ජනබලය හෑල්ලු කළ කොළඹ “ෆන්” එක | සිළුමිණ

ජනබලය හෑල්ලු කළ කොළඹ “ෆන්” එක

'ඇත්තටම ආණ්ඩුව පෙරළයි ද?'

කවුරුත් කතා වුණේ පස්වැනිදා හැන්දෑවේ කුමක් වේදැයි කියාය.

පස්වැනිදාට එළිවුයේය. ඇතැමුන් ලෙඩ නිවාඩු දැමූහ. ඇතැමුන් වෙන දෙයක් වෙච්චාවේ කියා රස්සාවට ගියහ. තම දෛනික කටයුතු වෙනුවෙන් පිටත්ව ගියහ. එහෙත් හැන්දෑව ගැන නම් කාට කාටත් තිබුණේ සැකයකි. මේ සියලු කතන්දර ගොඩනැගුණේ ඉකුත් පස්වැනිදා එකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනබල මෙහෙයුම සමඟය.

එයට සැලකිය යුතු සෙනඟ කන්දරාවක් ඇදුණේය. මේ සෙනඟ බොහෝ විට එන්නට ඇත්තේ ඔවුන් විශ්වාස කරන දේශපාලනය, නායකයා වෙනුවෙනි. මේ අතරින් සමහරුන් ආවේ නෑවිත් බැරිකමටය. සමහරු නැතිබැරිකමටය. නෑවිත් බැරි අය පොහොට්ටුව වෙනුවෙන් රාජපක්ෂ පවුල සහ රජය වෙනුවෙන් හදවතින්ම සිටි අයය. එයට අමතරව ඒ රජයෙන් කොන්ත්‍රාත්, රස්සා ගත් අයය. ඒ කාලයේ නිති විරෝදී ක්‍රමවලින් මුදල් හම්බ කර ගත් අයය. නැති බැරි අය වන්නේ ප්‍රාෙද්ශීය දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතමිතුරු ජාවාරම්කරුවන් ලබා දෙන පඬුරු පාක්කුඩම් එක දවසකට හෝ භුක්ති විඳීමේ අරමුණ ඇතිවය. ආණුඩව පෙරළීම කෙසේ වෙතත් ගොම්මන් වැෙටන්නටත් පෙර මහ පාරේ පෙරළුනේ ඔවුන්ගෙන් පිරිසකි.

කොහොම වුණත් පස්වෙනිදා පස්වරුවේ කොළඹ නගරයට රටේ සිව් දෙසින්ම ජනතාව පැමිණියහ. මෙම ජනතාව ගෙන්වීමේ ව්‍යාපාරයේදි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ තම ට්විටර් ගිණුම මඟින් දන්වා තිබුණේ තම පාක්ෂිකයන් විසින් කොළඹ නගරයේ තැන තැන දමා යන අපද්‍රව්‍ය එදිනම පිරිසිදු කරන බවය. මොනවා නැතත් පක්ෂභේදයකින් තොරව කවුරුත් ඒ ගැන සුබවාදිව සිතන්නට වූහ.

පස්වැනිදා සවස වේලාව සවස එක පමණ වන්නට ඇත . ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම පැවැත්වෙන්නේ කොතැනදැයි යන්න පිළිබඳ හරි තිරණයක් නොතබිණි. නමුත් සවස දෙක පමණ වන විට දැන ගන්නට ලැබුනේ ජනබල මෙහෙයුම ලේක්හවුස් වට රවුමේ තිබෙන බවකි. 'විවිධ කොට්ඨාශ නියෝජනය කරමින් ජනතාව පැමිණෙන්නට විය.

මේ ජනතාව අතරින් සුව පහසු වාහන වල මාර්ග නීති කඩ කරමින් පැමිණි ඒකාබද්ධයේ හිටපු ඇමැතිවරු කිහිප දෙනෙකුද අප ඇස නොගැටුණාම නොවේ. පෙරට ඇදෙන ජනතාව අතරින් සිහි බුද­්ධියෙන් සිටියේ අතලොස්සක් පමණි. ඇතැමෙක් තුන් මුනින් වැටෙන්ට බීමත්ව සිටියහ. කෙනෙකුගේ උඩුක‍ය ඇඳුම නැත. ඇතැමෙක් මේ ගෙන්දගම් පොළවේ පදික වේදිකා මත සුව නින්දේය. තවකෙක් තාර පාර මැද්දේ නිදිය. 'මෙහෙමත් මිනිස්සු.' රට හදන්න පෙරට එන්නේ මෙහෙම බේබද්දෝදැයි කියා හිතුණේ කොළඹ ‍උස විදුලි කණු මත නැගි මිනිසුන් දෙදෙනා දුටු විටය.

