පුත්‍රයාට හෙටක් පතා ‘දඹදිව වන්දනාව’ | සිළුමිණ

පුත්‍රයාට හෙටක් පතා ‘දඹදිව වන්දනාව’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු නියෝජිත පිරිසගේ ඉන්දීය සංචාරය වැදගත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පුත්‍රයාට තරග කරන්නට නොහැකි නිසා තම සහෝදරයකු ඊට තරග කරාවියැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය නිසා නොවේ. ඔහුගේ දේශපාලනයේ අනාගතයට වැදගත් වන ප්‍රකාශයක් එහිදී පුන-පුනා කියැවුණද; මාධ්‍ය හමුවේ ඊට ලැබුණු ආලෝකය අවම විය ‘ද හින්දු’ පුවත්පත සමඟ හිටපු ජනාධිපතිවරයා පවත්වන සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පුන-පුනා ප්‍රකාශ කරන්නේ ඉන්දියාව අතීතය අමතක කළ යුතු බවත්, අනාගතය දෙස සුබවාදිව බැලිය යුතු බවත්ය.

‘ඉන්දු-ලංකා සබඳතාවල ඉදිරි මඟ’ නමින් නවදිල්ලියේදී දේශනයක් පැවැත්වීමට ඉන්දියාවට ගිය හිටපු ජනාධිපතිවරයා මේ තකහනියේ ‘අතීතය අමතක කරන්නැයි’ ඉන්දියාවට කීම අහඹු ප්‍රකාශයක් නම් නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්ව කනගාටුවෙන් සිටි මහින්ද රාජපක්ෂ ඔහුගේ පරාජයට ඉන්දියාවත්, එක්සත් ජනපදයත්, යුරෝපා සංගමයත් වගකිව යුතු බව ප්‍රකාශයක් කළේය. රාජ්‍යතාන්ත්‍රිකව නොපැසුණු කතාවක් වන එය එකල ඔහුට තිබූ පරාජයේ ආවේගයට කියවුණා වන්නට ඉඩ තිබේ. එහෙත් කටින් පිට වූ යමක් ඇතුන් ලවා හෝ යළි ඇද්දවීමට නම් නොහැකිමය. ඒ නිසා ඉන්දියාව සමනය කරගැනීමට හිටපු ජනාධිපතිවරයා ඊට පසුව ඉන්දියාවේ වත්මන් ආණ්ඩුව මත බටර් ගාන්නට පටන්ගත්තේ තට්ටු පිටින්ය!

ගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ ප්‍රවෘත්ති ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉන්දියාව ඉල්ලීමකින් තොරවම තම ආණ්ඩුවට සහාය දැක්වූ බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් ඉන්දියාව අගයන්නේ මෙසේය:

‘ඉන්දියාව අපට යුද්ධයේදී උපකාර කළා. අපට ඔවුන්ගෙන් උදවු ඉල්ලන්න අවශ්‍ය වුණේ නෑ. මොකද; මම කළේ ඉන්දියාවේ යුද්ධයක්. ඇත්තටම එය මගේ යුද්ධයක් නෙවෙයි.

‘එල්ටීටීඊය ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කළා; ඉන්දියාවේ බොහෝ දෙනෙක් ඝාතනය කළා. ඒ නිසා එය මගේ යුද්ධයක් විතරක් නෙවෙයි. එය ඉන්දියාවේත් යුද්ධයක්. එය මානුෂීය යුද්ධයක්. චීනය හා පාකිස්තානය විතරක් නෙවෙයි; අපට බ්‍රිතාන්‍යය හා ඇමෙරිකා එක්සත් ජනපදයක් උදව් කළා.’

ගිය අඟහරුවාදා ඉන්දියාවට ගිය මහින්ද රාජපක්ෂ බලවත් ලෙස වෙහෙසෙන්නේ මෝදිගේ ආණ්ඩුව මිත්‍රයකු කරගැනීමටය. ‘දි හින්දු’ පුවත්පතට ඍජුවම මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ:

‘ඔව්. 2015 අපේ පරාජයෙන් පස්සෙ අපි අතර වැරැදි අවබෝධතා තිබුණ. ඒවා අමතක කරන්න දැන් කාලය ඇවිල්ලා. මම මෙහේ ආවෙ අපේ දෙපාර්ශ්වය අතර සමගි සන්ධානයක් ඇති කරගන්න.’

