කොළඹ හැඩ කරන සිත්තර පාරා­දී­සය | Page 2 | සිළුමිණ

කොළඹ හැඩ කරන සිත්තර පාරා­දී­සය

ගිනිගෙන දැවෙන රවිගේ බැල්මෙන් ගත දවයි. දූලි තට්ටුවෙන් වැසී ගිය තුරුලතාවෝ පිපාසාවෙන් හමන උණුසුම් සුළඟින් විඩාපත්ව ඇත. දූලී වලා නංවමින් ඇදී ආ බස්රථයට ගොඩ වූ මා ඒ ක්ෂණයෙහිම අප්‍රාණිකව නෙරළු ඵලයක් බවට පත් විය. කිසිදු මාර්ග නීතියක් මායිම් නොකරන රථාචාරියා තම පිටු පසින් පැමිණෙන අනෙක් බස් රථයට ඉඩක් නොතබා ම හැල්මේ දිවය යි.

කිසිදු වග විභාගයකින් තොරව එකවර තිරිංගය තදවිය. “ටවුන් හෝල් බහින අය ඉක්මන් කරල බැහැගන්න.” බසයෙන් බැසීමට තරමක් ප්‍රමාද වූ අම්මා කෙනෙකුට කොන්දොස්තර තැන ආඩපාලි කියයි. එය දකින ඇහෙන මඟියන්ට ඒ ගැන වගේ වගක් නැතිය. පය ඉක්මන් කළ මා බසයෙන් පොළොවට පය තබන ඇසිල්ලේම රථය ඉදිරියට ඇදිණි. මා පොළොවට ඇද නොවැටී බේරුනේ අනූනවයයි දශම නවයෙනි. මට පසුව අර අම්මා බැස්සේ නම් කුමක් සිදු වන්නේ ද? සිතුවිලි අතර නිමග්නව කොළඹ ඉදි වුණු ඇස් නිලංකාර කරන ගොඩනැඟිලි දිහා බල බලා නෙළුම් පොකුණ රඟහල අසලින් ආනන්ද කේ. කුමාරස්වාමි මාවතට පිවිසුණෙමි.

ලංකාවේ කලාව ගැන ලෝකට කියා දෙන්න ඉමහත් කැපවීමකින් වැඩ කරපු ආනන්ද කේ. කුමාරස්වාමි මහතාගේ නම මේ මාවතට කොයිතරම් අපූරුවට ගැළපෙනවද?. පහුගිය ආණ්ඩුව කාලේ මේ මාවතේ තිබුණු ආනන්ද කේ. කුමාරස්වාමි කියන නම අයින් කරලා, මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල මාවත කියලා යෙදීම කොයි තරම් අමනෝඥ ක්‍රියාවක් ද.

ඒ වැරැද්ද නිවැරදි කළ අයට ගොඩාක් ස්තුතියි. සෞන්දර්ය පිළිබඳ මෙලෝ විඥානයක් නැති පාලකයෝ පත් වුණාම එහෙම දේවල් නොවී තියේවිද..? කුමාරස්වාමි මාවත දිගේ යනවිට මුලින්ම හමුවෙන්නේ ජෝන් ද සිල්වා සමරු රඟහල. නෙළුම් පොකුණ රඟහල හදන්න ගිහින් බිමට සමතලා කරපු ජෝන් ද සිල්වා සමරු රඟහල නැවත ඉදිවෙමින් තිබේ. ජෝන් ද සිල්වා සමරු රඟහල පැවති සමයේ රාජ්‍ය නාට්‍ය උලෙළ නැරඹූ අයුරු මට අද වගේ මතකය.

නාට්‍ය නරඹා, ප්ලේන්ටියක් බී, සිගරැට්ටුවක් දල්වා ගන්නා අප විහාර මහා දේවි උද්‍යානයේ රැඳී නාට්‍යය ගැන කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළෙමු. ඒ මතකයන් ගැන අදටත් සිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඇත්තෙන්ම අපේ වරිගේ වුන්ගෙන් නෙළුම් පොකුණේ නාට්‍යය නරඹන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? ආරාධනා පත්‍රයක් නොලදහොත් ප්‍රවේශ පත්‍රයක් ගෙන නාට්‍යයක් නැරඹීමට දෙවරක් නොව කිහිපවරක්ම සිතන්නට සිදු ව තිබේ.

