යාලේ දී අයාලේ නොගිය වලස් අම්මාගේ දරු පෙම | සිළුමිණ

යාලේ දී අයාලේ නොගිය වලස් අම්මාගේ දරු පෙම

රාත්‍රියේ අවට රජ කළ බකුසු හුම් හඬ, රැහැයි හඬ, ගෙඹි - මැඩි කයි­තා­ලන් හඬ, අලි - ඇත් කුංචනා හඬ හා කී නොකී හඬ අත­රට එක් වරම වලස් හූ හඬක් එකතු වූයේ අප කණ්ඩා­යම අතර විම­ති­යක් හා භීති­යක් ජනිත කර­මින්. වන­ජීවී සංර­ක්ෂ­ණ­යට අදා­ළව වන­පෙතේ සිදු කරන රාජ­කා­රීන්ට අදා­ළව එදින රාත්‍රියේ අප කඳ­වුරු බැඳ සිටියේ යාල වන­පෙතේ දිය කෙමක් අස­ලය. වලස් හූ හඬ දැඩිව ඇසෙ­න්නට වූයේ පෙර කී දිය කෙම සමී­ප­යෙනි. මේ කියන ගල් කෙම පිහිටා ඇත්තේ මදක් උසැති හුදෙ­කලා ගල­කය. වැල­හි­න්නක දිය බීමට ගල් කෙම වෙත පැමිණ ඇති බවක් දුටුවේ අඳුරේ බලන දුර­ද­ක්න­යක ආධා­ර­යෙන් ගල් කෙම අවට නිරී­ක්ෂ­ණය කර­ද්දීය. ඒ වැල­හි­න්නකි. ඇගේ පිටේ එල්ලී­ගත් කුඩා පැට­වුන් දෙදෙකි. නිද­හසේ වතුර බිව් උන් පසුව අම්මාගේ පිටෙන් බැස ගල් තල්ල මත්තේ දුව පැන නටන්න වූයේය.

වනයේ ගත කරන සෑම තත්ප­ර­ය­ක­දීම වන­ජීවි නිල­ධා­රින් සිටිය යුත්තේ විම­සි­ල්ලෙන්. විම­සි­ලි­මත් වූ කල වන­පෙතේ හක්ක­ලං­ක­රනා ඕනෑම රුදුරු වන සතකු කල් තියා හඳුනා ගත හැකියි. වන­ස­තුන් වුවද මඟ­හැර යා හැකි දුරක සිටි නම් මිනි­සාට පහ­ර­දී­මට උත්සාහ නොකර මඟ හැර යන නිසාය.

මේ වෙලාවේ අප සිටින්නේ සුළං මුවාවේ බැවින් අපේ මිනිස් කුයිල සතා වෙත ළඟා නොවු­ණත් උන්ගේ සත්ව ගඳ අපට හොඳින් දැනේ. උන්ගේ මේ නිද­හස් හැසි­රී­මට හේතුව වුණේ අපේ මිනිස් ගඳ උන්ට නොදැ­නී­මයි. අඳුර විනි­විද දකින දුර­ද­ක්නය නොවෙ­න්නට වල­සුන් දර්ශ­නය වන්නේ දිය කෙම අභි­ය­සැති කළු කුට්ටි­යක් ලෙසයි. පැට­වුන් වැඩි පුරම ඉන්න කැමැති අම්මාගේ පිට මතයි. ඒ නිසා මේ තුන් දෙනාම දිස් වෙන්නේ කළු පාට පඳුරු ගොමු­වක් වගෙයි.

අම්මා වතුර බොන­කම් දිය කෙමේ ඉවුරේ කෙළි සෙල්ල­මින් පසු වූ වලස් පොඩි­ත්තන් මවගේ විදා­න­යෙන් යළිත් ඇයගේ පිට මතට ගොඩ වුණා. ගොඩ වූ සැණින් තම දිගු නිය පොතු­ව­ලින් අම්මාගේ දිගු ලෝම කැටි­යක් අල්ලා ගත්තේ, අම්මා ඇවිද යද්දි පිට මතින් නොවැ­ටෙන ලෙස­ටයි. ඒ සම­ඟම වලස් අම්මා ගල් කෙම පිහිටි ගල මත සිට අප සිටි දිසා­වට හොම්බෙන් ඉව අල්ල­මින් පල්ලම් බැස්සා. මොකක් නමුත් අමු­ත්තක් ඒ සංවේදී නාස් පුඩු­ව­ලට ඉව වැටී ඇති හැඩයි. මිනිස් කුයි­ල­ය­වත් දැනි­ලා­වත්ද?

