නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

කබරගොයි මාලය

මා මේ ලියන්නේ අද කටු­බැද්දේ ඇවි­දින මං තීරුවේ ව්‍යායාම පිණිස ඇවිද යන අය නොදන්නා කතා­වකි.

කටු­බැද්දේ පන්ස­ලට යාබද පෙදෙස, මැද බෝක්කුව අසල පෙදෙස හා අප විසූ පන්සල පිටු­පස කුඩු­ව­ම්මුල්ල පෙදෙස කල­කට පෙර වන­යක අසි­රිය ගත්තකි. තැනින් තැන වන වදු­ලින් යුතු වූ මේ පෙදෙස්හි ගෙවල් දොර­ව­ල්ව­ලට වඩා වූයේ හිස් ඉඩම් ය.

අද ඇවි­දින මං තීරුව ඇත්තේ මේ පෙදෙ­සෙහි ය.

එය මායිම් වූයේ ලොකු දිය අග­ල­කිනි. වෙල් යායට දිය සැප­යුණේ එම­ඟිනි. අද ඇවි­දින මංතී­රුව පසෙක ඇත්තේ එය යි.

එකල මම හොඳ කාය ශක්ති­යෙන් යුත් තරු­ණ­යෙක් වීමි. ගෙද­රට වුව­මනා පොල් ගස් නැග කඩා ගත්තේ මා ය. එක­පිට ගස් දෙක­කට නැග පොල් ගෙඩි රැසක් බිම දමා කුරුම්බා ගෙඩි දෙකක් බීමට මම පුරු­දුව සිටි­යෙමි.

දිනක් මම පොල් කැඩී­මට රෙදි වළ­ල්ලත් රැගෙන වත්තේ කෙළ­ව­රට ගියෙමි. එහි පොල් ගස පල­බ­රව තිබිණ. මගේ තනි­යට මද්දු අක්කා මා පසු­ප­සින් ආවා ය.

ගසට නැග ගත් මම ගෙඩි­යක් කඩා බිම දමා මද්දු අක්කා දෙස බැලීමි. ඇය ගෙඩිය ඇහිඳ හඬවා තෘප්ති­මත් මුහුණ මවෙත පෑවා ය.

‘හොඳයි මල්ලියෙ, කඩන්ඩ!’

මා පොල්වල්ලේ ගෙඩි කිහි­ප­යක් බිම දැමුවා පමණි.

‘දබ දබ’ හඬක් කානුව ඇති පැත්තෙන් ඇසිණ. මම පොල් කැඩිල්ල නවතා එදෙස විප­රම් කළෙමි.

කබ­ර­ගොයි දෙන්නෙක් පොර­ක­මින් තර­ග­ය­කට මෙන් පොල් ගස ඇති පැත්තට දිව ආහ. එකෙක් කානුව පැත්තට දිවූ අතර අනෙකා මා නැග සිටි පොල් ගසට නැග ගත්තේ ය.

බියට පත් මද්දු අක්කා ඌ පලවා හැරී­මට කෑ කෝ ගැසුවා ය. ඇගේ කෑගෑ­මෙන් අත­පය විසි කිරී­මෙන් කල­බ­ල­යට පත් කබර ගොයා තව තවත් උඩට නැග්ගේ ය.

කල­බ­ලය ඇසී ගෙදර සිටි අම්මාත් නංගීත් ගස ළඟට ආහ.

‘අනේ පුතේ ඔහොම හිටපං! බහින්ඩ නං එපා!’ අම්මා කෑ ගසා කීවා ය.

මම ගසේ මුදු­නට නැග ගතිමි. අමා­රු­වෙන් එහි අතු අතර රැඳුන මම කබ­රයා තවත් උඩට ඒ දැයි බැලීමි. ඌ පොල් කඳ තරයේ බදා ගෙන උඩ බලා ගෙන සිටියේ ය. මම බිම බැලීමි. ඥාතීහු තුෂ්නි­ම්භූත වී ගස දෙස බලා සිටි­යහ.

ගමේ එක්කෙනා දෙන්නා ද ගස ළඟට එමින් සිටි­යහ. ඔවුන් අත­රින් නැඟුණු ගල් ද පොලු ද අහ­සට විසි විය. කබ­ර­ගොයා තවත් අඩි කිහි­ප­යක් උඩට නැග්ගේ ය. ඒ මදි­වාට සිරුර පුම්බා කළු දිව දෙක එළි­යට දම දමා බාව දඟ දමා පසු­ප­සට පහර එල්ල කළේ ය.

