ලාබෙට පොත් දීමේ ඉති­හා­ස­යට අවු­රුදු 58යි | සිළුමිණ

ලාබෙට පොත් දීමේ ඉති­හා­ස­යට අවු­රුදු 58යි

ර‍ාජ්‍ය මට්ටමෙන් සාහිත්‍ය මහෝත්සවයක් ප්‍රථම වරට පවත්වා ඇත්තේ 1957 සැප්තැම්බර් මාසයේ වුවද ඊට වසර 37 කට පෙර සිට ම සාහිත්‍ය සම්මේලන පවත්වා ඇති බව පැරණි පුවත්පත් පීරා බලන විට තොරතුරු හමු වේ. මේ අනුව බලන විට සාහිත්‍ය මහෝත්සවවල ඉතිහාසය ශත වර්ෂයකටත් වඩා කාලයක් දක්වා විහිදී ගොස් ඇත.

1920 ඔක්තෝබර් 31 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී ලංකාවේ පවත්වන ලද ප්‍රථම ශාස්ත්‍රීය සම්මේලනය ගැන තොරතුරු මුදලිඳු ඒ. ඊ. අබේසේකර 1957 සැප්තැම්බර් 15 වැනිදා “ඉරිදා ලංකාදීප” පත්‍රයට ලියූ ලිපියකින් අනාවරණය කර ඇත.

“ලංකාවේ බොහෝ ගම් නියම් ගම්වල පවත්නා ශාස්ත්‍රාභිවෘධි සමිති, කථිකෝදය සමිති, සුචරිතෝදය සමිති, යන මෙකී නොකී සමාගම් මඟින් වඩාත් ප්‍රයෝජනවත් සේවයක් කරවීම කෙසේ කළ යුතුදැයි සාකච්ඡාකොට පුළුල් වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා යථෝක්ත සමිතිවල නියෝජිතයන් එක් තැනකට රැස් කරවා ශාස්ත්‍රීය සමිති සම්මේලනයක් පැවැත්වීමට “කොළඹ සිංහල තරුණ සමිතිය” යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව ලංකාවේ පවත්වන ලද ප්‍රථම ශාස්ත්‍රීය සම්මේලනය කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පවත්වන ලද්දේ 1920 ඔක්තෝබර් 31 වෙනිදා ය. ඉන් පසුව තවත් සම්මේලන හයක් පවත්වන ලදී.”

ශාස්ත්‍රාචාර්ය පෝල් ඊ.පීරිස් මහතා ප්‍රථම ශාස්ත්‍රීය සම්මේලනයේ සභාපති වූ අතර ඊ.ඒ. අබේසේකර මුදලිතුමා ලේකම් විය. සම්මේලනයට පැමිණි සිටි ‍නියෝජිතයන් පිළිගෙන ඇත්තේ අධිනීතිඥ ඩී.බී. ජයතිලක මහතා විසිනි. එච්.එල්. ද මැල් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී සෑම සමිතියක් විසින් ම පෙදෙස්වල නිදහස් පුස්තකාලයක්, කියවීම් ශාලාවක් ගොඩනඟා ගත යුතු බව අවධාරණය කර ඇත. එමෙන්ම ගම්බද ගී (ජන කවි), වන්නම්, සී පද, කවි සින්දු යන සංස්කෘතික අංග නොනැසී ආරක්ෂා කර ගැනීම සඳහා පැරණි චාරිත්‍ර වාරිත්‍ර සංරක්ෂණය කිරීම පිණිස වර්ෂයක් පාසා සිංහල අවුරුදු උත්සවයක් පැවැත්වීමටත් අංග සම්පුර්ණ සිංහල ශබ්ද කෝෂයක් ප්‍රසිද්ධ කිරීමටත් යෝජනා සම්මත කර ගන්නා ලදී.