පල්ල­මට ආපු වැල­හින්න ගල් තැල්ල පාමු­ලට වෙන්න ඉව අල්ල­නවා. භූමියේ සතර කොනම ඉව කරලා අන­තු­රුව බිම හාරන්න පටන් ගත්තේ පිස්සු­වෙන් වගෙයි. ඒ ඇසිල්ලේ පැටව් දෙන්නත් අම්මාගේ පිටෙන් බිමට පැන්නේ අම්මාට සහාය වෙන්න වගෙයි. සොබා­ද­හම විසින් වල­සුන්ට ලබා දී ඇති යකඩ කොකු හා සමාන දිගු නිය නිසා මේ විදි­හට පොළොව හෑරීම මේ අයට හරිම පහ­සුයි. වලස් මවගේ මේ හෑරීමේ අර­මුණ මොකක්ද?

නිය ආධා­ර­යෙන් හෑරූ වළ දෙස ටික වේලා­වක් බලා සිටි ඇය අන­තු­රුව එක් වරම තමන්ගේ දිගු හොම්බ තබා සූස් .... සූස් .... හඬින් සිදු කළ ඇදි­ල්ලට අනුව නම් ඒකා­න්ත­යෙන්ම මේ නම් වේයන් බීමක් බවයි මට හැඟුණේ. දෙතුන් වරක් වේයන් උරා බිව් ඇය අන­තු­රුව නොඉ­ව­සිල්ලේ පසු වන පැටව් දෙන්නා­ටත් ඒ සඳහා අව­ස්ථාව ලබා දුන්නා. හැබැයි අම්මා වගේ නම් නෙමේ පැට­ව­වුන්ට මේ වේයන් උරා­බීම තව­මත් හුරු නැති බවයි පෙනුණේ. ඒත් දෙන්නා අතරේ ඒ වැඩේට තිබුණේ තර­ග­යක්. එක් පැටි­යෙක් වැඩි­යෙන් වේයන් උරන දෙස මද වේලා­වක් බලා සිටි වලස් මව කලින් හෑරූ ගුල සමී­ප­යෙන් තවත් ගුලක් හෑරුවා. ඉන් පස්සේ ඒ හෑරූ ගුලෙන් වේයන් උඩට එන­කම් මද වේලා­වක් බලා හිටියා. වේයන් සෑහෙන්න උඩට ආවාට පසු තමයි උන් උරා බොන්න පැට­වුන්ට ඉඩ දෙන්නේ. වැල­හින්න ඒ අතරේ ඒ ආස­න්න­යේම තවත් ස්ථාන කිහි­ප­ය­කින්ම පොළොව හාරා ගුල් හැදුවා. ඒ එම ගුල්ව­ලින් එළි­යට එන වේයන්ද ගොදුරු කර ගන්නයි. පැට­වු­නුත් මේ දෙස බල­මින් පුංචි වුණත් අම්මා අනු­ක­ර­ණය කර­මින් තමන්ගේ නිය ආධා­ර­යෙන් ගුල් හාර­න්නයි උත්සා­හය.

කැලේ ජීවත් වන සතුන්ගේ විශේ­ෂ­යෙන්ම කිරිබී වැඩෙ­න්නන්ගේ පළමු ගුරු වෙන්නේ තම මවයි. කුඩා වේයන් කියන්නේ වල­සුන්ගේ ප්‍රිය­තම ගොදු­රක්. මේ කිරි වේයන් උරා බීමෙන් වල­සුන් කිසි­යම් කිරි රස­යක් විඳි­න­වාය යන්න මගේ අද­හ­සයි. වල­සුන් පම­ණක් නොව ලේන්නුද කිරි වේයන් ආහා­ර­යට ගැනීම සුල­භව කර­නවා. මේ රසට වල­සුන් කොත­රම් ලොල්ද කිය­නවා නම් වේ තුඹ­සක ඉවක් දැනු­ණොත් නම් වේ ජන­ප­ද­යම කෙසේ හෝ උරා බීලා­මයි ඒ තැනින් පිටව යන්නේ.

ඒක් වරම වන­පෙත සිසාර ඇහුණේ මුවෙ­කුගේ කෝව් ගෑමක්. බය වුණු මුවෙක් කෑ මොර දෙන්න පටන් ගත්තේ මොකක් නමුත් අන­තු­රක ඉවක් දැනි­ලයි. ඒ අන­තුරු සංඥාව කන වැකෙත්ම වලස් මව උගු­රෙන් කෙටි හඬක් නංව­මින් පුංචි වුන් තමන් ළඟට අඬ ගහ ගෙන උඩු සුළඟ ඉව කරන්න වුණා. අන­තු­රුව තමන් සිටින භූමිය ආරක්ෂා රහිත බව වටහා ගත් ඇය ඒ ආස­න්නයේ වන වදුළු අත­රට වැදුණේ පැට­වුන් දෙන්නත් කර පින්නා ගෙනයි. පැට­වුන්ව කර මතින් බිමට බැස්ස වීමෙන් අන­තු­රුව බිම වැති­රෙත්ම පුංචි වුන් හණික මවගේ තණ බුරු­ලු­වල එල්ලුණේ ලද අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගන්නාක් වගෙයි.

