රූප­යට වඩා හද­වත ලස්සන බව කියන විරූපි කුස මම | සිළුමිණ

රූප­යට වඩා හද­වත ලස්සන බව කියන විරූපි කුස මම

පිරිමි: විරූපි කුස මම‍
ඔබ පිළි­කෙව් කළ...
ගැහැනු: නෑ ඔබ විරූපි නෑ මගෙ හිමි සඳ
විරූපි වුණේ මා මිස ඔබ නොව...

පිරිමි: ඔබ දැක­ග­නු­වස් නෙත කළ පෙරු­මන්
මා පම­ණකි ළඳ ඔබ නොදනී හද...

ගැහැනු: නොද­නිමි සත්තයි සැඟ­වුණ පෙම මම
අද වැල­පෙයි ඔබ පිළි­කෙව් කළ හිත...

පිරිමි: නෙළුම් පතක් යට ඔබ මා දුටු සඳ
බිය වුණෙ කිම ඔබ පබා­වතී ළඳ

ගැහැනු: බිය වුණෙ සඳ නුඹට නොවේ මම
මගේම හිත­ටයි විරූපි වී ඇති

ගාය­නය: කපිල පූග­ල­ආ­රච්චි, නෙලූ අධි­කාරි
පද රච­නය: ජයන්ත ග. ජෝති­ය­රත්න
සංගී­තය: රෝහණ වීර­සිංහ

මේ ගීතයේ මුල් පදය ඇසෙන විටම අපට සිහිපත් වන්නේ අපේ බෞද්ධ සාහිත්‍යයේ පන්සිය පනස් ජාතකයේ ජාතක කතාවක් වන කුස ජාතකයයි. කුස ජාතකය ඇසුරෙන් මහාකවි පරාක්‍රමබාහු රජු විසින් රචනා කරන ලද ‘කව්සිළුමිණ’ කුස රජු හා පබවතිය ගැන ගී විරිතින් ලියා ඇත්තේය. එය අපේ පැරැණි පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ අතර විශිෂ්ට කෘතියකි.

පබවතිය රන් රුවක් හා සමාන රූප සෝබාවකට හිමිකම් කියන්නියකි. කුස රජු විරුපී පෙනුම ඇත්තෙකි. රූපයෙන් උදම්ව සිටි පබාවතියට කුස විවාහ කර දෙන්නේ ප්‍රයෝගයකිනි. එනම්: කුසගේ සොහොයුරු ජයම්පති කුමරු පෙන්වා පබවතිය කුසට විවාහ කර දෙනු ලැබේ. එනමුදු රාත්‍රිකාලයේදී පබවතිය හා සැතපෙන්නේ කුස රජුය. පසුව ඇත්ත දැනගන්නා පබවතිය සියල්ල හැරදා සිය දෙමාපියන් කරා යන්නීය. පබවතිය දෙමාපියන් වෙත ඉක්බිති කුස ද ඈ පසුපස යන්නේය. විටෙක ඇයගේ මාලිගයේ අරක්කැමියා සමගත්, විටෙක කුඹලා සමගත්, විටෙක ඇතරුවා සමගත් මිත්‍ර වී ඈ හට මෙහෙකාරකම් කරන්නේය. පබවතියගේ සිත ගැනීමට නොයෙක් ප්‍රයෝග යොදන්නේය. දවසක් දෙකක් නොව සත් අවුරුද්දක් තිස්සේ පබවතිය ලබාගැනීමට කුස රජු මෙසේ මෙහෙ කරයි. අවසානයේ කෙසේ හෝ කුස රජු ප්‍රේමයෙන් ජය ගනී. ඒ අපේ පුරාණ කතාවයි.

අද සමාජයේද තරුණ තරුණියන් අතර ‘කුස’ යන නාමය බොහෝ විට කියැවේ.

‘ඇයි මම කුස කියලා හිතුවද?’ කෙනකු එසේ අසන අවස්ථාද නැතිවාම නොවේ.

ප්‍රේමය පතා පෙම්වතියගේ කැමැත්ත ලැබෙන තුරු පසුපසින් යන අයකු කියන්නේ ‘මමත් හරියට කුස රජ්ජුරුවෝ වගේ’ කියාය. කොහොම වුණත් ජයන්ත ග. ජෝතියරත්න කවියා විසින් ලියන ලද මේ ගීතයේ අපූරු බවක් දැනෙන්නේය. එනිසාම එය මෙවර ‘ගීයක අරුමය’ තුළින් ඔබට එය ගෙනෙන්නට සිතුවෙමු.

