මෛත්‍රී ජනපති කලාපීය රාජ්‍ය නායකයන්ගෙන් ලද උපන්දින තෑග්ග හා කොළඹ විරෝධතාව | සිළුමිණ

මෛත්‍රී ජනපති කලාපීය රාජ්‍ය නායකයන්ගෙන් ලද උපන්දින තෑග්ග හා කොළඹ විරෝධතාව

බිම්ස්ටෙක් සිව්වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආපසු මෙරටට පැමිණියේ බිම්ස්ටෙක් සභාපති කිරුළේ ගෞරවනීය අභිමානයද හිමි කරගෙනය. නේපාලයේ කත්මණ්ඩු නුවරදී මුළු දුන් මේ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කළ අනෙක් රටවල් වූයේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය හා තායිලන්තයයි. දකුණු හා අග්නිදිග ආසියානු රටවල් හතක කලාපීය හවුලක් ලෙස හැඳින්විය හැකි මේ සමුළුව නිසැකයෙන්ම සංස්කෘතික හා ඓතිහාසික බැඳීම්වලින් යම් යම් සමානකම් සහිත රටවල් වල එකමුතුවක්ද වේ. විශේෂයෙන් බුදුන් වහන්සේ, බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු පෙරදිග ශිෂ්ටාචාරයක විශිෂ්ට ලකුණු අඩු වැඩි වශයෙන් මෙම කලාපීය රටවලද ඔවුන්ගේ සංස්කෘතිය හා සභ්‍යත්වය තුළද අපට දැක ගත හැකිය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික සංකේත බවට පත්ව තිබෙන අගනා බෞද්ධ සිහිවටන ගණනාවක්ම ඉන්දියාව, නේපාලය වැනි රටවලට අයත් වේ. බුදුන් වහන්සේගේ තෙමඟුල හා බැඳුණු ඒ බෞද්ධ උරුමයේ සියලු පූජනීය සිහිවටන ඉන්දියාව හා නේපාලය සතු රාජ්‍ය වටිනාකම් බවට ද පත්ව තිබේ. භූතානය, තායිලන්තය හා මියන්මාරයද ඒ බොදු උරුමයට හිමිකම් කියන රටවල්ය. බංගලාදේශයට අයත් චිතගොන් ප්‍රදේශයද පාරම්පරික බෞද්ධ භූමියක් ලෙස පිළිගැනේ. මෙයින් තහවුරු වන්නේ අපට තිබෙන බෞද්ධ උරුමයේ හා ශිෂ්ටාචාරයේ අවියෝජනීය ලකුණු හා ආධ්‍යාත්මික බැඳීම් අපගේ කලාපීය සබඳතා වලට ශක්තිමත් පදනමක් සපයා තිබෙන බවය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉතා නිවැරදිව මේ බෞද්ධ උරුමයේ සැමරුම් සිහිපත් කර තිබිණි. ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත බෞද්ධ ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වී තිබෙන මහනුවර දළදා මාළිගාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහරේ කරඬුව වැඩමවීම සඳහා මියන්මාර් ජනපති පරිත්‍යාග කළ ඇත්පැටවා ගැනද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. මියන්මාරය ථෙරවාදි බෞද්ධ රටක් ලෙසද ගෞරවයට පාත්‍රව ඇත. සමුළුවෙන් පසු මෛත්‍රී ජනාධිපතිවරයාට සිදුහත් උපත සිදු වූ නේපාලයේ ලුම්බිනි පූජනීය භූමියේ සිදුහත් කුමරුන් පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කර වන්දනා කිරීමේ අතිශය දුර්ලභ අවස්ථාවද හිමි විය.

