ෂැවො­ලින් ආරා­මය කල්පි­ත­යක් ද? | සිළුමිණ

ෂැවො­ලින් ආරා­මය කල්පි­ත­යක් ද?

හැත්තෑව දශකය මැද භාගය වන විට ලොව සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන් ඔකඳ කරනු ලැබුවේ බ්රූස්ලී නමැති චීන සටන් නළුවා විසින් ඉදිරිපත් කරනු ලැබූ The Big Boss, Fist of Furry (1971), Way of the Dragon, Enter the Dragon (1973) වැනි චීන සටන් කලාවෙන් පෝෂණය ලැබූ සටන් චිත්‍රපට රැල්ලයි. එය මෙරට ප්‍රේක්ෂකයන් තුළද එවැනිම උන්මාදයක් ඇති කිරීමට සමත් විය. එසේම ඒ සිනමා කෘතිවල එන ආකර්ෂණීය සටන් විලාසය චීනයේ ෂැවොලින් ආරාමයෙන් (Shaolin Monastery) ව්‍යාප්ත වූවක් බවක්ද බොහෝ දෙනාගේ කතා බහට ලක් විය.

ඉක්බිතිව ෂැවොලින් ආරාමය මෙරට ප්‍රේක්ෂකයන්ගේ කුතූහලයට නැවතත් දැල්වෙන්න වූයේ ටයිටස් තොටවත්තයන් හා අතුල රන්සිරිලාල් ඇතුළු පිරිස විසින් ජාතික රූපවාහිනිය ඔස්සේ උපසිරැසි සහිතව විකාශය කරන ලද ඩේවිඩ් කැරඩින් නමැති බටහිර නළුවා රංගනයෙන් දායක වූ ‘කුංග් ෆු’ රූපවාහිනි කතා මාලාව නිසාය. එය මුල් වරට ඇමෙරිකානු ABC රූපවාහිනිය ඔස්සේ 1972 වර්ෂයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් විකාශනය වූවා පමණක් නොව චීනයේ ෂැවොලින් ආරාමය පිළිබඳ ලොව පුරා දැවැන්ත කුතූහලයක් අවදි කිරීමටද සමත් වූවේය.

එහි එන එම බෞද්ධ ආරාමයේ දැවැන්ත පසුතල දර්ශන දුටු ලෝක ජනතාව එය සැබෑ ලොව පවතින්නක් නොව කල්පිතයක් හෝ මවාපෑමක් ලෙස සිතූහ. මේ දර්ශන චීනයේ සැබෑ පසුබිමක රූප ගත කළ ඒවා නොවූවත්, ‘ෂැවොලින් ආරාමය’ කල්පිතයක් නොවේ; සැබෑ සෙන් බෞද්ධාමික ආරාමයකි. සැබැවින්ම මේ ඇමෙරිකානු රූපවාහිනී නාටක මාලාව සඳහා යොදාගත් පසුතලය, 1967 වර්ෂයේ වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් සිය චිත්‍රාගාර භූමියෙහි තනන ලද ‘කැමිලොට්’ නම් චිත්‍රපටයේ එන දැවැන්ත මාලිගාවට චීන සළුපිළි ඇන්දවීමකි.

චීනයේ හෙනාන් දිස්ත්‍රික්කයේ ඩෙන් ෆෙන් නමැති කඳුකර වනාන්තර ප්‍රදේශයෙහි ක්‍රිස්තු වර්ෂ 495දී වී අධිරාජයාගේ සමයේ බිහි වුණු ලොව ප්‍රකට සෙන් බෞද්ධ ආරාමයකි ෂැවොලින් ආරාමය. වී ආධිරාජයාගේ සමයේ ඉන්දියාවෙන් චීනයට පැමිණි බෝධිධර්ම නම් වූ බෞද්ධ භික්ෂුව කෙරෙහි පැහැදුණු චීන අධිරාජයා තමාගේ රාජසභිකයන් වෙත බුදුදහම ඉගැන්වීමට බෝධිධර්ම භික්ෂුවට බාර කළේය. එපමණක් නොව, සොන් කඳුකරයේ ආරමයක් බිහි කිරීමටද ඉඩ දුන්නේය. වසර නවයක් තිස්සේ භාවනානුයෝගි ජීවිතයක් ගත කළ මෙතුමෝ ෂැවොලින් ආරාමයෙන් ආරම්භ වූ සෙන් බුදු දහමේ පළමු ආචාර්ය හිමියන් ලෙසින් සැලකෙති. චීන බුදුදහමේ සමාරම්භකයා උන් වහන්සේය.