2015දී රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටීමෙන් පසු ඊට ඉන්දීය රජය වගකිව යුතු බව චෝදනා කළා නේදැයි විමසූ විට ලිස්සා යන පිළිතුරක් දෙන මහින්ද රාජපක්ෂ පවසන්නේ ‘නෑ, මම කිව්වෙ රටක අභ්‍යන්තර කටයුතුවලට වෙනත් රටක් අත දාන්න හොඳ නැහැ. හුදෙක් ඉන්දියාව විතරක් මම සඳහන් කළේ නැහැ. කොහොම වුණත් දැන් සියල්ල තේරුම් අරන් ඉන්නෙ. අපි අතීතය අමතක කරන්න ඕනෑ. දැන් ඉදිරිය දෙස බලන්නත්, ඉදිරියට යන්නත් වෙලාව ඇවිල්ලා.’

අතීතය අමතක කරමු යැයි පවසමින් කඩිමුඩියේ අනාගතයක් ගැන කතා කරන්නට හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවට ගියේ 2019 ජනාධිපතිවරණයට සූදානම් වන්නට බව රහසක් නොවේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ තම සහෝදරයකු බවත් තමන් හා ඉන්දියාව අතර සමීප සබඳතා තිබුණු බවත් පවසමින් ඔහු මේ වරම් ඉල්ලන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ජය සහතික කරගැනීම වෙනුවෙන් මිස, අන් කිසිවකට නොවේ.

වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රමාද වෙමින් පවතින ඉක්ටා ගිවිසුම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රාජපක්ෂගේ මතය ‘ද හින්දු’ පුවත්පත විමසන විට ඔහු සීරුවෙන් ලිස්සා යයි. ‘ඔබ නැවතත් රාජ්‍ය බලය ලබාගත හොත් ඉන්දියාව සමඟ පළමු කාර්යය ලෙස ඔබ කරන්නේ කුමක්දැයි’ විමසූ විට ‘අපේ ප්‍රමුඛතාව වන්නේ ආයෝජන’ යැයි පවසයි. එහෙත් එහිදී ගම්‍ය වන්නේ ඉක්ටා ගිවිසුම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා මත්තල ගුවන් තොටුපළ යන ඉන්දීය ආර්ථික න්‍යායපත්‍රය නොසලකා හරිමින් ඉන්දියාව හා සබඳතා පැවැත්වීම නොවේ. තමා බලයට පත් වුව හොත් ඉන්දීය ආර්ථික න්‍යායපත්‍රයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම රාජපක්ෂට සිදු වන්නේය. එහෙත් ඔහුගේ දේශපාලන සටකපටකම නිසා මේ අවස්ථාවේ ඒ සංවේදි කාරණා ගැන හේ මුනිවත රකී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත් ඉහළින් අගය කරමින් ඉන්දියාවට ගෙන්වාගනු ලැබූයේ භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු වන සුබ්‍රමනියම් ස්වාමි විසිනි. හින්දු ජාතිකවාදි ජනතා පක්ෂයේ සභාපති වූ ඔහු පසුව තම පක්ෂය සමඟම භාරතීය ජනතා පක්ෂයට එක් විය. මුළු ඉන්දියාවම හින්දු රටක් විය යුතුයැයි ආකල්පමය ස්වෝත්තමවාදියකු වන ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ගජ මිතුරෙකි. මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ගැටගසන්නට සුබ්‍රමනියම් ස්වාමි මහත් වෙහෙසක් දරයි.

එහෙත් පූට්ටු කරන්නට තැත් කරන ඒ මිතුරුකමට බාධකයක් පවතී. මහජන චීනය ඉන්දීය භූ-දේශපාලන අභිලාශයන්ට තර්ජනයක් වෙමින් ඉන්දීය සාගර කලාපය තුළ කටයුතු කිරීමේදී මහින්ද රාජපක්ෂ සිටියේ මහජන චීනයට සහාය වන ස්ථාවරයකය. කොටි සංවිධානය සමූලඝාතනය කළ යුතුය යන බටහිර ස්ථාවරය තුළ එකිනෙකට පරස්පරවිරෝධ අභිලාශයන් සහිත රටවල් කළමනාකරණය කරගැනීම ශ්‍රී ලංකාවට පහසු කරුණක් විය. එහෙත් කොටි සංවිධානය සමූලඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව අවසන් වූ පසුවත් වරප්‍රසාද භුක්තිවිඳින්නට ශ්‍රී ලංකාවට කොහෙත්ම ඉඩක් නොවීය. මහින්ද රාජපක්ෂ ඒ කරුණ දැන හෝ නොදැන හෝ මහජන චීනයේ අභිලාශයන් ජයග්‍රහණය කරලීමට සහාය විය. ඉන්දියාව ඒ සම්බන්ධයෙන් හිටියේ නොසතුටිනි.

