බෝල් පොයින්ට් වර්ණ චිත්‍ර ප්‍රද­ර්ශ­නය 21, 22 ගාල්ලේදී | සිළුමිණ

බෝල් පොයින්ට් වර්ණ චිත්‍ර ප්‍රද­ර්ශ­නය 21, 22 ගාල්ලේදී

ජනාධිපති සම්මානලාභී චිත්‍ර ශිල්පී මංගල මදනායකගේ 26වැනි බෝල් පොයින්ට් වර්ණ චිත්‍ර ප්‍රදර්ශනය‘ සුන්දර ගාල්ල අපේ ගම‘ තේමාව යටතේ ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී මේ මස 21 සහ 22 දිනවලදී පැවැත්වේ.

සිතුවම් දැක්ම පිළිබඳව මංගල මදනායක අප සමග මෙසේ පැවැසීය. මෙම සිතුවම් දැක්ම මෙම මස පැවැත්වීමට හේතු දෙකක් බලපෑවා. එකක් මේ මාසය සාහිත්‍ය මාසය වීමත්, අනෙක් කරුණ බෝල් පොයින්ට් වර්ණ චිත්‍ර කලාව හදුන්වා දී වසර විසිපහක් ගත වීමත් යන කරුණු දෙක. අද වනවිට ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ වෙනත් රටවලත් මෙම චිත්‍ර කලාව ව්‍යාප්තව තිබෙනවා.

වර්ණ හතරකට පමණක් සීමා වී තිබූ බෝල් පොයින්ට් පෑන බෝල් පොයින්ට් චිත්‍ර කලාව හඳුන්වා දීමත් සමග විවිධ වර්ණයෙන් යුත් බෝල් පොයින්ට් පෑන් අද වන විට වෙළෙඳපොළට ඇවිත් තිබෙනවා. මම මේ වනවිට විවිධ වර්ණයන්ගෙන් යුත් බෝල් පොයින්ට් පෑන් 10,000කට ආසන්න ප්‍රමාණයක් චිත්‍ර ඇඳීමට භාවිතා කරනවා.

ගාල්ල කොටුවේ පැරැණි ගොඩනැඟිලි ආශ්‍රිතව මා සිත්ගත් දර්ශන බෝල්පොයින්ට් පෑනෙන් ස්වභාවික ලෙස වර්ණයෙන් කැන්වසය මත අඳිනලද චිත්‍ර රැසක්ද ගාල්ල අවට සුන්දර ස්ථාන කිහිපයක්ද චිත්‍රයට නගා තිබෙනවා. ඒ වගේම මා ඉගෙනුම ලැබූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ දර්ශන කිහිපයක්ද චිත්‍රයට නගා තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය නොමිලේ පවත්වන අතර සාහිත්‍ය මාසය වෙනුවෙන් චිත්‍ර ශිල්පියකු ලෙස සමාජගතවීමට කැමැත්තෙන් සිටින නවකයන්ට බෝල්පොයින්ට් චිත්‍රකලාව පිළිබඳව දැනුමක් සහ අවබෝධය නොමිලේ ලබාදීමත් එදින සිදුකෙරේ.

ප්‍රදර්ශනය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට 0775104980 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.


මල් නාට්‍ය පරදා සියත විකාශය වන ‘අපේ ආදරේ‘

23 වැනි සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නාට්‍යය ලෙස සම්මාන ලැබූ මේ දිනවල සියත රූපවාහිනී නාළිකාවෙන් රාත්‍රී 8.30 ට විකාශය වන ‘අපේ ආදරේ‘ ටෙලි නාට්‍යය සාම්ප්‍රදායික මෙගා ටෙලි නාට්‍යවලට වඩා වෙනස් මුහුණු වරක් ගන්නේ එහි ඇති නිෂ්පාදන ප්‍රමිතිය සමඟ එහිවූ අන්තර්ගතය නිසාය. ගම, නගරය, දේශපාලනය, ආධ්‍යාත්මික භාවනා ක්‍රම සටන් කලාව රැඩිකල් සිතුම් පැතුම් සහිත තරුණ පරපුර සාම්ප්‍රදායික ආදරය, පාතාල ගැටුම් ආදී ලෙස විශාල පරාසයක් තුළ මෙම ටෙලි නාට්‍යයෙහි අන්තර්ගතය විහිදේ.

