උණ අඹ | සිළුමිණ

උණ අඹ

මෙලෝ හසරක් නොදන්නා බැටලුවෙක්ට කොහේ හෝ ඔහේ යන්නට සිතෙයි. සිතෙන දේ කරන පුරුද්ද ඇති බැටලුවා ගමන ආරම්භ කරයි. මේ බැටලුවා යන දෙස බලා සිටින තවත් බැටලුවෝ ඔහු සමඟ ගමන් කරයි. විචාරයකින් තොරව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව හඳුන්වනුයේ ගඩ්‍ඩිරිකා ප්‍රවාහය කියායි. බැටලුවන්ට මොළයක් නැත. මහ බැටලුවාටද මොළයක් නැත. ඒ නිසා යන්නේ කොහිද, කරන්නේ මොනවාද කියා ගඩ්ඩරිකා ප්‍රවාහයේ යෙදෙන බැටලුවන් දන්නේ නැත. තැනක් නොතැනක් නැතත් දහස් ගාණක් ඔහේ ඇවිදිමින් සිටිති. ඒ ඔවුන් බැටලුවන් නිසා ය.

බැටලුවන්ට මොළයක් නැතිවාට මිනිසුන්ට මොළයක් තිබේ. ඒ නිසා යන්නේ කොහේද, වෙන්නේ මොනවාද කියා සිතන්නට තරම් විඥ්ඥානයක් මිනිසාට තිබේ. එහෙත් අන්ධානුකරණයෙන් මත් වූ විට,

මිනිස්සු බැටලු රංචුවටත් වඩා පහළට වැටෙයි.

'ආණ්ඩුව පෙරළන්නට' පොහොට්ටුව කොළඹ ආ කතාව ගැන ද බොහෝ දෙනා කියන්නේ එහෙම ය. ව්‍යාපෘතියක් අසාර්ථකව පටන්ගෙන අසාර්ථක ව ම නිම කරන්නේ කෙසේදැයි කියා ආදර්ශයට ගත හැකි හොඳ ම උදාහරණය පොහොට්ටුවේ 'කොළඹ ගමන' ය. එකින් එක ගෙනහැර බැලූ විට එහි තිබූ අති අසාර්ථක බව සහ විසුළු සහගත බව පසක් කරගත හැකිය.

