එන්.එම්. ගේ පරාජය දරාගන්න බැරිව ජේ.ආර් කම්පාවුණ හැටි | සිළුමිණ

එන්.එම්. ගේ පරාජය දරාගන්න බැරිව ජේ.ආර් කම්පාවුණ හැටි

  • 56 අන්ත පරාජයෙන් පහුවදා උදේම සිරිකොතේ ඉඳන් වැඩ පටන් ගත්තා
  • යටත් විජිත ලේකම්වරයාටත් නීති උපදෙස් දුන්නා...
  •  අගමැති කාර්යාලයට යන්න කලින් හෙළේනා ආර්යාව දැකලා ආශීර්වාද ගන්න ආවා

ඉංග්‍රීසි පාලන සමයේ ලංකාධිකරණයේ නීති ක්ෂේත්‍රයේ ඉහළට ම පත් සිංහලයකු වූ කොළඹ කුරුඳුවත්තේ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන අත්වකාත්තුමාට දාව සේදවත්තේ වලව්වේ දොන් පිලිප් විජයවර්ධන ළමාතැනීගේ දුවණිය වූ ඇග්නස් හැලන් නෝනා හාමුගේ කුසින් කුළුඳුලේ ම උපන්නේ ජූනියස් රිචඩ් දරුවා ය. ලබනා ලද මූලික ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙන් පසුව ‍එවකට කොළඹ ඇකඩමිය වශයෙන් ප්‍රකටව පැවැති රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ජයවර්ධන තරුණයා විශේෂයෙන් ම නීති ක්ෂේත්‍රය සිය ජීවිතයේ හරය බවට පත් කර ගත්තේ ය.

එය දේශපාලන පක්ෂ ක්‍රමයකින් රටේ ජනතාව භේද භින්නව නොගිය යුගයකි. ඔහු හැදෑරීමකින් යුතු දේශපාලනයකට අවතීර්ණ වී සිටියේය. ජූනියස් රිචඩ් ජයවර්ධන මැතිතුමාගේ දේශපාලන ජයග්‍රහණය එළැඹෙන්නේ එතෙක් කැලණිය ආසනය නියෝජනය කරමින් ඉංග්‍රීසි පාලනය යටතේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානත්වය දරමින් ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ඉන්දියාවේ ප්‍රථම මහ කොමසාරිස්තුමා ලෙස පත් වී යෑමෙන් හිස්වූ කැලණිය ආසනයට තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.

මේ තරුණ දේශපාලනඥයා බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම්වරයා සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල යෙදුණේ ය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී ද යුද්ධය නිමා වූ පසුව ද රටේ නිදහස පිළිබඳ ව සාකච්ඡා පැවැත්වෙද්දී ද ඩී.ඇස්. සේනානායක, ඔලිවර් ගුණතිලක යුවල වෙත අවශ්‍ය නීතිමය උපදෙස් සපයන්නට තරුණ ජයවර්ධන අධිනීතිඥවරයා කටයුතු කළේය. ‍රටේ නිදහස අනුමත වීමෙන් තිබියදී මතු වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයක් උදෙසා පක්ෂයක් නිර්මාණය කර ගැනීමට ඩී.ඇස්. සේනානායක මැතිතුමා මුල් වී වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ කුරුඳුවත්තේ රාම්කොව් මන්දිරයේදී ‘එක්සත් ජාතික පක්ෂය’ පිහිටුවා ගනිද්දී ජයවර්ධන මැතිතුමෝ එයට සුවිසල් දායකත්වයක් දැරූහ. වර්ෂ 1947 තේ අග භාගයේදී දිවුරුම් දුන් ප්‍රථම කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ඔහු ය .

සැන් ෆ්‍රැන්සිස්කෝ දේශනය

වර්ෂ 1951 සැප්තැම්බර් 6 වැනිදා ඇමරිකාවේ සැන්. ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වූ ලෝක සාමය පිළිබඳ මහා සම්මේලනය අමතා ප්‍රධාන දේශනය පැවැත්වීමට ජේ.ආර්. ජයවර්ධන ඇමැතිතුමාට ඉඩ හසර සැලසුණි.