ඒකාබද්ධ විපක්ෂය දන්වා තිබූ‍ණේ එදින රාත්‍රිය ඔවුන් කොළඹ සිටින බවය. මේ වෙනුවෙන් ‍‍ඒකාබද්ධයේ ඇතැමුන් කොළඹ තරු පහේ හෝටල් වල කාමර ද වෙන් කරවා ගන තිබූ බව දැන ගන්නට ලැබිණි.

එය එසේ වුවා පමණක් නොව රාජපක්ෂ පුතුන් මෙන්ම ඇතැම් මන්ත්‍රිවරු මහජනතාව අව්වේ වේලෙමින් කකුල් කඩෙත්තුව හැදෙන තුරු පයින් යද්දි සිටගෙන දුක්විදිද්දි තරුපහේ හොටල් වලින් හොඳහැටි සප්පායම් වූහ. මේ ගැන මේ අහිසංක ජනතාව දැන ගන්නේ පසුවදාය. ඒ සමාජ මාධ්‍ය ජාල මඟිනි. ඔවුන්ගේ මේ හැං හොරා සෙල්ලම එතැන හුන් මහජනතාවට නොදැනුණේ මේ තරුැ හෝටල්ද විනාඩියෙන් දෙකෙන් යා හැකි තරම් කිට්ටුවෙන් තිබූ නිසාය. එක් රාජපක්ෂ පුත්‍රයකු උද්ඝෝෂණය ක්‍රියාත්මක වන මොහොතේද හිතවත් වයාපාරිකයන් කිහිප දෙනකු සමඟ අසල පිහිටි හෝටලයක සරතැස නිවන අයුරු කොලඹට ආණ්ඩු පෙරළන්නට ගමෙන් පැමිණි ජනතාව නොදැක්කේ වාසනාවකටය.

සිල්ලර වෙළෙන්දෝ තැන් තැන්වල සිටියද එය ජනතාවගේ සා පිපාසය නිවා ගැන්මට තරම් නොවූහ. වැසිකිලි කැසිකිලි පහසුකම් සොයා ගැනීම ද මේ කොළඹ නගරයේ ප්‍රශ්නයකි. රාත්‍රිය වන විට සියල්ල නිමා වෙමින් තිබිණි. පැමිණ සිටි ජනතාව අමතා සත්‍යග්‍රහයේ යෙදීමෙන් පසු ලොක්කෝ යන්නට ගියහ. දුක් විදගෙන පැමිණි ජනතාව යන එන මං නැතිව නන්නත්තාර වන්නට වූයේ ඉන් පසුවය. ඔවුන් නන්නත්තාර වුවා යැයි අපට කියන්නට සිදු වන්නේ දහවලේදී ඔවුන් පැමිණි බස් රථ විහාරමහාදේවී උද්‍යානය, ටවුන්හෝල් මෙන්ම ලේක්හවුස් වට රවුමට බොහෝ ඇතින් නතර කළ බැවිනි. ඇතැමෙක්ට ගමෙන් පැමිණි බස්රථය ද සොයා ගැනීම අසීරු විය. පසුදා උදයේද ඇතැමෙක් බස්රථය සොයා ගැනීමට නොහැකිව කොටුවේ ඉබාගාතේ ඇවිදිමින්ද සිටිනු දැකිය හැකි විය. ජැන්ඩියට ඇදගෙන අරක්කු බොමින් කොළඹ පැමිණි ගමේ අයියලා අක්කලා නැවත ගමට ගියේ අපේක්ෂා භංගත්වයෙනි.

නමුත් ඔවුන් මඟදිගට අරක්කු බී හිස් කළ බෝතල් සිකුරාදා එනම් අටවැනිදා උදෑසනද කොළඹ කොටුවේ පාරවල් අයිනේ , මෙන්ම ලයිට් කණු යට තැන් තැන්වල දමා තිබෙු දැකිය හැකි විය. මොවුන් සැදි පැහැදි පස්වැනිදා කොළඹ පැමිණියේ රජය පෙරලා දමා අලුත් රජයක් පිහිටුවීමේ අරමුණිනි.මේ මිනිසුන් පරිසරය වනසා දැමූ හැන්දෑව ගෙවී රාත්‍රිය උදාවන විට කොළඹ කුණු ගොඩවල් ගොඩ ගැසෙන්නට මහා වෙලාවක් ගියේ නැත. හිස් අරක්කු බෝතල්,හිස් කිරිපැකට්,ප්ලාස්ටික් වතුර බෝතල්,කඩදාසි ආදි අපද්‍රව්‍ය පරසරයට මුදාහැර තිබිණි.නාමල් රාජපක්ෂ කියූ ලෙසින් මේ කුණු ගොඩවල් සුද්ද කළේද නැත.

