කොන්ය­ක්ව­රුන්ගේ පච්චා කලාව | සිළුමිණ

කොන්ය­ක්ව­රුන්ගේ පච්චා කලාව

ගැහැ­නි­ය­කගේ සම මත පච්ච කෙටීම ආරම්භ කරන්නේ ඈ අවු­රුදු 8ත් 10ත් අතර වය­සට පිවිසි විටයි. පිරි­මින්ගේ දේහ මත පච්චා කෙටීම ඇර­ඹෙන්නේ ඔවුන්ට වයස අවු­රුදු 13ක් 15ක් පමණ වන විටය.

විවිධ සිරිත් විරිත්, සම්ප්‍ර­දා­යන් මෙන්ම එක­කට එකක් වෙනස් සංස්කෘ­තීන් තුළ ජීවත් වන ජන කොටස් ඉන්දි­යාවේ වෙසෙති. ඒ අය අතර කෙන්යක් ගෝත්‍රි­ක­යන්ට හිමි වන්නේ සුවි­ශේෂ තැනෙකි. දෙලක්ෂ තිස් දහ­ස­කට ආසන්න පිරි­සක් වන කෙන්ය­ක්ව­රුන් අපට හමු­වන්නේ ඉන්දි­යාවේ නාග­ලන්ත ප්‍රාන්ත­යෙහි කඳු­කර පෙදෙ­ස්ව­ල­දීය. නාග­ල­න්තය, ගෝත්‍රික සමාජ 16ක පමණ නිජ­බිම හැටි­යට සල­ක­න්නට පුළු­වන. එහි හුද­කලා කඳු­කර පරි­ස­ර­ය­න්ගෙන් විචි­ත්‍ර­වත් වුණු ගම්මාන, කෙන්යක් ගෝත්‍රික ජන­යාගේ දෛනික ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑමට දෙවි­යන් දුන් ත්‍යාග­යක් බඳු ය.

කෙන්යක් ගෝත්‍රි­ක­යන් කෘෂි­කා­ර්මික ජන ජීවි­ත­යක් ගත කරන පිරි­සකි. මේ කෘෂි­කා­ර්මික ජන ජීවි­ත­යට බද්ධ වුණු ඔවුන්ගේ ඇතැම් සම්ප්‍ර­දා­යන්, සිරිත් විරිත්, යාතු කර්ම සහ ද්වාර කර්ම විධි සාමාන්‍ය ජනයා පුදු­ම­යෙ­නුත් පුදු­ම­යට පත් කර­වන සුලුය. මුහුණු සහ දේහ පච්ච­ව­ලින් අලං­කාර කර ගැනීම එහිලා කැපී පෙනෙ­නම අංග­යකි.

පච්ච කෙටීම සඳහා පාවිච්චි කරන්නේ ඔවුන්ම සක­සා­ගත් ඊට සරි­ලන අන්දමේ “පනා­වකි”. මේ පනාව නිමවා තිබෙන්නේ මා වේවැල් කටු එකට තබා ශාක කෙඳි­ව­ලින් බැඳ ගැනී­මෙනි. පච්චා කෙටීමේ කාරි­යට අවශ්‍ය තීන්ත නිප­දවා ගැනෙන්නේ ශාක රෙසීන හෙවත් ගස්වල ලාටු­ව­ලිනි. පනාව මෙන්ම තීන්ත සකසා ගැනී­මත් පහසු නැත. ගෝත්‍රික පච්චා කලා­ක­රු­වන්ට කැන්ව­ස­යක් බවට පත්වන්නේ රැහේ සෙස්සන්ගේ සමය. කෙනෙ­කුගේ සම මත පළ­මු­වෙන්ම පච්ච­යක් යෙදීම, ඔවුන්ට අනුව සම­ර­න්නට තරම් අගනා දෙයකි. හර­කකු හෝ ඌරකු හෝ මරා ඔවුහූ ඒ අව­ස්ථාව සම­රති. ඊට සහ­භාගී වන පිරි­සට සංග්‍රහ කිරී­මට රතු හාලේ බෙරි බත් ද සහ­ල්ව­ලින් තැනූ බීර ද ගැනේ.

