අම­ර­කීර්ති ඔබේ ශෝක වංගුව ළඟ සිට... | Page 2 | සිළුමිණ

අම­ර­කීර්ති ඔබේ ශෝක වංගුව ළඟ සිට...

 

ඔබේ අර ශෝක වංගුවෙ මම සිතින් බොහෝ දවසක් රැ‍ඳෙමින් සිටියා. එය සිංහලෙන් ලියැවුණු හොඳම නවීන පෙම් කවි රචනයක්. එහි රැ‍ඳෙන විට මට සිතෙන්නේ එය නොපෙනෙන වංගුවක් කියලයි. ඒ පැත්තෙන් මොන වගේ රථයක් ඒවීදැයි සිතෙනවා... සිතෙනවා.

.... සිය දහස්වර මා බලා සිට ඇතත්, ඕනෑ

බලන්නට යළිත් ශෝක වංගුව - අඳ වෙලා යන්න පෙර

තැනක් ඇත මා ආදරේ කළ ඉස්සර

දෙනවද එහි යන්න මට - මැරෙන්න ඉස්සර

(එකමත් එක පිටරටක කවිපොත)

ඔබ කියන්නේ ඒ වංගුව නිසා හැරී බැලූ දෙනෙතක් සැඟව නොපෙනී ගිය බවයි.

...... ගෙයක්, අඩිපාරක්, වංගුවක්, මහ පාරක් දෙනවද එහි යන්න මට - මැරෙන්ඩ ඉස්සර

අමරකීර්ති, ඔබ වචන එක එක හිටවමින් පාරේ සිතියම අඳිනවා. හැරී බැලූ දෑසක් ළඟට යන පාරක් කවියා ගේ සිතේ ඇඳී තියෙන්නේ. ඕනෑ ම කෙනෙකුට ඒ දිගේ යන්න පුළුවන්.

අඳවෙලා යන්න පෙර

මැරෙන්න ඉස්සර

එතැනට යෑමටයි ඔබ ඉල්ලන්නේ. කවියා හොඳාකාරව දන්නවා එක දෙයක්. ඒ ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය රමණීය බවයි. ජීවිතය දෙන බවයි. ජීවිතය පිරී ඇති බවයි.

ඔ‍ෙබ් කවියෙන් මම විඳින්නේත් විශ්වයෙන් ගලා එන කාන්දු වෙන ඒ නිශ්ශබ්දතාවයි. ඒ නිශ්ශබ්දතාවේ ශෝක ප්‍රීතිය යි. විශ්වය සමඟ හරියට ම ස්ථානගත වන්නට තමාගේ කක්ෂය සොයන්නේ ඉහළ කවියා යි.

ඒ ඒ දේවල ලකුණු කිසිත් නැති තැනෙක, එහෙමත් නැතිනම් ඒ සියලු ලකුණු එකක් ව ඇති තැනක හරි මැද තිතෙහි සිටින මොහොතේය හැම දෙයක කවිය ඔබ දකින්නේ. ඒ නිසයි සිංහල - දෙමළ හරි මැද ‍කොතැනද සුදු කළු හරි මැද කොතැනද, ශෝකය ප්‍රීතිය හරි මැද... ඔබේ කවිය සොයා යන්නේ. විශ්වය සමඟ හරියට ස්ථානගත වුණාම දැනුම පිපිරී යනවා. සැම දේ අලුතින් පෙනෙන්නට වන්නේ ඒ පිපිරුම තුළයි.

.... උන්නා නම් මා ඉපිද

උතුරු - නැගෙනහිර

දිව්වා නම් මා

සිංහල මැරයන්ගෙ

ගිනි හුළු - කැති පිහි - ගල්කටස් අසලින්

වැරහැලි එල්ලා ගෙන - ලේ පෙරාගෙන

නංගිල මල්ලිලත් බදාගෙන

තිත්ත කළු සිංහල කළු ජූලියේ

නිසි නින්දේ නිදන දේශපාලක

හෘදයසාක්ෂිය අසලින්

අයියෝ කියා ගෙන

කොළඹ, ගාල්ල, කුරුණෑගල

පූජනීය අනුරාධපුර

(එකමත් එක රටක)

ධර්මදීපේ මුසාවාදයයි ඔබ මේ සිතුවමට නගන්නේ. වේගවත් නිදහස් පින්සල් පහරවලින් වෙනස් වර්ණ අහුරුවලින්. දෙමලද සිංහල ද අතර මැද.... කදිරගාමර්ගෙ හද තනි වුණු සිදුරුවුණු ඒ නාඳුනන වෙඩි උණ්ඩය ගැනයි ඔබ ප්‍රශ්න කරන්නේ.

ඒ ප්‍රශ්නය නිපදවන්නට පුළුවන් ‘මැණික’ ඔබ ළඟ තිබෙනවා. ඔබේ කවිය පොහොසත් ඒ නිස යි. ඔබ ම කියනවා අපි හරි දුප්පත්. නමුත් දැන් ඉතා ම පොහොසත් කියලා.