යහපාලන ආණ්ඩුවට එරෙහි ව ඒකාබද්ධය විරෝධතා ආරම්භ කරන්නේ ආණ්ඩුව පත්ව තෙමසක් යන්නටත් පෙර සිට ය. නුගේගොඩින් 'මහින්ද සුළඟ' පටන් ගන්නේ එහෙම ය. තමන්ට ඡන්දය දුන් 'උන්මාදනීය' මිනිස්සු පලිහක් ව ගෙන ඔවුහූ 'සෙල්ලම'පටන් ගත් හ. පිරී ඉතිරෙන ජන ගඟ මුළු රටම යැයි සිතා ඔවුහූ උද්දාමයෙන් එකී රැලි පැවැත්වූහ.බොහෝ විට මේවායේ සාර්ථකත්වයෙන් පසු එහි ගෞරවය දිනා ගන්නට ඒකාබද්ධ පිළේ බොහෝ දෙනා වලි කෑහ. සිල්, විමල්, ගම්මන්පිල, මහින්ද, ගෝඨා යන බොහෝ දෙනා සිතුවේ තම තමන් නිසා මිනිසුන් රොද බඳින බව ය. මේ රැලිවල සෙනඟ නිසා මැතිවරණ දිනනවා නම් තවමත් ජනාධිපති මහින්ද ය. ජනාධිපතිවරණ ඉලක්ක කොට පැවැති මහින්දගේ රැලිවල ඒ තරමට ජන ගඟක් සිටියහ. එහෙත් මහින්ද පරාජය විය. නාමල් රාජපක්ෂ කල්පනා කළේ මහින්ද නාමය වෙනුවෙන් ඕනෑම තැනකට එනවා යැයි කී මිනිස්සු ගෙන්වාගෙන තමන්ගේ 'හයිය'පෙන්වන්නට ය. 'මහින්ද මහත්තයා විසිල් එකක් ගැහුවත් කට කපලා සෙනඟ' යැයි කියමින් චිත්‍රයක් බොහෝ දෙනා තුළ විය. ජන බලය කොළඹට කියා නාමල් ගෙන ආ ව්‍යාපෘතිය කියා පෑවේ කුමක්ද? ඒ මිනිස්සු බිත්තියට හේත්තු වූ පසු ගන්නා ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය. සමහරු විශ්වාස කළේ මහින්ද යනු නිධානයක් කියලා ය. ඒ නිසාම බොහෝ දෙනා ඊට ගරු බුහුමන් දැක්වූහ. හොඳට හෝ නරකට ‘නාමල්’ එකී නිධානයට කුළුගෙඩි ගසා කඩා දැම්මේ නිධානය ගන්නට සිතා ය. කරුමෙක මහත, නිධානය හිස් ය. එහෙම බැලූ විට නාමල් මහින්දගේ දේශපාලනයට ද ‘මතක වස්ත්‍ර’ පූජා කළේ ය. රාජපක්ෂ පවුලේ බල අරගලය උග්‍ර එකකි. එය ගෝඨාභය, බැසිල් සහ මහින්ද අතර වූවකි. එහෙත් මහින්දට නැවත එන්නට නොහැකි වග යථාර්ථය වේ. නාමල් පුරවන්නට යන්නේ එකී රික්තයය. එහෙත් එය ලත් තැනම ලොප් වුණේ අසාර්ථක ‘ජන බලය’ හේතුවෙන් ය. මේ සමඟ ම රාජපක්ෂ පවුලේ බල අරගලය උත්සන්න වීම නොවැළැක්විය හැක්කකි. බොහෝ විට මේ අසාර්ථක වෑයම ගැන වැඩිමනක් ම සතුටු වන්නේ බැසිල් රාජපක්ෂ වනවාට සැක නැත. මීට පෙර ජනපතිවරණ සටනේදී විමල් වීරවංශ කෑමොර දුන්නේ ‘සිරිසේන... කෝ මේ සිරිසේන’යනාදී ලෙස උපහාස කරමිනි. ජන බලයදා විමල්ගේ වැඩේ කළේ ඩලස් ය. ඒ ජනපතිට අගමැතිට කොළඹින් පිටවන්න වෙන්නේ ඔවුන්ගේ අවසරය අරගෙන යැයි පාරම්බාමිනි. එහෙත් උද්ඝෝෂණයට පැමිණ අවසානයේදී ඉතිරිව සිටි මිනිසුන්ටවත් නොකියා හොර පාරෙන් පිටව ගියේද ඩලස්ලා ය.

නාමල් තව බොහෝ දේ උගත යුතුව ඇත. ඒ උගැන්ම තෝරාගත් සටන් පාඨ දක්වාම වලංගු ය. මංගල සමරවීර මහතා විරෝධතාවට පෙරදා මෙහෙම කීවේය.