අහස උසට නැඟ ඇති ජීවන බර සමඟ සසඳන විට රුපියල් දාහක - දෙදාහක ප්‍රවේශ පත්‍ර ගෙන නාට්‍ය බලන්නේ කවුද? ඇරත් එහි එතරම් වියදමක් දරා නාට්‍යය පෙන්නනන්න පුලුවන් පුතයා කවුද?නැවතත් මම ඇවිද යමි. නටබුන් වෙච්ච කලා භවනය. ඒ තුළ තබා ඇති ලෝකප්‍රකට සිතුවම් විශාල ප්‍රමාණයක් මේවන විට විනාශ වී ඇත. පසුගිය ආණ්ඩුව සමයේ සිතුවම් දෙසීයක් පමණ සංරක්ෂණය සඳහා නුවරට යවා ඇත. මේ වන විට ඉන් ලැබී ඇත්තේ සිතුවම් 165ක් පමණක් බව දැන ගන්නට ලැබේ. අනෙකුත් සිතුවම්වලට කුමක් වූයේද? එසේම සංරක්ෂණය කිරීමට යැයි පවසා මෙම සිතුවම් ගෙනගොස් තිබුණද ඒවා නැවත ගෙනැවිත් ඇත්තේ කිසිදු සංස්කරණයක් නොකරය. එසේ නම් මෙම සිතුවම් කලා භවනින් පිට කළ සත්‍ය හේතුව කුමක්ද?

මෙම සිතුවම් විනාශ වී ඇති අයුරු දකින විට එහි පරිපාලනය කරන උන්ගේ අම්මා මුත්තා සිහිවෙන්නේ නිරායාසයෙනි.(මේ පිළිබඳව සවිස්තරව තවත් දවසක කතා කරමු). කලාභවනට පසු කර ඉදිරයට ඇදෙත්ම නෙත් ඇදී යන්නේ මනාව නිමවූ මූර්ථියක් වෙතය. ඒ කෞතුකාගාරයේ පිටුපසට වන්නට හරිම අපූරුවට නිමවා ඇති මහ රැජණගේ මූර්තියයි.

යටත් විජිත සංකේතයක් වූ මේ මූර්තිය මෙලෙස ස්ථාපිත කර තිබීම වෙනස් කියවීමකට හොඳ නිමිත්තකි. එය පසුකර ඉදිරියට ඇදෙන විට මඟ දෙපස කලාගාරයක් බවට පත් කළ වීදි සිත්තරුන් මට සම්මුඛ විය. මඟ දෙපස තබා ඇති සිත්තරුන්ගේ සිතුවම් දකින විට නෙතහි ඇඳෙන්නේ විචිත්‍රවත් වර්ණාලෝකයකි. ඒ වර්ණාලෝකයෙන් සිතට ගෙන දෙන්නේ පුදුමාකාර ආස්වාදයකි. කුමාරස්වාමි මාවත කලාගාරයක් කරමින් ඔවුන් මවන නෙක සිතුවම් දකින විට හද මනස පිරීයනවා වැනි හැඟිමක් ඇති වේ. එකිනෙකට වෙනස් මතවාදයන් මත නිමැවුණු ඒ විසිතුරු වර්ණ රේඛා කොළඹ ඉදිවුණු අප්‍රාණික ගොඩනැඟිලි අතරට ගෙන එන්නේ ප්‍රාණවත් බවකි.

මෙරටට ඇදී එන සංචාරකයින්ගේ නෙත් සිත් වසඟයට පත් කළ කොළඹ නගරයේ කිසියම් ස්ථානයක් වී නම් ඒ විහාරමහදේවී උද්‍යානය අසල මඟ දෙපස නිමවා ඇති මේ කලාගාරයයි. එහෙත් මෙහි තිබෙන සෑම චිත්‍රයකම නිර්මාණ කරුවන් ඔවුන්මද? යන්න නැඟෙන චෝදනාවද බැහැර කළ නොහැකිය. මීට ප්‍රථම මා සමඟ සිතුවම් පිළිබඳව කතාබහ කළ බොහෝ සිත්තරුන්ගේ අදහස වූයේ මේ වන විට මෙයද ඉතාම ලාභදායි වෙළඳාමක් බවට පත්ව ඇති බවයි. සිත්තරුන් ලවා සිතුවම් ඇඳ මෙම ස්ථානයට ගෙනැවිත් විකුණන වෙනත් පිරිසක් මෙතන සිටින බව ඔවුන් පැවසීය.

