නවමං සලකුණු කළ මහවැලි ක්‍රීඩා උලෙළ | සිළුමිණ

නවමං සලකුණු කළ මහවැලි ක්‍රීඩා උලෙළ

මහවැලි ගිතය

මහවැලි........
මහවැලි.......
මහවැලි මහවැලි මහා වැලි

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විද සොඳ සේ
ලෙළී දළී ගලා බසී
මහවැලි මහවැලි මහා වැලි

ගිරිකුළු විනිවිඳ නව මං මතු කොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇස හැර
ඔබ එන තුරු මග බලා සිටි

මහවැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙළී දිළී ගලා බසී
මහවැලි මහවැලි මහා වැලී

සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා

ඔබ බැස එනු දැක හිනැහෙයි සිරිලක
අනාගතය කිරි දිය උතුරා
සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විද සොඳ සේ

ලෙළී දිළී ගලා බසී
මහවැලි මහවැලි මහා වැලී

පද මාලාව - මහගම සේකර කිවිඳු
සංගීත නිර්මාණය සහ ගායනය -
ආචාර්ය පණ්ඩිත් ඩබිලිව්. ඩී. අමරදේව

මහවැලි දූ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීම අරමුණු කරගෙන ඇරඹෙන 30 වන මහවැලි ක්‍රීඩා උලෙළට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සඳහා ඉහල වටිනාකමක් ලබා දීමට මෙවර පියවර ගෙන ඇත.

 

වසර 29 කට ආසන්න කාලයක් පැවති සාම්ප්‍රදායික මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර සුවිශේෂී වෙනසකට ලක්විය. පසුගිය වසරවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහතිකයකින් හා පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවිය. නමුත් මෙවර මහවැලි ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන 3000 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රු. මිලියන 5 කට අධික සෘජු ප්‍රතිලාභ ලබා දීම මෙම ක්‍රීඩා තරගාවලියේ විශේෂ සිදුවීමකි.

 

මෙහිදී හොඳම මහවැලි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන් වටිනා මහවැලි ඉඩමක් හිමි වන අතර ඔවුන් නියෝජනය කරන පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ද හිමි වේ. එමෙන්ම සුවිශේෂි ක්‍රීඩික ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දෙන අතර දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසකට නොමිලේ රැකියා අභිමුඛ පාඨමාලාවන් හැදෑරීමට අවස්ථා හිමි වේ.

 

ඒ අතර ජාතික පරිසාධන මට්ටමට ළඟාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවකට යොමු කරන අතර විදේශ සංචාරවලට සහභාගී වීමේ අවස්ථාව උදාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අනුග්‍රහය හිමි වේ.

 

30 වන මහවැලි ක්‍රීඩා තරගාවලියේ කුසලානය හිමි කර ගන්නා මහවැලි කලාපය සඳහා නවීන පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථානයක් ලබාදෙන අතර තරගාවලිය සඳහා සහභාගී වන අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ක්‍රීඩා පාවහන් පිරිනැමේ.

 

එමෙන්ම දිගුකාලීනව මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම පිණිස සැලසුම් සකස් කරමින් පවතී. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිත මහවැලි ක්‍රීඩාංගණයක් වර්ෂය පුරා නඩත්තු කිරීමට තීරණය කර ඇත. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය නේවාසික පහසුකම්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන හා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන්ගේ සහය ලබාදීම යනාදී කාර්යයන් රැසක් ක්‍රීයාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා අලුතින් ඉදි‍වන ඩී කලාපයේ හෝ මොරගහකන්ද කලාපයේ ක්‍රීඩාංගණයක් තෝරාගැනීමට නියමිත වන අතර මෙම ක්‍රීඩාංගණය පදනම් කරගෙන ජාතික මට්ටමේ ක්‍රීඩා සංචිතයක් නිර්මාණය කර පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

 

මෙම 30 වන මහවැලි ක්‍රීඩා උලෙළට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම මෙම තරගාවලියේ නවමන් සලකුණක් විය.

