ණ: මුලක යෙදෙන්නෙත් එකම වචනෙක ඒකත් ණයට! | සිළුමිණ

ණ: මුලක යෙදෙන්නෙත් එකම වචනෙක ඒකත් ණයට!

 

මූර්ධජ ණ-යන්න භාවිතයේ දක්නට ලැබෙන පුළුල් විවිධත්වය කොතරම්ද යත්: ඉකුත් සති හතරේම මෙ-තීරය කැප වූයේ ණ-කාරය වෙනුයෙනි. එහිදී නාම පද, ක්‍රියා පද හා කෘදන්ත පාදකව; සෛද්ධාන්තිකව හා නෛරුක්තිකව මෙන්ම ව්‍යවහාරානුකූලවද වදන් මැද සහ වදන් අග මූර්ධජ ණ-යන්න යෙදෙන’යුරු කෙරෙහි අප විමසුම් ඇස යොමු විණි.

වදන් මුල - ‘ණ’

මෙයතර අපට පසක් වූ වෙසෙස්තම කරුණ වන්නේ වදන් මුල මූර්ධජ ණ-කාරය යෙදීමේ සුදුර්ලභ භාවයයි. සැබැවින්ම ‘ණය’ හැරුණු කොට, සමකාලීන සිංහලයේ මූර්ධජ ණ-යන්නෙන් අරඹින තවත් අන් වදනක් වේද? අප මෙහිදී ‘සමකාලීන’ කියා විශේෂ කර දක්වනුයේ හේතුවක් ඇතිවය. මේ බලන්න (උපුටා දැක්වීම අධිනීතිඥ, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග විසින් සම්පාදිතව 2011 වර්ෂයේදී කොළඹ එම් ඩී ගුණසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මහා සිංහල ශබ්දකෝෂයේ 783 වැනි පිටුවෙනි):

ණහ - නා.ප්‍ර. බල්ලා

ණිහි - නා.ප්‍ර. ලේළිය

ණී - නා.ප්‍ර. ණිහිය, ලේළිය

මේ අනුව ‘ණහ’, ‘ණිහි’, ‘ණී’ යන වචන ත්‍රිත්වය යම් යුගයක එකී අර්ථයන්හි ලා නාම ප්‍රකෘති වශයෙන් සිංහල භාෂාවේ යෙදෙන්නට ඇති නමුත්, ඉනෙකකුදු වත්මන් සිංහලය තුළ නම් විකෘතව, නෂ්ටාවශේෂ ලෙස හෝ විද්‍යමාන වන්නේ නැත. එහෙයින් වර්තමාන සිංහලයෙහි මූර්ධජ ණ-කාරය වදනක් මුල යෙදෙන එකම අවස්ථාව ‘ණය’ යැයි පැවසීමේ කිසිදු වරදක් නැත.

වදන් මැද - ‘ණැ’

මූර්ධජ ණ-යන්නේ විශේෂ හැසිරීම්වලට අදාළව අපගේ තවත් නිරීක්ෂණයකි. එනම්: සන්ධි වූ වදනක මිස, පියෙවින් වදනක් මැද මූර්ධජ ණ-යන්න ඇද පිල්ල සහිතව යෙදෙන තැනක්, සක්‍රියව සොළොස් වසක් බස සමඟ විමසුම් ඇසින් යුතුව කටයුතු කරන අප හට හමුව නැති බවයි. බලන්න:

• නැණ+ඇස > නැණැස

• වෙණ+ඇදුරු > වෙණැදුරු

• නුවණ+ඇත්තා > නුවණැත්තා

මෙනිදසුන් විමසත පෙනී යන්නේ ඒ සියලු ‘ණැ-යනු’ සැදී ඇත්තේ දෙවදනක් සන්ධි වීමෙන් බවයි. තව දුරටත් පිරික්සුව හොත්: ඒ දෙවදනෙහි පළමු වැන්න අකුරු දෙකකින් යුක්ත වන බවත්, එහි අග අකුර මූර්ධජ ණ-යන්නක් වන අතර දෙවන වදනේ මුල’කුර ඇ-යන්නක් වන බවත් නිරීක්ෂණය කළ හැකිය. එසේම මේ වහර අපට හමු වන්නේ වෙසෙසින් නාම පද ඇසුරේ බවද කිව හැකිය. මෙයින් වෙනස්ව මූර්ධජ ණැ-යන්න සැකසෙන තවත් ආකාරයක සන්ධියක් අපට දැකගැනීමට පිළිවන් වන්නේ අන්තර්වාක්‍යයන්හි නොහොත් විකෘතිකථන ශෛලියේ වැකි අතරෙහිය (‘අන්තර්වාක්‍ය’ නම් වැකියක් මැද යෙදෙන අනු-වාක්‍යයි. ‘විකෘතිකථන’ නම් කෙනකුගේ පැවසුමක් අනු-වැකියක ස්වරූපයෙන් වැකියක් තුළ බහා-ලීමයි):

• ඇසිණි+යැයි > ඇසිණැයි

• තිබිණි+යැයි > තිබිණැයි

• දැනිණි+යැයි > දැනිණැයි

• පෙනිණි+යැයි> පෙනිණැයි

• මැවිණි+යැයි > මැවිණැයි

මේ ව්‍යවහාරය අපට නිරීක්ෂණය කළ හැක්කේ ක්‍රියා පද ආශ්‍රෙයහි පමණි.