මේ පිළිබඳව විපරම් කළ මට දැනගන්නට ලැබුණේ ඔවුන් සිත්තරුන් පිරිසකගෙන් සැදුම්ලත් සංවිධානාත්ම පිරිසක් බවය. එනිසා එය අපට බැහැර කිරීමට සිදු වේ. මොවුන්ට එල්ල වන අනෙක් චෝදනාව වන්නේ, විවිධ ශානර ඔස්සේ සිතුවම් අඳින බව පෙන්වුවද ඒවා විවිධ වෙබ් අඩවිවලින් කොපිකර චිත්‍රණය කර ඇති බවය.

මෙම සිතුවම් විකිණීම අරමුණැතිව නිර්මාණ කරනු විනා නිර්මාණාත්ම ප්‍රවේශයක් හෝ සිය ආත්මීය ප්‍රකාශනයන් මේ තුළ නොදකින බවයි. ඒ ගැන නම් ඔවුන්ට ඇත්තේ විවෘත්ත අදහසකි. “ඔයාල මෙතෙන්ට මේ විදියට එකතු වුණේ කොහොමද? “අපි 2000 දි විතර සිතුවම් ශිල්පීන් විදියට මෙතෙන්ට එකතු වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ වෙනකොට ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වේගයෙන් පැතිරීමත් එක්ක සිත්තරුන්ට සිය ආර්ථිකය අහිමි වීම කියන කාරණා. මේ අය චිත්‍රයක්, ප්‍රදර්ශන පුවරුවක් ඇඳල කීයක් හරි හොයාගත්ත උදවිය. ඒ අයට යැපීම් මාධ්‍ය අහිමි වෙද්දි තමන් ඇඳපු චිත්‍රත් අරන් පාරට ආවා. ඔය අතරේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් පොකට් මනී හොයාගන්න මෙතෙන්ට එකතු වුණා. ඒ විදියට ඇවිත් එකතු වුණු පිරිසක් තමයි මේ ඉන්නේ.

මෙහෙම එකතු වෙලා වැඩකරගෙන යද්දි අපිට විවිධ ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ඒ ගැටලුවලට මුහුණ දෙන්න අපි 2006 කණ්ඩායමක් ලෙස එකතු වුණා. කොළඹ වීදි සිත්තරුන්ගේ සමාජය (Colombo Street Art Society) හැදුණෙ ඒ විදියටයි. අපේ සාමාජිකයින් ඔක්කොම හතළිහක් විතර ඉන්නවා.මේ විදියට කයුතු කරමින් ඉන්නකොට පසුගිය ආණ්ඩුව කාලේ කොළඹ අලංකරණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව විහාර මහා දේවී උද්‍යානයේ වැටවල් ඉවත් කළා. අපේ චිත්‍ර ගොඩක් එල්ලලා තිබුණේ මේ වැටවල්වල. නමුත් වැට ඉවත් කළාට පස්සෙ ඒව එල්ලන්න තැනක් අපිට තිබුණෙ නැහැ. අපි පාරෙ අනික් පැත්තට ගියා.

2008 දී ආයතන කිහිපයක් එකතු කරගෙන මේ සඳහා ක්‍රමවත් භාවයක් ලබාදෙන්න එවක සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆයිසර් මුෂ්තාෆා මහතා කටයුතු කළා. නමුත් ඒ අතරතුර එතුමාගේ තනතුර මාරුවී වෙනත් කෙනකු සංචාරක අමාත්‍යංශයට ආවා. එකෙන් මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබී ගියා. ඊට පස්සේ අපිට සිද්ධ වුනා මහවැලි කේන්ද්‍රය අසල දිගටම රැඳී ඉන්න. ඒත් අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය වුණේ වැස්සකට යන්න තැනක් නැති වීම. ඔහොම කාලයක් යද්දි ආණ්ඩුව මාරු වුණා. නව ආණ්ඩුව බලයට ආවා.

