මුහුද හත් ගව්වක් තිබියදී අමුඩය ගැසීම | සිළුමිණ

මුහුද හත් ගව්වක් තිබියදී අමුඩය ගැසීම

ලංකාවම ජය ගත්තත් ලෝකය ජය ගැනීම යනු මොන අංශයෙන් වුවත් පහසු කටයුත්තක් නොවේ. ආසියාව පමණක් නොව දකුණු ආසියා‍ව ජය ගැනීම ද පහසු නැත. ක්‍රීඩාවට ද එය එසේ ම ය.

“පනින්න පෙර සිතා බලනු!” “මූද හත් ගව්වක් තිබියදී අමුඩේ ගහනවා!”වැනි කියමන් ව්‍යවහාරයේ යෙදී තිබෙන්නේ කට කසනවාට නොවේ ය. මේ කියමන් සිහිපත් කෙරෙන ක්‍රීඩක නිලධාරි වන්දනාවක් පසුගිය දා ඉන්දුනීසියාවේදී අප දුටුවෝය. කුඩා අවදියේ අප යම් කළ නොහැකි වැඩක් කරන්නට යන විට සමහර වැඩිහි‍ටියෝ අප දිරි ගන්වද්දී සමහරු “බැරි මඟුල නොකර ඉඳින්!” කියා උපදෙස් දුන්නෝය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 ක් හා නිලධාරීන් 178 ක් ක්‍රීඩා ඉසව් 28 ක් සඳහා යොමු කරමින් ඉන්දුනීසියාවේ පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා නියෝජනයක් එක් වූ නමුත් කිසිදු පදක්කමක් නොමැතිව ආපසු ඒම ගැන මේ දෙයාකාරයට ම උපදෙස් දිය හැකිය.

ඒ “කමක් නැහැ අත්දැකීම් අරන් ඊළඟ වාරයේ දිනමු” එහෙම නැත්නම් “බැරි මඟුල නොකර පුළුවන් දෙයක් විතරක් කරපල්ලා!” යන්නයි. ඒත් මින් එකක් පමණක් කීමට තරම් අප කුහක නොවිය යුත්තේ මේ කියමන් දෙකේ ම යම් සත්‍යතාවක් ඇති නිසා ය.

ඔලිම්පික් යෑමට පෙර අප සිතිය යුත්තේ පොදු රාජ්‍ය මණ්ඩල හා ආසියානු ක්‍රීඩා මට්ටමයි. ඊටත් පෙර සිතිය යුත්තේ සාෆ් හෙවත් දකුණු ආසියානු ක්‍රීඩා මට්ටමයි. ඒ නිසා මුලින් ම ජාතික තලයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම ක්‍රීඩා සංගම් නිලධාරින් ද සිතිය යුත්තේත් ඉලක්ක කළ යුත්තේත් සාෆ් මට්ටමයි. පසුගිය 2016 සාෆ් ක්‍රීඩා උලෙළේ ඉන්දියාව රන් පදකම් 188 ක් ලබද්දී අපි රන් පදකම් 25 ක් පමණක් ලබා දෙවැනි ස්ථානයට පත් වූයෙමු.

එ් සාෆ් උලෙළෙන් පසු වසර දෙකක් ඉක්මවා ගොස් ඇතත් මීළඟ සාෆ් උලෙළේ වැඩි පදක්කම් දිනා ගැනීමට තවමත් සැලසුමක් අපට නොමැත. එසේ නම් ඔලිම්පික් හා ආසියානු ක්‍රීඩා ගැන කවර කතා ද?

පසුගිය කොරියානු ආසියානු ක්‍රීඩා උලෙළට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න පිරිසක් සහභාගි කරවුවද ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් පදකම් දෙකක් දිනා ගනිද්දී සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම නිලධාරීන් ද සමඟ අත්දැකීම් ලබා ගනිමින් ආපසු පැමිණියෝ ය. ඊට පෙර චීනයේ ගුවැන්ෂු හි පැවැති ආසියානු ක්‍රීඩා උලෙළේ ද එකදු පදකමක් හෝ අපට හිමි වූයේ නැත. එහෙත් වන්දනා නඩ නම් සීමා නොවීය.

මෙසේ යවනු ලබන බොහෝ ක්‍රීඩා වල ඇත්තේ පදක්කම් හීන පමණි. එහෙත් වන්දනාවක් පරිදි යන්නේ අත්දැකීම් ලබා ගැනීමට ය. අපට ආසියානු මට්ටමේ හීන වලට පමණක් සීමා වන පදක්කම් බලාපොරොත්තු නැතිවා නොවේ. මෙවර ද මලල ක්‍රීඩා ඉසව් කිහිපයකදී හා රග්බි ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් ආසන්නයට ම පැමිණීමට හැකි වුණි. අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් රටවල් 20 ක් අතරින් 13 වන ස්ථානයට පත් වද්දී රටවල් 12 කින් 8 වැනි ස්ථානයට පත්වන්නට හොකී ක්‍රීඩකයන්ට හැකි විය. පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වුව ද ආසියානු මට්ටමේදී ඔහු තව දුර යා යුතු බව ප්‍රදර්ශනය කළේය.