කෙසේ හෝ බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ සඳහන් කරන ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන විශේෂ කරුණක්ද වේ. එනම් පාකිස්තානය නැති මෙවැනි කලාපීය සමුළුවක ඉන්දියාවට ප්‍රබෝධවත්ව ක්‍රියා කළ හැකි බවයි. එහි කිසියම් සත්‍යතාවක්ද තිබේ. විශේෂයෙන් මේ දෙරට අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය නිසාම ඉන්දියාව සාක් සමුළුවට සහභාගි වීමට මැළිකමක් දක්වයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ සාක් සමුළුව රැස් නොවීමය. එහෙත් මෙහිදී ඉන්දියාවට ඒ අපහසුතාව ඇති නොවන බවද කිව යුතුය. මෙවර බිම්ස්ටෙක් සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයට උද්යෝගයෙන් සහභාගි වූ අතර මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ දැඩි සමීපතාවකින් ප්‍රතිචාර දැක්වූ ආකාරයද පෙනිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බිම්ස්ටෙක් සභාපති ධුරය හිමිවීම ගැන අගමැති මෝදි සිය සුබ පැතුම් එක් කරමින් අවශ්‍ය ඕනෑම සහායක් දෙන බවට අවධාරණයක්ද කළේය. එපමණක් නොව මෛත්‍රී ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් අගමැති මෝදි සිය සුබ පැතුම් පිරිනැමීමටද අමතක කළේ නැත.

මේ සියල්ල දෙස විමසුම් ඇසින් බලද්දී අපට නිගමනය කළ හැක්කේ බිම්ස්ටෙක් සමුළුව මෙම කලාපීය රටවලට මෙන්ම ඒවායේ රාජ්‍ය නායකයන්ටද සුවිශේෂ හා අර්ථවත් සංවාද මණ්ඩපයක් බවය. කලාපයේ සිටින දේශපාලන අත්දැකීම් බහුල රාජ්‍ය නායකයකු වන මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බිම්ස්ටෙක් සමුළුවේ ඉදිරි ගමන අර්ථවත් හා ඵලදායි එකක් වනු ඇතැයි අගමැති මෝදි මෙන්ම අනෙක් රාජ්‍ය නායකයෝද විශ්වාසය පළ කරති. අප මෙය දකින්නේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ උපන්දිනයට කලාපීය රාජ්‍ය නායකයන් විසින් පිරිනමන ලද සුවිශේෂ උපන්දින තිළිණයක් ලෙසය. සිය උපන්දිනයකදී එබඳු බුහුමනක් ලැබීමේ භාග්‍ය ඇත්තේ කීයෙන් කී දෙනෙකුටද?

මේ සමුළුවේදී මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කළ සුවිශේෂ අවධාරණයක් වන්නේ සමුළුවේ පොදු අරමුණක් වන නීල ආර්ථිකයක් සඳහා යන ගමනේදී සිදු වන දූෂණය, වංචාව, අක්‍රමිකතාව, රාජ්‍ය දේපළ අවභාවිතය පිටුදැකීමේ වැදගත්කමය. අනෙක මුළුමහත් මානව සමාජය මෙන්ම අද්‍යතන තරුණ ජීවිතද වෙළාගත් මත් උවදුර පිළිබඳවය. කලාපීය වශයෙන් මේ අර්බුදවලට විසඳුම් සෙවීමේ භාරධුර වගකීම මෛත්‍රී ජනාධිපතිවරයා සියලු රාජ්‍ය නායකයන්ට අවධාරණය කළේය.