“නාමල් කියන්නේ ජීවිතේට පොතක්වත් කියවපු නැති පිස්සු තරුණයෙක්.” එය මනාව ඔප්පු විය.මහ පොළවට උඩින් දේශපාලනය කියවීම තරම් ඛේදවාචකයක් තවත් නැත.නාමල්ලා මුහුන දුන්නේ එකී උඩින් දේශපාලනය කිරීමේ අසාර්ථකත්ව්යේ තරම ය.ආණ්ඩු බලය ලබා ගැනීම කෙසේ වෙතත් විරෝධතාවට පැමිණි තම ගෝලබාලයන් නාමල්ලා ට රෑ එළිවනතුරුවත් රඳවාගත නොහැකි විය. එදා මේ ගැන පාරම් බෑ අය තමන්ගේ ගෝලයන්ට කොහෙන් හෝ ගෙනැත් දුන් බත් පැකට් එකක් කන්නට දී තමන් තරුපහේ හෝටල්වල සැපගත් ආකාරය ගැන තොරතුරු ද මේ වන විටත් අනාවරණය වෙමින් තිබේ. ඒ අනුව බලන කල ඔවුන් නිසි පරිදි සංවිධානය කර තිබුණේ තරු හෝටල්වලට ගොස් තමන්ට සැප ගැනීමේ වැඩපිළිවෙලම පමණි. යම් කිසි අරමුණක් වෙනුවෙන් මිනිසුන් පෙළගැස්වීම පහසු කාර්යයක් නොවේ. ඒක සඳහා නිසි සැලසුමක් තිබිය යුතුය. සැලසුමක් නොමැතිව එවැන්නක් කිසි ලෙසකින්වත් සාර්ථක කර ගත නොහැකිය. මංගල සමරවීර මහතා කියන්නේ 'නාමල් පොතක්වත් කියවා නැති බවය'. දේශපලනය යනු 'ලුම්පන්' උද්ධ්ජච්ඡ කම නොව,ඊට වඩා එහා ගිය දෙයක් බව කිව යුතු ම ය. පොතක් කියවන්න අමාරු නම් නාමල් අඩුම තරමේ උද්ඝෝෂණයක් කරන පිළිවෙල ගැන ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය. ජේ. ආර්. කියන්නේ අමුතු මිනිහෙක් ය. විරෝධතා දැක්වීම සඳහා ‘පා ගමන්’ යොදා ගැනීමේ ආරම්භකයා ඔහු ය. බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලයේ නුවරට පා ගමන් ගිය ජේ ආර් 70 - 77 කාලයේ රට පුරා සත්‍යග්‍රහ පැවැත්වීය. බණ්‌ඩාරනායක රජයට අන්ත පරාජයකට පත් වූ එක්‌සත් ජාතික පක්‍ෂයට දිනාගත හැකි වූයේ ආසන 139 න් ආසන 8 ක්‌ පමණි. කැලණිය අසුනට තරග කළ ජේ. ආර්. පවා අසුන අහිමිව පරාජයට පත් විය. 1957 බණ්‌ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධ ව ජේ. ආර්. මතයක්‌ ගොඩනඟමින් මහනුවර දක්‌වා විරෝධී පා ගමනක්‌ ආරම්භ කළ ද පාගමනේ ඉදිරියට එල්ල වුණු දරුණු ප්‍රහාර හමුවේ පා ගමන පසුබෑමට ලක්‌ විය. නමුත් ඒ පාගමන තුළ රටේම ආණ්‌ඩු විරෝධී රැල්ලක්‌ ආරම්භ කිරීමට ජේ. ආර්. ට හැකි විය. ජේ. ආර්. දකුණු කොළඹ ආසනය ජයලබමින් 1960 දී සුළු බහුතරයක්‌ සහිත එ.ජා. පක්‍ෂයට රජයක්‌ නැවත බිහිකළේ ය. ඊට පසුව 77 මහා ජයග්‍රහණය උදෙසා ජේ. ආර්. දැවැන්ත උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, පාද යාත්‍රා ගියේය. හැබැයි නිසි කලට ය. 'උණ අඹ' වගේ හොරට ඉදෙන වැඩ ජේ. ආර්. ට තිබ්බේ නැත. ජනාධිපති වුණාට පස්සේ කවදාවත් ජේ. ආර්. උද්ඝෝෂණ කළේ නැත. විශ්‍රාම ගියාට පසු දේශපාලනය ගැන කතා කළෙත් නැත.

එසේම මහින්ද රාජපක්ෂ මහතා විසින් සංවිධානය කළ “පාද යාත්‍රා” විරෝධය ද සාර්ථක විරෝධතාවක් විය. ඒ විරෝධතාවට අවසර ගන්නට මහින්ද සිරිමාවෝ මැතිනිය හමුවන්නට ගිය අවස්ථාවේදී අනුර බණ්ඩාරනායක මහතා මහින්දගෙන් විමසා තිබුණේ ‘විරෝධතාකරුවන්ගේ වැසිකිළි කැසිකිළි පහසුකම් සපයන්නේ කෙසේද’ කියා ය. ඊට පිළිතුරු දෙමින් මහින්ද කියා තිබුණේ ‘මම පාගමන එන්නේ කතරගම ඉඳන් කොළඹට’ කියා පමණි. ශරීර කෘත්‍ය කරන්නට මුහුද තිබෙන බව ඔහු දැනගෙන සිටියේය. එදා මහින්දට ඒ සඳහා පවා සැලසුමක් තිබුණි. සෙනඟ ගෙන්වා ආණ්ඩුව හෙල්ලූ අනෙක් සමීපතම අවස්ථාව වාර්තා වෙන්නේ එජාපය කළ ‘ජනබල මෙහෙයුමෙන්’ය. දෙවුන්දර තුඩුවේ සිට කොළඹට එදා ජන බල මෙහෙයුම ගෙනාවේ ‘ජනාධිපතිවරණයක්’ ඉල්ලා ය. ඒ කියන්නේ සටන පටන් ගත්තේ දකුණෙන් ය. එවක ජනපති චන්ද්‍රිකා ය; විපක්ෂනායක රනිල් ය. හැබැයි එජාපයේ ජනබල මෙහෙයුමට ආශිර්වාද කළේ මහින්ද ය.

