කඩ­වර දවල්ට දෙවි­යෙක් රෑට යකෙක් | සිළුමිණ

කඩ­වර දවල්ට දෙවි­යෙක් රෑට යකෙක්

නැඟ එන හිරු රැසින් නැහැ­වෙ­මින් කලා වැව ඉහ­ත්තාව දෙසට ඇදෙන ධීවර බෝට්ටු රැසකි. පෙරදා සවස එලූ දැල්වල පැට­ළුණු මාළු යළි නොඑන ගම­නට සුදා­න­මින් සිටිති. කෙනෙ­කුගේ ජීවි­තය සරි කර ගැනීම වෙනු­වෙන් තවත් කෙනෙ­කුගේ ජීවි­තය උදු­රා­ගන්නා ලෝකය රුදු­රුද, සොඳුරු ද යන්න විම­සී­මට සිත ඉඩ නොදෙයි. එහෙත් ප්‍රබ­ලයා විසින් දුබ­ලයා ගොදුරු කර ගන්නා සොබා­ද­හමේ නීතිය අකු­රක් නෑරම පිළි­ගැ­නී­මට අපට සිදුවේ. ඊළඟ නිමේ­ෂයේ අවි­නි­ශ්චිත ජීවි­ත­යද රැගෙන යන දිගු ගම­නක කොට­ස්ක­රු­වන් වූ අපි දර්ශ­න­ප­ථය වෙනස් කිරී­මට උත්සාහ ගතිමු.

බලා­පො­රො­ත්තු­වෙන් සිටි දුර­ක­ථන ඇම­තුම ලැබෙන බව කිය­මින් දුර­ක­ථ­නය නද දෙයි. මම ඇම­තුම සම්බන්ධ කර­ග­තිමි. ඒ අද දවසේ අපට මඟ පෙන්ව­න්න­ටද, නවා­තැන් සප­ය­න්න­ටද පොරොන්දු වූ ගාමිණී එදි­රි­සිංහ මහතා අප සොයා පැමිණ සිටී.

“අපි මුලින්ම අවු­ක­නට යමු… පිට­වා­නත් බලා­ගෙ­නම…”

කලා­වැවේ වැව් බැම්ම දිගේ වැටී ඇත්තේ තෝනි­යා­ගල සිට ගලේ­වෙල දක්වා විහි­දෙන බී 243 මාර්ග­යයි. මේ මාර්ගයේ දර්ශ­නී­යම ඉසව්ව ලෙස හැඳි­න්විය හැක්කේ කලා­වැව සහ බළලු වැව බැම්ම දිගේ වැටී ඇති මාර්ග කොට­සයි. කලා­වැවේ බැම්ම කිලෝ­මී­ටර හත­රක් දිගය. ඉන්ප­සුව හමු­වන්නේ පිට­වා­නයි. ඉන් අන­තු­රුව හමු­වන බළ­ලු­වැව බැම්ම තවත් සැත­පු­ම­කට වඩා දිගය. කුරු­ණෑ­ගල දඹුල්ල හරහා අනු­රා­ධ­පු­ර­යට යන්නට කැමැති සංචා­ර­ක­යෙ­කුට විකල්ප මාර්ග­යක් ලෙස භාවිතා කළ හැකි මේ මාර්ගය දිගේ අපි වැව් සිරි නර­ඹ­මින් ඉදි­රි­යට ගියෙමු.

කලා­වැව ආශ්‍රි­තව පුද පෙත් ලබන දේශීය දෙවි­ව­රුන් කිහිප දෙනෙකි. උපු­ල්වන්, අයි­ය­නා­යක, කඩ­වර සහ පණම් බණ්ඩාර දෙවි­යන් එසේ පුද පෙත් ලබන දේශීය දෙවි­ව­රුන්ය. හින්දු දෙවි­යකු වන ගණ දෙවි­යන් උදෙ­සාද මේ ඉසව්වේ පුද පුජා පැවැත්වේ. කලා­වැව් බැම්මේ යන අපට පළ­මුව උත්ප­ල­වන්න විෂ්ණු දේවා­ල­යත්, ගණ දෙවි කෝවි­ලත්, කඩ­වර දේවා­ල­යත්, අයි­ය­නා­යක දේවා­ල­යත් හමුවේ. නමුත් පණම් බණ්ඩාර දේවා­ලය ඇත්තේ තර­මක් ඈතින් පිහිටි යටි­ග­ල්පොත්ත ගමේය. ආපසු එන ගම­නේදී කඩ­වර දේවා­ල­යට ගොඩ­ව­දින අර­මු­ණෙන් අපි අවු­කන විහා­රය බලා ගියෙමු.

