අපි කළේ අහිංසාවාදී සත්‍යක්‍රියාවක් පමණයි | සිළුමිණ

අපි කළේ අහිංසාවාදී සත්‍යක්‍රියාවක් පමණයි

ඒකාබද්ධ විපක්ෂය පසුගිය දා පැවැත්වූ ජනබල මෙහෙයුම නොමේරූ දේශපාලනික ක්‍රියාවක් බවත් එය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවත් එජාප ඇමැතිවරුන් කියනවා?

එක්සත් ජාතික පක්ෂය වෙන මොනවා කියන්නද? මුලින්ම කිව්වා අපිඑෆ් සිඅයිඩීය වටලන්න එනවා කිව්වා, අලුතින් පිහිටවපු අධිකරණය වටලන්න එනවා කිව්ව, පාර්ලිමේන්තුව වටලන්න එනවා කිව්වා, කොළඹට මිනිස්සු එන එකක් නැහැ කිව්වා, ඒ වගේම ඉතාම නොමෙරූ කතන්දර ටිකක් එජාප කිව්වා. ඒ නිසා අපිට එජාපයෙන් මේ ජනබල මෙහෙයුම පිළිබද සාර්ථකත්වයේ චරිත සහතික ගන්නට අවශ්‍ය නැහැ. පළමුවෙන්ම අපිට ඉතා පැහැදිලිව කියන්න පුළුවන් මේ ශතවර්ෂාධික ඉතිහාසයේ අරගලයකට විරෝධයකට කොළඹ නගරයට සම්බන්ධ වෙච්ච වැඩිම සෙනඟ අපි රැස් කළා කියලා.

අනෙක් දෙවැනි කාරණාව අරගලයක් උද්ඝෝෂණයක් පැවැත්වුණ වැඩිම වේලාව. තෙවැනි කාරණාව යම් උද්ඝෝෂණයකට ආණ්ඩුවක් වැඩියෙන්ම බයට පත් වුණ නම් ඒ උද්ඝෝෂණය මෙය විම. මේ කාරණා ඉතාම පැහැදිලි. අනෙත් සුවිශේෂි කාරණය නම් අගනුවර මහජනතාවගේ අත්අඩංගුවේ පැය දොළහක් පැවැති ප්‍රබල උද්ඝෝෂණයක් මේක.

මේ උද්ඝෝෂණයට ජනතාව නොමැති නිසා ලේක්හවුස් වට රවුම තෝරගත්තා බව ඇතැම් පිරිස් කියනවා?

මේ කතාවට වරහන් ඇතුළේ ලියන්න සභාවේ සිනා කියලා. පාර්ලිමේන්තු වාර්තාවක් වාර්තා කරන ආකාරයට. මේක ඒතරම්ම විහිළු කතාවක්. මේ උද්ඝෝෂණය පටන් ගන්න කලින් ඇතැම් අය කිව්වා අපි අතැනට යනවා, මෙතැනට යනවා කියලා. ඒ වගේ බොරු බිල්ලෝ මවන්න හදපු උදවිය දැන් කියනවා ලේක්හවුස් වට රවුමේ උද්ඝෝෂණය පැවැත් වුයේ සෙනඟ නැති කම නිසා කියලා. ඇත්තටම මේ කතා විහිළුවක් කියලා මම කියන්නේ ඒ නිසයි.මේ සඳහා සහභාගි වූ අතුරුසිදුරු නොමැති මහ ජනගඟ ජනතාව දැක්කා. ඒ අති දැවැන්ත ජනතා පෙළගැස්මත් සමඟ අපි එකතු වෙලා කළේ අවිහිංසාවාදි සත්‍ය ක්‍රියාවක්. කිසිදු අරගලයකට, කිසිදු රාජ්‍ය දේපොළකට, දේශපාලනඥයෙකුගේ ගෙදරකට, ඔවුන්ගේ කාර්යාලයකට, කඩා වැදිලා හානියක් කළේ නැහැ. මහජනතාවට අවහිර වන ආකාරයට කිසිදු සැලැස්මක් තිබුණෙ නැහැ. නමුත් අපි ආණ්ඩුවේ සැලසුම්, ආණ්ඩුවේ නිලධාරීන්ගේ සහ ආණ්ඩුව බය නොමග යැවීමට බොහෝ උපක්‍රම පාවිච්චි කළා. ඉතින් ආණ්ඩුව ඒකට ගොදුරු වුණා. අපි එක දෙයක් ආණ්ඩුවට කියන්න ඕන මේක රියසල් එකක් විතරයි .යම් අත්හදා බැලීමක් පමණයි කළේ. ලොකු වැඩකට පුංචි අත්හදා බැලීමක් මෙය.

