ආණ්ඩුවේ වැඩවල හොඳ-නරක සෙවීම පසුපෙළ මන්ත්‍රීන් අතට | Page 2 | සිළුමිණ

ආණ්ඩුවේ වැඩවල හොඳ-නරක සෙවීම පසුපෙළ මන්ත්‍රීන් අතට

ඉදිරියේදී සිදු වන මහා පරිමාණ ව්‍යාපෘති මෙන්ම ගම් මට්ටමින් සිදු වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඇගැයීම් ක්‍රියාවලියක් හරහා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට රජය ලබාපොරොත්තු වෙයි. මේ ඇගැයුම් කටයුතු වෙනුවෙන් පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වන අතර, ඉදිරියේදී මේ අයගෙන් සැදුම් ලත් කමිටුවක් මඟින් සියලු ඇගයුම් කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.

ඇමැති කබීර් හෂීම් මහතාගේ අදහසකට අනුව ආරම්භ වූ මේ ඇගැයීම් කටයුත්ත නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ කමිටුවට රටේ සිදු වන සියලු ව්‍යාපෘතිවල තොරතුරු ලබාගැනීමේ බලය පැවැරෙන අතර, පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ ඇගැයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටද අපේක්ෂිතය.

මේ පිළිබඳව අදහස් දැක්වමින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ඉදිරියේදි මේ කටයුත්ත හරහා මහජනතාව වියදම් කරන සෑම ශතයකටම වටිනාකමක් ලබා දීමට හැකි වන බවත්, අනවශ්‍ය ආකාරයෙන් විවිධ ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම වළක්වා-ලිය හැකි බවත්ය. මේ නව ඇගයුම් ක්‍රියාවලිය රටවල් 52ක සහභාගිත්වයෙන් මේ මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන ‘ඇගැයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුවේදි’ ‘EvalColombo2018’ හඳුන්වා දීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සමුළුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ඇගයුම් ප්‍රඥප්තියක් එළිදැක්වීමට නියමිතය.

Comments