කල් ගත වන විට තමන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පැවතියද අනෙකුත් භික්ෂූන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වන බව දුටු බෝධිධර්ම භික්ෂුව ඔවුන්ට ශාරීරික අභ්‍යාසවල යෙදීමට අවස්ථාව සලසා දුන්නේය. කලක් තිස්සේ එරමිණියා ගොතාගෙන බොහෝ වෙලා භාවනාවේ යෙදීම, වනගත සතුන් වන කොටියා, වානරයා, නයා සහ අනෙකුත් කුරුල්ලන්ගේ චර්යාවන් හැදෑරීම ආදිය ඔස්සේ මේ සටන් කලාව බිහි වී ඇත්තේය.

ක්‍රිස්තු වර්ෂ 598-650 සමය තුළ ලී සිමින් අධිරාජයා වාං ෂි චොංග් සමඟ යුද වදින විට ෂැවොලින් ආරමයේ සිටි භික්ෂූන් 13 දෙනකුගේ සහයෝගයෙන් අධිරාජයාට යුද්ධය ජය ගැනීමට හැකි විය. පසුව ආරාමයේ දියුණුවට අධිරාජයාගෙන් සහාය ලැබුණ අතර, එකල ලොව පැවති විශාලම බෞද්ධ ආරාමය ලෙස ෂැවොලින් ආරාමය සැලකනු ලැබූ බවත්, භික්ෂූන් දෙදහසක සංඛ්‍යාවක් එහි වාසය කළ බවත් කියවෙයි.

ෂැවොලින් ආරාමයේ ප්‍රධාන ශාලාව ප්‍රකටව ඇත්තේ දහසක් බුදුන්ගේ පිළිරූ හා වටිනා බිතුසිතුවම් ආදි පැරණි බෞද්ධ උරුමයන් නිසාය. ආරාමය නැඟෙනහිර දෙසින් ඇති දැවැන්ත වනාන්තරය මැද ඇත්තේ ගඩොළින් නිම කරන ලද ඉපැරණි බෞද්ධ ස්තූප හා ගුහා කැටයම්ය.

විවිධ යුගයන්හි මේ ආරාමයට නොයෙකුත් බාධාවලට හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. සමහර කාලවකවානුවල රජුන් විසින් ආරාමය විනාශ කර දමන ලදි. වරක් මේ ආරාමයට එරට පාලකයන් විසින් ගිනි තැබූ විටක දින හතළිහක් තිස්සේ පොත්පත් ආදි සියල්ල ගිනි ගත් බව සඳහන්ය. කෙසේ වුවද එවැනි විනාශයන් තාවකාලික බව පෙන්වා දෙමින් ෂැවොලින් ආරාමය නැවත නැවතත් ගොඩනැඟී ඇත්තේය. 1917 පමණ වන විට හෙනාන් දිස්ත්‍රික්කයෙන් ෂැවොලින් ආරාමය ඉවත් කෙරුණු බවත්, ඒ වෙනුවට ෆියුජියන් පළාතේ තවත් ආරාමයක් ගොඩනැඟුණු බවත් සඳහන් වෙයි. කුංග්ෆු නමින් හැඳින්වෙන සටන් කලාව බිහි වූයේ අලුත ඉදි වූ ආරාමයෙන් බවත් කියැවෙයි. කෙසේ වුවද 1966 චීන සංස්කෘතික විප්ලව සමයේදී මේ ආරාමය කලක් තිස්සේ වසාදමා පැවතිණි.

