ලොකුත් පොඩිත් නැති ජර්මනියේ දොස්තර මහත්තුරු | සිළුමිණ

ලොකුත් පොඩිත් නැති ජර්මනියේ දොස්තර මහත්තුරු

ජර්මනිය තුළ ඇත්තේ ධනවාදී ආර්ථික රටාවකි. එහෙත් සල්ලි තිබූ පළියට පිස්සු කෙළින්න බැරි ය. උදාහරණයක් නම් කිසියම් කෙනෙකුට අසීමිත ව මුදල් තිබූණ ද ඒ තැනැත්තාට එක් ගමක් හෝ ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් මිල දී ගත නොහැකිය. එසේ ම සල්ලිකාරයන්ට නීතිය නැවීම ද උගහටය.

පල්ලියට මහජන බලය ඇතත් සරණාගතයන් මුස්ලිම් වූ පළියට ඔවුන් පැන්නීම පිණිස වීදිවල කෑ ගසන්නට හෝ උසාවියේ හූ තියන්න විදිහක් නැත. රක්ෂාවේ තරමට රාජ උෂ්ණය වැඩි කර ගැනීම කොහොමත් කළ නොහැකි දෙයකි. ඇමතිවරු පවා බයිසිකලෙන් වැඩට යති. දේශපාලකයන්ට තීරු බදු සහන නැත.

ජර්මනියේ මා වාසය කරන නි‍ෙවස ඉදිරිපිට ඇති නිවසේ මහත්මයා ඉන්නේ රැවුල වවාගෙනය. උදේට බයිසිකලයෙන් වැඩට යන්නේ කොට කලිසමකින් හෝ ඩෙනිමකින් සැරසීගෙනය. මා නිතර හිතුවේ ඔහු බාසුන්නැහැ කෙනෙකු කියා ය. එහෙත් මගේ නිගමනය වැරැදි විය. ඔහු යුරෝපා බැංකුවේ ප්‍රධානියෙකි. යුරෝපයේ ඇඳුම අනුව මිනිසුන් වර්ග කරන්නෙ නැත.

අසනීප වීම නිසා දිනක් මම හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන ලදිමි. ටික වේලාවකින් මා ඉදිරියට පැමිණියේ පරීක්ෂණ යන්ත්‍රයක් සහිත ට්‍රොලියක් තල්ලූ කරගත් දොස්තර නෝනා කෙනෙකි. ඇගේ අණසකට අනුව අවශ්‍ය උපකරණ සපයන සුළු සේවකයන් සිටියේ නැත. තවත් ටිකකින් මා වෙනත් ස්ථානයට ඇඳේ දමාගෙන තල්ලු කරගෙන ගියේ එම ඒකකය බාර ලොකු දොස්තර මහතායි. අවශ්‍ය ප්‍රතිකාරවලින් පසුව මා නැවතත් වාට්ටුව වෙත ගෙන ආවේ ද ඔහු ය.

දවස් කීපයකින් මට නැවතත් උදැසන 08.30ට ප්‍රතිකාර සඳහා සායනය වෙත යෑමට සිදු විය. පැය භාගයකට පමණ කලින් රෝහලට ගිය මම පුටුවකට බර දුන්නෙමි. මගේ දෑසට ගැටුණේ කොට කලිසම් ටී ෂර්ට් ඇඳගෙන දහඩිය පෙරා ගෙන බයිසිකල්වලින් බසින නෝනලා හා මහත්වරු ය. ටයි කෝට් ඇඳගෙන දොස්තර නලාව කරකවමින් උජාරුවෙන් ඇවිදින

 

 

 

 

 

 

උදවිය දකින්නට නො වී ය. දොස්තර කවුද? සුළු සේවකයා කවුද? යන්න ඇඳුමින් හෝ හැසිරීමෙන් දැන ගන්නට නොහැකිය.

මෙරට කාර් ඇති නමුත් බොහෝ දෙනෙකු කුඩා කාලයේ සිට ගමන් බිමන් යන්නේ බයිසිකලයෙන් ය. එය සෞඛ්‍ය හේතු නිසා මෙන් ම හරිත විප්ලවයට කරන දායකත්වය නිසා සිදු වේ. එම රෝහලේ වාට්ටු කිසිවක් හෝ වායුසමනය කර නැත. එසේ ම ලොක්කන්ට හා සල්ලි ඇති අයට විශේෂ වරප‍්‍රසාද සහිත වාට්ටු ද නැත.

