු කර පහසු මිලට තාක්ෂණයෙන් උසස් දේ සැපයීමට පියවර ගැනීම වටී. එවිට රට තුළ ඉන්ධන භාවිතය අඩු කළ හැකි ය. මගී ප්‍රවාහනයට හා පෞද්ගලික පරිහරණයට අලුත් වාහන මිල දී ගන්නා සෑම අවස්ථාවක ම විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී වාහන ගැන හිතන්නට සමාජය නැඹුරු විය යුතු ය. කර්මාන්තපුර ආශ්‍රිතව පොදු සූර්ය තාප නිෂ්පාදනය කළහැකි ය. සමහර රටවල් ඇවිදින මංතීරුවල පවා සූර්ය කෝෂ ස්ථානගත කර තිබේ. අධිවේගී මාර්ගවල ගමන් කරනවිට වාහන ආරෝපණය වන සූර්ය බල වෙන ම මංතීරු ඉදි කර තිබේ. ශ්‍රී ලංකාව ද ආරම්භයක් වශයෙන් ඉන්ධන මිල සූත්‍රයෙහි පසුවන නමුත් ඉහළ සිට පහළට සෑම ස්තරයක දීම බලශක්තිය ගැන අලුතින් හිතන්නට අවශ්‍ය ය.

 

අදහස්