අද වන විට ලෝක වාසීන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රව ඇති ෂැවොලින් ආරාමය සෙන් බුදු දහම ඔස්සේ බිහි වුණු සටන් කලාවක්ද ලොව ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ. ඒ සටන් කලාව හා ශිල්ප ක්‍රම, සෙන් බුදු දහමේ එන දාර්ශනික දැක්ම, අහිංසා පිළිවෙත, භාවනා ක්‍රම ආදිය පමණක් නොව පැරණි සමුරායිවරුන් හා බැඳුණු වීරකතා සාහිත්‍යක්ද චීන සංස්කෘතියට උරුම කර තිබේ. සංචාරක නවකතා මෙන්ම ‘වෝටර් මාජින්’ වැනි වීරවරයන් පාදක කරගත් කෘතිද බිහිව චීන සාහිත්‍යය පෝෂණය කරමින් තිබෙයි. මෑතකදී ෂැවොලින් ආරාමය පසුබිම් කොට ගෙන බිහි වූ කලා නිර්මාණයන් තුළින් සටන් මඟට අභ්‍යන්තරයෙන් දිවයන ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ ප්‍රබල ආඛ්‍යානයක් ගැබ්ව ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

ෂැවොලින් ආරාමය හා ඒ අවට බෞද්ධ පුරාවස්තු යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කොට තිබෙන අතර, එහි කටයුතු 1999 සිට ආරාමාධිපති හිමිවරයකු ප්‍රමුඛත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ. මේ ආරාමයේ ඇතුළත පමණක් විශාලත්වය වර්ග අඩි හයලක්ෂ විසිදහසකි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තුළ ෂැවොලින් ආරාමය කෙරෙහි පැවති ආකර්ෂණය කොතරම් වීද යත්: ලොව පළමු රාජ්‍ය නායකයා ලෙසින් 2007 වසරේදී ඔහු ෂැවොලින් ආරාමය නැරඹීම සඳහා පැමිණීම වාර්තාගතය.

ෂැවොලින් ආරාමවාසී මහලු භික්ෂූන් වහන්සේ නමකගෙන් ආරාමය ගැන පවතින කටකතා ආදියට පිළිතුරු ලබාගන්නා ගවේෂකයකු අන්තර්ජාලයට නිකුත් කර ඇති පිළිතුරු කිහිපයක් මෙසේ දක්වමි.

ප්‍රශ්නය - මේ ආරාමයේ වාසය කරන භික්ෂූන්ගෙන් සිදු වන්නේ සටන් ශාස්ත්‍රය ඉගැන්වීම පමණක්ද?

උත්තරය - එයම නොවේ. බුදුදහම යනු වැරදි දෙයින් නිදහස් විය හැකි මිනිස් ජීවිතයේ යහපත් වටිනාකම් සාක්ෂාත් කරගත හැකි නිර්මල දහමකි. මෙහි ඉගැන්වෙන්නේ පරිත්‍යාගශීලි දිවි පෙවෙතකි.

ප්‍රශ්නය - සමහර චිත්‍රපටවල එන කුංග්ෆු සටනෙහි යෙදෙන භික්ෂූන්ගේ කායික ක්‍රියාකාරකම් ෂැවොලින් භික්ෂුන්ගේ ජීවිතවල පවත්නා ක්‍රියාකාරකම්වලට සමානද?

උත්තරය - කුංග්ෆු සටන් කලාව ඉගැන්වීමට පෙර ඔවුන් තම කාය ශක්තිය හා විනය වර්ධනය කරගත යුතුයි. ඒ අනුව ඔවුන්ට ආරාමය අතු-පතුගෑමේ කටයුතු හා අනෙකුත් කටයුතුවල යෙදෙන්නට සිදු වනවා. මේ ආරාමය ජාතියේ දායාදයක්. එය මනාව පවත්වාගැනීමට සහය වීම එහි වාසීන්ගේ කාර්යයක්.

ප්‍රශ්නය - ෂැවොලින් ආරාමයෙහි කුඩා සිසුන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැති බව ඇත්තද?

උත්තරය - ඒක බොරුවක්. ඔවුන්ට සාම්ප්‍රදායික විෂයයන් ගැන ඉගැන්වීම් කෙරෙනවා. එසේම චීන සංස්කෘතිය හා බුදුදහම ගැන ඉගැන්වීම් කෙරෙනවා. එසේම ඔවුන් අතින් ආගමික වතාවත් සිදු කිරීම හා දහම් සජ්ඣායනා පිළිවෙළකට අනුව ක්‍රමානුකූලව සිදු වනවා.

ප්‍රශ්නය - ආරාමයේ ඉගෙනගන්නා සිසුන් කුංග්ෆු ශිල්පය පමණක්ද ප්‍රගුණ කරන්නේ?