වත්මන් අග්‍රාමාත්‍යතුමා දිනක් මෙම ස්ථානයට පැමිණ තොරතුරු විමසා පැමිණ හමුවන ලෙස දන්වා තිබුණා. ඒ අනුව අපේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් ලිඛිතව භාර දුන්නා. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ කරුණ පිළිබඳව සැලකළා, ෆයිසර් මුෂ්තාෆා අමාත්‍යවරයා ඊට මැදිහත් වී නැවත මේ කටයුත්ත සඳහා කිසියම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පෙනුණා. ආරම්භයක් විදියට 2016 අපට නගර සභාව හරහා හැඳුනුම් පතක් ලබාදුන්නා. දෙවන අදියරේදී වෙළෙඳ කුටි 25ක් ඉදිකරල 2017 අපේ අයිතියට පත් කළා. ඒ කොටු කරල අපේ නිදහස අහිමි කරල නෙමෙයි.

නිදහස් අවකාශයේ චිත්‍ර රසවිඳින්න පුළුවන් ආකාරයට මේ කුටි හදල දීලා.”. මේ ආකාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඔවුන්ගේ ආදායම් මාර්ගය ස්ථාවර වෙද්දී කිසියම් ආකාරයක ගුණාත්මක පරිවර්ථනයකට ඔවුන් ලක්වෙමින් තිබෙනවා. ඒ මෙතෙක් අ‍ෙලවිය සඳහා නිර්මාණය කරපු චිත්‍ර වෙනුවට කිසියම් ආකාරයක ආත්ම ප්‍රකාශනයන් හරහා සිතුවම්කරණයේ නියැලීමට ඔවුන් කටයුතු කරමින් තිබීමයි. එය පරිපූර්ණවශයෙන් ආත්ම ප්‍රකාශනය මූලික කරගත් පනෙමකට ගමන් කරාවියැයි සිතිය නොහැකි වුවත් ඒ තුළ පැවති තත්ත්වයට වඩා කිසියම් ගුණාත්මක විභවයක් නිර්මාණය කරාවි යැයි සිතිය හැකියි. නමුත් ඔවුන්ගේ මූලික පදනම ආර්ථිකයයි. ඒ අතර තුර කලා සමාජයක් විදියට කිසියම් අපූර්වත්වයකින් සිතුවම් ශිල්පය සමාජ ගත කරන්න ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා.

ලංකාවේ බොහෝදෙනා හිතාගෙන හිටියේ සිතුවම් ශිල්පියා කියන්නෙ අනාගතයක් නැති අයෙක් කියලා. ඒ නිසා දරුවන් එවැනි දේ සඳහා මොනතරම් දක්ෂ වුවත් ඔවුන් ඉන් මුදවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක්, අවම වශයෙන් කළමණාකාරවරයෙක් කිරීම මවුපියන්ගේ අරමුණ වී තිබුණා. අද මොවුන්ගේ සිතුවම් නැරඹීමට පැමිණෙන පාසල් දරුවන් ගුරුවරුන් දෙමාපියන් ඒ මතය කිසියම් මට්ටමකට වෙනස් කරගෙන.

ඒ කියන්නේ තමන්ගෙ දරුවකුට සිතුවම් ශිල්පියකු වී කුඩා ව්‍යවසායකයකු ලෙස කටයුතු කළ හැකියි කියන බලාපොරොත්තුව මේ අය දැකීමෙන් ඇති වී තිබෙනවා. එය ආකල්පමය වශයෙන් ඉතා හොඳ ධනාත්මක ප්‍රවණතාවක්.දැන් මේ ස්ථානයට එන ඕනම කෙනකුට වැස්සකදී වුවත් ගැටලුවකින් තොරව සිතුවමක් ලබාගන්න ඉඩ මේ නව වෙළෙඳ කුටි නිසා නිර්මාණය වී තිබෙනවා.

කුඩා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ රාජ්‍ය ආර්ථික ප්‍රථිපත්තිය ක්‍රියාවට නැංවෙමින් තිබෙන මොහොතක මෙවැනි කාර්යකට උරදීම අගේ කළ යුතුයි.

දිනක ඔබත් මෙහි පැමිණියහොත්. ඔබේ ප්‍රියයන්ගේ උපන්දින සාදයකට , විවාහ මංගලයකට හෝ වෙන මොනයම් හෝ උත්සවයකට සැමරු තිළිණයක් ලබා දීමට අදහස් කරන්නේ නම්, සිතුවමක් ගෙන තිළිණ කරන්න අමතක නොකරන්න. එය ඔබ රැගෙන යන අන් කවරදේකටත් වඩා ඔවුන්ගේ සිතේ ඔබ පිළිබඳ වෙසෙස් ළෙන්ගතුකමක් ඉතිරි කරනවා නොඅනුමානය.

අදහස්