.... ඉස්සර අපි හරි ම දුප්පත්

සමහර දාට නැති බත වත්

එහෙත් මෙන්න ඒ ගැමි කොලුවා පොහොසත් වෙනවා.

අපි හුඟක් පෝසත්

අපට තියෙනවා මැණිකුත්

(අනගි මැණික)

ඒ මැණික නොවෙද ඔබ අහුලා ගත් - ගරාපෙරා ගත් ඔබේ සිතන සිත. ව්‍යාජ නොවන කෘත්‍රිම නොවන සැබෑ දැනුම. දහම් පාසලේ දහම් සිතත් විශ්ව විද්‍යාලේ මැරුණ සිතත් පයට පාගා ගෙනයි ඔබේ මැණික ඇති අත් ඉහළට එසැවෙන්නෙ. ඒ භාග්‍ය ලැබෙන්නේ උගතුන් ලක්ෂයකින් එකෙකුට යි. වෙනත් මහතෙකුට ඒ කවිය ඒ මැණික ලැබෙන්නේ නැහැ. ඒ මාර්ගඵලය ලද කවියෙකුගේ කවියෙන් ගලා එන්නේ විශ්වයේ ප්‍රීති ගංගාවයි. ශෝක ගංගාවයි. ඇයි ශෝකය? ශෝකය ‘ඉහළ ම ප්‍රීතියක්’ නිස යි.

.... දැන් මම සැපසේ ඉන්නෙමි

සැමියන් දරුවන් ලද්දෙමි

ගේ දොර වාහන ඇත්තෙමි

.... එක ම දෙයක් කිව යුත්තෙමි

ජීවිතයේ කවදාවත් ඔබට මිසක්

අන් කාටවත් මම නම්

පෙම් කර නැත්තෙමි

(සරාගේ දෙවැනි ලියුම)

මාර්ටින් වික්‍රමසිංහ ගේ සරෝජිනී කට ඇර නොකී වචනයයි අමරකීර්ති, ඔබ මවන සරා කියා සිටින්නේ. දහම්දීපේ වැස්ස නැතුව හෙන ගහන්නෙ ඇයි කියා ඔබේ ඒ තුන්වන ඇසට පෙනී යනවා.

..... අපි කාවත් සිප ගන්නේ නැහැ

ඉව කරනවා විතරයි

වැස්සත් නැතුව යන්නෙ ඒකයි

අපි කාවත් වැලඳ ගන්නේ නෑ

අල්ලා හිර කරනවා විතරයි

බදාගන්න? ශික්

වැස්සක් නැතුව යන්නෙ ඒකයි

අපි කාගෙවත් හොඳ කියන්නේ නෑ

හොඳ ගැන බණ කියනවා විතරයි

වැහි නැති හෙන වදින්නෙ ඒකයි

( මේ නියං කාලෙ)

මිනිසුන් දෙබිඩ්ඩන් කරන මේ ධර්මදීපය තුළ ධර්මායතන තුළ ධර්මයක් නැහැ ඔබ කියන්නෙ කවියකුගේ වීර සිතකින්.

ඔබේ හොඳ ම කවි ලියැවෙන්නේ බසෙහි සංගීතය සොයා ගත් තැනින්.

.... ඉරක් පායලා සේ

දොරින් ඈ ඇතුළු වෙයි

ඈ සිරුර

රස්මියෙන්

දිස්නයෙන්

ලස්සනෙන්

දිස්න කළ

රස්න කළ

උස්න කළ....

(හමුවෙද අපේ වෙණ තත කවිපොත)

..... මල් පිපෙන හැටි මට ඇසේ

සඳ නැගෙන හැටි

මම සවන් දී හිඳිමි.

ඔබ කවිය ලියන්නේ භාෂාව සුරකින්නෙකු ලෙස නොවෙයි. මාළුවෝ පියාඹනවා කුරුල්ලෝ පිහිනනවා කියා භාෂාව බිඳින්නකු ලෙසට යි. සංදේශ කවි බසේ සුරතලුන් වූ කට වහරේ කෙලතොල්ලන් වූ අපේ ‍ෙබාහෝ කාව්‍යයක්කාරයන්ට නම් බසෙහි ඉතිහාසය විසින් බෝ කරපු පමණට වැඩි රාගතාල මිස ඔබේ කවිය තිබෙන තැන, ඒ ගද්‍යත් - පද්‍යත් අතර තිබෙන පුංචි ඉඩ නම් සොයා ගැන්ම පහසු නොවේවි. අර සුමට සුසිනිඳු සුනිසි සුමියුරු සුචරිත ගම්ලත්ගෙ භාෂාවෙන් කිසි දෙයක් කියවෙන්නේ නැහැ. බස ළමයෙක් සිසුවියක් වගෙ කතා කරන විට බුබුළු නැංවෙනවා. කවියෙහි සංගීතය උපදින්නේ එතැනින්....

