සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

ඒක ආපදාවක් නෙමෙයිද?

'උඹ පදිංචි උතුවන්කන්ද කිට්ටුවකටවත් කවදාවත් ගංවතුරක් එන එකක්යැ, අනික මේ දවස්වල ඒ පැත්ත හරහා සැඩ සුළඟක් හැමුවෙත් නැහැ නොවැ. ඉතින් උඹ මේ ආපදා ආධාර පෝලිමට එකතුවුණේ අහවල් හේතුවකටද? ආපදා ආධාර ලබා ගැනීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති දිගු පෝලිමට එකතු වු පේමදාස දෙස බලා එහි සිටි සිරිසේන ඇසුවේ අවඥාවෙන් කට ඇද කරමිනි.

'ඔය ගිය සුමානේ ආපු ගංවතුරටවත් සැඩ සුළඟකටවත් මම අහුවුණේ නැති එක හැබෑව. ඒත් මේ ආධාර දෙන්නේ ආපදාවලට ලක්වුණු අයටනේ. මං කසාද බැන්දේ ගිය සුමානෙ නොවැ. හොඳයි ඒත් ආපදාවක් නෙමෙයිද? ප්‍රේමදාස ඇසුවේ පෝලිමේ සිටි අය දෙස අභියෝගාත්මක බැල්මක් හෙලමිනි.

 

අමුම අමු තකතීරු වැඩක්

'අපේ ලොකු කොලුවා සිරිමල් හැබෑම දක්ෂයා. ඒ වගේම ලක්කාරයා. ඉහළට ඉගෙන ගෙන විස්ස විද්‍යාලේ නොගියාට ඌට බොහොම ඉක්මනට හොඳ රස්සාවක් ලැබුණා. කොලුවා මුලින්ම ගත්තේ මෝටර් සයිකලයක්. බොහොම සීරු මාරුවට වැඩකරලා අවුරුදු තුනක් ගතවෙන්නත් කලින් ගත්තා කාර් එකකුත්. බොහොම කල්පනාවෙන් හිතලා මතලා තමන්ගේ දියුණුව අරමුණු කරගෙනම වැඩ කරපු කොලුවා ග්‍රහයෙක් නීච වෙලාද කොහෙද ගිය මාසෙ කළා නොවැ අමුම අමු තකතීරු වැඩක් . 'රූපවතී කීවේ පෝදින සිල් සමාදන් වී සිටියදීය.

නෑ...ඒ මොකක්ද රූපවතී අක්කේ? 'රෝහිණී ඇසුවේ ලොකු උනන්දුවක් පෙන්වමිනි.

'සිරිමලයා ගිය මාසෙ කසාද බැන්දා නොවැ නංගියේ! රූපවතී කීවේ බලවත් සේ කම්පාවෙමිනි.

 

එතකොට මට මොකද වෙන්නෙ?

'උඹ දන්නවද ? ඒ කාලෙ මම චිත්‍රපටයක දෙකක රඟපාලා හිතුවේ නැති විදියට එකපාරටම ජනප්‍රිය වෙන්ඩ ගත්තාම ඒ කාලෙ නිළියෝ කී දෙනෙක් නං මගේ බෙල්ලෙ එල්ලෙන්ඩ වලිකෑවද කියල? අජිත් තම මිතුරු සුනිල් දෙස බලා කීවේ පැරැණි චිත්‍රපට උළෙලකින් පසු පැවති තේපැන් සංග්‍රහයකදීය.

'කීයෙන් කී දෙනෙකුටද බං ඔය වගෙ චාන්ස් එකක් ලැබෙන්නේ? ඉතින් උඹ ඒ නිළියන්ගෙන් කී දෙනෙක්ව කරේ එල්ල ගත්තද? සුනිල් ඇසුවේ ඉඟිමරමිනි.

'උඹ මේ විකාර කතා කරනවද? මම එහෙම උන්ගෙන් එකෙක්වත් බෙල්ලෙ එල්ලා ගත්තානං අපෙ ගෙදර උන්දැගෙන් මගෙ බෙල්ල බේරගන්ඩ පුළුවන් වෙයි කියල උඹ හිතනවද? අජිත් කීවේ රහසින් මෙනි.

 

ඒවත් ඕනෑවෙයි

'මොකද මේ උඹේ අලුත් කඩේ මල් මාලා රතිඥ්ඥා, මල් වෙඩි වගේ දේවල් එක්ක හිරකාරයෝ අඳින ජම්පර් වගේ නොගැළපෙන දේකුත් විකුණන්ඩ දාලා තියෙන්නේ? තම මිත්‍රරු ප්‍රේමදාසගේ අලුත් ව්‍යාපාරික ස්ථානයට ගොඩ වැදුණු සිරිපාල එහි ප්‍රදර්ශනයකර ඇති භාණ්ඩ දෙස බලා ඇසීය.

'දැන් හෙට අනිද්දාම ඡන්දයක් එන ලකුණු පේනවනෙ. ඔය ඡන්දෙට ඉදිරිපත් වෙන අයට එතකොට ඡන්දෙන් දිනන අයට , රත්ඥ්ඥා, මල්මාලා වගේ දේවල් අලෙවි කරගන්ඩ ලේසියි. ඒ වගේම ඡන්දෙන් පරදින අයට ඕනෑකරන දේවලුත් අපි විකුණන්ඩ එපායෑ. ඒකයි මම ජම්පර් ටිකකුත් විකුණන්ඩ හිතුවේ, පේමදාස සිනාසෙමින් පැවැසීය.

 

මමත් ගියා කටඋත්තරයක් දෙන්ඩ

'ඔබ වහන්සේ මොකද මේ හතිදාගෙන? ඇඟපත හේබාලා ගිහින්, මූණත් කළුවෙලා. මේ තකහනියේ ඔබ වහන්සේ දුර ගමනක් වැඩියාවත්ද? 'අගනුවර දෙස සිට කතරගම බලා දිවෙන මාර්ගයකදී හමුවු කතරගම මහසෙන් දෙවියන්ගෙන් ඒ පළාතේ අප්‍රකට දෙවි කෙනෙක් විමසීය.

'මට යන්ඩ සිද්ධවුණා නොවැ සිදාදියේ සී. අයි. ඩී කාර්යාලයට. අර කපුවෙක් තණ්හාවෙන් කරපු පාහර වැඩේ හින්දා මටත් නියමවුණානේ, ඒ ගැන කට උත්තරයක් දෙන්ඩ,' මහසෙන් දෙවියන් කීවේ දැඩි කනස්සල්ලකිනි.

 

Comments