ලංකා‍වේ ප්‍රථම වරට සමස්ත ලංකා සාහිත්‍ය කලා තරගයක් පවත්වා ඇත්තේ 1944 වසරේ දී ය. කොළඹ 14 කොස්ගස්හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අංක 285 දරන නි‍ෙවසේ ආරම්භ කරන ලද “නව කලා මණ්ඩලය” මඟින් 1944 මැයි 30 වැනිදා මරදානේ දකුණු ස්කිනර් පාරේ පිහිටි රජයේ දෙබස් මුසු පාසලේ දී එය පවත්වා ඇත. සාහිත්‍යය, සංගීතය, ගායනය, ක්ෂණික කතා, වාග් විලාසය, ගම්බද ගී, විරිදු, ජන ගී, හා චරිත නිරූපණය යන තරග මේ තරගයට ඇතුළත් ව ඇත.

1955 වසරේ අදළ වසර තුළ පළ වූ නිර්මාණාත්මක සංස්කරණාත්මක සිංහල සාහිත්‍ය කෘතිය වෙන‍ුවෙන් දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානය පිරිනමා ඇත. අභාවප්‍රාප්ත හොරණ දානපතියකු වූ හෙට්ටිආරච්චි‍ගේ දොන් පේද්‍රික් මහතාගේ බූදලයෙන් භාරකාර මණ්ඩලයක් විසින් අවුරුදු පතා මේ සම්මානය 1962 වන තුරු පිරිනමා ඇත. දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ භාරකාර මණ්ඩලයේ සභාපති වූයේ එම්.ජේ.පෙරේරා මහතා ය. පරිපාලන නිලධාරියකුව සිටි ඒ මහතා පේද්‍රික් මහතාගේ වැඩිමහල් බෑණනුවන් ය. සෙසු සාමාජිකයන් වූයේ එස්.ජේ.වල්පිට (හිටපු උපකුලපතිවරයෙකි) අධිනීතිඥ සුනිල් කේ.රුදිගු (ලේක්හවුස් හිටපු සභාපති), ඩබ්ලිව්.ඩී.සී. මහතන්තිල යන බෑනාවරු ද, ගුණසෝම හෙට්ටිආරච්චි හා ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි (හිටපු අමාත්‍යවරයකි) යන පේද්‍රික් මහතාගේ පුතුණුවන් ය.

අවස්ථානුකූලව පත් කර ගනු ලබන ප්‍රවීණ විචාරකයන් තිදෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මඟින් ඒ ඒ වර්ෂවල පළ වූ කෘති සඳහා සම්මාන තෝරනු ලැබීය. 1955 වසරේ ප්‍රථම වරට ගුණදාස අමරසේකර ලියූ “කරුමක්කාරයෝ” නවකතාව දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. 1955 සිට 1962 දක්වා මේ සම්මානය 7 වරක් පිරිනැමී ඇත. මාර්ටින් වික්‍රමසිංහ ලියූ විරාගය (1955), එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ “කල්පනා ලෝකය” (1957), මුල්ලපිටියේ කේ. එච්.ද සිල්වා ලියූ “සිංහල සැහැලි” (1958) සිරි ගුණසිංහ ලියූ “හෙවනැල්ල” (1959), මඩවල ඇස්. රත්නායක ලියූ “අක්කර පහ” (1960), පී.බී. සන්නස්ගල ලියූ “සිංහල සාහිත්‍ය වංශය” (1961), කේ. ජයතිලක ලියූ “ චරිත තුනක්” (1962) දොන්. පේද්‍රික් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

“සිළුමිණ” පුවත්පත කවියන්ට, ගත් කරුවන්ට, විචාරකයන්ට, නවකතා කරුවන්ට අවුරුදු පතා පොත්වලට තෑගි ලැබෙන මහා තරගයක් ගැන 1955 නොවැම්බර් ‍06 වැනි ඉරිදා පත්‍රයේ මුල් පිටුවේ මුල් ශිර්ෂයෙන් ප්‍රවෘත්තියක් පළ කොට තිබුණි.

“අවුරුදු පතා පොත්වලට තෑගි ලේඛකයන්ට විශාල මුදලක් ලැබෙයි” එහි ශිර්ෂ පාඨය විය.