ඉන් පසු බිම සිටියෝ විම­සි­ලි­මත් වූහ. කබ­ර­ගොයා ද කරබා ගෙන සිටියේ ය.

මට බයක් නොදැ­නිණ. මම කර­ටි­යෙහි හිඳ බලා­ගෙන සිටි­යෙමි. අම්මා­ගේත්, සහෝ­ද­රි­ය­න්ගේත් උඩට හැර­වුණු දෑස්වල කඳුළු මට පෙනිණ. ටික­කින් සෑහෙන පිරි­ස­ක­ගෙන් එතැන පිරී ගියේ ය.

ප්‍රැන්සිස් අයි­යාත්, මාෂල් අයි­යාත් කබ­ර­ගොයි මෙහෙ­යුම බාර ගෙන ඇති බව පෙනිණ. ඔවුන් ගේ උප­දෙස් පරිදි පිරිස ගසෙන් සෑහෙන පරිදි ඈතට ගියහ.

මට අමුතු කල්ප­නා­වක් ආවේ ය. පොල් ගසේ තිබූ වියළි අතු දෙකක් අමා­රු­වෙන් ගලවා ගත් මම ඒවා අගි­සි­ව­ලින් ගැට ගසා ගැටය උඩ­ටත් පිති දෙක දෙප­ස­ටත් සිටින පරිදි පරි­ස්ස­මින් අල්ලා ගෙන එය කඳ දිගේ පහ­තට රූටවා එවීමි. මගේ අද­හස හරි ගියේ ය. පොල් අතු දෙකේ ගැටය හරි­යට ම කබ­ර­ගොයා ගේ ගෙල ළඟ හිර වී නතර විය. දැන් එය පෙනුණේ කබ­ර­ගොයා පැලඳූ මාල­යක් මෙනි. දැන් ඌට එහි බරද දරා­ගෙන ගසෙහි එල්ලී සිටී­මට සිදුව තිබේ. සිදු වූයේ නොසිතූ දෙයකි. ඌ පොල් අතු මාලය ද දරා­ගෙන තවත් අඩි කිහි­ප­යක් උඩට නැග්ගේ ය.

මට කේන්ති ගියේ ය. කුරු­ම්බ­යක් කඩා ගත් මම එය උගේ හිසට එල්ල කර පහ­ළට දමා ගැසීමි. එය අහක ගියේ ය. එහෙත් දෙවැනි කුරුම්බා ප්‍රහා­රය සාර්ථක විය.

ඌ ‘ඩොග්’ ගා ගස මුල පත බෑ වුණේ ය. සිහි සුන් වූ අයු­රින් මොහො­තක් වැටුණු තැන ම සිටි ඌ හදි­සියේ ම අව­දිව වේග­යෙන් ඉවත දිව ගියේ ය.

කබ­රයා පිල්ලෑව පෙදෙ­සින් වන වැදුණු පසු අම්මා මට ආයා­චනා කළා ය.

‘දැන් ඉතිං පරි­ස්ස­මට බැහැපං පුතේ!’

මම බැස්සෙමි. මද්දු අක්කා මා අල්ලා ගත්තේ ගෙට කැඳ­වා­ගෙන යන අටි­යෙනි.

රැස්ව සිටි සියල්ලෝ ම සමු­ගෙන යන්නට ගියහ.

කබ­ර­ගොයි මාලය අතී­ත­යට එක් විය.

මෑතක කටු­බැද්දේ ඇවි­දින මං තීරුව ඉදි කෙරෙද්දී වෙලට යාබද කැලෑ එළි­පෙ­හෙළි කිරී­මත් පස් පිර­වී­මත් සිදු විය. එවිට වන පෙත වාස භූමිය කර­ගෙන සිටි කොකුන්, කොර­ව­ක්කන්, පිළි­හු­ඩු­වන් වැනි පක්ෂීහු ඉගිළ ගියහ. කබ­ර­ගො­යින්, ගැර­ඬින්, නයින්, පොළ­ගුන් වැනි උර­ගයෝ අවට නිවෙ­ස්ව­ලට රිංගා ගත් හ.

කබ­ර­ගොයි මාලය මට සිහි­පත් වූයේ කබ­ර­ගො­යකු අපේ ගෙද­රට ආ කල ය.

මොර­ටුවේ, කටු­බැද්දේ, ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


යහළු මිණි මුතු

බාලිකා පාස­ලක හත් වැනි පන්ති­යකි.

එක ළඟ අසුන් ගෙන සිටින මිතු­රියෝ දෙදෙ­නෙකි.