අත්දැකීම් ලබන්නට නම් හැම විට ම තමන්ට වඩා දක්ෂයන් සමඟ තරග කළ යුතුය. තමන් සිටින තැන හරිහැටි අවබෝධ කර ගන්නටත් දක්ෂතා තව තවත් ඔප මට්ටම් කර ගැනීමටත් එය අත්‍යවශ්‍ය සාධකයකි. අපේ දැල්පන්දු ක්‍රීඩිකාවන් ද සිංගප්පුරුවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලිය ජය ගැනීමට පෙර මලවි ක්‍රීඩිකාවන් සමඟ එහිදී තරග වැදීමෙන් ලත් අත්දැකීම බොහෝ සෙයින් උපකාරී වූ බව ක්‍රීඩිකාවෝ ම පැවසුවෝ ය.

සුසන්තිකා ජයසිංහ 2002 ඔලිම්පික් පදක්කම දිනන්නට වසර 4 කට පෙර සිට ම එවකට ක්‍රීඩා ඇමැතිවරයා වූ එස්.බී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ඔලිම්පික් පදක්කම් සංචිතයක් මලල ක්‍රීඩාවට එක් කළ අතර ඒ වකවානුවේ එම සංචිතයේ සිටි සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු උලෙළෙවලදී ද දස්කම් දැක්වුවෝ ය.

ඉන් පසු එවැනි දීර්ඝ කාලීන සැලසුම් හෝ සංචිත අපට නොතිබුණි. යවන්නන් වාලේ තරගවලට යැවීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අපේ බලධාරින් තවමත් වටහාගෙන ‍නොමැත්තේ පාසල් මට්ටමේ සිට ක්‍රීඩාව කර ජ්‍යාත්‍යන්තර මට්ටමට යාමට සිහින මවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ම කරුමයට ය.

චීනය හෝ ඉන්දියාව ක්‍රීඩාවෙන් ආසියානු හෝ දකුණු ආසියානු මට්ටමින් කොතරම් බලවතුන් වුව ද ඔවුන් පැරදවිය හැකි ඇතැම් ක්‍රීඩා හා ක්‍රීඩිකාවන් අප සතුව ඇත. එහෙත් තමන් සතු දක්ෂම ක්‍රීඩිකාවන් එම තලයට ගෙන ඒමට ඔවුන්ට තිබෙන පහසුකම් හා මුල්‍ය පහසුකම් අපට නොමැත. ඔවුන් පවා එක් එක් ක්‍රීඩාවට සරිලන විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිද්දී අපේ ප්‍රාථමික මට්ටමේ පුහුණු කරුවෝ තමන්ට ජාත්‍යන්තර ජය ගත හැකි මට්ටමට ක්‍රීඩකයන් පෙළ ගැස්විය හැකි බවට සිතා සිටිති. මේ අතර පාසල් පුහුණුකරුවෝ ද වෙති. එහෙත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කළ හැකි දේශීය පුහුණුකරුවෝ ද නැතිවා නො‍වේ. පුහුණුකරුවන්ගේ දැනුම හා තාක්ෂණය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළක් අපට නොමැත.

ඔලිම්පික් කමිටුව යටතේ ක්‍රීඩා සංගම් 30 ක් පමණ සිටින විට එහි නිලධාරීන්ට නිලවරණයකදී ඡන්දය ලබා දීමට මොවුන් පිල් බෙදෙන්නෝ ය. ඒ නිසා ඕනෑම ක්‍රීඩා උලෙළෙකට එහි මට්ටම කුමක් වුවත් මේ ඡන්ද දායකයන්ගේ කණ්ඩායමක් යවා ගැනීමට මොවුහු ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් කරති. එපමණකින් අදාළ මට්ටමට නොමැති කණ්ඩායම් නොයැවීමට වග බලා ගැනීම ඔලිම්පික් කමිටුවේත් ක්‍රීඩා අමාත්‍යංශයෙත් වගකීම විය යුතුය. මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගී වූ රෝල ස්කේට් ඉසව්වේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකු කි.මී. 20 ධාවන ඉසව්ව අවසන් කිරීමට හෝ අසමත් වූහ. හුදෙක් ආරම්භය පමණක් ලබා ගත් තවත් ක්‍රීඩා ඉසව් තිබිණි.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙත් රු.මිලියන 25 ක් හා ජාතික ඔලිම්පික් කමිටුවෙන් රු.මිලියන 25 ක් වැය කරන ලද අතර ක්‍රීඩක හා නිලධාරී ගම්මානවල කාමර සඳහා ද එමඟින් වියදම් කරන ලදී. එක් පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි වීමට වඩා මෙවැනි විශාල වියදමක් දැරීමෙන් පසු ක්‍රීඩාවට වන සෙත කුමක්ද යන්න වඩා වැදගත් ය. මේ මුදල් සැලසුම් සහගත සංචිත හා පුහුණුව වෙනුවෙන් යෙදවිය යුතුව තිබිණි.

සාෆ් ක්‍රීඩා උලෙළක් හෝ පැවැත්වීමට අසීරු අප වැනි රටක මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් පැවැත්වීමට තරග කිරීමට පමණක් අප රුපියල් බිලියනයක් වියදම් කළෙමු. එය අපට නොලැබුණේ පෙර පිනකට ය.

මූද හත් ගව්වක් තිබියදී අමුඩය ගසන්නට එපා කියන්නේ මේ නිසා ය. අමුඩය ගැසුවාට කමක් නැත. ඒ මූදට පනින්නට පෙර අඩු ගණනේ නොගැඹුරු කලපුවකට වත් පැන බැලිය යුතු නිසා ය.

රංජන් පරණවිතාන

අදහස්