සිංහල රාජ්‍ය භාෂාව වී ගෙන එන මේ අවදියේ නා නා විෂයයන් ගැන ලියැවුණු සිංහල පොත්වලට හා ග්‍රන්ථ කර්තෘවරයාට තෑගි දීමට රජය තීරණය කර ඇති බව එ් ප්‍රවෘත්තියෙන් අනාවරණය විය. හොඳ ම නවකතාවට හෝ කෙටි කතා සංග්‍රහයට, හොඳ ම පරිවර්තන කෘතියට, හොඳ ම පද්‍ය කාව්‍යය, හොඳම දෘශ්‍ය කාව්‍යය, හොඳම විද්‍යාත්මක ග්‍රන්ථය, ආදී වශයෙන් රු:1000 බැගින් 1956 නිදහස් දිනයට පිරිනැමීමට තීරණය කර තිබුණත් 1956 මහ මැතිවරණය උණුසුම නිසා එය කල් දමා ඇත. එහෙත් “සිළුමිණ” පුවත්පත අනුග්‍රහයෙන් 1955 වසරේ හොඳම පරිවර්තන කෘතියට රු:1000 ක මුදල් ත්‍යාගයක් දීමට මාලේවන ඤණස්සර හිමියන් “සිළුමිණ”ට කර තිබූ ප්‍රකාශය අනුව එම ත්‍යාගය “රුදුරු බලුව” නම් පරිවර්තන කෘතියේ කතුවර ආර්.එන්.එච්. පෙරේරාට හිමි විය. සර් ආතර් කොනන් ඩොයිල් විසින් ලියූ The Hound of Baskervilles කෘතිය Sherlock Holmesරහස් පරීක්ෂකයාගේ වික්‍රම මේ ග්‍රන්ථයට ඇතුළත් වී ඇත.

මේ තරගයේ දෙවන ස්ථානය ද හිමි වී තිබුණේ ආර්.ඇන්.එච්. පෙරේරාට ම ය. චාලට් බ්‍රොන්ටේ විසින් ලියූ “ජේන් අයර්” කෘතියේ පරිවර්තකයා ද ඔහු ය. පී.ආර්. වික්‍රමසිංහ විසින් ලියූ “දෙනුවර අන්දරය” පරිවර්තන කෘතියට තෙවන ස්ථානය ද, ඩී.සී. රණසිංහ විසින් ලියූ “ඩේවිඩ් කොපර්පීල්ඩ්” පරිවර්තන කෘතියට සිව්වැනි ස්ථානය හිමි විය. පස්වන ස්ථානය හිමිව තිබුණේ බී. ශාන්ති දේව හිමියන් පරිවර්තනය කළ “අදිසි මිනිසා” කෘතියට ය.

සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් උපදේශක සභාවේ උපදෙස් පරිදි කෝට්ටේ සිරි පැරකුම් පිරිවෙනේ හා පැපිළියානේ සුන්ත්‍රා මහා දේවි පිරිවෙනේ 1957 සැප්තැම්බර් 7,8, වැනි දිනවල සාහිත්‍ය මහෝත්සවය පවත්වා ඇත. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධ දත්ත, පණ්ඩිත කෝදාගොඩ ඤණලෝක, වැලිවිටියේ සෝරත, කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරැන්දේ සිරි සීවලී, කහඳ මෝදර පියරතන, යන මහා පඬිරුවන්ද, මුදලිඳු ඊ.ඒ. අබේසේකර, ඩබ්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, සාගර පලන්සුරිය, අමරදාස වීරසිංහ, ඇන්. කියු. ඩයස්, පෙරමුණේ තිලක, එම් .ඊ. ඩයස් යන මහත්වරුද මේ උපදේශක මණ්ඩලයට ඇතුළත් වූහ.

මුල් වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළකදී හොඳම පොත් සඳහා සාහිත්‍ය සම්මාන පිරිනැමී ඇත්තේ 1959 වසරේදීය. එහෙත් මෙහි සුවිශේෂය නම් එහි දී නිර්මාණ ග්‍රන්ථ කිසිවකට සම්මාන පිරි නොනැමීම ය. නවකතා, කෙටිකතා, කාව්‍ය, විචාර, සංස්කරණ අංශ සඳහා සාහිත්‍ය සම්මාන රුපියල් දස දහසක් පිරි නැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි. එහෙත් 1958 වසරේ පළ වූ නිර්මාණාත්මක කෘති සම්මාන පිරි නැමීමට සුදුසු තත්ත්වයකට නොතිබූ බව ජාතික පුවත්පතකට නිවේදනයකින් ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව උසස්ම කෘති හතරක් තෝරා මුදල් ත්‍යාග පිරිනමා ඇත. ඒ කෘති මෙසේය.

