නව­ග­මුව ගොන්පිට පෙර­හර සරසන පූජනීය ගොන්නු | සිළුමිණ

නව­ග­මුව ගොන්පිට පෙර­හර සරසන පූජනීය ගොන්නු

පෙ‍රහ­රට තියන්නම ලක්ෂ ගණන් වටිනා ගොන්නු

පෙර­හ­රක අසි­රිය ගැන කතා කරන විටෙක පෙර­හරේ ගමන් කළ අලි සංඛ්‍යාව කොප­මණ දැයි විම­සන්නේ පෙර­හරේ අලං­කා­ර­ත්වය සහ ගාම්භී­ර­ත්වය එයින් තීර­ණය කෙරෙන නිසාය. එහෙත් අලින් වෙනු­වට ගොනුන් ගමන් කරන පෙර­හ­රක් පිළි­බ­ඳව අස­න්නට, දකි­න්නට ලැබේ නම් එය කෙනකු පුදු­ම­යට පත් කර­වන කාර­ණ­යක් වනවා නිසැ­කය. එළ ගව­යන් හැට, හැත්තෑ ගණ­න­කින් සම­න්විත මෙම සුවි­ශේෂී පෙර­හර නැර­ඹිය හැකි වන්නේ නව­ග­මුව සිද්ධ පත්තිනි දේවාල පෙර­හ­රේදී ය. පසු­ගිය සඳුදා පැවැති මෙම පෙර­හ­රට එක් කළ ගව­යන්ගේ ගණන හැත්තෑ­ව­කට අධි­කය. ගොන්පිට පෙර­හර නමින් හැඳි­න්වෙන මෙම පෙර­හර දින 3 ක් පැවැත්වේ.

නව­ග­මුවේ සිද්ධ පත්තිනි දේවාල පෙර­හර ඇරැ­ඹෙන්නේ කුඹල් පෙර­හ­රෙනි. එය පැවැ­ත්වෙන්නේ එක් දිනක් පමණි. ඉන්ප­සුව පාවඩ පිට පෙර­හර දින 3 ක් මුළුල්ලේ පැවැත්වේ. පාවඩ පිට පෙර­හ­රට ගව­යන් හෝ අලින් සම්බන්ධ කර ගැනෙන්නේ නැත. එම පෙර­හ­රේදී කපු මහ­තුන් ඇතුළු සැමගේ ගමන පයිනි. මෙම පෙර­හර දෙකම ගමන් ගන්නේ නව­ග­මුව දේවාල භූමියේ ඇතු­ළත ය. පිට­තට පැමිණ වීදි සංචා­රය කෙරෙන්නේ නැත. ඉන් අන­තු­රුව දින තුනක් පුරා පැවැ­ත්වෙන්නේ ගොන්පිට පෙර­හර ය. එය ගොන්පිට රන්දෝලි පෙර­හර ලෙස හැඳින්වේ. වීදි සංචා­රය කරන්නේ ගොන්පිට රන්දෝලි පෙර­හර ය.

නව­ග­මුව රජ­මහ විහා­ර­ස්ථා­නයේ ප්‍රධාන වාහ­ල්ක­ඩින් ඇරැ­ඹෙන ගොන්පිට පෙර­හර, ශ්‍රී සුම­න­තිස්ස මාවත ඔස්සේ විහාර මාව­තට පිවිස දේවාල පිටු­පස මාර්ග­යට අව­තීර්ණ වී නැව­තත් රජ­මහ විහා­ර­ස්ථා­න­යට පැමි­ණීම මෙම පෙර­හරේ ගමන් මාර්ගය ලෙස දැක්විය හැකි ය. ගොන්පිට පෙර­හර අව­සන් වූ පසුව අලි ඇතුන් සහිත පෙර­හර ආරම්භ වේ. මෙම අලි ඇතුන් සහිත අව­සාන රන්දෝලි පෙර­හර දෙවැනි වන්නේ මහ­නු­වර දළදා පෙර­හ­රට පමණි. එහෙත් නව­ග­මුවේ සිද්ධ පත්තිනි දේවාල පෙර­හරේ සුවි­ශේ­ෂි­ත්වය පළ වෙන්නේ ගොන්පිට පෙර­හ­රෙනි. ලංකාවේ ගොන්පිට පෙර­හ‍රක් පැවැ­ත්වෙන එකම තැන නව­ග­මුවේ සිද්ධ පත්තිනි දේවා­ලය ලෙස හැඳි­න්වීම වර­දක් නොවේ.