මම දොස්තරගේ කාමරයට පිවිසුණෙමි. ඔහු තමන් ගේ තනතුරට අනුව පාටකින් යුත් නිල ඇඳුමකින් සැරසී සිටි නිසා මම වෛද්‍යවරයා කවුදැයි හඳුනා ගත්තෙමි. මා සමඟ කුලුපගුවූ දොස්තර මහතා හා ඔහු ගේ සහෝදර වෛද්‍යවරිය ඉතා ඉවසිලිවන්ත අය වූහ.

මෙරට දොස්තර ගාස්තු හිතු මනාපෙට නියම කළ නොහැකිය. රටේ සෑම දොස්තර කෙනෙකු ම අය කරන්නේ එකම ගාස්තුවකි. බදු ගෙවීම අනිවාර්ය වේ.

තවත් ටිකකින් මා සමඟ කුලුපගු වූ දොස්තර නෝනා මගේ රට ගැන විමසන්නට පටන් ගත්තා ය.

“මම දරුවන් එක්ක පසුගිය නිවාඩුවට ලංකාවට ගියා. අපි මීට පෙරත් ගිහින් තිනෙවා. ඉස්සරට වඩා රට වෙනස්.” මම විමසිලිමත් වූයෙමි. “මොන වාගේ වෙනසක් ද ඔබ දුටුවේ.” මම පෙරළා ප‍්‍රශ්න කෙළෙමි.

“ඉස්සෙලා ම මම ලංකාවට ගියේ 1978. ඒ කාලේ ලංකාව හරිම නිස්කලංක සුන්දර රටක්. දැන් මිනිස්සු, වාහන වැඩියි. අනික ත්‍රී වීලර් නම් හිසරදයක්. අපේ තාත්තා 1965 දී ඉස්සෙල්ලා ම ලංකාවට යන කොට කොළඹ පවා වාහන කීපයක්ලු දකින්න තිබුණේ.”

“ත්‍රී වීලර් අපිටත් ප්‍රශ්නයක් තමයි.” මම සැබෑවටම මගේ අදහස කියා සිටියෙමි.

“අපි හරි ආසයි පයින් යන්න. එත් එකක් ගියාම තවත් එකක් අපේ පස්සේ ත්‍රී වීලර් ඇවිත් යන්නේ කොහේද? අඩුවෙන් ගන්නම් කියලා කරදර කරනවා. ඒ ගොල්ලෝ මාර්ග නීති දන්නේ නැහැ. සමහරු පදික වේදිකාවෙත් එය පදවනවා.” ඇය කියා සිටියේ සෑබෑ කනගාටුවෙනි.

“මට තේරුණූ හැටියට ඔය ගොල්ලෝ ලෙඩ කරන්නේ ත්‍රී වීලර්. අපේ මඟ පෙන්වන්නා කිව්වේ මිනිස්සු කිලෝමීටර් එකක් වත් පයින්න යන්න කැමැති නැහැ කියලා.”

“කොහොමද කෑම?” මම ඇසුවේ සතුටුදායක අදහසක් බලාපොරොත්තුවෙනි.

“කෑම හොඳයි. එත් ඉස්සර තරම් රස නැහැ වගේ. වැඩියෙන් ම තියෙන්නේ තෙල්. අපේ මඟ පෙන්වන්නා තේ එකක් බොන්න සීනි හැඳි තුනක් වත් දානවා. මම හිතන්නේ එයාට ඉක්මනින් ම දියවැඩියාව හැදෙයි කියලා.” ඇය කියා සිටියේ කනගාටුවෙනි.

දැන් දොස්තර මහත්තයත් අපේ කථාවට හවුල් වූයේ බොහෝ උනන්දුවකිනි.

“ඔබට පුළුවන් එහෙනම් ලංකාවේ රෝහලක් පටන් ගන්න.”

“මම හිතන්නේ කම්මැළිකමට පයින් නොගිහින්, වැඩි වැඩියෙන් සීනි දාලා තේ බීලා, වැඩි වැඩියෙන් තෙල් කෑවොත් ඔයාල ගේ රටේ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ජර්මනියේ ඉන්න ඔක්කොම වෛද්‍යවරු ගියත් මදි වෙයි.” දොස්තර නෝනා සරදම් සිනහවකින් යුතුව කියා දැම්මා ය.

මම ඔවුන් දෙදෙනාට සමු දුන්නේ ඉස්සර දිනකට හැතැප්ම තුන හතරක් කරදයක් නැතිව පයින් ඇවිදගෙන ගමන් ගිය මගේ ආච්චි අම්මා මතක් වීමෙනි. උන්දෑ වයස අවුරුදු 98 කින් මිය පරලොව ගියත් වැරදිලාවත් දොස්තර කෙනක් දැකලාවත් නැති බව නම් මට සහතිකය.

අදහස්