වලහා කියන්නේ කැලේ ඉන්න නපුරු සතෙක්. අලි­යා­ටත් වඩා නපු­රුයි. මොකද මෙයා පහර දෙන්නේ හැංගි­ලයි. නොසිතූ විටෙ­කයි මිනිසා මතට කඩා පනින්නේ. වල­සාට මිනිසා ජන්ම හතු­රෙක්. ඒ බව ඔප්පු කරන්න හැකි නිද­ර්ශන වනා­න්තර මායිමේ පිහිටි ගම්මා­න­ව­ලින් නිතර අහන්න දකින්න පුළු­වන්. වල­හාගේ පහර දීම හරිම ක්‍රෑරයි. භයා­න­කයි. දරු­ණුයි.

වන­පෙතේ රැව් දුන් මුවාගේ කෝව් ගෑම එක්ව­රම නතර වුණා. පරි­ස­රයේ පැවැ­තියේ දැඩි නිහඬ බවක්. වලස් මව මෙතෙක් කිරි උරා බොමින් සිටි පුංචි උන් පිටට නංව ගත්තේ ආය­මෙත් ලොකු අන­තු­රක ඉවක් දැනි­ලයි. එක් වරම කිර­ලෙක් හඬන්න ගත්තේ එවි­ටයි. ඒ ගල් කෙමට ආසන්න ස්ථාන­යක බිම ලැග­හුන් කිර­ලෙක් විය යුතුයි.

මම දිය කෙම ඇති ඉසව්ව හොදින් නිරී­ක්ෂ­ණය කළා. යම් සෙල­වී­මක් එක් වරම ඇහැ ගැහුණා. ඒ සෙල­වීම කළේ දිලි­සෙන දෙනෙ­තක් සහ නිර­න්ත­ර­වම සෙල­වෙන දිගු නගු­ටක් ඇති සතෙක්. බිම් මට්ට­මට සමා­න්ත­රව ලැග ඉන්න වගයි පේන්නෙ. වැල­හින්න බිය වද්ද­ව­මින් වන­පෙතේ භයං­කා­ර­ත්වය පැතිර වූ මේ සතා මොකාද?

වන­වැසි කවු­රුන් හෝ හඩක් පිට කළොත් ඒ මර­ණ­යට අත­වැ­නී­මක් හා සමා­නයි. දිය කෙම ආස­න්නයේ බිම වැතිර සිටින්නේ බිළාල ගෝත්‍රය නියෝ­ජ­නය කරන අපේ රටේ දැවැ­න්ත­යායි. ඒ කොටි­යෙක්. විසල් සිරු­රක් හිමි කොටි රජෙක්. සුදු කළු වර්ණ­යෙන් දිස්වන කොටි දසුන හරිම මන­රම්. ලතා­වට ඉහළ පහළ සොල­වන නගුටේ අග්ගිස්ස විනා කොටි­යාගේ සිරුරේ සෙසු අංග සෙල­වෙන පාටක් නෑ. එසේ වුවත් කොටි කන් කෙටි එල්ලය ගන්නේ එක් දිසා­වක් වෙතයි. ඒ වලස් මව සහ ඇගේ පැට­වුන් රැඳී සිටින ඉස­ව්ව­ටයි.

ලැග හුන් ඉරි­යව්වේ යම් වෙන­සක් සිදු කළ කොටියා පසු පස ගාත් මත හිඳ ගත්තේ ඉදිරි පස ගාත් යුගල කෙළින් කර ගනි­මින්. අන­තු­රුව දිය කෙම දෙසත්, අවට පරි­ස­රය දෙසත් බැලුම් හෙළුවේ හරිම සෝමා­රි­ක­මක් පෙන්නුම් කර­මින්. දිග ඈනු­මක් හරි­මින් ඇඟ­මැලි කඩා ගැනී­මට ඉදි­රි­යට සහ පසු පසට දිගෑ­දුණේ සිරුරේ හැඩ තල මොන­වට විදහා පාමින්.