ඉක්මන් ජනපතිවරණයක් ඔහුට ඕනෑ විය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. ඒ වෙනකොට රනිල් ජන බලය පෙන්වා සිටියේ ය. ඒ මහා සෙනඟක් කොළඹට ගෙන්වා ය. ජනපතිවරණය ගැනීමේ ‘වීරයා’ රනිල් බව හැමතැනම කතා විය. අන්තිමට සෙනඟ පෙන්වූ රනිල් පරාජය වී පැත්තක සිටිය මහින්ද දිනුවේ ය.

පවතින රජයකට එරෙහිව මෙවැනි විරෝධතා පවත්වා රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ මෑත ඉතිහාසයේ හොඳ ම උදාහරණය ශ්‍රී ලංකාවෙන් සපයන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ 2001 ආණ්ඩු බලය ලබා ගැනීමයි. එදා ජන බල මෙහෙයුමෙන් එවකට පැවති රජයට විශාල බලපෑමක් කරමින් හදිසි මැතිවරණයක් සඳහා පාර කැපීය. ජනබල මෙහෙයුමේ මහ මොළකරු වූයේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙකු වූ දිවංගත ගාමිණී අතුකෝරළ මහතා ය. ඔහු සමඟ කරට කර සිටිමින් එදා තවත් කිහිප දෙනෙක් කටයුතු කළහ. ඒ හේතුවෙන් දැවැන්ත ජනකායක් එකම අරමුණක් වෙනුවෙන් දිශානුගත කරන්නට හැකි විය.

මේවා නාමල්ලා දන්නේ නැත.

නාමල් රාජපක්ෂ තමන් කුළුඳුලේ සංවිධානය කළ විරෝධතාවට නිසි සැලසුමක් නොමැතිව හත්පොළේ ගාගත්තේ ය.

මේ විරෝධය සංවිධානය කිරීමේ මූලිකයා නාමල් ය. සියල්ල සිදුවූයේ ඔහුට අවැසි පරිදි ය. ඩලස් අලහප්පෙරුම යනු හීන් නූලෙන් ‘දේශපාලන වාචාල’දොඩවන්නෙකු පමණක්ම බව පසක් විය. විමල් සහ ගම්මන්පිල කවදත් බැබලුණේ අනුන්ගේ සෙනගෙනි. ඒ හැරුණුකොට මිනිසුන් දහසක් ගෙන්වා ගැනීමේ හයියක් ඔවුන් සතුව නැත. අයාලේ යාමකට වර්තමාන කදිම උදාහරණය ‘ජන බලය කොළඹට’ය. අත්දැකීම් බහුල නායකයන් පැත්තකට කරමින් නාමල් මෙය තමාගේ ම හුදකලා ව්‍යාපෘතියක් බවට පෙරළා ගත්තේ ය.

පොදු ජන පෙරමුණට එහෙමත් නැත්නම් මහින්ද පාර්ශ්වයට පසුගිය වසර තුන තුළ තිබූ එක ම සහනය වූයේ මහා භක්තියකින් හිස පුරාවාගත් පාක්ෂිකයන් පිරිසක් සිටීම ය. ඔවුහු ද ස්වකීය දේශපාලන නායකත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටියහ. නාමල් රාජපක්ෂ අල්ලා ගත්තේ එකී “උන්මාදනීය” පාක්ෂික මානසිකත්වයය. එහෙත් තීරණාත්මක ප්‍රහාරය එල්ල වූයේ ද ඔවුන්ගෙන් ම ය.