පුස්ස බින්දාක් වැනි වූ ඒකාබද්ධයේ ජනබල මෙහෙයුම අවසානයේ සියල්ලෝ ගම් බිම් වලට ගියේ කොළඹ නඟරය අපවිත්‍රකරය. (හයවැනිදා උදෑසන කොළඹ පැමිණිය ඇත්තෝ මෙහය ඇස් දෙකටම දකින්ට ඇත)

අපේ රටේ මිනිස්සු හැමදාමත් කරන්නේ මෝඩකම්ය. ඒ කරන මෝඩකම් වල නිමාවක් ඇත්තේද නැත. ජනබල මෙහෙයුම කාගේ උවමනාවට වූවක්ද යන්න දැන් කෙළින් කියන කෙනෙකු නැත. නමුත් මේ මෙහෙයුමේ කොණක නොව ප්‍රධානියකු වූයේ නාමල් රාජපක්ෂය. තාත්තා අගමැති කරන්නටත් ඊළඟට තමන් ජනපති වන්නටත් සිහින දකින ඔහුට ජන බලය හරි දිශාවට හරවා ගැනීමට හැකි වූයේ නැත.

නමුත් නාමල්ගේ අසාර්ථකත්වය පිළිබද මුහුණු පොතේ විවිධ ලෙසින් සටහන්ව තිබිණි. 'බාප්පා කියන විදිහට ඉන්න' යැයි එක් පෝස්ටුවක සඳහන්ව තිබිණි. ජනබලයට කොළඹ පැමිණි එක් අයෙකු මිය ගියේය. මේ අතර කිරි පැකට් විෂ වීමෙන් නව දෙනෙකු රෝහල් ගතකෙරිණි. මේ වාර්තා වූ රෝගීන් ගණන පමණි.

බීමත්ව සිටි අය රෝහල්වලට ගෙන යන්නට විපක්ෂයේ දැඩි විරෝධය මත දියත් වන ඉන්දියාවෙන් ලැබුනු 1990 ගිලන් රථ සේවයද යොදා ගෙන තිබුණු බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා තම ට්විටර් ගිනුමේ සටහන් කර තිබිණි.

සමාජ මාධ්‍ය ජාල හරහා ඒකාබද්ධ විපක්ෂයේ ජනබල මෙහෙයුම වෙනුවෙන් සකසන ලද නිර්මානශිලි කතා බොහෝය. මේ ඇතැම් කතා හාස්‍ය වුවත්.එහි යම් ගැඹුරක් ඇති බව දැනෙන්නේ ඒවා දැක සිනහවී ,නිදහසේ ඒ ගැන කල්පනා කරනව විටය. ඇතැමුන් පොදු මහජනතාවට ඒත්තු ගන්නා තිබුණේ මේ ජනබල මෙහෙයයුමෙන් රජය පෙරලිය හැකි බවකි.මේ පෝස්ටුව පස්වනදා රාත්‍රියේම ෆේස් බුක් වල දක්නට ලැබුණේ එහෙයිනි.

එය එකාබද්ධයේ පාක්ෂීකයන්ට කළ 'කෝචොක්' එකක් වැනිය.

ෆෝට් එක සකසා තිබුණේ 'බ්රේකින් නිව්ස්' එකක් ලෙසය. 'මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙයි' යනුවෙන් එහි සඳහන්ව තිබිණි.

තොපි ගහපු බ්‍රෑන්ඩ් එක කියහල්ලා තරහා නැතිව' උස පහන් කණුවේ නැගි මිනිසුන් වෙනුවෙන්ද රස වැකි කිහිපයක්ම ලියා තිබිණි.

මුහුණු පොතේ දුටු අපූරු පෝස්ටුවක එසේ සටහන් වී තිබිණි. 'කොළඹ වටලලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුව පෙරලන්න පුළුවන්නම් අන්තරේ ළහිරුවා මෙලහකටත් රටේ ජනාධිපති.'

මේ සියළු කිවුම් කෙරුම් අතරේ අවසානයේ කියැවෙන්නේ මෙදා ජනබල මෙහෙයුම පුස්සක් වූ බවය. රටකට අරගල කරන්නන් විප්ලවකාරයන්,අවශ්‍යය. ඒ රට යහ මඟට ගැනීමටය. නමුදු රටේ දේපල වලට හානි කරන්නන්, තමන්ට කියා මතවාදයක් නැති අනික් වුන් කියන කියන පදේට නටන හිස් මිනිසුන්ගෙන් මේ රටේ යහපත වෙනුවෙන් ,රටේ පාලනය වෙනුවෙන් කළ හැක්කේ කුමන අරුමයක්ද.

අදහස්