තමන්ගේ නියරේ පම­ණක් ඉඳගෙන සම්භාව්‍ය නිර්මාණ බිහි කර­න්නට බැහැ | Page 2 | සිළුමිණ

තමන්ගේ නියරේ පම­ණක් ඉඳගෙන සම්භාව්‍ය නිර්මාණ බිහි කර­න්නට බැහැ

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

මහාචාර්ය ජයදේව තිලකසිරි වෙස්මුහුණු හා රූකඩ කලාව සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් අතර අද්‍යතනයෙහි ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා ය. දෙස් විදෙස් ගෞරව බුහුමානයට පාත්‍ර වූ එතුමා මෙරට කලාව වෙනුවෙන් කළ මෙහෙය අද්විතී ය ය‍. පේරාදෙණියේ ස්වර්ණමය යුගය නියෝජනය කරන එතුමා ගැන පසුගිය කාලයේ වැඩි කතාබහක් හෝ අවධානයක් නොමැති නිසා ම අපි ඒ ගැන විමසිල්ලෙන් පසු වීමු. ඒ අතර එතුමා පාණදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ කුරුප්පු මාවතේ් සීතා නමැති මහත්මියකගේ රැකවරණය යටතේ නේවාසිකාගාරයක වාසය කරන බවට ලැබුණු ආරංචිය ඔස්සේ එහි ගිය අපට සිළුමිණ පුන්කලස ශාස්ත්‍රීය අතිරේකය වෙනුවෙන් එතුමා සමඟ මෙසේ සංලාපයෙක යෙදෙන්නට අවකාශ ලැබිණි. මේ ඒ සංලාපයේ සංක්ෂිප්තයයි.

සාහිත්‍යකරුවා අද සිටින්නේ කොතැනද?

සාහිත්‍ය විෂය වූ කලී සරල කේන්ද්‍රස්ථානයක, තේමාවක පිහිටි තැන්නක්. මේ යථාර්ථය සාහිත්‍යයකරුවා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම තේරුම්ගන්න ඕන. එය ආවාට ගියාට කළ හැකි කාරියක් නොවේ.

සමාජයේ පැවැත්ම, ගාම්භීරතාව රැඳී ඇත්තේ සාහිත්‍යකරුවා නිසා. වෙනත් විෂයයන් මෙන් නොව සාහිත්‍ය විෂයය, එය ඉතා සුගැඹුරු තලයකින් උපයුක්ත යි. විවිධ පැතිකඩ කෙරෙහි සාහිත්‍යකරුවාගේ විඥානය විහිදවන්න ඕන.

තමන්ගේ සමාජය යහමඟට පිවිසවීමට නිතරම දෘෂ්ටිය හෙළිය යුතු ය. යහපත් සමාජ භූමිකාවක් නිර්මාණය කරන්නට ඕනෑකමක් තිබේද? සාහිත්‍යකරුවා පටු මතවාදි චරිතයක් නොවේ. ඉතා පුළුල් වූ භූමිකාවක රැඳී තමන්ගෙන් සමාජයට දායාද කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කළමනා ය.

සමාජය අවදි කිරීම සාහිත්‍යකරුවාගේ කාර්යභාරයක් වුවත් ආන්දෝලනයට තුඩුදෙන සාහිත්‍ය නිර්මාණ බිහි කිරීම අද සිදුවෙනවා ද?

නැත යන්න ඍජුව ම දිය හැකි පිළිතුරයි. නිර්මාණයක් කිරීම නොවේ කාර්ය විය යුත්තේ. ඒ නිර්මාණය කාලත්‍රයට ම බලපාන්නක් වෙන්න ඕන. අද නිර්මාණය පරිශීලනය කොට හෙට ඉවත දැමීම නොවේ සිදුවිය යුත්තේ. කාලත්‍රයේදීම සහෘදයන් සමඟ නිර්මාණය දිවි ගෙවිය යුතු ය.

අද්‍යතන අවදියේ සිදුවන්නේ නිර්මාණයක් බිහි කිරීම පමණයි. තමන් නිර්මාණකරුවකු බව සමාජයට පෙන්වීමට යත්න දරනවා විනා නිර්මාණ පද්ධතිය ශ්‍රේෂ්ඨ තලයකට ගෙන ඒමට ඒ අයට ‍ඕනෑකමක් නැහැ.