මෛත්‍රී ජනාධිපතිවරයා මුහුණ දී සිටින බරපතළ උභතෝටිකයක් වී තිබෙන්නේද මෙම දූෂණ, වංචා, අක්‍රමිකතා නිවාරණය සඳහා විසඳුම් සොයාගැනීමය. ඉකුත් පාලන යුගයේ ඉතිරි කර තිබෙන අප්‍රසන්න දූෂණ, වංචා, අක්‍රමිකතා මෙන්ම රාජ්‍ය දේපළ අවභාවිත කළ අයට දඬුවම් දීම සඳහා ආණ්ඩුව ගෙන යන සාධනීය පියවර සමහරුන් හඳුන්වන්නේ දේශපාලන පළි ගැනීම් ලෙසය. එහෙත් මෙරටේ සිදු වී තිබෙන ලොමුදැහැගන්වනසුලු වංචා, විවිධ අක්‍රමිකතා පිළිබඳ දවසින් දවස ලැබෙන වාර්තා කිසි සේත් නොතකා හළ නොහැකි ඒවා බව මෛත්‍රී ජනපතිවරයා දනී. රාජ්‍ය නායකයකු ලෙස මෙන්ම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයකු ලෙසද එබඳු වාතාවරණයකදී ක්‍රියා කිරීමේ දුෂ්කරතාද බොහෝය. එහෙත් ජනාධිපතිවරයා දූෂණය හා දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා අනුබල නොදෙන දේශපාලන නායකයකු ලෙස ගෞරවයට පාත්‍රව සිටියි. දේශපාලන පක්ෂ නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා කැප වී සිටින්නේ මේ දේශපාලන වනයෙන් පළමුව තම පක්ෂය වන ශ්‍රීලනිපය මුදාගැනීමටය. එහෙත් ඒ සඳහා ලැබෙන සාධනීය අනුබල අනුග්‍රහ ඉතා අඩු බවද අපට පෙනේ.

දැන් අපි ආණ්ඩුව පමණක් නොව මෙරටේ දේශපාලන විඥානයක් සහිත සියලු දෙනාගේම දැඩි අවධානයට නිමිත්තක් වූ ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නැත හොත් ජනබලය පෙන්වීමක් ලෙස හැඳින්විය හැකි ‘ජන බලය කොළඹට’ නමැති විරෝධතාව පිළිබඳවද මඳක් විමසා බලමු. එය ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම රාජපක්ෂවරුන් විසින් ආරම්භ කරන ලද පොදු ජන පෙරමුණේද ශක්තිය උරගා බැලීමක් ලෙස හැඳින්වීම වැරදි නැත. මේ විරෝධතාව සම්බන්ධයෙන් දේශපාලන කියවීම කුමක්ද? එය මතුපිටින් දිස් වන ආණ්ඩු විරෝධය පමණක් නොව, රාජපක්ෂ කේන්ද්‍රීය දේශපාලනයේ සැඟවී තිබෙන යම් යම් ප්‍රතිවිරෝධතාද පැහැදිලි කරන ක්‍රියාදාමයකි. එසේම එය මෛත්‍රී ජනාධිපතිවරයාට ඍජු ප්‍රතිචාර දැක්වීමකට වඩා එජාපයට හා එහි නායක රනිල් අගමැතිට එල්ල වූ විරෝධයක් ලෙස සැලකීමට පුළුවන. පෙළපාළිකරුවන්ට දෙන ලද සටන් පාඨ හා පුවරුවලින්ද එය පිළිබිඹු විය. එහෙත් ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටින් පෙළපාළිය ගමන් කරද්දී කීප දෙනක එම ගොඩනැඟිල්ලට උසුළු-විසුළු පාමින් හැසිරුණු බවද පෙනිණි.

කෙසේ වෙතත් බිම්ස්ටෙක් සමුළුව නිමවා පැමිණි ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබුණේ සිය ජන්ම දිනයට ආශීර්වාද කිරීම සඳහා සංවිධානය කරන ලද පින්කම් හා චාම් උත්සව කීපයකට සහභාගි වීමය. අනෙක් අතට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් වුව මේ විරෝධතාව පිළිබඳ ප්‍රබල විවේචනයක් සිදු වූයේ නැත. යම් පමණක හෝ අදහසක් ප්‍රකාශ කළේ දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර ඇමැතිවරු පමණි.