සැන් ෆැන්සිස්කෝ සම්මේලනය පැවැත්වෙන්නට පෙර ලෝක බලවතුන්ගේ අභිප්‍රායය වූවා යැයි කියන්නේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙදි පරමානු බෝම්බ හෙළා පොළවට ම තලා පෙළා දමන ලද ජපානය තව තවත් අසරණ කර ජය පැන් බීම ය. එවන් වියරු මානසිකත්වයක සිටියවුන් වෙත නව හැඟීමක් මතු කරවමින් ‍එසේ වැටී සිටි ජපානයට නැඟී සිටීමට අත දෙමින් සාධාරණත්වයේ නාමයෙන් ජපානය වෙනුවෙන් ත්‍යාගශීලී සාම ගිවිසුමක් අත්සන් කිරීමට මඟ පාදන ලද්දේ ලංකාවේ මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් එදා කරන ලද දේශනය මඟිනි. මේ වන විට පරමානු බෝම්බ ප්‍රහාරයෙන් අතිශයින් ම අනාථ අසරණ භාවයට පත්ව සිටි ජපන් වැසියනට අනාගත බලාපොරොත්තු රැගෙන ආවේ ජේ.ආර් ජයවර්ධනයන්ගේ මේ දේශනය ය. එහි ගෞරවය ලක්වැසියනට ද ලංකාවට ද ලැබිණි. අදත් ශ්‍රී ලාංකිකයන් වෙත ඒ ගෞරවය ඒ ලෙසින්ම ලබා දීමට කෘතවේදී ජපන් ජාතිකයෝ නොපැකිලෙති.

56 පරාජය

වර්ෂ 1956 යේ මහමැතිවරණයේදී ජයවර්ධන මැතිතුමන් තම ඥාතිවරයකු ද වූ ආර්.ජී. සේනානායක මැතිතුමන් විසින් ඉහළ ම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් කරනු ලැබීය. පාලක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රින් සංඛ්‍යාව ද අටට බස්වනු ලැබීය. එදා කැබිනට් මණ්ඩලයේ එ් අංශයෙන් මන්ත්‍රිකම දිනා ගත්තේ අගමැති ජේ. ඇල්. කොතලාවල මැතිතුමා සහ ඇම්.ඩී. බණ්ඩා මැතිතුමා පමණකි.

මෙවන් අන්ත පරාජයක් තම පක්ෂයට අත්වූ දිනට පසුවදාම ජේ.ආර්. ජයවර්ධන මහතා‍ණන් කළේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයට ගොස් අලුතෙන් වැඩ පටන් ගැනීමය. එතුමෝ එදා සිරිකොතට පැමිණ සිටිනු දක්නට ලැබුණු අවස්ථාවේදී එහි සිටි සුළු පිරිසක් අතිශයින් ම මවිතයට පත් වූහ.

“අපි යළිත් අද සිට අලුතෙන් වැඩ පටන් ගනිමු” යි එතුමෝ ඔවුන් අමතා කීහ.

විධායක ජනාධිපතිකම

ජයෝන්මාදයෙන් වෙළී ගිය සිත් ඇති බණ්ඩාරනායක අගමැතිතුමාගේ මහජන රජයේ සමහර මැති ඇමැතිවරුන් කළ කී දෙයින් සුළු කලක් තුළදීම රජය මහජන අප්‍රසාදයට ලක් විණි. වර්ෂ 1956 පරාජයෙන් පසු රට පුරා එක්සත් ජාතික පක්ෂයේ පාලන බලය තහවුරු කර ගන්නට අවස්ථාවක් ලැබුණේ ද ප්‍රධාන වශයෙන් ම ජේ.ආර්. ජයර්ධන මැතිතුමාගේ කාර්යක්ෂම භාවයත් විචක්ෂණ බුද්ධි බලයත් නිසා ම ය. එය ඓතිහාසික සත්‍යයකි.

ජේ.ආර්. ජයවර්ධන සිරිමතාණන්ගේ චරිත ස්වභාවය පිළිබඳ ව සොයා විමසා බලද්දී දක්නට ලැබෙන්නේ එතුමා කිසි ලෙසකින් හෝ දේශපාලන කුහකයකු නොවන බව ය. පාලන බාරය දරා සිටින්නේ තමන්ගේ පරම දේශපාලන විරුද්ධවාදියකු වුව ද ඔහු හෝ ඇය හමුවට පැමිණි කිසියම් අර්බුදයක් නිසා එ් රජය අසරණ වූ අවස්ථාවේදී පක්ෂ භේදයක් නොසලකා රට වෙනුවෙන් එ් අර්බුදය විසඳා ගැන්ම උදෙසා රජයට තම සහය දෙන්නට ඉදිරිපත් වූයේ ය. වර්ෂ 1971 දී සිදුවූ කැරැල්ලේදී එවකට ලංකාවේ අගමැති පදවිය දරමින් සිටි සිරිමා‍වෝ මැතිණියට එ් අවස්ථාවට මුහුණ දීම සඳහා එතුමෝ උපකාර කළහ.

වර්ෂ 1977 මැතිවරණය එළැඹි විට ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායක තුමා විසින් මහ මැතිවරණය උදෙසා තම පක්ෂයේ අපේක්ෂකයන් වශයෙන් 60% ක් ම අධි නීතිඥවරුන් තෝරා ගන්නා ලද්දේය. ජයවර්ධන නායකතුමාගේ එම ක්‍රමය අතිශයින් ම සාර්ථක විය.