බොහෝ දෙනාගේ මනස අවරට ගිය සමයක එ් මනස සකසන්නට මූලිකවන්නේ නිර්මාණ කාර්යය. පුද්ගලයා හැසිරෙන ආකාරය අතිශෝචනීයය‍ි. මානවවාදී ගුණාංග අද දිවියෙන් බැහැර වෙලා.‍ මේ තත්ත්වය සමනය කරන්න නම් සම්භාව්‍ය ගණයට ගැනෙන සාහිත්‍ය නිර්මාණ බිහිවෙන්න ඕන.

මිනිස් දිවියෙන් ගිලිහෙන මානවවාදී ලක්ෂණ මතු කිරීමටත් ආත්මාර්ථය දුරලා පරාර්ථය මතු කරන්නට සාහිත්‍යයකරුවාගේ වගකීමක්. විවිධ පැතිකඩ දැක්මක් ඔහු සතු වෙන්න අවශ්‍යයයි. පාලක පක්ෂයේ මනස යහපත් තලයකට ගෙනයන්නේත් සාහිත්‍ය නිර්මාණ. ආර්ථික වර්ධනයට මෙය අතිශයින් ම බලපානවා.

අපට පරිශීලනය කරන්නට ලැබෙන බොහෝ සාහිත්‍ය නිර්මාණ පටු ක්ෂේත්‍රයක පිහිටි ඒවා. එයින් ‍උකහා ගන්නට දෙයක් නැහැ. මෙයින් පෙනෙන්නේ සාහිත්‍යකරුවාට අවශ්‍ය ව‍‍‍ූයේ නිර්මාණයක් කිරීම මිසක් සමාජයට ඵලදායි නිර්මාණයක් බිහි කිරීමට නොවන බවයි. අප නිතරම නිර්මාණකරුවාගෙන් අපේක්ෂා කරන්නේ ඵලදාව, බොහෝ ඉගෙන ගන්නට හැකියාවක් ඇති නිර්මාණයක්. අප මියයන තුරාම බොහෝ දේ ඉගෙන ගන්නටයි මාන බලන්නේ.

පුද්ගලයෙක් අමාරුවේ දමා යමකු සතුටුවන්නේ නම් එය අතිශය දුකට කරුණක්. පුද්ගලයා එයට පෙලඹෙන්නේ ඥානාවබෝධයක් නැතිකම නිසයි.

ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නිර්මාණ විශ්වවිද්‍යාලයක් බඳු යි. විශ්වවිද්‍යාලය යනු විවිධ විෂය පහදා දෙන කේන්ද්‍රස්ථානයක්. උසස් සාහිත්‍ය නිර්මාණයක් වුවත් ගැනෙන්නේ එබඳු ගණයටයි.

පොත් ගුලකට ගියත් අද අපට බොහෝ දේ ඉගෙන ගන්නට ල‍ැබෙන නිර්මාණ අහේනියක් දක්නට ලැබෙනවා. හොඳ පොතක් සොයා යන අවස්ථාවක ඒ අපේක්ෂාව සිඳ‍ී බිඳී ගිය අවස්ථා එමටයි. පටු පරමාර්ථ සාධනය උදෙසා නිර්මිත නිර්මාණ නම් අප්‍රමාණයි. මේ තත්ත්වය සාහිත්‍යකරුවා මනාව තේරුම් ගත යුතු ය.

සාහිත්‍ය­‍ධරයකුට කළ හැකි කාර්ය සාධනය වෙනත් අයකුට කළ නොහැකියි. මන්දයත් සාහිත්‍යකරුවාගේ විවිධ විෂයය පැතිකඩ ඥානය පුළුල් ය. අනෙක් විෂයයන්ට සීමාවූ විඥානය එක් විෂයකට පමණක් සීමාවේ විවිධ පැතිකඩ කෙරෙහි නිර්මාණකරුවා ස්වකීය ප්‍රඥාව විහිදවා සමාජයත් - සහෘදයනුත් උත්තරීතර තලයකට රැගෙන යා යුතු ය. සාහිත්‍යයකරුවා ග්‍රන්ථ නිර්මාණය කරන්නේ තමන්ට පමණක් නොවන අතර ඒ ග්‍රන්ථ සමස්ත සමාජයට ය. සහෘදයන්ගේ ප්‍රඥාව වර්ධනීය තලයකට රැගෙන යන්නට මාන බැලීම තමයි ඔහුගේ කාර්යභාරය. මෙය ද නූතන යුගයේ සාහිත්‍ය නිර්මාණකරුවන් තරයේ සිතට ගත යුත්තක්.