පච්ච ගැසීම ආරම්භ වන­විට, ඊට භාජ­නය වන අයගේ දෙම­වු­පියෝ ද, මිතුරෝ ද, ඔහු වටා උක්කු­ටි­ක­යෙන් වාඩි වෙති. පච්චය කොටන තුරු ඔහුගේ අත් පා කෙළින් කර අල්ලා ගැනීම ඒ අයගේ රාජ­කා­රි­යකි. තවත් සම­හර අව­ස්ථා­ව­ලදී ඔවුහූ ඔහුගේ මුඛ­යට රෙදි කඩ­මාලු හිර කර­මින් ඔහුගේ කෑගෑම සහ කෙඳි­රිය නව­ත්ව­න්නට උත්සාහ කර­න්නෝය. පච්ච­යක් කොටන අත­ර­තු­රදී ඊට භාජ­නය වන්නා වේද­නාව, කෑගෑ­ම­කින් හෝ කෙඳි­රි­ය­කින් හෝ පිට කිරීම කොන්ය­ක්ව­රුන් සල­කන්නේ නිව­ට­ක­මක් හැටි­යට ය.

කොන්ය­ක්ව­රුන්ගේ පච්චා මෝස්තර ඔවුන්ගේ ජන සමා­ජ­ය­ටම ආවේ­ණික වූ ඒවාය. ඇතැම් විට ඒවා­යෙන් ඔවුන්ගේ තත්ත්වය, ජීවි­තයේ විවිධ අවධි, ජය­ග්‍ර­හණ ආදිය පවා පිළි­බිඹු කෙරේ. සමා­ජයේ වංශ­ව­තුන් ලෙස පිළි­ගැ­නෙන අයගේ, රණ බිම දස්කම් පෑ අයගේ වගේම විවා­හක සහ අවි­වා­හක ස්ත්‍රීන්ගේ ශරීර මත කොටනු ලබන පච්චා එකි­නෙ­කට වෙනස් ය. මේ නිසා කොන්ය­ක්ව­රුන්ගේ පච්ච, ඒ එක් එක් පුද්ග­ලයා පිළි­බඳ හොඳ අර්ථ කත­න­යක් ලබා­දෙන සන්නි­වේ­දන මාධ්‍යක් හැටි­යට සල­ක­න්නට පුළු­වන. කෙසේ වුවත් ගැහැ­නි­ය­කගේ සම මත පච්ච කෙටීම ආරම්භ කරන්නේ ඈ අවු­රුදු 8ත් 10ත් අතර වය­සට පිවිසි විටයි. පිරි­මින්ගේ දේහ මත පච්චා කෙටීම ඇර­ඹෙන්නේ ඔවුන්ට වයස අවු­රුදු 13ක් 15ක් පමණ වන විටය. කොන්ය­ක්ව­රුන්ගේ පච්චා කලාව වඩාත් හොඳ ප්‍රකා­ශන මෙව­ල­මක් වන්නේ කොන්ය­ක්ව­ර­යකු අතින් සතු­රකු ඝාත­නය කෙරුණු අව­ස්ථා­ව­කයි.

කොන්ය­ක්වරු රණ­කා­මීහු ය. ඔවුන් ප්‍රති­වා­දි­යකු මට්ටු කරන්නේ ප්‍රති­වා­දි­යාගේ හිස සිරු­රෙන් සිඳ අතට ගැනී­මෙනි. ඒ විනා­ශය කරන තුරු කොන්ය­ක්ව­ර­යකු සටන් කරන්නේ වැඩි­පු­රම හිස භාවි­ත­යට ගනි­මිනි. පිළි­ම­ල්ල­ව­යාගේ හිස දෑතින් දරා­ගෙන තම සමා­ජ­යට පැමි­ණෙන කොන්ය­ක්ව­ර­යකු සම්මා­නිත රණ ශූර­යෙකි. ප්‍රති­වා­දි­යාගේ හිසෙන් වෑහෙන රුධි­රය සෞභා­ග්‍ය­යත්, බව බෝග වඩා ගැනීමේ වාසි­යත් ළඟා කර­තැයි කියා ඔවුහු සල­කති.