ඉන්පස්සේ කොටියා පුලුන් කොට්ට අත් පා තබ­මින් දිය කෙම වෙතට පැමිණ හීන් සීරුවේ තග්... තග්... තග් ... හඬින් වතුර බී යළිත් පෙර සිටි ස්ථාන­ය­ටම පැමිණ හිඳ ගත්තා. අන­තු­රුව ඉදිරි වම් පාදය ලෙව කමින් සහ ඒ පාද­යෙන්ම මුහුණ පිරි­ම­දි­මින් පිරි­සුදු වුණේ නිදි­බර ගතිය පහ­කර ගන්නයි. නැගී සිටි කොටියා දිය කෙම අසල පලු ගසට නගුට ඔස­ව­මින් මුත්‍රා පහ­රක් එල්ල කළේ මේ මගේ සීමාව කිය­න්නාක් වගෙයි. මේ ආකා­ර­යට දිය කෙම හා ඒ ආස­න්නයේ කොටියා විසින් තබන නිය, මුත්‍රා සහ වසුරු සල­කුණු තමයි කොටි­යාගේ වසමේ මායිම් පෙන්වන ලකුණු වෙන්නේ.

එක් වරම වලස් මව සිටි දිසා­වෙන් නැඟී ආ ගොරො­ද්ද­යට කොටි­යාගේ ප්‍රති­චා­රය වුණේ අපි කවු­රු­වත් නොසි­තූ­වක්. පලු ගස මුලට වී ගහේ කඳට මූත්‍රා පාරක් විද එය ඉව කර­මින් රජෙ­කුගේ වෙස් ගෙන සිටි කොටියා එක්ව­රම පලු ගස දිගේ බඩ ගා යමින් ගසේ ඉහළ දෙබ­ල­කට වැදුණේ භය පක්ෂ­පා­ති­වයි. ගොරො­ද්දය නග­මින්ම දිය කෙම වෙත දුව ගෙන ආ වැල­හින්න පලු ගස පාමුල නතර වුණා. ගස දෙස විප­රම් බැලුම් හෙළුවා. ගසේ ඉහළ අතු අතරේ රැඳී සිටි කොටියා ගැන ඉවක් දැනුණු නිසා තමයි මේ විදි­හට වලස් මව හැසි­රෙන්නේ. මොකද ප්‍රධාන වෙන්නේ පුංචි­වුන්ගේ ආර­ක්ෂා­වයි. ඒ හින්දා කොටි­යාට පෙර තමන්ගේ බල පරා­ක්‍ර­මය විදහා පෙන්නා කොටියා බිය වැද්දීම තමයි වලස් මවගේ අර­මුණ. පලු ගහේ කඳ පහුරු ගාමින්, මහ හඬින් හූ තබ­මින්, ගොර­ව­මින් ටික වේලා­වක් හිටපු වලස් අම්මා ආයේ­මත් කැලේට යන්න තීර­ණය කළා. කොටියා කළේ වලස් ගෝර­ණා­ඩුව දිහා පලු ගහ මුදු­නට වෙලා බලා­ගෙන සිටී­මයි. ගස් නගින්න දක්ෂ වලස් මවත් පලු ගස යටට වෙලා කොටියා දිහා බලා­ගෙන ගොර­ව­මින් පලු ගස පහු­රු­ගෑම විනා ගසට නගින්න නම් කොහෙත්ම උත්සාහ කළේ නෑ. ඒ කියන්නේ ගැටු­මක් ඇති කර ගන්න මේ දෙපා­ර්ශ්ව­ය­ටම කැමැ­ත්තක් නෑ.

පුංචි වලස් පැට­වුන් ගේ ආර­ක්ෂාව ගැන හිතපු වලස් අම්මා කොටි­යාත් එක්ක නොගැටී කැලේ දිහා­වට ඇදුණා. ඇය පිටත් වෙලා ටික වේලා­වක් යන­කල්ම කොටියා නෙමෙයි පලු ගහෙන් බිමට බැස්සේ. පස්සේ අඩි­යට දෙකට බිමට පැන ගත්තු කොටියා හණි­කට කැලේට වැදුණේ ගත වු ප්‍රමා­දය ගැන කන­ස්ස­ල්ලෙන් වගෙයි.

කැලේ හැටි ඔයා­කා­රයි. බල­වතා දුබ­ල­යාට යටත්. බලන බලන හැම තැනම ඇත්තේ ඒ කිය­මන සනාථ කරන නිද­සුන්. අන­පේ­ක්ෂිත වලස් - කොටි හමුව මෙබඳු නම් වනයේ ගත කිරී­මට නිය­මිත ඉදිරි දින දෙක තුනේ අපට කුමක් අත්වි­ඳී­මට ලැබේද?

සඳ­මල් රශ්මී ශ්‍රී බුද්ධික

Comments