නව­ග­මුවේ සිද්ධ පත්තිනි දේවාල පෙර­හ­රට ගොන්පිට පෙර­හ­රක් ඇතු­ළත් වීමට බලපෑ නිධාන කතා­වක් තිබේ. ක්‍රි.ව. 114 - ක්‍රි.ව. 135 අතර කාල වක­වා­නුවේ රජ කළ 1 වැනි ගජබා රජ­තුමා පත්තිනි දේවිය උදෙසා නව­ග­මුවේ දේවා­ල­යක් ඉදි කරවූ බව පොත පතෙහි සඳ­හන් වේ. නව­ග­මුව, කඩු­වෙල යන ප්‍රදේශ කෘෂි­ක­ර්මා­න්ත­යට අයත් ප්‍රදේශ වේ. එදා ගොවි­තැ­නට, කිරි වෙළෙ­ඳා­මට මෙන් ම කර­ත්ත­ව­ලට ගව­යන් යොදා ගැනීම බහුල වශ­යෙන් සිදු­වූයේ අතී­තයේ කෘෂි­ක­ර්මා­න්තය මෙන් ම දියු­ණුම ප්‍රවා­හන මාධ්‍ය කරත්ත වූ නිසා ය. මීට සිය­වස් ගණ­න­කට පෙර මෙම ප්‍රදේ­ශයේ ජීවත්වූ ගව­යන් කුර රෝග­යට ගොදුරු වීමෙන් ගවයෝ මිය ගියහ. වසං­ග­ත­යක් ලෙස කුර රෝගය පැතිර ගිය බැවින් එදා විසූ අයට සිය ජීව­නෝ­පාය කර­ගෙන යෑමට හැකි­වූයේ නැත. ගව­යන් මිය යද්දී කෘෂි­කා­ර්මික කට­යුතු, කිරි ගොවි­තැන අඩ­පණ විය. කර­ත්ත­ව­ලට බැඳී­මට ගව­යන් නැති විය. ගම්වා­සීන් නව­ග­මුවේ සිද්ධි පත්තිනි දේවා­ල­යට ගොස් පත්තිනි මෑණි­යන්ට සිය දුක්ගැ­න­විල්ල ඉදි­රි­පත් කළේ එබැ­විනි. ගව­යන් බිලි ගන්නා වසං­ග­තය දුරු කළ­හොත් දේව දාන­යක් දී සධා­තුක කර­ඬුව සහ වස්ත්‍රා­භ­රණ ගව­යන් පිට වැඩම කර­වන බවට පත්තිනි දේවිය ඉදි­රියේ මෙම ගම්වා­සීහු පොරොන්දු වූහ. අව­සා­න­යේදී ගවයෝ සුව­පත් වූහ. වසං­ග­තය පහ විය. ගව අයි­ති­ක­රුවෝ ඇතුළු ගම්වා­සීහු පොරොන්දු වූ ආකා­ර­යට ම ගොන් පිට පෙර­හ­රක් පව­ත්ව­මින් සධා­තුක කර­ඬුව සහ වස්ත්‍රා­භ­රණ ගොන් පිට වැඩම කර­වීම වාර්ෂි­කව සිදු කළහ.