මෙය ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ කතාවකට අනුව ලක්ෂ්මන් විසින්ම තිර රචනය ලියා ඇති අතර ජනක චමින්ද අත්තනායක කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කර තිබේ. ටෙලි දෙපැය තුළ දේශීය ටෙලි නාට්‍ය පමණක් විකාශය කරන නිසාම සියත නාළිකාව කෙරෙහි විශේෂ ඇල්මක් ප්‍රේක්ෂකයන් තුළ තිබේ. මනාප 650,000 ට ආසන්න ප්‍රමාණයක් ලබමින් ‘අපේ ආදරේ‘ ජනප්‍රියම ටෙලි නාට්‍ය කිරුළ දිනාගත්තේ ඒ නිසාය. අමිල අබේසේකර, හර්ෂණ බෙත්මගේ, වොල්ගා කල්පනී, කාවිංග පෙරේරා, ඉෂාන් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, ගාමිණී හෙට්ටිආරච්චි, නිර්ධා උයන්හේවා, සුරංගි රුවන්මලී, ෆර්නි රෝෂිණී, රමණී සිරිවර්ධන, කුමාරි මුණසිංහ, සුසිලා කෝට්ටගේ, කිංස්ලි ලෝස්, නිරෝෂන් විජේසිංහ ඇතුළු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් රංගනයෙන් දායක වන අතර, හෂිනි ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් හේරත් වර්ණකුලසූරිය නිෂ්පාදනය කර තිබේ.

‘වෙලාවකට පිස්සු වගේ‘ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් කලාවට පිවිසි හේරත් වර්ණකුලසූරියගේ දෙවැනි වේදිකා නාට්‍යය ‘චව්දරි‘ රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන කිහිපයක්ම ලැබීය. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘පිනිමුතු වැස්සේ‘ ඔහුගේ පළමු ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන අතර එය 2014 වසරේ රයිගම් සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය හිමිකරගත්තේය. ඉන්පසු ආදරේ සුවඳ අරන් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ ඔහුගේ තෙවැනි නිර්මාණය වන්නේ ‘අපේ ආදරේ‘ ටෙලි නාට්‍යයයි.


රසඳුන පළවූ ප්‍රියංකා අමරතුංග ගේ දෙවන කුමාරි නිකුත්වෙයි

මාතර සුජාතා බාළිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසි ප්‍රියංකා අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සංනිවේදන ඩිප්ලෝමාධාරිණියක්ද වෙයි.

ඇය ලොව ප්‍රථම සංයුක්ත තැටිගත සිංහල නවකතාව ‘සුදු සහ කළු‘ නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයට නමක් එකතු කළ ලේඛිකාව යි.

‘මිහිර‘ ළමා පුවත්පතට අවුරුදු 10 දී කවි නිර්මාණ ලියා ලේඛණ කලාවට අත්පොත් තැබූ ප්‍රියංකා

අමරතුංග ‘තරුණී‘ කාන්තා පුවත්පතට එකැස් ගැහැනිය, ආලේඛ්‍යා, සඳු හිරු තරු, ගිම්හාන ගීතය යන නවකතා ලියා ඇත. එයට අමතරව ‘සිළුමිණ‘ සහ ‘රිවිර‘ ඉරිදා පුවත්පත් සඳහාද සිය නවකතා වලින් දායක වී ඇත.