..... කාලි දාසලා සිටිති මෙවුයන

තව ම කවි නොලියන

ඔබ කියන්නේ සරසවි බිමේ ඒ ඇත්ත ගැන වෙන්න ඇති.

..... මලයි සුවඳයි අතර - ඒ මල් - සුවඳ තැන

මට එ තැන ඉන්න ඉඩ දෙන්න

කාලය යි අවකාශය යි අතර - අර අදිසි ඉඩ

මට එතන ඉන්න ඉඩ දෙන්න.

භාෂාවේ ඓතිහාසික බලයත් ඒ ප්‍රචණ්ඩත්වයත් බිඳිය හැක්කේ වීර සිතක් ඇති කවියාට යි. කවියකට ඉඩ නොදෙන භාෂා ආධිපත්‍යය ඔබ ළඟ හීලෑ වන්නේ නින්දට යන සිංහයින් වගෙ. ඔබ භාෂාවේ අභාෂාව කවියට ගන්නා සැටි දකින වෙලාවකට ‘දෙවියන්ගේ පිහිටයි’ මට කියැවෙනවා.

සැප රියෙන් යන කල්හි මහපාරේ ඇවිදින මිනිසුන් දකින කවියා තුල හෘධය සාක්ෂියක් කැක්කුම් දෙනවා.... බැංකුවලට ණය වී දෙමහල් නිවෙසක සිටින ඔහුගේ පුංචි පුතා චිත්‍රවලදී අඳින්නේ ම එක දොරක් ජනේලයක් ඇති පැල්පතක්ම යි. මේ ඉහළ කවියකු ස්වල්පයකින් මහත්වයට යන චින්තන ක්‍රමය යි. ‘කුඩාදේවල විද්‍යාව’ වූ කොන්ටම් පරිකල්පනයත් එය යි.

.... විටෙක මම, මා

බෙදමි හතරට

නැවත මම මා

බෙදමි අටකට

එහෙත් ඔබ වේ

හැම කොටසක ම

‘මා’ ය යනු

‘මා - ඔබ’ ය

(හමුවෙද අපේ වෙණ තත කවිපොත)

SELFISH GENE මිනිසා සත්ත්වයින්ගෙන් පරිණාමයට පත්වූයේ ‘මම’ යන ‘ආත්මාර්ථ ජානයෙන්යැ’යි ඩාවින් - හෝකින්ස් නැගූ ප්‍රවාදය බිඳ දමන එලිසබෙත් ෂටෝරිස් වැනි නව ජීව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පරිණාමයට මූල බීජය වන්නේ මිනිහා ‘අපි’ චින්තනයට පා නැගීමය යන විද්‍යාදර්ශනය යි. අමරකීර්ති ගේ බෙදීමේ ගණිත සමීකරණය පෙන්වා දෙන්නේ ද ‘අනෙකා’ ගෙන් ‍‍තොර ‘මම’ යෙක් සිටිය නොහැකි බව යි.

අයිනක ඉඳන් මැද

සිදුවන දේ උගෙන

උගතකු ලෙසින් මැදට ම

ආ අද දවස

හැම හරි මැදට

අයිනක් සේ දැනෙයි මට

(හමුවෙද අපේ වෙණ තත කවි)

නොබැඳුණු හරි මැද කක්ෂයම ද තවත් සමස්තයක අයිනක්, සීමාවක්යැ යි කවියා හෙළි කරන්නේ පුහුදුන් දෑසකට නොපෙනෙන පස්වන හයවන මානයකින් ය.

‘සුහද නගරය’ නම් කවි රචනයෙහි දී අමරකීර්ති දක්වන පසුබිම් පුවතක් ඇත. එකම කාල රාමුවක එකම නගරයක ජීවත් වූ එමිලි ඩිකින්සන් (1830 - 1886) හා ‍රොබර්ට් ප්‍රොස්ට් (1874) කවි කිවිඳි දෙපළට එහි උද්‍යානයේ එක් දිනක්වත් හමු වන්නට ලැබී නැත. ඔවුන් දෙපළ උයනේ කතාබහක සිටින ස්මාරකයක් අද එහි තනා ඇත්තේ ඒ සිහිනය සැබෑ කිරීමට ය. ජරපත් වූ මේ කුඩා දූපතෙහි ද එබඳු උයනක අපට හමුවක් ඇති නැති විය හැකියි. ඈත සිට මා ඔබට ස්තුතියි කියන්නේ ඔබේ කවි අපේ ජීවිතය දිගු කරන හෙයිනි. අමරකීර්ති, මේ සිත් හසර මෙසේ නිම කරන්නම්.

ඔබ කැමති කවියන් ම

ඔබේ කවි ගැන ගොළුවී

ඒ කවිවලට සීතල දැනෙන විට

මට එන්න ඉඩ දෙන්න

ඔබ ළඟට උණුසුම් ව....

අදහස්