උත්තරය - නැහැ. ඔවුන් ඒ ඇසුරෙන් ජීවිතය ප්‍රගුණ කරන්න ඉගෙනගන්නවා. ෂැවොලින් සංස්කෘතිය යනු කුමක්දැයි ඉගෙනගන්නවා. බුදුදහම ඉගෙනගන්නවා. සටන් කලාව ඉගෙනගන්නවා. තමන් තුළ සැඟවුණු ශක්තිය ඔපවත් කරන්ට ඉගෙනගන්නවා. චීන වෙදකම ඉගෙනගන්නවා.

ප්‍රශ්නය - මෙහි පැමිණෙන සංචාරකයන්ට ෂැවොලින් භික්ෂූන්ගෙන් අධ්‍යාපනය ලැබිය හැකිද?

උත්තරය - බොහොම කනගාටුයි. එය කළ නොහැකියි. වාර්ෂිකව විශාල පිරිසක් මෙහි පැමිණෙනවා. ඔවුන්ට මෙහි වේදිකාවේ දක්නට ලැබෙන සටන් සන්දර්ශන නම් වෙනත් දෙයක්. ඉගැන්වීම සිදු වන්නේ පැරණි ෂැවොලින් ආරාමයෙන් පමණයි.

ප්‍රශ්නය - භික්ෂූන් සටන් දර්ශන පැවැත්වීමෙන් ආදායම් ලබනවාද?

උත්තරය - නැහැ. ෂැවොලින් භික්ෂූන්ට ආදායම් මාර්ගයක් නැහැ. ඔවුන් ආරාමවාසීන්. ඔවුන්ට අවශ්‍ය ආහාර, සාමාන්‍ය සිවුරු හා වෙනත් අවශ්‍ය දේ නිරතුරුව ලැබෙනවා. සැතපෙන්ට ආවාස ගෙවල් තිබෙනවා. සැබෑ ෂැවොලින් භික්ෂූන් සතුව මුදල් නැහැ. ඔවුන්ට මුදල්වල අවශ්‍යතාවක් ඇත්තෙ නැහැ.

මේ භික්ෂූන් අපිස් ජීවිතය ගැන දරන ආකල්පය පැහැදිලි කෙරෙන තැන් රැසක් කුංග්ෆු කතා මාලාවේ දක්නා ලැබේ. ‘කුංග්ෆු’ පරිවර්තන කෘතියේ එන එවැනි තැනක් උපුටා දක්වමින් මේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි:

“තණකොළ පෙත්තා මොකද කල්පනාව?” ඇස් අන්ධ පො ගුරු හිමියෝ නිහඬව පැමිණ, දරුවා කල්පනාවේ යෙදී සිටිනවා දැක සුහදව විමසා සිටියහ.

උකටලී බවට පත් වූ කේන් හිමි බයාදු ලෙසින් මෙසේ විමසුවේය. “මට දුකක් හිතෙනවා ගුරුතුමනි. අර ගසේ කොළ පෙරදි බලවත්ව තිබුණා. ඒත් දැන් ඒවා සුළඟෙහි සැලෙමින් බිම නොවැටෙන්නට දරන උත්සාහය ඉක්මනින්ම පලක් නොමැතිව යනවා...”

“ඉතින් ඔබට සිතෙන්නේ නැද්ද මිනිස් ජීවිතයත් ඒ වගෙයි කියලා?” පො හිමියෝ කාරුණිකව විමසූහ.

මේ කෘතියේම තවත් තැනක පො හිමියන්ගේ ගෝලයා වන කේන් විසින් සටන් පිළිවෙතෙහි ඇති බෞද්ධ සාරධර්ම ගැන කරනු ලබන මේ සඳහනද බෙහෙවින් වැදගත් වන්නේය:

“බාධා සිදු කරනවාට වඩා මඟහැර යෑම යහපත්ය. බාධා කිරීම තුවාල සිදු කරනවාට වඩා යහපත්ය. අංගවිකල කිරීමට වඩා තුවාල සිදු කිරීම යහපත්ය. අංගවිකල කිරීම මරාදැමීමට වඩා යහපත්ය. මේ සියල්ල තේරුම් ගන්න. ජීවිතය නැවත ලබාදිය නොහැකිවාක් මෙන්ම ජීවිතය අතිශයින් අගනා දෙයක්ද වන්නේය. මාටින්, ඔබේ ජීවිතයද අතිශයින් අගනේය.”

අදහස්