නිද්‍රාශීලී මනස අවදි කරන්නට නිර්මාණයක් සමත් නොවී නිද්‍රාශීලී මනස තවදුරටත් නිද්‍රාවට පාත්‍ර කරන්නේ නම් එම නිර්මාණයෙන් ඵලක් නැත.

ආන්දෝලනයට තුඩුදෙන නවකතා - කෙටිකතා අද බිහි නොවන්නේ ඇයි?

නවකතාකරුවා හා කෙටි කතාකරුවා සමාජයට විශාල මෙහෙවරක් කරන්නෙක්. විශ්ව සාහිත්‍යයේ නවකතා දෙසටත් කෙටිකතා දෙසටත් අපගේ නෙත් - සිත් මෙහෙයවීමේදී ඒවා සමාජ ප්‍රවර්ධනයට කොතරම් අනුබලයක් සිදුවූවාද යන්න තේරුම්ගත හැකි ය.

අද දවසේ බිහිවන නවකතා හා කෙටිකතාවලින් සමාජය අවදි කරන බවක් පේන්නේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ නවකතාවලින් හා කෙටිකතාවලින් සිදුකළ මෙහෙවර තවම කිසිවකුට කරන්නට බැරි වුණානේ. ඔහුගේ ගම්පෙරළිය - යුගාන්තය - කලියුගය නමැති තුන්අ‍ෑඳුතු (TRIOLOGY) නවකතාවත් විරාගය, කරුවලගෙදර, බවතරණය යන නවකතාත් තවමත් සහෘදයන්ගේ මනස පෝෂණය කරනවා. ශිල්පීය ධර්මතා අතින් ‘විරාගයට’ සමකළ හැකි නවකතාවක් සිංහල නවකතා ක්ෂේත්‍රයේ තවම බිහිවී නැහැ කිව්වොත් බොරුවක් නොවේ.

සිද්ධි සමූහයකින් උපයුක්ත නවකතාව පුළුල්වූ විඥානයකින් සමත්විත වෙන්න ඕන. යථාර්ථය (REALITY) හෙළි කිරීම තමයි නවකතාවේ මුඛ්‍යාර්ථය. නවකතාකරුවා සිදුවූ සිද්ධි සමුදාය පෙළගස්වා සන්දර්භය - තේමාව - විඥානය - දෘෂ්ටිය - සංකේත භාවිතය - භාෂාව යන අංගයන්ගෙන් සමත්විත කළ යුතු ය.

වික්‍රමසිංහගේ ‘බවතරණය’ නවකතාව මහත් ආන්දෝලනයට තුඩුදුන්නා වගේම නිද්‍රාශීලී සමාජය අවදි කළා. මිථ්‍යාව, මායාව යන ආකල්පවලින් බැහැරව යථාර්ථය හෙළි කළා. අර මිථ්‍යාවට, මායාවට හිරවූ අය එයට අතිශයින් ම විරුද්ධ වුණා. නවකතාකරුවකුගෙන් සිදුවිය යුත්තේත් එයයි. නිද්‍රාශීලී සමාජය අවදිකොට සත්‍යය මේයයි ‘බවතරණයෙන්’ හෙළි කළා.

මැක්සිම් ගෝර්කිගෙ ‘අම්මා’ නමැති නවකතාව ද මහත් ආන්දෝලනයට පත්වූ නවකතාවක්. ගෝර්කිගේ ‘අම්මා’ සෝවියට් දේශයේ අම්මා පමණක් නොව සමස්ත සමාජයේම අම්මා නොවේද? අම්මාට සාර් රාජ්‍ය යුගයෙන් අත් විඳින්නට සිදුවූ ගැහැට ‍ගෝර්කි ‘අම්මා’ නවකතාවෙන් හෙළි කළා. අම්මා තවමත් සහ‍ෘදයන් සමඟ නොවේද? මේ ස්වරූපය අද්‍යතන අවදියේ නවකතාකරුවන් තේරුම්ගත යුතු යි.

නවකතාවක් එක රැයකින් නිම කළ නොහැකි ය. ඒ සඳහා වසර ගණනාවක් ගතවෙනවා . නූතන අවදියේ බොහෝ නවකතාකරුවන්ගේ අරමුණ එක රැයකින් නවකතාවක් ලියා සහෘදයන් අතට පත් කරන්නටයි. මෙයින් නවකතා ක්ෂේත්‍රයටත්, නවකතාකරුවාටත් සිදු කරන්නේ මහත්ම පරිහානියක්.

THOMAS HARDY ට FAR FROM THE MADDING CROWD නමැති නවකතාව ලියන්නට වසර 15 ක් ගතවූ බව සඳහන් වෙයි. මෙයට නොබෙල් සාහිත්‍ය සම්මානයත් හිමි විණා.

