චම්පා චට්ටෝ­පාධ්‍ය කුම­රිය ඔබ දැන් නිදි | සිළුමිණ

චම්පා චට්ටෝ­පාධ්‍ය කුම­රිය ඔබ දැන් නිදි

චම්පා චට්ටෝපාධ්‍ය උපත ලැබුවේ බටහිර බෙංගාලයේ මහාරාජාවරුන්ගෙන් පැවත එන වංශවත් හින්දු පවුලකය. ඉංග්‍රීසි යටත් විජිත යුගයේ සිට රාම් මෝහන් චට්ටෝපාධ්‍ය ගේ පරපුර නිදහස් අරගලය වෙනුවෙන් සටන් කර රට නිදහස කරා මෙහෙයවූ පිරිස අතර නායකත්වය දැරුවේය.

ප්‍රතිරාජයා ලෙස පත්ව ආ කර්සන් සාමි‍ෙග් අත්තනෝමතික ක්‍රියා කලාපයට ඉන්දීයයෝ විරුද්ධ වූහ.

චම්පාගේ පියා එංගලන්තයේ හැදී වැඩී ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ බුද්ධිමතෙකි.

ඉන්දීය ජාතිකයන් සිය අයිතිවාසිකම් ගැන හරියට දැන ගත්තේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමෙන් පසුවය. එසේම ඔවුනට පෞද්ගලික නිදහස, සමානාත්මතාව, ජාතිවාදය පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙන්නට ලැබුණේ බටහිර ලෝකය සමඟ ගැටීමෙන් පසුව ය.

හින්දු සමාජයේ පාරම්පරික චාරිත්‍ර දියුණු ලෝකය හා ගැළපුණේ නැත. සැමියා මිය ගිය පසු වැන්දඹුවන් මිය ගිය සැමියාගේ දරසෑයට පැන දිවි නසා ගන්නා පූජා චාරිත්‍රය 1829 දී අහෝසි කළේය. එහෙත් ඉන්දියාවේ ජාති, කුල, ආගම් වශයෙන් පවතින විෂමතා තවම වෙනස්ව නැත.

‘ජලියන්වාලා බාස්’ ඛේදවාචකයෙන් පසුව සමස්ත ඉන්දියාවම කම්පාවට පත් විය. මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි ඉන්දීයා ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛ තැන ගත්තේය. 1920 සැප්තැම්බරයේ කල්කටාවේදීත්, දෙසැම්බරයේ නාග්පූර්හිදීත් ගාන්ධි තුමා ස්වරාජ්‍යයක් ලබා ගැනීමට අහිංසාව මුල්කරගෙන නිදහස් සටන දියත් කළේය. මෙම ව්‍යාපාරයට දහස් ගණනින් අනුගාමිකයෝ එක්වූහ. මේ පුරෝගාමින් අතර චම්පාගේ මුතුන්මිත්තෝ ද වූහ.

රාම් මෝහන්ට පාරම්පරික සාම්ප්‍රදායික වගාවන්ගෙන් මුදල් ගලා ආවේය. විදේශ සංචාරවලින් ලද දැනුම අනුව හෙතෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කළේය. ඉන් අනපේක්ෂිත ධනයක් මොහන්ගේ ගිණුමට ගලා ආවේය.

චම්පා චට්ටෝපාධ්‍ය දර්ශන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන අතර, කලාවට බෙහෙවින් ඇලුම් කළ යෞවනියකි. ඇය කථක්, මනිපූරි, උත්තර හා දක්ෂිණ භාරතීය නර්තන පිළිබඳව හදාරා සිටියාය. උපතින් හිමිවූ පෙරදිග ලාලිත්‍ය ඇති දුව නිසා රාම් මෝහන් ආඩම්බරයට පත්ව සිටියේය. චම්පා චට්ටෝපාධ්‍ය නිදහසේ වැඩුණු රෝස කුසුමක් බඳු වුවද රාම්මෝහන් හා ආර්යාව සිටියේ දුකින් යුතුවය. වංග දැරියන් බාල වියේදීම විවාහ කර දීම චාරිත්‍රයකි. කුමරිය මහා රාජා පරපුරකින් පැවැතෙන නිසා එවන් චාරිත්‍ර ඇයට තද බල ලෙස බලපෑවේ නැත. බාල කාලයේ සිටම ඇගේ කතා බහේ හැසිරීමේ වෙනසක් දෙමාපියෝ දුටහ.

ශාරීරික ලෙස කැපී පෙනෙන රෝගයක් ඇයට තිබුණේ නැත. මනුෂ්‍ය ශරීරය රසභාවයන්ට තෝතැන්නකි. ඇයට ගායනයට හා වාදනයට ද හොඳ හැකියාවක් ඇත. එහෙත් තදබල ලෙස හු‍ෙදකලා ජීවිතය ප්‍රිය කරන්නියක ලෙස ප්‍රසිද්ධව සිටියාය.

චම්පා යළි එංගලන්තයට යැව්වේ මෙම රිද්මයේ වෙනසක් ඇති කිරීම සඳහාය.

මයිකල් ජැක්සන්, එල්විස් ප්‍රෙස්ලි, ලයනල් රිචී, බියොන්සේ, විට්නි හූස්ටන්, එල්ටන් ජෝන් වැනි ජනප්‍රිය ගායකයන්ගේ ගීතවලට පවා ඇය ඇල්මක් දැක්වූයේ නැත.

