BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

රවි ශාස්ත්‍රිගෙන් තවත් ඉනිමක්

රවි ශන්කර් ජයද්‍රිත ශාස්ත්‍රි හෙවත් ක්‍රීඩා ලෝලීන්ට අමුත්තකු නොවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවි ශාස්ත්‍රි ගැන උණුසුම් පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. දැනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන 56 හැවිරිදි රවි ශාස්ත්‍රි බොලිවුඩ් නිළියක සමඟ පෙම් දමක පැටලී ඇති බවයි එයින් කියැවෙන්නේ.

මේ සුරූපී නිළිය තමයි, නිම්රට් කවුර්. 2004 දී ගීතමය වීඩියෝවකින් රංගනයට පිවිසුණු නිම්රට් මේ වන විට චිත්‍රපට 8 ක රඟපා තිබෙනවා. දැනට 36 වැනි වියෙහි පසුවන ඇය රවි ශාස්ත්‍රිව හඳුනා ගෙන ඇත්තේ 2015 දී. දෙදෙනා ගේ පෙම් කතාව පටන් ගෙන තිබෙන්නේ 2016 දී බවයි පැවසෙන්නේ.

රවි ශාස්ත්‍රි 1990 දී විවාහ වූ බව රහසක් නොවෙයි. ඔහුගේ බිරිය වූයේ සම්භාව්‍ය නර්තන කලා ශිල්පිනියක වන රිතු සිං. ඔවුන් දෙදෙනාට දියණියක් ද සිටිනවා. රවී, 2012 දී රිතුගෙන් වෙන් වුණා. රිතු සමඟ විවාහ වන්නට කලින් ඔහු සහ ජනප්‍රිය නිළි අම්රිතා සිං අතර පෙම් සබඳකමක් පැවතුණා.

80 දශකයේදී පැවතුණු ඒ සබඳකම ලොවට රහසක් වුණේ නැහැ. රවි ශාස්ත්‍රි එකල ඉන්දියාවේ සුරූපී තරුණියන් කිහිප දෙනෙකුට වරින් වර පෙම් කළ බවත් රහසක් නොවේ . විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරමින් යුවතියන් ඇසුරු කිරීම ගැන ඔහුගේ මව කණස්සල්ලට පත්වී සිටියා.

සිය නිත්‍යනුකූල බිරිය වූ රිතු ගෙන් වෙන් වූ පසුව මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තනිකඩව කාලය ගත කළා. ඒ, 2015 දී නිම්රට් හමුවන තුරු. මේ සබඳකම මෑතකදී හෙළි වුණත්, එය වසර දෙකක් තිස්සේ රහසක් ලෙස තබා ගන්නට රවි සහ නිම්රට් වග බලා ගෙන තිබෙනවා. මේ වගතුග කෙසේ වෙතත් රවි ශාස්ත්‍රී නම් පවසන්නේ තමන් ගැන පැතිරී ගිය කතන්දර අසත්‍ය බවයි.


කුමාර් සානුට එරෙහිව පරීක්ෂණ

කුමාර් සානු ගේ මිහිරි ගී හඬට ආකර්ෂණය නොවුණු ගීත රසිකයෙකු හෝ රසිකාවියක නැතැයි කීවොත් නිවැරැදියි. මෙරට රසික පරපුර අතර ඔහු ‘ආෂික්වි’ (1990) චිත්‍රපටයට ගැයූ ‘තුජෙ දේඛා තොයෙ ජානාසනම්’ වැනි ගීත ඇතුළු ගීත රැසක් ම ජනප්‍රිය වුණා.

පසුගියදා මේ ජනප්‍රිය ගායන ශිල්පියා බිහාර් ප්‍රාන්තයේ, මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ එක්තරා ස්ථානයක සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. රාත්‍රියේ ආරම්භ වී පසුදා අලුයම දක්වා පැවැත්වුණු මේ ප්‍රසංගය එහි එක්රොක්වි සිටි රසික කැල වෙත වින්දනයක් ලබා දුන්නත්, එය ඒ අවට පදිංචිකරුවන්ට ගෙන දුන්නේ හිරිහැරයක්.

ඒ බව සනාථ කරමින් එක්තරා පදිංචිකරුවකු පොලිසියට පැමිණිල්ලක් කරලා. එහි සඳහන් වන්නේ කුමාර් සානු රැය පහන් වන තුරු ම ගී ගැයූ නිසා තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට රැය පුරා ම නිදිවරා සිටින්නට සිදු වූ බවයි. මේ ගැන ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වනවාලු.

 


අර්ජුන් - මලෙයිකා හාද වෙලා

නානාප්‍රකාර කටකතාවලට ලක්වූ නිළියක් තමයි මලෙයිකා අරෝරා ඛාන්. ඇය විවාහ දිවිය ගත කළේ අර්බාස් ඛාන් එක්කයි. ඔහු, සුපිරි නළු සල්මන් ඛාන්ගේ බාල සො‍හොයුරා. මෑතකදී අර්බාස් සහ මලෙයිකා ගේ යුග දිවිය දෙදරා යෑමෙන් පසුව මලෙයිකා ඕපා දූප කුණාටුවකට හසුවුණා. ඇගේ නම සමඟ ජනප්‍රිය නළුවන් ගේ නම් ගැට ගැසෙන්නට පටන් ගත්තා.

මලෙයිකා ගේ නම සමඟ බැඳුණු අලුත් ම නම තමයි, අර්ජුන් කපූර්. ඔහු, බොනී කපූර් නම් වූ චිත්‍රපට නිෂ්පාදකගේ පුත්‍රයා බව නොදන්නා කෙනෙක් නැහැ. මේ වන විට 33 වැනි වියෙහි පසුවන අර්ජුන් සහ 45 වැනි වියෙහි පසුවන මලෙයිකා සම්බන්ධ කරමින් කට කතා පැතිරෙන්නට පටන් ගත්තේ සමහර උත්සව වලදී දෙදෙනා එකට සහභාගී වී සිටිය නිසා යැයි අනුමාන කෙරෙනවා.

සැබවින් ම ඒවා හුදු කට කතා ම නොවෙයි. උපන් දින සාදවලදී චිත්‍රපට මංගල දර්ශනවලදී මේ දෙදෙනා දකින්න ලැබුණේ පෙම්වතුන් යුවළක් වගෙයි. ටික කාලයක් යටපත්ව තිබුණු මේ සබඳකම පිළිබඳ තොරතුරු යළි මතුවුණේ පසුගිය සතියේ දෙදෙනාම ලක්මී විලාසිතා දැක්මට සහභාගී වීමෙන් පසුවයි.

මේ ගැන ඉන්දීය මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට අර්ජුන් තරයේ ප්‍රකාශ කළේ තමන් සහ මලෙයිකා අතර එවැනි සබඳකමක් නැති බවයි. නමුත් සමහරු පවසන්නේ එවැනි සබඳකමක් නැතැයි කියමින් කරුණු සඟවන්නට මලෙයිකා නම් උත්සාහ නොදරන බවයි.

මේ අතර පසුගිය සතියේ පැතිරුණු තවත් ආරංචියක දැක්වුණේ අර්ජුන් සහ යොවුන් නිළි පරිනීටි චොප්රා අතර විවාහය ළඟදීම සිදුවීමට නියමිත බවයි. මෙහි ඇත්ත නැත්ත තවම තහවුරු වී නැහැ.

 

 

අදහස්