එ් වගේම තෝමස් හාර්ඩිගේ THE MAYOR OF CASTERBRIDGE නමැති නවකතාව ලියන්නට ඒ හා සමාන කාල පරාසයක් ගත වුණා. නවකතාකරුවාගේ කාර්යය මේ යැයි මනාව අවබෝධ කොටගෙනයි ඒ කාරියට අත ගහන්න ඕන. පුළුල් වූ විඥානයක පිහිටා නවකතාකරුවා කටයුතු කළොත් නවකතාවත් - නවකතාකරුවාත් සැමදා සහෘදයන් සමඟ සිටීවි.

නූතන යුගයේ නවකතා ලියන්නට යොමු වී ඇති අය විශ්ව සාහිත්‍ය දෙසට ස්වකීය විඥානය විහිද විය යුතුය යන්න මගේ හැඟීමයි.

කෙටිකතා ක්ෂේත්‍රය දෙසට අවධානය යොමු කළොත් නවකතා ක්ෂේත්‍රයට අත්වූ ඉරණම කෙටිකතා ක්ෂේත්‍රයටත් සිදුවී ඇතැයි කීම සාධාරණයි.

ලොව දිග ම කෙටිකතාව තමයි අර්නස්ට් හෙමිංවේගෙ THE OLD MAN AND THE SEA (මහල්ලා සහ මුහුද) සිද්ධියක් මත රැ‍ඳෙන කෙටිකතාව ආශ්‍රයෙන් පුළුල් වූ දෘෂ්ටියක් හෙළි කළ හැකි නොවේද? ඒ හේතුව, නිසාම ‘මහල්ලා සහ මුහුද’ නමැති කෙටිකතාව තවමත් සහෘදයන් සමඟයි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ කෙටිකතා ක්ෂේත්‍රය දෙසට අවධානය යොමු කළහොත් කෙටිකතාකරුවාගෙන් සමාජයට සිදුවූ මෙහෙවර කුමක්ද යන්න තේරුම් කරගත හැකි ය.

වික්‍රමසිංහගේ ‘උපාසකම්මා’ නමැති කෙටිකතාව සමාජය අවදි කරන්නට සමත් වුණා. උපාසකම්මා කෙරෙහි තිබුණු මසුරු සිත තමයි මෙයින් ධ්වනිත වෙන්නේ. ඇයගේ මසුරු සිත ගැන නිවෙස ඉදිරිපිට පිහිටි දෙල් ගසත් අවඥාවෙන් යුතුව සිනාසෙනවා. ඇය කොතරම් මසුරුකම් කළත් දිවියෙන් සමුගන්නා විට එකතු කළ කිසිවක් රැගෙන ගියේ නැහැ. රැගෙන ගියේ මසුරු සිත පමණයි.

සාහිත්‍යය මඟින් සිදුවන සමාජ කාර්යය ගැන ඔබතුමාගේ අදහස කුමක් ද?

සාහිත්‍ය විෂය ඥානය කෙරෙහි සාහිත්‍යයකරුවා ගන්නා තීරණය වඩාත් පුළුල්ව‍ූ තලයකට සේන්දුවීමට කාලය පැමිණ තිබෙනවා.‍ තමාගේ ගමන් මඟ කෙබඳු ගණයට ගැනෙන්නක් ද යන්න මැනවින් අවබෝධ කර ගන්න ඕන. නූතන යුගයේ සාහිත්‍යයකරුවාගේ දෘෂ්ටිය ඒ ඔස්සේ ගමන් කරනවාද යන්න සැකයට තු‍ඩු දුන්නක්.

බඹරා සුවඳැති පුෂ්පයෙන් රොන් අයාගන්නා සේ සහෘදයන් ද උසස් සාහිත්‍ය කෘතියකට යොමුවෙනවා. තමන්ගේ පරිකල්පනය ප්‍රබල තලයකට ගෙන යාමට හැකිවන්නේ උසස් සාහිත්‍ය කෘති ආශ්‍රයෙන් පමණයි.

විචාරකයන්ගේ තුලනාත්මක විචාරයට බඳුන්වන සාහිත්‍ය නිර්මාණ අහේනියක් අද දක්නට ලැබෙනවා. කා අතරත් කතාබහට බඳුන්වන නිර්මාණ අද බිහිවී තිබෙනවද? සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රභවයට බලපාන සාහිත්‍ය නිර්මාණය සහෘදයන්ගේ විශාල දායාදයකි. මේ මඟින් පුද්ගල මනස සකසන්නට, අවදි කරන්නට අතිශයින්ම බලපාන්නකි.