පබාවතිය කුසගේ ප්‍රේමයේ තරම අවබෝධ කරගත්දා ඔහුගේ විරූපි බව නොතකා හරින්නීය. සැබැවින්ම නම් රූපයට වඩා මිනිසාගේ ලස්සන විය යුත්තේ හදවතය; ගතිගුණය. මෙය තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද?

‘විරූපි කුස මම’ ගීතයේ කාන්තාව පසුතැවන්නීය. ඇය කියන්නේ ඔහුගේ රුවේ ඇති අවලස්සන ගැන නොව; ඔහුට අකැමැති වූ, ඔහුව නොතකා හළ තම සිත විරූපි බවය. දෙදෙනා එක මඟක යන්නට නම් සිතුවිලි සමාන විය යුතුය; එකිනෙකා අවබෝධ කරගත යුතුය. මේ නොගැළපීම ගැන ‘විරූපි කුස’ ගීතයෙන් කියන්නට ජයන්ත උත්සාහ දරන්නේය. එමෙන්ම ඔහු ගීතය අවසානයේදී අපට යළිත් කුස ජාතකය සිහියට නංවයි.

‘නෙළුම් පතක් යට ඔබ මා දුටු සඳ

බිය වුණෙ කිම ඔබ පබාවතී ළඳ...’

කුස ජාතයෙදී කුස රජුට දිවා කාලයේ පබාවතිය දැකීමේ ආසාවක් ඇති වේ. පබාවතිය උයනට යන විට කුස රජු පොකුණේ නෙළුම් පතකට මුවා වී සිට පබවතියගේ අතකින් අල්ලාගනී. පබවතිය බියට පත් වේ. මේ බියට පත් වීමට හේතුව කුසට ඇති වූ බියක් නිසා නොව; තම හිතට බිය වීමක් නිසා බව නූතන පබාවතිය අපට පවසයි. බොහෝ විට අප මේ සමාජයේ ජීවත් වීමේදී තීන්දු-තීරණ ගන්නේ හිතෙනි. බොහෝ විට අප බිය මේ සමාජයට නොව; අපේ හිතටය. සමාජය මොනවා කියයිද යන්න විමසන්නේ හිතෙනි. කෙසේ වුවත් පබාවතියට නව අර්ථකථනයක් දෙමින් ලියැවුණු නූතන පබාවතී ගීතය පිළිබඳ පද රචක ජයන්ත පවසන්නේ මෙවැනි අදහසකි.

‘‘මේ ගීතය ලියන්න මට අත්දැකීම ආවේ මගේ පාසල් වියේදී. අප පාසලේ ඉගෙනගන්න කාලේ අපේ පන්තියේ හැම කොල්ලෙකුටම වගේ කෙල්ලෙක් හිටියා. ඒත් එක කොල්ලෙකුට පෙම්වතියක් හිටියේ නැහැ. ඒ කොල්ලා ඒ තරම්ම ලස්සන නැහැ. දවසක් මේ කොල්ලා මගෙන් අහනවා ‘මම කැත හින්දද මට කෙල්ලෙක් යාළු වෙන්නේ නැත්තේ?’ කියලා. මට දුක හිතුණා. මම කිව්වා ‘ලස්සන අවලස්සන නෙමෙයි වැදගත්, ආදරේ කියන්නේ බොහෝම පිවිතුරු දෙයක්, ඔයාටත් දවසක ඔයාගේ හිතේ ලස්සන තේරුම් ගත්ත කෙනෙක් ලැබෙයි’ කියලා. කාලය ගෙවිල ගියා. මගේ හිතේ සිදු වීම සැඟවී තිබුණා. දෙදහස් දෙක වසරේ තමයි මේ ගීතය ලියැවුණේ. ඒ මම පාසලෙන් ඉවත් වෙලා අවුරුදු ගණනකට පස්සේ. දෙදහස් තුන වසරේ මම මෙය රැජන පත්තරේට යැව්වා. යමුනා මාලනී මහත්තමිය සංස්කරණය කළා ‘ගී පද කවුළුව’ කියලා පිටුවක්. එහි මේ ගීතය පළ වුණා. ඒ අවුරුද්දේම තමයි මම මේ ගීතය නෙලු අධිකාරිට හා කපිල පූගලආරච්චිට දුන්නේ. රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතය වගේම කපිලගේත් නෙලූගේත් හඬ මේ පදවලට හොඳ හැඩයක් ලබා දුන්නා.”

ඇයගේ යටිසිත ඔහුට පෙම්කරයි. එහෙත් ඇයගේ දරදඬු උඩුසිත ඒ පෙම සඟවයි. ඔහු එසේ වන්නට හේතු විමසයි. රූපය නොව; විරූපි වූ සිත නිසා ඒ පෙම සඟවන්නට වූ බව ඇය කියන්නීය. ඒ නූතන පබවතියගේ ගීතයයි. 

Comments