අන්තිමේ වර්ෂ 1977 ඡන්ද ප්‍රතිඵලය වූයේ නියමිත ආසනවලින් හයෙන් පහක් ම දිනා එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගැනීම ය. දිනාගත් ආසන ප්‍රමාණය 144 කි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන ප්‍රමාණය 8 කට සීමා විය.

මේසා සා අසීමිත ජන බලවේගයකගේ නායකයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට රටේ 7 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නට එවකට සිටි ලංකාවේ ජනාධිපති විලියම් ගොපල්ලව උතුමාණෝ ආරාධනය කළහ. එතුමන් හමුවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමෝ පත්වීම ලදහ. එසේ අගමැති පදවිය ලැබීමෙන් අනතුරුව එතුමා මුලින්ම ගියේ එවකට රජගෙදර අසල ම පිහිටි අගමැති කාර්යාලයට නොවේ. තමන්ගේ ‍නිවාසය වූ වෝඩ් පෙදෙසේ මන්දිරය වෙත ය. ඒ සිය මැතිනියට ඒ බව පවසන්නටය. නව අගමැතිතුමා සිය අගමැති කාර්යාලයට ගොස් නියමිත ලෙස වැඩ බාර ගත්තේ ඉන්පසු ව ය.

සුළු කලක් ගතවී යද්දී හිටපු ජනාධිපති විලයම් ගොපල්ලව මැතිතුමාණන් විශ්‍රාම ගත්තේය. සකස් කරන ලද නව ව්‍යවස්ථාවක් මඟින් නිර්දේශිත පරිදි ජයවර්ධන මැතිතු‍මෝ ප්‍රථම විධායක බලතල යුතු ජනාධිපතිතුමා බවට පත් වූහ.

එවකට රටේ වැඩි ජනතාවකගේ ගෞරවය දිනා ගනිමින් ජයවර්ධන මැතිතුමාට තුමන්ට පමණක් දෙවැනිව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් හේ සිය අග්‍රා‍මාත්‍යවරයා වශයෙන් පත්කර ගත්තේ ය.

ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ආදී තරුණ පරපුරේ ආදරය දිනාගත් ඇමතිවරුන් නව සංකල්පනාවකින් යුතුව පාලන භාරයට යොමු වෙද්දී ජයවර්ධන ජනාධිපතිතුමෝ අධික බල තණ්හාවෙන් යුක්තව පසුගිය රජයේ යටතේ කටයුතු කළ කිහිපදෙනකුගේ ප්‍රජා අයිතිය අහිමි කර දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවේ තබා සම්මත කරවා ගන්නා ලද්දේ ය.

ඒ අනුව හිටපු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ද ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ තවත් කිහිපදෙනකුගේ ද ප්‍රජා අයිතිය අවුරුදු 7 කට තහනම් කෙරිණි. මෙය රටේ මහත් වූ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වූ නමුදු කලක් ම රටේ පාලිකාව වූ බණ්ඩාරනායක මැතිතුමියට එසේ දඬුවමක් ලබා දුන්නේ මින් ඉදිරියට එවන් වූ බල තණ්හාවකින් යමකු විපරීතයට පත්වීමට පූර්වාදර්ශයක් වන පරිද්දෙනි.

තමන් විසින් සිදුකරන ලද කටයුතු සිතට එකඟ ව ඉටු කිරීමට ජයවර්ධන විධායක ජනාධිපතිතුමෝ කටයුතු කළහ. එතෙක් කල් ගාලුමුවදොර පාර්ලිමේන්තුව ඉන් ඉවත්කර කෝට්ටේ දියවන්නාව ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු සංකීර්ණයක් වෙත රැගෙන ගියේය. නගරාශ්‍රිතව පැවති ආණ්ඩුවේ කාර්යාල සහ වෙනත් කාර්යාංශ ද නගරයෙන් ඉවත් කිරීමට එතුමෝ කටයුතු කළේ අගනුවර තිබෙන තදබදය නැතිකරලීම සඳහා ය.

මහා මාර්ග සැලසුම් කෙරිණි. විශේෂයෙන් ම මහවැලි ව්‍යාපාරය විදේශ ආධාර ඇතුව සකස් කර සය වර්ෂයකින් නිම කෙරිණි. ජපන් රටෙන් ජයවර්ධන ජනාධිපතිතුමා වෙත කෙරෙන උපහාරයක් ලෙසට ජයවර්ධනපුර මහ රෝහල ලැබිණි. එතුමාගේ ඉල්ලීමක් අනුව ඇඳන් එක්දහස් එකක් (1001) යුතු ජයවර්ධනපුර පිහිටුවන ලද එ් රෝහලේ එක්දහස් එක්වන ඇඳ එතුමාගේ රෝගී තත්ත්වයක් අනුව ප්‍රයෝජනය ගැනීමට වෙන්කර තබන ලද්දේය. (එහෙත් එය ප්‍රයෝජනයට ගැනීමට එතුමාට කිසිදාක අවස්ථාවක් ලැබුණේ නැත.) වර්ෂ 1977 ත් ඉන්පසුව ඇතිවූ ‘ජයවර්ධන පාලන යුගයත්’ මෑත යුගයේ ලංකා රාජ්‍ය පාලනයේ ඉසුරුමත් යුගය ලෙස ඉතිහාසගතවී ඇත්තේ ය. දෙවරක් ම මහජන ඡන්දයෙන් ම ලංකාවේ විධායක ජනාධිපති ධුරය ලැබූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමෝ අනතුරුව විශ්‍රාම ගත්හ.