පළමු වැන්නිය සිළු­නිය. දෙවැ­න්නිය නවෝ­දිය.

ඉංගි­රිසි ගුරු­තු­මිය, පන්ති­යට ආවාය.

‘හැමෝම අච්චු­පොත් ගෙනැ­ල්ලද?’ ඇය පන්ති­යෙන් ඇසුවා ය.

සම­හරු ‘ඔව්’ කිය­මින් ‍ෙපාත් පෙන්වූහ.

ඇතැ­මුන් පොත් ගෙනත් නැති බව ඇයට පෙනිණ. ඔවු­නට මතක හිටි­න්නට සුළු දඩු­ව­මක් දිය යුතුය. විනාඩි පහක් පන්ති­යෙන් පිට කළ යුතුය. එවිට හැම­දාම අච්චු පොත ගෙන ඒමට ඔවුන් පෙල­ඹෙනු ඇත. ගුරු­තු­මිය එසේ සිතු­වාය.

‘අච්චු පොත නොගෙනා ළමයි නැගි­ටින්න!’ ඇය නියෝග කළාය.

බිය­මුසු සිනා­වක් දෙතො­ලෙහි රඳවා ගත් සිළුනි සිය දෙනෙත ගුරු­තු­මිය වෙතම එල්ල කර ගනි­මින් නැගී සිටියා ය. එකෙ­ණෙ­හිම නවෝ­දිත් නැගි­ට්ටාය.

ගුරු­තු­මි­යගේ නළල රැලි ගැසී ගියේය. සිළුනි යනු පන්තියේ සිටින ගුණ­ග­රු­කම දැරිය ය. ඇය වග­කීම් පැහැර හරින දැරි­යක නොවේ. ඉංගි­රිසි විෂ­ය­යට හැම වාර­ය­ක­දීම උප­රි­මව ලකුණු ලබා ගන්නා එකම ශිෂ්‍යාව ය. පහළ පන්ති­වල සිට මේ දක්වා ඉහළ නැගී ආ හැම පන්ති­ය­ක­දීම පළමු තැන ලබා ගත්තේ ඇයය. විදු­හ­ල්ප­තිනි කන්‍යා සොහො­යු­රි­ය­ගේත් ඇයට උග­න්වන නුග­න්වන ගුරු­තු­මි­යන් හැම ගේත් ආද­රය දිනා ගත් ශිශ්‍යාව ඇය ය. පාසලේ කලා ප්‍රසං­ග­යේදී ඕග­නය වාද­නය කර­න්නීය. භාෂා, කථික, සිංහල ඉංගි­රිසි රචනා ආදි තර­ග­ව­ලදී පාසල නියෝ­ජ­නය කර­මින් තරග වැද පාස­ලට ජය­ග්‍ර­හණ හිමි­කර දුන් තැනැ­ත්ති­යකි. ඇතැම් වස­ර­ව­ලදී ඉංගි­රිසි දින උළෙල මෙහෙය වන්නේ ඇය ය.

ඒසා සුවි­ශේෂ දැරි­ය­කට දඬු­වම් කිරීම නොකළ යුත්ත­කැයි ගුරු­තු­මි­යට සිතිණි.

‘හා දැන් වාඩි වෙන්න! පාඩම පටන් ගම්මු’ ගුරු­තු­මිය අසුන් ගත්තාය.

දැරියෝ දෙදෙනා ද හිඳ ගත්හ.

පාඩම අව­සන් කළ ගුරු­තු­මිය පන්ති­යෙන් පිටව ගිය හැටියේ සිළුනි නවෝදි ඇම­තු­වාය.

‘නවෝදි, ඔයා ඉංග්‍රීසි අච්චු පොත ගෙනැල්ල තිබුණා නේද?’

‘ඔව් සිළුනි’

‘ඉතිං ඔයා නැගිට්ටේ ඇයි?’

‘ඔයා නැඟි­ටින කොට මට දුක හිතුණා. ඒකයි!’

සිළුනි අද සාමාන්‍ය පෙළින් ඒ නව­යක් ලබා ඉංගි­රිසි මාධ්‍ය විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හදා­ර­මින් සිටියි. නවෝදි සිංහල මාධ්‍ය විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හදා­රයි.

ආද­ණීය දිය­ණි­ව­රුනි, හෙට දිනයේ මේ මරු කතර දයා දියෙන් ‍සිසිල්කර ලනු මැනවි.

බළ­න්ගොඩ, අමු­පි­ටියේ චන්ද්‍ර­පාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්