මෙම පුරා­වෘ­ත්ත­යම මඳක් වෙනස් ආකා­ර­ය­කට ද ජන­ප්‍ර­වා­ද­යෙහි පවතී. එහි සඳ­හන් වන්නේ පත්තිනි දේවිය රැක බලා ගනි­මින් පත්තිනි දේවිය වෙනු­වෙන් පෙනී සිටි වන්නි දේවි දේව­තා­වන් විසින් ගොවි­තැන් කට­යුතු සශ්‍රීක කර ගැනීම උදෙසා ප්‍රදේ­ශයේ ගොවි පිරි­සට ගව­යන් දුන් බව ය. එමෙන් ම පත්තිනි දේවිය උදෙසා පුද පූජා පැවැ­ත්වී­මට ද උප­දෙස් දී තිබිණි. අඛ­ණ්ඩව එම පුද පූජා පව­ත්වා­ගෙන එනු ලැබූව ද කාල­යක් යන විට ගම්මුන්ට එය මඟ හැරිණි. මේ අත­ර­වා­ර­යේදී ගව­යන් වසං­ගත රෝග­ය­කට ගොදුරු වී මිය යෑමෙන් ගම්වා­සීන්ගේ ආර්ථි­කය කඩා වැටිණි. ගොවි­යන් විසින් ගව­යන්ගේ මර­ණ­යට හේතුව කුම­ක්දැයි කිය­මින් සාකච්ඡා කරන විට පත්තිනි දේවි­යට පුද පූජා කට­යුතු නොපැ­වැ­ත්වීම ඊට හේතුව ලෙස සැල­කිණි. එබැ­වින් මහා පරි­මා­ණයේ දාන­යක් පිරි­නමා, ගමේ විසූ ගව­යන් කැලණි ගඟෙන් නහවා කහ දියර ඉස ශුද්ධ පවිත්‍ර කර පත්තිනි දේවි­යගේ වස්ත්‍රා­භ­රණ ගව­යන්ගේ පිට මත තබා දේවා­ලය වටා යමින් පත්තිනි දේවි­ය­ගෙන් සමාව ඉල්ලූ බවත් ඉන්ප­සුව ගව­යන් වසං­ගත රෝග­යෙන් මිදී නිරෝ­ගීව වාසය කළ බවත් එකී ජන­ප්‍ර­වා­දයේ සඳ­හන් වේ. මෙම පෙර­හර වාර්ෂි­කව පැවැ­ත්වෙන්නේ ඉන්ප­සුව ය.

පෙර­හරේ ගමන් කරන සෑම ගව­ය­කු­ගේම පිට සතර මහා දේවා­ලයේ දේවා­භ­රණ තැන්පත් කරන්නේ ගව­යන් හැට හැත්තෑ ගණන ගැන නොත­ක­මිනි‍. ගව­යන්ගේ සංඛ්‍යාව කොප­මණ වුවද සෑම ගව­ය­කු­ගේම පිට මත දේවා­භ­රණ තැබෙනු ඇත. මෙම පෙර­හ­රට ගව­යන් පම­ණක් යොදා‍ ­ගැ­නෙන අතර එළ­දෙ­නුන් සහ­භාගි නොකෙරේ.

ගොන්පිට පෙර­හරේ ගමන් ගන්නා ගව­යන් නහවා පිරි­සුදු කර මල්මාලා පළඳා, අංව­ලට කොපු ගසා අලං­කාර සළු­ව­කින් සිරුර වසා­ගෙන යන්නේ මහත් උජා­රු­වෙනි. දිගු අං සහිත හොඳින් වැඩුණු පුෂ්ටි­මත් ගව­යන් මේ සඳහා තෝරා ගැනෙයි. ඒ නිසා ම අද වන­විට මෙම ප්‍රදේ­ශය සහ ඒ අවට ගම්වල ගව­යන් ඇති කරන්නේ පෙර­හ­රට සහ­භාගි කර­වීමේ චේත­නා­වෙනි. කොහොම නමුත් වර්ත­මා­නයේ ගොවි­තැන් කට­යුතු සහ කරත්ත සඳහා ගව­යන් යොදා ගැනෙන්නේ නැති තරම් ය. ගව­යන් ඇති කිරීම විරල යුග­යක මෙම ප්‍රදේ­ශයේ පෙර­හ­රක් වෙනු­වෙන් පිට­ර­ටින් ගෙන්වූ ලක්ෂ ගණන් වටිනා ගව­යන් ඇති දැඩි කිරීම ද අපූරු කතා­වකි.

හර්ෂා සුගතදාස
ඡායා­රූප - චමින්ද නිරෝෂණ

අදහස්