 

ඒ අනුව කොස් පැල 11,111ක් සියලුම මහවැලි කලාප ආවරණය වන පරිදි රෝපණය කළ අතර මෙහි ප්‍රථම පැළය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සැප්තැම්බර් 6 වැනි දින උදෑසන රෝපණය කරන ලදී.

 

මෙයට අමතරව මතින් තොර නිදහස් නිරෝගී තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් දින 11 ක් පුරා තොරතුරු පත්‍රිකා බෙදාහරිමින් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එහි දී මතින් තොර නිදහස් රටක් බිහි කිරීමේ අවශ්‍යතාවය පහදා දෙනු ලැබිණි.

 

තවද මොරගහකන්ද හා කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය තුළින් යළි පිබිදුණු මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ වර්තමාන කාර්යයභාරය ජනගත කිරීම සඳහා වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය, උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය සහ මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යනාදී ව්‍යාපෘතීන් පිළිබඳ අත්පත්‍රිකා බෙදාදෙමින් ප්‍රජාව දැනුවත් කළ අතර එහිදී මොරගහකන්ද ජලාශ ආකෘතිය අැතුළත් වටිනා සිහිවටනයක් ලබා දෙන ලදී.

 

මෙවර ක්‍රීඩා තරගාවලිය වර්ණවත් කර ගැනීම සඳහා මහවැලි ගිනි සිළුව රැගෙන යාමට සංදර්ශන රථ පෙළපාලියක් සංවිධානය කළ අතර ත්‍රිවිධ හමුදාවේ හා මහවැලි දරු දැරියන්ගේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් අවසන් ක්‍රීඩා උලෙළ සඳහා එකතු කර ගන්නා ලදී. එනම් වලව කලා‍පයේ සැප්තැම්බර් 15 සහ 16 දෙදින පුරා පැවැත්වෙන 30 වන මහවැලි ක්‍රීඩා උලෙළට සමගාමීව සැප්තැම්බර් 6 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹි මහවැලි ගිනිසිළුව රැගත් රථ පෙළපාලිය සියලුම මහවැලි කලාප ආවරණය කරමින් කිලෝමීටර් 1,111 ක දුර ගෙවා වලව කලාපයට සැප්තැම්බර් 14 වන දින ළඟා විය. සෑම දිනකම ආගමික වතාවත් සිදුකරමින් රැළිය ආරම්භ වූ අතර දිනය අවසානයේදී කලාපයට ආවේණික සංස්කෘතික අංගයන්ගෙන් නිමාවට පත් විය. මෙම සුවිශේෂී චාරිකාවට යතුරුපැදි හා පාපැදි දහසකට අධික ප්‍රමාණයක් යොදා ගත් අතර දහසකට අධික ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඒ සඳහා සහභාගී විය.

 

එමෙන්ම තරගාවලිය අවසානයේදී ත්‍රිවිධ හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය පැරෂුට් සංදර්ශන හා නිල සුනඛ සංදර්ශන පවත්වනු ලබන අතර එයට සමගාමීව සංගීත සංදර්ශන හා සාම්ප්‍රදායික සටන් කලා යනාදී කලාත්මක අංගයන් රැසකින් මෙවර මහවැලි ක්‍රීඩා උලෙළ වර්ණවත් වේ.

 

මෙපමණක් නොව එදින මහවැලි දූ දරුවන් 1,300 ක සහභාගිත්වයෙන් නිර්මාණය වන කෘෂිකර්මාන්තය පදනම් කර ගත් සංස්කෘතික සංදර්ශන හා ජිම්නාස්ටික් සංදර්ශන යනාදියද ක්‍රීඩා උලෙළ සඳහා එකතු කර ඇත.

 

මෙලෙස දින 11ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ඓතිහාසික මහවැලි ක්‍රීඩා මංගල්‍යය විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ පුළුල් ප්‍රචාරයක් සිදු කරමින් ක්‍රීඩා ඉතිහාසයේ නවමන් සළකුණක් ලෙස සනිටුහන් කරමින් නව මඟකට යොමු වෙමින් පවතී.

 

ලංකා බණ්ඩාර සේනාරත්න

අධ්‍යක්ෂ - සැලසුම් හා නියාමන (රා.ආ.)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

 

Comments