වදන් අග - ‘ණෑ’

ක්‍රියා පද හා මූර්ධජ ණ-යන්න සම්බන්ධවම තවත් විශේෂ ප්‍රයෝගයක් අපට මෙහිදීම හඳුනාගන්නට පුළුවනි. එය සිංහලයෙහි මූර්ධජ ණෑ-යන්න යෙදෙන එකම අවස්ථාවද වෙයි. වෙසෙසින් ඇසෙන්නේ කටවහර ඇසුරේය. ප්‍රශ්නවාචි ස්වරූපයක් ගනී.

• ඇහුණා+යැ? > ඇහුණෑ?

• තිබුණා+යැ? > තිබුණෑ?

• වැදුණා+යැ? > වැදුණෑ?

වහරට නිදසුන

• ‘‘මේ... ඔහේට ඇහුණෑ?’’

• ‘‘ගේ හරියක කැත්තක් තිබුණෑ?’’

• ‘‘බොරුවට කෑගහන්නෙ, ඇඟේ වැදුණෑ?’’

පෙදෙසි වහර

දකුණු පළාතට ආවේණික කථන ව්‍යවහාරයක් වන ‘-ණැයි? / ‘-ණෙයි?’ ස්වරූපයේ ප්‍රශ්න විතෑරීමේ ඌරුවද මෙහිම විකරණයකැයි හැඟේ. බලන්න:

• ඇහුණෑ? > ඇහුණැයි? / ඇහුණෙයි?

• තිබුණෑ? > තිබුණැයි? / තිබුණෙයි?

• වැදුණෑ? > වැදුණැයි? / වැදුණෙයි?

ඒ කෙසේ වේවා! මේ සන්ධි ස්වරූපය හැරෙන්නට සිංහලයෙහි මූර්ධජ ණෑ-යන්න යෙදෙන අන් කිසි තැනක් නැති බවත්, පියෙවින් නම් එය කිසිදු ස්ථානයක යෙදෙන්නේ නැති බවත් අපට ඉඳුරාම කිව හැකිය.

ලිවීමේ අමුත්ත!

යෝජනය හෙවත් යෙදෙන ආකාරය අනුව මෙවන් විශේෂතා ප්‍රකට කරන මූර්ධජ ණ-යන්න, ලියැවෙන අන්දම අතින් ගත්තද සුවිශේෂත්වයක්ම භජනය කරයි. ඒ වෙනස නම්: අතින් ලිවීමේදී පිල්ලමක් යෙදීමට නොව, මූලික අකුරේ හැඩය ගැනීම සඳහාම විටෙක ලිවීම නවත්වා, නැවත අරඹන පරිද්දෙන්, දෙවරකින් ලියා නිමවන එකම ගතකුර, ගාත්‍රාක්ෂරය හෙවත් ව්‍යංජනාක්ෂරය ණ-යන්න වීම‍යි (පණකුරක්, ප්‍රාණාක්ෂරයක් හෙවත් ස්වර අක්ෂරයක් හැටියට ඊ-යන්න ලිවීමේදී වරක් නොව දෙවරක්ම අත එසැවීමට සිදු වේ. පිලි යෙදීමට හැර, අන් කිසිදු කේවල සිංහල අකුරක් ලිවීම මැදදී අත එසවීමට අවැසි නොවේ). මෙලෙස ලියවෙන ‘ණ’ යන්න, සිංහල හෝඩියේ ලස්සනම අකුරක් බවද අමුතුවෙන් කිව යුතුද!

තෝම්බුව

සති පහක් පුරා සියුම් සේ විමසන්නට යෙදුණු ‘ණ-යන්න’ සිංහල අක්ෂර වර්ගීකරණය තුළ ස්ථානගත වන අන්දමද සටහන් කර තැබීමෙන් මේ කටයුත්තට මනා පරිසමාප්තියක් ලැබෙතැයි හඟිමු.

‘ණ’

වර්ගය: ‘ට’ වර්ගය

ජන්මය: මූර්ධජ, නාසික්‍ය

ස්වභාවය: අල්පප්‍රාණ, අඝෝෂ

ප්‍රතිජනන: ණ්+ඩ්+අ > ඬ

[ඉ-ලිපි: [email protected]]

අදහස්