ගුරු දිවියේදි ලද අත්දැකීම් ඇසුරෙන් ප්‍රියංකා අමරතුංග ළමයින් සඳහා උකුසු පිහාටුව, රාදුගා යන නවකතා නිර්මාණය කර ඇත.

නවකතා කරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහාද දායක වීඇත. සුදු අරලිය, බොල් වී අහුරු, සූරියකාන්තා, සිදංගනාවෝ, ඉහිරුණු කිරි, දෙවන වේදිකාව, මා ද ඔබම විය,

කුරුළු පිහාටු , එළිය කන්ද, ප්‍රියංකා අමරතුංග ලියූ ටෙලි නාට්‍ය තිර රචනා කීපයකි. ඇය විසින් ගී පද රචනය ලියන ලද, එළිය කන්ද ටෙලි නාට්‍යයතේමා ගීතය රයිගම් පසුගිය වසරේ රයිගම් විශිෂ්ටතම ගායනයට හිමිසම්මානය ලැබීය.

බොල් වී අහුරු නවකතාවෙන් 1990 දී නවකතා කරණයට පිවිසි ඇය මේ වන විට නවකතා 30 කට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇත.

ප්‍රියංකා අමරතුංග පසුගියදා රසඳුන ට ලියු දෙවන කුමාරි සහ දෙසිතක පිපි මල්, ත්‍රිශූල්, අලුත්ම නවකතා සමග තරුණී පත්‍රයේ පළවූ ‘සඳු හිරු තරු‘ සහ ‘රිවිර‘ පත්‍රයේ පළවූ ‘මේ වසන්තයයි‘ නවකතා ද 2018 සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත්වෙයි. මෙවර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී ඩී ශාලාවේ 204 සහන පොත් කුටියේදී ප්‍රියංකා අමරතුංග හමුවන්න පුළුවන්. ප්‍රියංකාට අමතනවානම් 071 44 62 799 කතාකරන්න පුළුවන්.


නිලාර්.එන්. කාසිම්ගේ නිර්මාණ දිවියට විසිපස් වසරයි

'සරස වසන්තය' පොත ජනපතිට පුදයි

ප්‍රවීණ ගීත රචක නිලාර් .එන් කාසිම්ගේ නිර්මාණ දිවියට වසර විසිපහක් පිරීම නිමිත්තෙන් 'සරස වසන්තය' පොත එළිදැක්වීම සහ ගීත සියයක යූ. එස්. බී ප්ලෑශ් ඩ්‍රයිව් එකක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පදනම් ආයතනයේ එළිමහන් පරිශ්‍රයේදි සිදුකෙරිණි.

නිලාර් එන් කාසිම් ලියූ ගීත අඩංගු සී. ඩී තැටි හතරක් දොරට වැඩීමද එදින සිදුකෙරිණි.මෙහිදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ජ්‍යෙෂ්ඨ සහ නවක කලාකරුවන් රැසක් ගීත ගායනාකළ අතර එම අවස්ථාවට විවිධ ක්ෂේත්‍රවල කලා ශිල්පීන්, දේශපාලක්ඥයන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.


වික්ටර් රත්නායකයන්ගේ සරස ප්‍රසංගය අද නෙළුම් පොකුණේදී

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි ඒක පුද්ගල ගී දැහැන ‘සරස‘ ප්‍රසංග මාලාවේ දෙවැනි ප්‍රසංගය අද (16) සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයේදී ගීත 24 ක් යුග ගායනාද ඉදිරිපත් කිරීමට නියමිතය. සඳකැන් වැටිලා, හෝපලු වනපෙත , දෛවයෝගයකින්, අඳුර බිඳින්නට ,තරු අත්අකුරින්, ආදර ගඟුලේ ඉවුරෙ රැඳී ඇතුළු වික්ටර් රත්නායකයන්ගේ සුමියුරු ගී රැසක් මීට ඇතුළත්ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත හැදෑරූ පවරි අමරංගා යුග ගායනයෙන් සහාය වේ.

 

අදහස්