30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ | සිළුමිණ

30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ

අනාගත අභිමානය සහ ශක්තිය ක්‍රීඩාව තුළින් ඇති කරමු

මහවැලි කලාපයේ දූ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවා කලඑළි දක්වනු පිණිස 1986 වර්ෂයේ, එවකට මහවැලි අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ මහවැලි ක්‍රීඩා උලෙළ අප රජය යටතේ 30 වන වරටත් අඛණ්ඩව පවත්වන්නට ලැබීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකාව බත බුලතින් සරි කරන්නට මහවැලි ගොවි පවුල් ලබාදෙන්නේ අතිවිශාල දායකත්වයකි. එම පවුල්වල දූ දරුවන්ට අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාව, සෞන්දර්ය ඇතුළු සෙසු අංශ වලින්ද ඉදිරියට යාමට අතහිත දීම ජාතික වගකීමකි.

මහවැලි කලාපයේ ගම් දනව් තුළ සැඟවී ඇති දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවන් හඳුනා ගනිමින්, ක්‍රමිකව ඉදිරියට ඒමට ඔවුන් දිරිමත් කරමින් වසර පුරා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක උත්කර්ෂවත්ම අවස්ථාව වන මෙම ක්‍රීඩා උලෙළ, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි.

ක්‍රීඩාව තුළින් දේශයේ අනාගත අභිමානය සහ ශක්තිය වනු පිණිස, නීරෝගී, ශක්ති සම්පන්න, විනයගරුක පරපුරක් බිහි කරන්නට 2018 මහවැලි ක්‍රීඩා උලෙළ දායක වනු ඇතැයි අපේක්ෂාවෙන් මාගේ හෘදයාංගම සුභාශිංසන එක් කරමි.

 

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය


 

මහවැලි දරුවන්ගේ ජය භූමිය

 

තිස් වැනි මහවැලි ක්‍රීඩා උලෙළ අති උත්කර්ෂවත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වෙර දරන මේ අවස්ථාවේ අප වඩාත් සතුටට පත් වන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහවැලි කලාපයේ දරුවන්ගේ දක්ෂතා පෙරට ගෙන ඒම සඳහා දක්වන දායකත්වය හා දිරිගැන්වීමයි.

30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ සියළු අවස්ථා පරයමින් නැගී සිටිනු ලබන්නේ මහවැලිය දරුවන්ගේ ජය භූමිය තව තවත් ඔප් නංවාලමිනි. ඒ හෙයින් ජාතියේ ජවය හා ශක්තිය වන්න මහවැලි දරුවන් හා මහවැලි අධිකාරියට ශක්තිය, ධෛර්ය ලැබේවායි අපි සුබ පැතුම් එක් කරමු.

 

වීරකුමාර දිසානායක

මහවැලි සංවර්ධන

රාජ්‍ය අමාත්‍ය


ක්‍රීඩාව තුළින් ජයග්‍රාහී දේශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා උලෙ‍ළක් වන මහවැලි ක්‍රීඩා උලෙළට සුභාශිංෂණ එක් කිරීමට ලැබීම ගැන පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසින් මා ඉමහත් සතුටට පත් වෙමි.

සෑම වසරකම, මහවැලි කලාපයන්හි තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා රටට එළිදක්වන මෙම ක්‍රීඩා උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් හා ආශිර්වාදයෙන් පැවැත්වීම ඔවුන් ලද භාග්‍යයකි. මෙම උලෙළ හරහා ඉතා දුෂ්කර ගමනක් පැමිණි මහවැලි කලාපයන්හි තරුණ දරු දැරියන් තමන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කිරීම සිදුවේ. ජාතික තලයේ ක්‍රීඩා සංචිත සඳහා ඇතුළු වීම මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වී අප ශ්‍රී ලංකාවට රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනා දී රටට මහත් ගෞරවයක් ලබා දීමට අවකාශ මෙම මහවැලි ක්‍රීඩා උලෙළෙන් දක්ෂතා පෙන්වන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උදාවේ. මෙම මහවැලි ක්‍රීඩා උලෙළ හරහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට හැකිවීම ක්‍රීඩා අමාත්‍යාංශයට මහඟු පිටුවහලක් වන බව කිව යුතු කරුණකි.

