සරසවි විනය කැඩුවොත් මහපොළ නෑ! | Page 2 | සිළුමිණ

සරසවි විනය කැඩුවොත් මහපොළ නෑ!

විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් සම්බන්ධයෙන් දැඩි තීරණ රැසක් ගෙන ඇති බව මහපොළ ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක පරාක්‍රම බණ්ඩාර මහතා සිළුමිණට පැවැසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලවල දේපළ හා පොදු දේපළවලට හානි සිදු කරන සිසුන්, නවකවධ සිදු කරන සිසුන් මෙන්ම විවිධ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන සිසුන්ගේ පන්ති තහනමත් සමඟ ඔවුන්ට හිමි මහපොළ ශිෂ්‍යාධාරයද සදහටම අහිමිව යන බවයි. යම් ආකාරයකින් පන්ති තහනම ඉවත් වුවද මහපොළ ගෙවීම අත්හිටුවෙන අතර, ඒ සිසුන් මෙතෙක් ලබාගත් සියලු මුදල් නැවත මහපොළ භාරකාර අරමුදල විසින් අය කරගැනීමටද කටයුතු ‍කරනු ඇත.

එසේම මහපොළ ශිෂ්‍යාධාර හිමි විශ්වවිද්‍යාල සිසුන් යම් යම් බරපතළ නොවූ වැරදි සම්බන්ධයෙන් පන්ති තහනමට ලක් වී ඇත් නම් පන්ති තහනම අවසන් වූ පසු ඔවුන්ට නැවතත් මහපොළ ශිෂ්‍යාධාරය සක්‍රිය කරගත හැක්කේ සිය මවුපියන් දෙදෙනා විසින් තම දරුවා මින් මතු එවැනි වරදකට සම්බන්ධ නොවන බවට ඔවුන්ගේ අස්සනින් යුතු ලිපියක් ලබා දුන හොත් පමණි. එයද එක් වරකට පමණක් සීමා වන බව එම අරමුදලේ අධ්‍යක්ෂකවරයා පැවැසීය.

Comments