*විචාරක අංශය - 1 වැනි ත්‍යාගය ( රු: 1500) වෛදික සාහිත්‍යය (ආචාර්ය ජයදේව තිලකසිරි)

*විචාරක අංශයේ 2 වැනි ත්‍යාගය (රු:1000) ගුත්තිල විචාරය - (යක්කඩුවේ ප්‍රඥාරාම හිමි)

*සංස්කරණ අංශයේ 1 වැනි ත්‍යාගය ( රු: 1,500) පත්තිනි දෙවියෝ - ( හිස්සැල්ලේ ධම්මරතන හිමි)

*සංස්කරණ අංශයේ 2 වැනි ස්ථානය ( රු: 1000) අජාත ශාත්‍ර - අශෝක කරුණාරත්න)

එසේ වුවද 1958 ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ වී ඇති ප්‍රකාශිත පොත් නාමාවලියේ 1958 වර්ෂයේ ප්‍රකාශයට පත් වී ඇති ග්‍රන්ථ අතර සඳහන් වී ඇත. ඒ එකදු කෘතියක් ගැනවත් සාහිත්‍ය උපදේශක සභාවේ අවධානය යොමු නොවීම පුදුමයකි. ඒවා මෙසේය.

ගීත ගෝවින්ද කාව්‍යය (මුල්ලපිටියේ කේ.එච්.ද සිල්වා) සාහිත්‍ය සේසත් (ජී.බී. සේනානායක), දේව හස්තය (කේ.බී.සුගතදාස), කුම්මාන් හි මිනී කන ව්‍යාඝ්‍රයා (ලක්ෂ්මන් දේවසේන), රෂෝමාන් (බෙනඩිකට් දොඩම්පෙගම හා රෙජී රණසිංහ), හිමාලය මැදින් (ඩේවිඩ් කරුණාරත්න), මකර රජුගේ දුව( ගුණදාස ලියනගේ), රණරාල (ජී.බී. සේනානායක), හේමපාල මුනිදාස චරිතය (කේ. බී. සුගතදාස), මනමේ නාටකය (එදිරිවීර සරච්චන්ද්‍ර), දැනුම හා දැකුම (මාර්ටින් වික්‍රමසිංහ),අබිනික්මන (සිරි ගුණසිංහ),කල්පනා ලෝකය (එදිරිවීර සරච්චන්ද්‍ර), තිලක (ටී.බී. ඉලංගරත්න) කතා සරිත් සාගරය (ඩේවිඩ් කරුණාරත්න) විහාර නීති විත්ති (ප්‍රින්ස් ගුණසේකර)

1958 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය අංශයේ මෙහෙයවීමෙන් “ධර්ම ප්‍රදීපිකාව” ගීත නාටකය” සැප්තැම්බර් 14,15 සහ 16 යන දිනයන්හි හැව්ලොක් ටවුමේ රජයේ ජ්‍යෙෂ්ඨ පාඨශාල‍ාවේ දී රඟ දක්වා ඇත. ගීත නාටකය කොටස් හතරකින් සමන්විත වී ඇත. ගුරුළුගෝමි නිවස, පොළොන්නරු පුර සරස්වතී මණ්ඩපය, හිමවත් පියස සහ රාජ මාළිගාව යනුවෙනි.

“ධර්ම ප්‍රදීපිකාව” ගීත නාටකයේ රචනය විමල් අභයසුන්දර ගෙනි. ඩන්ස්ටන් ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි නැටුම් නිර්මාණය සුකේන්ද්‍ර ඩට් ගෙනි. ගීත ගායනය ඩබ්ලිව්. ඩී අමරදේව ගෙනි. ගුරුළුගෝමි ලෙස පී. දේවසිරි පෙරේරා ද , රාජ කුමාරි ලෙස සීතා ජයවර්ධන ද, රජතුමා ලෙස අමරසේන කුමාරසිංහ ද, රජ බිසව ලෙස සුජාතා ජයවර්ධන ද සාගලී ලෙස ෂාමෙන් ජයවර්ධන ද රඟපා ඇත.