එජාපයට නම් මුල සිටම මේ විරෝධතාව ගැන විවේචන තිබිණි. මෙම විරෝධතාව තමන්ට එරෙහිව පැවරී තිබෙන දූෂණ හා වංචා නඩුවලින් බේරීම සඳහා බලය ලබා ගැනීමේ මෙහෙයුමක් යන්න හොඳ තර්කයකි. ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද අලුත් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමට නොහැකි විවිධ චෝදනාවලට ලක්ව සිටින ඒකාබද්ධයට මේ ජනබලය අලුත් බලාපොරොත්තුවක් ඇති කරවනසුලු එකක් විය හැකිය. එසේම එජාපයේ කසකාරයන් පමණක් නොව, නායක අගමැති රනිල්ද අවධාරණය කළ වැදගත් තර්කයක් විය. එනම්: අද මේ සියලු විරෝධතා සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය උදා වී තිබෙන්නේ මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව විසින් සිදු කරන ලද ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය නිසා බවය. එය සැබෑවකි. රනිල් අගමැතිවරයා පාර්ලිමේන්තු සභා ගැබේහිදි කී පරිදිම අද විරෝධතාවලට බාධා නැත; වෙඩි තැබීම්, අතුරුදන් කිරීම්, සුදුවෑන් වලින් හඹා යෑම් මෙන්ම මාධ්‍ය නිදහසට තර්ජන-ගර්ජනද නැත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා-හැරෙන අවලාද-අපවාදවලින් ආණ්ඩුව පමණක් නොව, ජනාධිපති හා අගමැතිගේ පෞද්ගලිතක්වයට පවා කරන අපහාස සුළු-පටු නැත.

අද තිබෙන දේශපාලන හා මාධ්‍ය නිදහස එබඳු වුවද ඒ නිදහස නොඉවසන සමහරුන් විසින් කරන ලද දීන ක්‍රියා ආණ්ඩුවට හොඳ නැති බවද කිව යුතුය. මාධ්‍ය වාර්තාවලින් හෙළි වූ කඩවත හා හාලිඇළ ප්‍රහාර දේශපාලන මීගවයන්ට හොඳ විය හැකිය. මේ සමඟ පොලීසියේ ඇතැම් ප්‍රතිචාරද අපට තේරුම්ගත නොහැකිය. අධිකරණයට ගිය පොලීසියට විනිසුරන් පෙන්වා දී ඇත්තේ පොලීසිය සතු බලය හා වගකීම පිළිබඳ පාඩමකි. එහෙත් පොලීසිය නීතියට මුවා වී තමන්ට යම් යම් හිරිහැර, බාධා කළ බවද විපක්ෂයේ චෝදනාවකි. ප්‍රජාතන්ත්‍රවාදය මැඬ-ලීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි ආවරණ සෙවීම වුවද හාස්‍යජනකය. කුමක් වුවත් මේ ආණ්ඩුවේ කීර්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි කිරිකළයට ගොම දමාගැනීමට එබඳු ප්‍රතිචාර හේතු වන බව මතක් කළ යුතුය.

‘ජනබලය කොළඹට’ මෙහෙයුම පිළිබඳ විවිධාකාර නිරීක්ෂණද ඇසිණි. එජාපයේ පසුපෙළට අනුව එය අරමුණක් නැති නිෂ්ඵල වෑයමකි. තවත් මතයක් වූයේ එය ‘හොරුන්ගේ රස්තියාදුවක්’ බවය. මේ විරෝධතාවෙහි සියල්ල ඇදට දැකීම හා එයට හේතු කාරණා සෙවීමද නිදහස් අයිතියකි. එසේම මෙමඟින් උද්දාමයට පත්ව සිහින මාළිගාවල සැතපීමටද බාධාවක් නැත. එහෙත් මේ අන්ත දෙකටම නොවැටී එදෙස බලන විට මතු කළ හැකි තර්ක කීපයක්ද වේ විරෝධතා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කිරීම, සටන් වැදීම නොමැනවයි කිව නොහැකිය. එහෙත් මේ විරෝධතාව සංවිධානය කළ පිරිස අතර මෙන්ම එයට ප්‍රතිචාර දැක්වූ පිරිස අතරද දූෂණය, වංචාව, අක්‍රමිකතා හා මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ලද අයද සිටිති. එබඳු අය ජනතාව අබියසට පැමිණ කුමන ප්‍රකාශ කළත් ඔවුන් විසින් කරන ලද දූෂණ, වංචා, අක්‍රමිකතා මක‍ාගත නොහැකිය. එහෙත් දේශපාලන සාක්ෂරතාවෙන් අඩු සමාජයක වචීපරම දේශපාලනඥයන්ට ඕනෑම කරණමක් ගැසීමට බාධාවක්ද නැත.

මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කළ පරිදිම මෙරටේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් නැත. ජනතාවද තට්ටු මාරු ක්‍රමය අනුව හැමදාමත් අඩු-වැඩි වශයෙන් බඳුන් වන්නේ රැවටිලිවලටමය. කාදිනල් තුමාගේ අවධාරණය වන්නේ අද ජනතාවට කිසිම කෙනකු පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවය. මේ ආණ්ඩුව ගොඩනඟාගත් ජනතාවට අවශ්‍ය වූයේ දූෂණ, වංචා, අක්‍රමිකතාවලින් තොර පාලනයකි. එහෙත් එය යථාර්ථයක් බවට පත් වී තිබේද යන්න ආණ්ඩුවේ හෘදයසාක්ෂියට දැනෙනු ඇත. එසේම එවකට තිබුණු පාලනය පෙරළා-දමා ජනතාව මේ ආණ්ඩුව ඉදිරියට ගත්තේ දහසක් අපේක්ෂා හිස දරාගෙනය. එහෙත් අද එදා ජනතාවට එපා වූ නඩයම ජනබලය සමග දේශපාලන හරඹ කරන තැනකට පැමිණ සිටීම විස්මයට වඩා අපේ දේශපාලන දුගීභාවය තහවුරු කරන්නකි. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් වැනි කාරණා සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටියත් දූෂිතයන්ට දඬුවම් දීමේ කාර්යය අබියස බෙලහීනව සිටින බව දින කීපයකට පෙර මෛත්‍රී ජනාධිපතිවරයා විසින් යළි අවධාරණය කරන ලදි. ඇත්ත වශයෙන්ම මහ බැංකු මංකොල්ලය රටට හෙළි වූයේ ජනාධිපතිවරයාගේ අභීත පියවර නිසාය. එහිම දිගුවක් වැනි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු විමර්ශන කොමිසම මේ වන විට රටට හෙළි කර තිබෙන දූෂණවල පරිමාව ඇදහිය නොහැකි තරම්ය.

මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කරන පරිදිම සකලවිධ දූෂිතයන්ට නිදහසේ සිටීමට අදත් හැකි තිබෙන්නේ නීතියේ යම් යම් දුබලතා නිසාමය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට අගමැති හා කථානායක සමීපයේ තබාගනිමින් ජනාධිපතිවරයා රටටම කීවේ මහජන දේපළ අවභාවිත කරන දුෂිතයන්ට මරණ දඬුවම දීමට තමා සූදානම් බවය. සිංගප්පූරුවේ, චීනයේ මෙන් එබඳු දඬුවම් ක්‍රමයකින් විනා මෙරටට අනාගතයක් නැති බව මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දැඩි කනස්සල්ලකින් බව පැහැදිලිය. මේ ජනබලය එබඳු විරෝධතා සටන් පාඨවලට වඩා, රාජ්‍ය බලය අත්පත් කරගැනීමට කරන ලද විරෝධයක් බව ජනතාව වටහාගත යුතුය. මේ විරෝධතාවෙන් ඇස් නිලංකාර කරගන්නා කිසිවකුට බැරෑරුම් දේශපාලන කියවීමක් නැති බව අපි දනිමු.

අදහස්