මට හැ‍ඟෙන අන්දමට නූතන අවදියේ සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිස සිටින අය විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විඥානය යොමු කරන බවක් නොපෙනේ.

සංස්කෘත සාහිත්‍ය ක්ෂේත්‍රයේ පතඤ්ජලී - භවභූති - අභිනව ගුප්ත - රාජශේඛර බඳු සාහිත්‍යධරයන් කෙරෙහි ද අවධානය යොමු කොට සමාජයක් යහමඟ යවන්නට ඒ අය ගත් මඟ කෙබඳු ගණයට ගැනෙන්නක් ද යන්න කෙරෙහිත් අවධානය යොමු කළ මනාය.

සාහිත්‍යයකරුවා දිවියෙන් සමුගත්තත් ඔහුගේ සාරධර්මය සදාකාලිකයි. විශ්ව සාහිත්‍යය දෙසට අවධානය යොමු කිරීමෙන් මේ බව අනාවරණය වෙනවා.

ලියෝ තෝලොස්තෝයි, ඇන්ටන් චෙකෝෆ්, ටී.එස්. එළියට, ෆියදෝර් දොස්ත‍ව්ස්කි යන අය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සිදු කළ මෙහෙවර තවමත් විශ්වයේ රැව් පිළිරැව් දෙයි. එයට මූලික හේතුව වූයේ සහෘදයන්ට හා සමාජයට තමාගෙන් සිදුවිය යුතු විශිෂ්ට මෙහෙවර කුමක්ද යන්න තේරුම්ගත් නිසයි.

මා සංස්කෘත සාහිත්‍යයේ පිබිදීම ගැන මැනවින් අධ්‍යයනය කළා. සකු සාහිත්‍යයකරුවන් ද තමන්ගේ රට - සමාජය - සහෘදයන් කෙරෙහි පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා කටයුතු කළ අය. මගේ ඥානය තවත් පුළුල් තලයකට ප්‍රවේශ වූයේ සකු සාහිත්‍යයට කිඳා බැසීම හේතු කොටගෙනයි.

සාහිත්‍ය විඥානය එක දිසාවකට සීමා විය යුතු ද?

සාහිත්‍යකරුවාගේ විඥානය එක දිසාවකට පමණක් සීමා වුවහොත් එය පටුවෙනවා. පුළුල් වූ දාෂ්ටියක් පහළ වන්නේ නැහැ. ඔහු තමාගේ දෘෂ්ටිය විවිධ පැතිකඩ කෙරෙහි විහිදවා පිරිපුන් තත්ත්වයකට ප්‍රවේශ විය යුතුය. එසේ නොමැතිව ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට පමණක් තමන්ගේ විඥානය විහිද වුවහොත් යහපත් මාවතකට ප්‍රවේශ වන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයට පිවිසෙන අය මෙය මනාව තේරුම්ගත යුතු යි.

අපේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උත්තලයකට පත් මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය පියසීලි විජේගුණසිංහ, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය එම්.එච්. පීටර් සිල්වා යන අය විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයට එබී බලා එයින් ගතයුතු යම් දෙයක් ඇත්නම් එය උකහා ගත්තා. ඒ අයගේ නිර්මාණ විඥානය පරිපාකයට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

එසේ නොමැතිව තමන්ගේ නියරේ පමණක් ඉඳගෙන සම්භාව්‍ය ගණයට ගැනෙන නිර්මාණ බිහි කරන්නට බැහැ. සහෘදයන්ගේ හදවතට බද්ධවන නිර්මාණකරුවෙක් වෙන්න කැමැති නම් විශ්වය දෙසට නිතරම ස්වකීය දෘෂ්ටිය යොමු කරන්න ඕන. එවිට තමාවත් - සමාජයටත් සාහිත්‍ය ක්ෂේත්‍රයටත් සිදුවන්නේ විශාල මෙහෙවරක්.

සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් බොහෝ දේ උකහාගෙන පුද්ගල මනස සනසන්නට සකසන්නට බලපාන නිර්මාණකරුවාගේ කාර්යභාරය කුමන නිම්නයක පවතින්නේද යන්න ගැන මනාව අවබෝධ කොටගත යුතු යි. එය අනිවාර්යයෙන් ම, නිරන්තරයෙන්ම සිදුවිය යුත්තක්.

අදහස්