ප්‍රති­ම­ල්ල­ව­යන්ගේ හිස් රැගෙන කෙන්යක් සමා­ජ­යට වදින සාමා­ජි­ක­යන් වෙනු­වෙන් වෙනම යාතු කර්ම, සම්ප්‍ර­දා­යන් සහ චාරිත්‍ර වාරිත්‍ර පැවැත් වේ. එහිලා මුල් වන එක් අංග­යක් වන්නේද යට කී පච්ච කලා­වයි. එවැනි අව­ස්ථා­ව­කදී කෙන්යක් විරු­ව­කුගේ සිරුර මත දිය­ම­න්ති­වල හෝ ලොසි­න්ජ­ර­වල හෝ හැඩ­යන් පච්ච­යට නැඟේ. පළ­මු­වෙන්ම පච්ච සඳහා භාජ­නය කෙරෙන්නේ රණ විරු­වාගේ මුහු­ණයි. අන­තු­රුව බෙල්ල සහ අව­ශේෂ ශරී­රාංග පච්ච සඳහා විව­ර­ණය වේ.

කොන්ය­ක්ව­රුන්ගේ දික් ගෙවල් බලන්න ලස්ස­නය. ඒවා­යෙහි ඇතු­ළත අඳුරු මුත් බිත්ති මත පවුලේ ‘රණ විරු සම්මාන’දක්නට ලැබේ. කොහොම වුණත් ඔවුන් අතින් ඝාත­න­යට ලක්වුණු සතු­රන්ගේ හිස් කබල ඒ නිවෙ­ස්වල බිත්ති මත අද දක්නට ලැබෙන්නේ නැත. එසේ වුවත් උණ ලීව­ලින් කරන ලද අලං­කෘත සැර­සිලි මෙන්ම සත්ත්ව හිස් කබල නම් ඒ නිවෙ­ස්වල සුලභ ය.

කෙන්යක් ගෝත්‍රික සමා­ජ­යෙහි එදා සිටම දැකිය හැකි වුණු මේ රණ ශූර­ත්වය සහ පච්ච කලාව අද නිලී­නව යමින් පවතී. එයට ප්‍රධා­නම හේතුව ඔවුන් බාහිර ලෝකයේ බල­පෑ­ම්ව­ලට යට­ත්වීම ය. ආපසු හැර­විය නොහැකි තරමේ ප්‍රබල බල­පෑ­මක් එල්ල­වුණේ එක්ද­හස් අට­සිය ගණ­න්ව­ලදී එහි ළඟා­වුණු මිෂ­නා­රී­ව­රු­න්ගෙනි. ඔවුහු නාග­ල­න්තයේ කෙන්ය­ක්ව­රුන්ගේ නිජ­බි­ම්ව­ලට සමීප ප්‍රදේ­ශ­වල පාසල් ආරම්භ කළහ. ක්‍රිස්ති­යානි දහම ව්‍යාප්ත කිරී­මට යුහු­සුලු වූවෝය. ඉන්දි­යාව, බ්‍රිතා­න්‍ය­යයේ යටත් විජි­ත­යක්ව පැවැ­ති­යෙන් 1935 පමණ වන­විට කොන්යක් සමා­ජ­යට බල­පාන පරිදි හිස් දඩ­යම හෙවත් සතු­රන්ට හිසෙන් පහ­ර­දීම සහ සතු­රාගේ හිස සිඳීම තහ­නම් කරන ලදී. වත්මන් කොන්යක් ගෝත්‍රික සමා­ජ­යෙන් සිය­යට අනූ අටක පිරි­සක් ක්‍රිස්ති­යානි ආගම අද­හති. කොන්යක් සමා­ජයේ සංස්කෘ­තික අන­න්‍ය­තා­වන් තව­මත් ඉති­රිව පව­තින්නේ අද ජීවත් වන විය­පත්ම පිරිස අත පම­ණකි. ඔවුන්, සිය සංස්කෘ­තික අන­න්‍ය­තාව දරණ ඒ සමා­ජයේ අව­සන් පුරුක් බව මානව විද්‍යා­ඥයෝ පෙන්වා දෙති.

අදහස්