තමන්ගේ ජීවිතයේ මුල් යුගයේ සිට බුද්ධිමතුනට ගෞරව සම්මාන දැක්වීමටත්, ඔවුනගේ බුද්ධියෙන් තමන් ද හැකිතාක් ප්‍රයෝජනය ලැබීමත්, තම ප්‍රතිපත්තිය කරගෙන සිටි ජයවර්ධන ජනාධිපතිතුමන් වර්ෂ 1977 යටියන්තොට ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ආචාර්ය ඇන්.ඇම්. පෙ‍ෙර්රා මහතාට විරුද්ධව ඉදිරිපත් කළේ වින්සන්ට් පෙරේරා නම් මහතෙකි. එහි ගොස් තම අපේක්ෂකයාට සහය දක්වන රැස්වීම් වලදී එකල ජයවර්ධන විපක්ෂ නායක තුමා එම කිසිම කිසිම රැස්වීමකදීවත් තම පක්ෂයේ අපේක්ෂකයා වූ වින්සන්ට් පෙරේරා මහතාට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටියේ නැත. එය ලංකා‍ෙව් පමණක් නොව ලෝකයේ ද එතෙක් සිදු නොවූ දෙයක් වන්නට ද පුළුවන.

“අපි තමුන්නාන්සේලාට පෙරේරලා දෙන්නෙක් ඉදිරිපත් කරලා තියෙනවා. තමුන්නාන්සේලා කැමති පෙරේරා කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න” යනුවෙනි එතුමා එහිදී කියා සිටියේ.

එහෙත් ඡන්දය දෙන බොරැල්ලේ නිවසේදී එතුමා ඡන්ද ප්‍රතිඵල අසා සිටින දින රාත්‍රියේදී ගුවන් විදුලියෙන් යටියන්තොට ආසනයේ ප්‍රතිඵල කියන විට එතුමා ඒ අසා අත හිසේ ගසාගෙන කම්පා වූහ. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා දිනලා ය. (එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වින්සන්ට් පෙ‍ෙර්රා මහතා ඡන්ද 17,595 ක්, ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ඡන්ද 15028යි. වැඩි ඡන්ද 2577 යනුවෙන් ප්‍රතිඵලය කියැවිණ.)

 

මෙසේ විශ්‍රාම සුවයෙන් සිටීමෙන් අනතුරුව වර්ෂ 1996 නොවැම්බර් 1 වැනිදා - සිකුරාදා දහවල් 12.10 ට ජූනියස් රිචඩ් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමෝ අභාවප්‍රාප්ත වූහ. මේ අභාවය දැනගත් එවකට ලංකා ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිතුමිය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ අවසාන කටයුතු සඳහා නිදහස් චතුරශ්‍රය ලබා දීමටත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීමටත් තීරණය කර තිබිණ.

එහෙත් එ් නිවේදනය පුවත්පත්වලට පවා නිකුත් කෙරුණාට ද පසුව එතුමාගේ දිනපොතක වූ සටහනක් පිළිබඳව එතුමාගේ පෞද්ගලික ලේකම් ප්‍රේමතිලක මාපිටිගම මහතා එ් දිනපොත සොයාගෙන පවුලේ අය වෙත ඉදිරිපත් කළහ.

“මගේ අන්තිම කැමති පත්‍රය ක්‍රියාත්මක කරන මහා භාරකාරයා වෙත මගේ මරණය සිදුවී පැය 24 ක් ඉක්මවන්නට පෙර කැලණියේ රජමහා විහාරයේ පේන තෙක් මානයේ කැලණි ගං ඉව‍ුරේ මා ආදාහනය කරන්න. කැලණි විහාරය මගේ මවගේ පාර්ශ්වයට අයත් මාත් සමීපව ඇසුරු කළ පූජනීය ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී කැලණි ග‍ඟේ ස්නානය කළ ස්ථානය අසලින් මගේ භෂ්මාවශේෂ පා කර හරිනු මැනවි.” යනුවෙන් එහි සඳහන් කර තිබිණ.

අදහස්