ඔබතුමාලා කිව්වා මේ උද්ඝෝෂණයෙන් අනතුරුව ආණ්ඩුව පෙරළනවා කියලා. එහෙම දෙයක් වුණේ නැහැනේ‍. ?

ආණ්ඩුවක් පෙරළනවා කියන්නේ රුපියල් සියයක නෝට්ටුවක් අරන් ගිහින් ලුණු කිලෝවක් ක‍‍ඩෙන් ගන්නවා වගේ පහසු වැඩක් නොවෙයි. අපි පියවර කිහිපයකින් ආණ්ඩුව පෙරළිම සදහා සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. පළමු පියවරේදී අපි ආණ්ඩුව සන්තකයේ තිබුණු පළාත් පළාන ආයතන 342 න් 247ක බලය අත් පත් කරගත්තා.

එදා පළාත් පාලන මැතිවරණයේ දී අපි ආ‍ණ්ඩුව නොකවුට් කරලා දැම්මා. දෙවැනි පියවර හැටියට අපි මාර්තු මාසයේ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කරලා දැම්මා. තුන්වැනි පියවර ලෙස අපි ජනබල මෙහෙයුම හරහා අගනුවර අත්පත් කරගන ‍ ජනතාවගේ බලය මුළු ලෝකයට පෙන්නුවා. එයින් ඒකාබද්ධ විපක්ෂයට ඇති බලයත් ආණ්ඩුවට ඇති විරෝධයත් ඉතා පැහැදිලිවම පෙන්නුවා. අපි පියවර පහක් සැලසුම් කර තිබෙනවා ආණ්ඩුව පෙරළීමට. එයින් තෙවන පියවර තමයි අපි ඊයේ ක්‍රියාත්මක කළේ. ජනතාව අගමැතිට ජනාධිපතිට පොලිස්පතිට නිල නිවාසවලින් එළියට බහින්න බැරිවෙන්න නගරය අත්පත් කර ගත්තා. එය ක‍ළේ අවිහිංසාවාදී සහ සාමකාමීව ආකාරයට .කොහේවත් පුංචිගල් කැටයක්වත් ගහලා හානියක් වුණා කියලා පුංචි සිදුවීමක්වත් ආරංචි වුණාද?

ජනතාවට හානියක් හෝ දේපොළකට හානියක් සිදු වුණා කියලා ආරංචි වුණද?මෙහි තිබෙන සුවිශේෂත්වය කිසිදු ප්‍රචණ්ඩ සිදුවීමක්වත් නොවී ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නගරය අත්පත් කරගැනීමයි. ඉතා සාමකාමීම මේ ක්‍රියාව අපි කළා. අපිට ඇඟිල්ලක් දික්කරන්න කිසිදු ක්‍රියාවක් ‍සිදුවුණේ නැහැ.

ජනබලයට පැමිණි සාමාන්‍ය ජනතාව මහපාරේ දුක්විඳිද්දි ඔබතුමන්ලා තරුපහේ හෝටලයක රාත්‍රිය ගත ක‍ළා කියලා කියන්නේ ඇත්තද?

