තිස්වැනි ක්‍රීඩා උලෙළින් වෙනසකට මුල පුරමු | සිළුමිණ

තිස්වැනි ක්‍රීඩා උලෙළින් වෙනසකට මුල පුරමු

ක්‍රීඩාවේ සුන්දරත්වය, චමත්කාරය, ලාලිත්‍යය සහ සැබැදියාව එක්තැන් කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළේ තිස්වැනි දිග හැරුම ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක් තේමා කරගනිමින් අද නිමාවීමට නියමිතය.

මහවැලි කලාප හරහා බිහි වූ තවත් උපසංස්කෘතියක දක්ෂතා එක මිටකට ගොනු කර ගැනීම අරමුණු කරගෙන මහවැලි ක්‍රීඩා උලෙළ විවිධ මං ඔස්සේ ගමන් කරමින් මේ තරගාවලියත් සමඟ ගෙවා දමා ඇති කාල පරිච්ඡේදය දශක තුනක් ඉක්මවා යයි. මෙකී කාලය තුළ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නැවත විමසා බැලීම කා‍ලෝචිතය.

දශක තුනක් ගෙවා දමා ඇති මහවැලි ක්‍රීඩා උලෙළ ශ්‍රී ලං‍කාවේ පැවැත්වෙන සාම්ප්‍රදායික ක්‍රීඩා උලෙළවල් අතර හැරවුම් ලක්ෂ්‍යයක් කර ගැනීමට ප්‍රමාණවත්ය. නමුත් රටක් වශයෙන් අප එයට සූදානම් ද යන්න විමසා බැලිය යුතුය.

අවසන් වරට නිමා වූ දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ හිස් අතින්ම පැමිණීමට ශ්‍රී ලංකාවට මෙවර සිදු වූ‍යේ ඉතිහාසයෙහි වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් තරගාවලියට ඉදිරිපත් කරමින් ය. එසේ හිස් අතින් ආවද අදටත් කිසිදු වගේ වගක් නැතුව නිලධාරීන් කල් ගෙවීම ගැන එක් අතකින් පුදුම විය යුතු ද නොවේ.

මන්දයත් මේ සියල්ල සිද්ධ වන්නේ ශ්‍රීලංකාවේදී වීම නිසාය. දැන් මේ සියලු පරාජිතයෝ 2022 ආසියානු ක්‍රීඩා උ‍ෙලළට ලක ලෑස්තිවුවද, එකී කටයුත්ත මේ වර්ග කිලෝමීටර් හැටපන්දහස තුළ සාමාන්‍ය දෙයකි.

මහවැලිය හරහා අදටත් ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩිකාවක ලෙස කතා කරන්නේ ශ්‍රියාණි කුලවංශ ගැන පමණි. මහවැලිය හරහා බිහි වූ එකම ක්‍රීඩිකාව ශ්‍රීයාණි කුලවංශ පමණ ද? ගෙවි ගිය කාලය තුළ ඕනෑ තරම් දක්ෂයන් මේ හරහා බිහිව තිබේ. නමුත් ජාතික වශයෙන් නිසි වැඩ පිළිවෙළක් නොමැතිකම නිසාම එහි දක්ෂයෝ මතු නොවූහ.

අද ලෝකය එදාට වඩා අද සෑම අතින් ම විවෘතය. දශක පහකට එනම් ඩන්කන් වයිට්ගෙන් පසු සුසන්තිකා ජයසිංහව ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට හැකි තැනකට ඔසවා තැබීමට හැකි වූයේ නම් ශ්‍රියාණි කුලවංශට එකී අවස්ථාව මඟ හැරි ගියේ කෙසේ ද යන්න බලධාරීන් මේ නිමාවන තිස් වැනි මහවැලි ක්‍රීඩා උලෙළේදි හෝ සිහි තබා ගත යුතුය.

හු‍ෙදකලාව ගමනක් යා නොහැකි තරමට අද ලෝකය විවෘතය. මේ තුළ අප රටක් විදියට ගමන් කළ යුත්තේ ඉදිරියට මිස ගල් යුගයට නොවේ. එහෙත් ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කරන අප රටක් විදියට ම ගමන් කරන්නේ ගල් යුගයටත් වඩා එහාට බව පැහැදිලිය. මෙතෙක් පැවැති සාම්ප්‍රදායික ලේබලය වැඳුණු මහවැලි ක්‍රීඩා උලෙළට පවා විප්ලවයක් කිරීමේ කඩඉම මේ තරගාවලිය හරහා හැකිය. ප්‍රශ්නය වන්නේ මේ සඳහා අප කොපමණ සූදානම් ද යන්නයි.

මේ කිසිම තරගාවලියක් වර්ග කිලෝමීටර් හැටපන්දහසකට කොටු කරගත යුතු නොවේ. මෙතැන් එළියේ ළඟම තැන සාග් තරගාවලියයි. මහවැලි ක්‍රීඩා උලෙළ හරහා බිහි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීදෙනෙක් සාග් තරගාවලියට එක් වී තිබේද? මහවැලි ක්‍රීඩා උලෙළින් බිහිවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව රැක ගැනීමට ඉදිරියට ගැනීමට හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුය. එසේ නොමැතිව අනාගත ක්‍රීඩා ලෝකයේ වුවද ජය කෙසේ වෙතත් තරගයක් දීම පවා තරගයක් වනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දියුණුව කරා ගොස් ජයග්‍රහණ අත්පත් කර ගන්නේ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ දුර දක්නා නිවැරැදි ක්‍රමවේදයක් හරහාය. ක්‍රීඩා යාන්ත්‍රණය සැකසිය යුත්තේ ක්‍රීඩාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන්ය.

එහෙත් අවාසනාවකට අපේ රටේ සිදුවී ඇත්තේ සිදුවෙමින් පවතින්නේ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ පැවැත්ම වෙනුවෙන් සියලුම පිඹුරුපත් අඩු නැතුව සකසාගෙන තිබිමය. ඒ නිසාම මේ සියලු දේ බොහෝ දෙනෙකුට හරි ජොලි වැඩය.

කඩ ඉමකට සේන්දු වී ඇති මහවැලි ක්‍රීඩා උලෙළ හරහා හෝ මේ මස්ත බාල්දු මජර ක්‍රීඩා සංස්කෘතියට සහ ඇහින්දාස් නිලධාරිවාදයට පාඩමක් කියාදිය හැකි නම් එයම ජයග්‍රහණයකි. ඒ අනුව මේ වැලලී යන ක්‍රීඩා ජයග්‍රහණයන්ට නව පණක් ලබා දීමට තිස් වැනි මහවැලි ක්‍රීඩා උලෙළ පාලමක් කර ගැනීමට හැකි නම් එය බොහෝ දෑ වෙනස් කිරීමට සංධිස්ථානයක් වනු ඇත.

අදහස්