ඉන්දියාව, පාකිස්තානය, මහජන චීනය වැනි එකිනෙක පසමිතුරු අභිලාශයන් සමඟ යහපත් කළමනාකරණයක් ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකි වූයේ කොටි සංවිධානය සමූලඝාතනය කර-ලීමේ ගෝලීය අවශ්‍යතාව නිසාය. එහෙත් රජවරුන් සමඟ ගනුදෙනු කිරීමේ මාරාන්තික ක්‍රමයේ සීමා රාජපක්ෂ ආණ්ඩුව දැන නොසිටියේය. ඉන්දීය භූ-දේශපාලන අභිලාශයන් තීන්දු-තීරණය වීම එක්සත් ජනපද භූ-දේශපාලනය තීරණය වීමෙන් ස්වායත්ත කරුණක් නොවේ. ඉන්දියාවේ අභිලාශයන්ට එරෙහිව යෑම ඒ අර්ථයෙන් ගත හොත් එක්සත් ජනපදයේ භූ දේශපාලන අභිලාශයන්ට එරෙහිව යෑමකි. මහින්ද රාජපක්ෂ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව වන්දනා කරමින් සමාව ගන්නේ, එදා කළ වරද නිවැරැදි කරගන්නට විය හැකිය.

ආණ්ඩු අලුතින් හදන්නට ශ්‍රී ලංකාවට බාධාවක් නැත. එහෙත් ඒ අලුත් ආණ්ඩුවට සාර්ථකව ක්‍රියාත්මක වන්නට නම් ඉන්දියාවේ සහාය අවශ්‍යය. ලෝකයේ සැම බලවත් රටක්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තිය සකස් කරගන්නේ ඉන්දියාව මත පදනම් වෙමිනි. විශාල රටක් අසල පිහිටි කුඩා රාජ්‍යයක එවැනි ඉරණමක් භූ-දේශපාලනික අවකාශය තුළ වඩා තාර්කිකය. එනිසා ඒ අනුව තම විදේශ ප්‍රතිපත්තිය සකස් කරගන්නට ශ්‍රී ලංකාවට හැකි විය යුතුය.

කලකට ඉහත ලෝකයේ බොහෝ රටවල විදේශ ප්‍රතිපත්තිය සකස් කෙරුණේ පරමාදර්ශී ලෙසය. ඊට හේතුව කොපමණ නොබැඳුණු වුවත් බැඳුණු බලවත් එක් රටක් හෝ තිබුණු නිසාය. එවිට ඒ බැඳුණු රට විපතකදී සහාය වන්නට එන්නේය. එහෙත් දැන් සීතල යුද්ධය අහවර වී ලෝකය බෙදී ඇත්තේ ආර්ථික කාණ්ඩ වශයෙනි.

මේ යුගයේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරගන්නට බොහෝ රටවල් පෙලඹෙන්නේ උපයෝගිතාව යොදාගනිමිනි. එහෙත් එවැනි විදේශ ප්‍රතිපත්තියක් ශක්තිමත්ව කළමනාකරණය කරගැනීම අපහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ. 2015දී මහින්ද රාජපක්ෂ මුහුණ දුන්නේ ඒ අසීරු දේශපාලන පෙළගැසීමටයි.

ඔහු මෙවර ඉන්දියාවට ගියේ ඒ වරද නිවැරැදි කරගත් බවත්, අතීතය අමතක කර දිගු ගමනක් යෑමට තමන් සූදානම් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර; තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටින්නටය. එහෙත් ඉන්දියාවට අවශ්‍ය වන්නේ තම ආර්ථික න්‍යායපත්‍රයට එරෙහිව නොයන පරිසරයක් නිර්මාණය කර ගැනීමය. හෙට-අනිද්දා වන විට පෙරළා මවු රට එන රාජපක්ෂලා ඉන්දියාවට අදාළ සංවේදි කාරණාවලදී කසාය බිව් ගොළුවන් ලෙස රග දක්වනවා නිරනුමානය.

[email protected]

Comments