ෆයිසර් මුස්තාෆා

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය

 


අපි ලෑස්තියි අපේ ගමන යමු

මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෘෂිකාර්මික නිෂ්පාදන හා විදුලිබලය නිෂ්පාදනය සඳහා පමණක් වන ව්‍යාපාරයක් නොවෙන දැවැන්ත අරමුණු ප්‍රමාණයක් මහවැලි ව්‍යාපාරය හා බැඳී තිබෙන බහුකාර්ය ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි කලාපයන්හි වෙසෙන ජවසම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ කරගනිමින්, මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සියලු අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල හා ජනපදික ප්‍රජාවේ සහයෝගය ද ඇතිව සංවිධානය කරනු ලබන මහවැලි ක්‍රීඩා මහෝත්සවය එකී විස්තීර්ණ වූ අරමුණු ජය ගැනීම සඳහා ගන්නා උත්සාහයේ එක් මුදුන් මල්කඩකි.

මහවැලි කලාපවල “තාරුණ්‍යයට අපමණ අගයක් - ස්වයංපෝෂිත අනාගතයක්” උදා කිරීමේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තුන්කල් දක්නා ප්‍රතිපත්තියේ පිහිටමින්, මෙවර මහවැලි ක්‍රීඩා උලෙළ වඩා විචිත්‍රවත් හා ජනපදික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වැඩි ප්‍රතිලාභ හිමි වන සේ සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මා ඉමහත් සතුටට පත්වෙමි. ඒ සතුට ක්‍රීඩා ලෝලී ඔබ සැමට හිමි බව සඳහන් කරනු කැමැත්තෙමි.

වසරක් පාසා සංවිධානය කරනු ලබන මහවැලි ක්‍රීඩා උලෙළ ජාතික මට්ටමෙන් අන්තර්ජාතික මට්ටමට ගොස් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන තෝතැන්නක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සිය වගකීමේ කොටසක් බවට පත් කරගෙන ඇත. කෘෂිකාර්මික ගම් දනව්වල ඉපිද එහිම හැදී වැඩී ගොවි ජන මනස මැනැවින් ස්පර්ශ කළ පොදුජන හිතකාමී නායකයකු වශයෙන් අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එකී කාර්යය සඳහා අප වෙත නිරන්තර මා‍ර්ගෝපදේශකත්වය ලබා දීම මහවැලි ජනපදික තාරුණ්‍යයයේ භාග්‍යයක් සේ දකිමි. එය ස්වදේශීය අම්බරයේ අනාගතය ලෙස හඟිමි.

30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ මහවැලි ක්‍රීඩා තාරුණ්‍යයට නව ආරම්භයක් වනු ඇත. එබැවින් මෙවර ක්‍රීඩා උලෙළ නවමු ආකාරයකින් සංවිධානය කිරීම සඳහා අප වෙත උපදේශකත්වය ලබාදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කර සිටිමු. එමෙන්ම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාටත් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා කැපවී සිටින මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඇතුළු සියලුම අධ්‍යක්ෂවරුන්ටත් සියලුම නේවාසික ව්‍යාපාර කළමනාකාරවරු ඇතුළු සමස්ත මහවැලි කාර්ය මණ්ඩලයටත් සුභාශිංසන යොමු කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මෙය ඔබේ ප්‍රාර්ථනාවේද / කැපවී‍ෙම් ද අගයයි.

අපි යන ගමනක ඇරඹුමෙහි කඩඉමට වී හෙට ලොව දිනන්නට සැරසෙමු.

“රංදිය ඇත්නං - කැවුම් ද පඤ්ඤං’

මොරගහකන්ද අපට කියාදුන් පාඩම නම් “අපි සූදානම් - අපි ගමනේ යමු”

සරත් චන්ද්‍රසිරි විතාන

අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

Comments