ඒක මාධ්‍ය ඇමැතිතුමා‍‍‍ගේ ගොබෙල් තියරිය යටතේ හදන ලද කතාවක්. එය අපි පිළිකුලෙන් බැහැර කරන චෝදනාවක්. අපි මහ පාරේ වාඩිවෙලා හිටියා ජනතාවත් සමඟ තරුපහේ හෝටලයක් ඉදිරිපිට. තරුපහේ හෝටල්වල ඉදිරියේ මහපාරේ ඉදගෙන ඉන්න එකත් ආණ්ඩුවේ උදවිය දකින්න ඇත්තේ තරුපහේ හෝටල් වල ඉන්නවා කියලා වගේ වෙන්න ඇති.

ආණ්ඩුව ගෙදර යවන තුරු උද්ඝෝෂණ කරනවා කියලා ඔබතුමන්ලා කිව්වත් ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නේ ඒ කතාව විහිළුවක් කියලා. ?

මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් තරම් මෙරටට විහිළු සපයන තවත් අය ඉන්නවාද? ඒ නිසා ඒ අය හිතන්නේ අපිත් විහිළු සපයනවා කියලා. අපි නිසැකවම ආණ්ඩු පෙරළිමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. ආණ්ඩුවේ ඇමැති වරුන්ගේ ප්‍රකාශ වලින් බැලුවාම පේනවා කවුද රටට විහිළු සපයන්නේ කියලා.

මේ උද්ඝෝෂණයට කොළඹට ආවේ ලක්ෂයයි. ඒ ලක්ෂය ආවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුල රකින්න මිසක ප්‍රතිපත්තියක් රකින්න නොවෙයි කියනවා. ලක්ෂයක් කොළඔට ගෙනාව පමණින් ආණ්ඩු පෙරළන්න බැහැ. එයින් සමස්ත ජනතා කැමැත්ත පිළිබදව තීන්දු කරන්න බැරි බව ඒ අය සදහන් කරනවා ?

ඕවාට කියන්නේ දුකට කියන කවි කියලයි. පුළුවන් නම් කොළඹට මිට වඩා සෙනඟක් ගෙනත් පෙන්නන්න කියලා මම අභියෝග කරනවා. පෙබරවාරී දහවැනි දා රෙදි නැන්දා ගලේ ගැහුවා වගේ මේරටේ මිනිස්සු මේ ආණ්ඩුව උස්සලා ගලේ ගහලා තියෙන්නේ. නැඟිටින්න බැරි වෙන්න රෙදි පොට්ටනිය වගේ හතර ගාතේ දාලා ආණ්ඩුව වැටිලා ඉන්නේ. ආණ්ඩුවකට කරන්න තිබුණේ පුළුවන් නම් අපිට වඩා සෙනඟ රැස් කරලා පෙන්නන්න . අපි නියත වශයෙන්ම දන්නවා ආණ්ඩුවට එහෙම හැකියාවක් නැහැ කියලා.

ඒකාබද්ධය ඇතුළේ ඉන්න හැමෝම එල්ලෙන්න හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කරේ කියලා චෝදනාවක් තියනවා ?

සමහර විට ඒකේ ඇත්තක් ඇති මහින්ද රාජපක්ෂ මහතා වගේ ජාතික නායකත්වයක් අපේ ජීවිත කාලයේ බිහිවෙලා නැහැ. ඒ වගේ අනුහාසාත්මක නායකත්වයක් අපේ ජීවිත කාලය පුරා බිහිවෙලා නැහැ. එකම දේශපාලන පක්ෂයකටවත් රටටවත් මේ වගේ නායකත්වයක් දශක දෙක තුනකින් බිහිවෙලා නැහැ‍. එවැනි නායකත්වයක් සමඟ එකට යන්න එ නායකත්වය යටතේ රැකවරණය ගන්න ඒ මඟ දන්න විශාල පිරිසක් ඉන්න පුළුවන්.

සංවාදය - සුභද්‍රා දේශප්‍රිය

අදහස්