මදාවි උපක්‍රම පෙළපාලිකරුවන් යා යුතු තැනක් ගැන අවබෝධයක් නාමල්ලාට තිබුණේ නැත. එකී අසංවිධානාත්මක බව වසා ගන්නට ඔවුන් කීවේ එය උපක්‍රමිකව නොදන්වා සිටීමක් බව ය. ඒතරම් විහිළුවක් තවත් නැත. එයින් සිදුවුණේ මුල සිටම මෙය විගඩමක් බවට පත් වීම ය. අනෙක් අතට ඔවුන් වෑයම් කළේ ‘අපි කියන ඕනම දේකට, ඕනම තැනකට, ඕනම වෙලාවක එන වහල්ලු ඉන්නවා ය’ යන මතය සමාජගත කරන්නට ය. එයින් ඔවුන් අරමුණු කළේ ජවිපෙ වැනි සංවිධානාත්මක බවකුත්, අත්හදා බැලීමකුත් කරන්නට ය. එහෙත් මිනිස්සු හැමදාම බිත්තියට හේත්තු වී සිටින්නේ නැත. විරෝධයට නොපැමිණීමෙනුත්, පැමිණියවුන් කළ බැන වැදීම්වලිනුත් ගම්‍ය වුණේ එකී පෙරළා දැක්වූ ප්‍රතිචාරය ය.

තමන්ගේ දුර්වල සංවිධායකත්වය නිසා පීඩාවට පත් කරනු ලැබුවේ නාමල්ලාට රැවටී නාමල්ලා වෙනුවෙන් දිවි දෙන්නටත් සූදානමින් සිටින පිරිසයි. තමන්ගේ පාක්ෂිකයන්ගේ අවම අවශ්‍යතා පිළිබඳවවත් සැලකිල්ලක් දක්වා විරෝධතාව සංවිධානය කරන්නට නාමල්ට හැකිවූයේ නැත. ඒ නිසා අවසානයේ සිදුවූයේ දශක එක හමාරක පමණ කාලයක් මහින්ද රාජපක්ෂට උන්මාදයකින් ආදරය කළ හෝ උන්මාදයකින් රැවටී සිටි පිරිසක් අහිමි කර ගැනීම පමණි.

එදා ඔවුන් මහ ලොකුවට කියා සිටියේ මහින්ද රාජපක්ෂගේ අසුරකින් වුව ද ජනතාව ඔවුන් වෙනුවෙන් පෙළ ගැසෙන බව ය. නමුත් පෙරේදා කොළඹදී පැවැත්වූ ජනබල විරෝධයෙන් පසු ඔවුන්ගේ ඒ අධිතක්සේරුව ද පුස්සක් ම බවට පත්විය. එසේම ජනබලයක් නැතිව වේදිකාව පැළෙන්නට පුරසාරම් දොඩවන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නෝද ජනබල විරෝධතාව හරහා තමන්ගේ අසමත්භාවය ලෝකයටම පෙන්වූහ. විපක්ෂය විසින් සංවිධානය කළ ද, කිසිම අරමුණකින් තොර වූ ද, කිසිදු අරමුණක් නොමැති වූ ද පළමු විරෝධතාව වශයෙන් පෙරේදා පැවැත්වූ ජනබල විරෝධතාව ඉතිහාසයට එක් වේ. එදා අතීතයේදී මහින්ද එන තුරු එක දිගට පැය ගණන් බලා සිටි මිනිසුන්, මහින්ද එන්නේ නැත්නම් බුදු පිළිමයක්වත් විවෘත කරන්නට දෙන්නේ නැතැයි කී මිනිසුන්ට බැගෑපත් වන්නටත් මෙහි සංවිධායකවරුන්ට අවසානයේ දී සිදු විය. මිනිස්සු එන තරමට ආණ්ඩු පෙරළෙන්නේ නැත.77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජනහමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රැළිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැළිවලටද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැළිවල සෙනඟ ය.

එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙන ය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්ත ව පැවැතිණ. අපේක්ෂකයන් ජනහමු ඇමතුවේ ‘යකඩ කටට’ පින්සිදු වන්නට ය. රැළිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේ ය. සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්න ම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු ‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදු කරති. විශේෂයෙන් ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය, මැතිවරණ රැළිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරති. ඇතැමුන් මේ රැළිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන් ද කරපින්නාගෙන ය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැළිවලට එක් වෙති. බොහෝ රැළි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය ‘කුඩා ප්‍රමාණයේ’ යුද්ධයක් තරමේ කටයුත්තකි.