මේ ගීත නාටකය නිෂ්පාදනය කර ඇත්තේ ගුවන් විදුලි සේවා අධ්‍යක්ෂ ඇස්. බී. සේනානායක විසිනි. වැඩ බලන සංස්කෘතික අධ්‍යක්ෂ ඇම්.ජේ.පෙරේරා, නියෝජ්‍ය සංස්කෘතික අධ්‍යක්ෂ වින්සන්ට් පණ්ඩිත, ගුවන් විදුලි සේවා අධ්‍යක්ෂ ඇස්. බී. සේනානායක, විමල් අභයසුන්දර, ඩන්ස්ටන්ද සිල්වා, සුකේන්ද්‍ර ඩට් සහ අහුන්ගල්ලේ අරුණතිලක ගීත නාටක කමිටුව අයත්ව සිටියහ.

1962 වසරේ හොඳම සිංහල පොත් තුනකට යුනෙස්කෝ සම්මාන හිමි වී තිබේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) මඟින් ලංකාවේ ගත්කරුවන් තිදෙනෙකුට මේ ත්‍යාග පිරිනමා ඇත. විනී විතාරණ ලියූ “සිතුවම් භූගෝලය ලංකාව”, පියල් වික්‍රමසිංහ ලියු “ඇමෙරිකන් හදවත” සහ අලව් ඉසි සැබිහෙළ ලියූ “ගොවිඳු ගීය” මේ කෘති ය.

මේ අයුරින් මෙරට මුල් යුගයේ වූ සාහිත්‍ය මහෝත්සව, සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ ඉතිහාසය විකාශනය වී ඇත.

ලාබෙට ‍පොත් දීමේ ඉතිහාසයට වසර 58 ක් සපිරී ඇත. 1960 සාහිත්‍ය දිනය නිමිත්තෙන් ලේඛකයන්ට අත හිත දීමටත්, පාඨකයන්ගේ කියවීමේ රුචිය ඇති කිරීමටත්, සිංහල පොත පත බහුල කර වීමත් අරභයා අලුත් වැඩ පිළිවෙළක් ඇති කිරීමට එකල සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ වින්සන්ට් පණ්ඩිත මහතා ගත් උත්සාහය මල් පල ගෙන ඇත.

එයට මුල්ම ප්‍රතිචාරය ලැබුණේ ඇම්.ඩී. ගුණසේන සමාගමේ ගාල්ලේ ශාඛාවෙනි. 1960 සැප්තැම්බර් 11 වැනි දා ගුණසේන සමාගම විසින් ගාල්ලේ නගර සභාවේ දකුණු පළතේ පාඨශාලාන්තර සාහිත්‍ය තරඟයක්ද “ලිහිණි පොත්” ප්‍රදර්ශනයක් ද කලා සංදර්ශනයක් ද සංවිධානය කළේය. මේ මහා සාහිත්‍ය උත්සවය සංවිධානය කර තිබුණේ ගුණසේන සමාගමේ ගාල්ලේ ශාඛාවේ කළමනාකරු ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය.

ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා පසුව ගුණසේන සමාගමේ අධ්‍යක්ෂකවරයකු ව සිටි අවදියේ සාහිත්‍ය මාසයේ ගුණසේන ප්‍රකාශනවලට 33 1/3% වට්ටමක් පාඨකයන්ට ලබා දුන් අයුරු එකල පාසල් වියේ සිටි මට හොඳට මතකය. අධ්‍යක්ෂවරයකු වුවද ඒ මහතා කැෂියර්ට සහාය වෙමින් පාඨකයන් මිල දී ගත් පොත් ගොන්න පාර්සල් කරදී සේවකයන්ට සහාය දුන් නිහතමානිකම මම දෑසින් දැක ඇත්තෙමි. අද පාඨකයන්ට පොත් ප්‍රකාශකයන් වට්ටම් අඩු කොට දීමේ සම්ප්‍රදාය දිගටම කරගෙන යති. ඒ හැම වේලාවකම "පුංචි මිනිසකු වූ” ලාල් මහත්තයා සෙනඟ පොදි කන පොත් ප්‍රදර්ශනයේ කොතැන හෝ සිටිතියි මට මැවී පෙනෙයි.

Comments