සාම්ප්‍රදායික ඉන්දීය තරුණියක මෙතරම් ප්‍රමාදව විවාහ වන්නේ නැත. මහාරාජා පවුල්වලට සම්බන්ධතව සිටි නිසා විවිධ ක්ෂේත්‍රවලින් යෝජනා ආවත් ඇය ඒ කිසිවකට කැමැති වී නැත. මෙය මාපියන්ට තදබල ප්‍රශ්නයකි. අඩු වශයෙන් මැයට පෙම් සබඳතාවක් තිබුණේ නැති බව වැඩිහිටි‍යෝ දනිති. මැයගේ අසාමාන්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය උපදෙස් පැතීමට ඔවුහු අදහස් කළහ.

බාල කාලයේ සිටම ප්‍රතිකාර ගන්නා පවුලේ වෛද්‍යවරයා චම්පා කුමරිය පරීක්ෂා කර බැලුවේය. මැනැවින් ඉගෙනුම ලබා සිටියත් තනිව හු‍ෙදකලාව සිටීමට දක්වන කැමැත්ත පුදුම සහගතය. බාල කාලයේ සිටම ‍ෙමම තත්ත්වය බැරෑරුම් වෙතැයි වෛද්‍යවරයා පවා සිතුවේ නැත. ශාරීරික රෝගයට වඩා මානසික ඇද වැටීමක් සිදුවෙමින් පවතින බව වෛද්‍යවරයා නිගමනය කළේය.

වර්තමාන පරපුරේ තරුණ තරුණියන් තුළ අමුතු මානසික ඇද වැටීම් සිදුවෙමින් පවතී. ඒවාට නිශ්චිත පදනමක් නැත. ඒවා බොහෝදුරට පරිහරණය කරන මෙවලම් නිසා සිදුවීමට ද පුළුවන.

ස්වරූපය මෙලෙස නූණත් ඉන්දියාවේ හිමාලයේ ජීවත් වූ ඍෂිවරුන් ද මීට සිය අවධානය යොමුකර ඇති බව පෙනේ. ඇතැමුන් සිත සනසා ගැනීමට හිමාලයට ගොස් භාවනා යෝගීව ජීවත් වූහ. පවුලේ වෛද්‍යවරයා චම්පා කුමරිය මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අදහස් කළේ එබැවිනි.

වෛද්‍ය ප්‍රතාප්සිං ප්‍රසිද්ධ මානසික වෛද්‍යවරයෙකි. මෙවන් රෝග මනෝ චිකිත්සාවෙන් සුව කළ හැකි බව ඔහු දැන සිටියේය.

මෝහන විද්‍යාවෙන් රෝගීන් සුවපත් කරන චිකිත්සාවක් ඇත. නවදිල්ලි, පූනා, වෙල්ලෝරා, කොචින්, මදුරාසි වැනි විශ්වවිද්‍යාලයන්හි ම‍නෝ චිකිත්සක ඒකක ඇත.

පූනා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වෙත චම්පා යොමු කිරීමට ප්‍රතාප්සිං වෛද්‍යවරයා අදහස් කළේය. චම්පාගේ පියා වන රාම් මෝහන් ගෙන් එයට අනුමැතිය ලබා ගැනීමට වෛද්‍ය ප්‍රතාප්සිංට හැකි වුණි.

චම්පා කුමරිය මේ දිනවල සිටින්නේ නොසතුටු සිතින් යුතුවය. ඔවුන් තම පෞද්ගලික ජීවිතයට බාධා ඇතිවන පරිදි කටයුතු කරන බව හැඟී ගියද කළ යුතු දෙයක් නැත. කාටවත් නොදැන්නූවත් කිසිවකු සිහිනෙන් තමා අමතන බවක් දැනේ. හැම දෙනාම තමා පිළිබඳව උනන්දුවෙනි. ප්‍රතිපත්තියක් ලෙස ඉන්දීය සමාජයේ ගැහැනු දරුවන් මාපියන්ට විරුද්ධ වන්නේ කලාතුරකිනි. වෛද්‍යවරයා වෙත කැඳවාගෙන යන්ට ඇත්තේ තමා කෙරෙහි වූ ආදරය නිසාය.

චම්පා වෛද්‍ය උපදෙස් අනුව දිය නා සැහැල්ලු ඇඳමකින් සූදානම්ව මනෝ වෛද්‍යවරයාගේ සායන මැදිරිය තුළට ගියාය. වෛද්‍යවරු දෙදෙනෙක් හා අම්මා තාත්තා මැදිරිය තුළ සිටිනු චම්පා දුටුවාය.

වෛද්‍යවරයා ඇය නිද්‍රාවට පත් කිරීමට සූදානම් වුණි. මඳ වේලාවකින් ඇය මෝහන නිද්‍රාවට පත්වූවාය.

“චම්පා චට්ටෝපාධ්‍ය කුමරිය ඔබ දැන් නිදි. නිද්‍රාවෙන් පසුවන ඔබ දන්න හැම දෙයක් ම පැවසිය යුතු වෙනවා. නම මොකක්ද?”

තරයේ දෑස් පියාගෙන සිටියා විනා ඇය වචනයකුදු පැවස‍ුවේ නැත.

“ඔබේ නම මොකක්ද?”

ඇය එකවරම පිළිතුරක් දුන්නේ නැත.

“මගේ නම රන්මලි මැණිකෙ”

ඇගේ පිළිතුර නිසා සැවොම පුදුමයට පත්වූහ. ඉන්දියාවේ කුල‍ ගෝත්‍ර අතර මෙවැනි නම් නැත.

ලබන සතියට

අදහස්