බස් යොදවා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩිය ද සපයා ‘සූර්’ වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබ ව සිදුවන්නකි. සවිඥානික ව රැලියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබ ව ය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැලිවලට සහභාගි වීම ‘ආතල්’ ගැනීමකට යෑමක් වැනි ය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැලිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින් ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් ‘ආදරය’ පෙන්වන කෘත්‍රිම ‘රටාවක්’ හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ආධිපත්‍යය දියවී ගියේය.රාජපක්ෂ පවුලේ බල අරගලය උග්‍ර එකකි. එය ගෝඨාභය, බැසිල් සහ මහින්ද අතර වූවකි. එහෙත් මහින්දට නැවත එන්නට නොහැකි වග යථාර්ථය වේ. නාමල් පුරවන්නට යන්නේ එකී රික්තයය. එහෙත් එය ලත් තැනම ලොප් වුණේ අසාර්ථක ‘ජන බලය’ හේතුවෙන්ය. මේ සමඟම රාජපක්ෂ පවුලේ බල අරගලය උත්සන්න වීම නොවැළැක්විය හැක්කකි. බොහෝ විට මේ අසාර්ථක වෑයම ගැන වැඩිමනක් ම සතුටු වන්නේ බැසිල් රාජපක්ෂ වනවාට සැක නැත. මීට පෙර ජනපතිවරණ සටනේදී විමල් වීරවංශ කෑමොර දුන්නේ ‘සිරිසේන... කෝ මේ සිරිසේන’යනාදී ලෙස උපහාස කරමිනි. ජන බලයදා විමල්ගේ වැඩේ කළේ ඩලස් ය. ඒ ජනපතිට අගමැතිට කොළඹින් පිටවන්න වෙන්නේ ඔවුන්ගේ අවසරය අරගෙන යැයි පාරම්බාමිනි. එහෙත් උද්ඝෝෂණයට පැමිණ අවසානයේදී ඉතිරිව සිටි මිනිසුන්ටවත් නොකියා හොර පාරෙන් පිටව ගියේ ද ඩලස්ලා ය.විරෝධයේ සටන් පාඨ සියල්ල ම දෛවයේ සරදම් ගෙන ආ ඒවා විය. මාධ්‍ය නිදහස, ජාතිවාදය එපා, බඩු මිල අඩු කරනු, දූෂිතයන්ට දඬුවම් දෙනු ආදී පාඨ සියල්ල ආපසු හරවා ස්වකීය නායකයන්ට පෙන්විය යුතු ඒවා විනා ආණ්ඩුවට එල්ල කළ යුතු ඒවා නොවන බව පැහැදිලි ය. ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂ විරෝධතාවකින් පසුව පවතින රජයට වාසිදායක වටපිටාවක් ගොඩනැඟුණේ නැත. නමුත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේ විරෝධතාවකින් පසුව තමන්ගේ තණනිල්ලේ තිබු කඩතොළු සියල්ල වසා ගත්තේය. ඒ විරෝධතාකරුවන්ට එරෙහිව බින්දුවක හෝ මර්දනයක් දියත් කරන්නේ නැතිව ය. එදා රතුපස්වලදී වතුර ඉල්ලූ ජනතාවට රාජපක්ෂ රජය සැලකූ හැටි කාටත් අමතක වී නැත. කටුනායක ඇඟලුම් කම්හල් සේවක විරෝධතාවට රාජපක්ෂ පාලනය සැලකූ හැටි අමතක නැත. එසේම හලාවත ධීවර විරෝධතාවට රාජපක්ෂ රජය සැලකූ ආකාරයත් කිසිවකුට අමතක නැත. එසේම ආණ්ඩුව පෙරළා රාජ්‍ය බලය ලබා ගන්නට පැමිණි විරෝධතාකරුවන්ට යහපාලන රජය සැලකූ ආකාරයත් කිසිවකුටත් අමතක වන්නේ නැත. රාජපක්ෂ පාලනයේ සහ වත්මන් යහපාලන රජයේ වෙනස එයයි.

මානාභරණ

අදහස්