වැවක් යනු රට­වැ­සි­යන්ගේ ලෞකික අර­මුණු වෙනු­වෙන් නිර්මා­ණය වන ආයෝ­ජන කලා­ප­යකි. වැවේ රැස්වන ජල­යෙන් සිය නිෂ්පා­දන ධාරි­තාව වැඩි­ක­ර­ගන්නා වැසියා ආර්ථික අතින් සමෘ­ද්ධි­මත් වේ. බුද්ධ දර්ශ­නයේ සාරය උකහා ගත් බුදු දහ­මෙන් හික්මීම උගෙන ගත් සමා­ජ­යට අධ්‍යා­ත්මික සමෘ­ද්ධිය ගැන මෙනෙහි කිරීමේ අව­ස්ථාව ලබා­දීමේ අර­මු­ණෙන් වැව ආස­න්නව විහා­ර­යක් ඉදි­කි­රී­ම­ටද අතීත රජ­වරු කට­යුතු කළහ. අභය වැව අස­බඩ ස්වර්ණ­මාලි චෛත්‍ය­යද, තිසා වැව ආස­න්නව ඉසු­රු­මු­ණි­යද ඉදි­වූයේ ඒ නිය­මය අනු­වය. පසු­කා­ලී­නව රජවූ ධාතු­සේන රජුද සිය මහා වාරි කර්මා­න්තය අව­සා­නයේ විහාර කර­ව­න්නට කට­යුතු කළේය.

කලා­වැව බැම්මෙන් ඈත්ව කිලෝ­මී­ටර හත­රක් පමණ ගිය පසු අවු­කන පිළි­මය හමුවේ. අවු­කන පිළි­මය තරම් එහි වූ විහා­ර­ස්ථා­නය පැරණි නැත. මැත­කදී ඉදි­කළ බව හඳු­නා­ගත හැකි ධර්ම ශාලා­වක්ද, විහාර මන්දි­ර­යක්ද, චෛත්‍ය­යක්ද ඇති එහි දැඩි­මුණ්ඩ දෙවි­යන් සහ පත්තිනි දේවිය ප්‍රමුඛ දෙවි­ව­රුන් වෙනු­වෙන් වෙන්වූ දේවා­ල­යක්ද වේ.

ලේඛන වල සඳ­හන් වන පරිදි අවු­කන බුදු පිළි­මයේ උස මිටර් 11.36කි. චන්ද්‍රා වික්‍ර­ම­ග­මගේ මහතා සිය කෘතියේ දක්වන පරිදි පිහිටි කළු ගලෙහි බහු­උ­න්නත ක්‍රම­යට සම­භංග ඉරි­ය­ව්වෙන් ඉදි කළ මෙම පිළි­ම­යෙන් අභය මුද්‍රාව නිරූ­ප­ණය වෙයි. ඇඳුම, තනි­පට සිවුර, අඳ­නය, සහ පටිය යන තුනෙන් සම­න්විත ය. සිවුර තනි රැල්ලක් සේ මතු­කොට ඇති නිසා මෙය අනු­රා­ධ­පුර යුග­යට අයත් පිළිම කලාවේ විශේෂ ලක්‍ෂ­ණ­යක් බව ද ඔහු පව­සයි.

අවු­කන පිළි­මය සමඟ විහා­ර­යක් ඉදි­ක­ර­න්නට කට­යුතු නොකළේ ඇයිද යන්න විම­සිය යුතු­යැයි අප තීර­ණය කළෙමු. ඒ අනුව ගාමිණී එදි­රි­සූ­රිය මහතා අපට ප්‍රදේ­ශයේ ඉති­හා­සය ගැන මනාව දත් පාසල් ගැරු­ව­ර­යෙකු වන උණ­ගො­ල්ලෑව පදිංචි අජිත් කුමාර ජය­සිංහ මහතා සම්බන්ධ කොට දුන්නේය. ඔහු අප කැඳ­වා­ගෙන ගියේ උස්ගල නම් ගම­ටය.

තම මාමා වූ මහා­වං­ශය ලියූ “මහා­නාම” හිමි­යන්ගේ උප­දෙස් අනුව කලා­වැව විහා­රය කර­න්නට ධාතු­සේන රජ­තුමා මුලින්ම උත්සහ කළේ කලා­වැ­වට උතු­රින් පිහිටි ස්ථාන­ය­කය. එහි විහා­රය කරවා අව­සා­නයේ, යාබ­දව පිහිටි ගල් කන්දක හිටි පිළි­ම­යක් නෙළ­න්න­ටද එතු­මාට සිත්විය. වැව් බැම්ම තැනී­මට අවශ්‍ය මහා කළු­ගල් කුට්ටි කළ දක්ෂ ගල්ව­ඩු­වන්ගේ කලා හැකියා උරගා බැලී­මට අවශ්‍ය නිසාත්, ඒ වන­විට පූර්ව­ගාමී රජෙකු එවන් කලා නිර්මා­ණ­යක් නොකළ නිසාත්, සිය වැවේ පැවැත්ම සහ චිර­ස්ති­ථිය අර­මණු කොට සිදු කරන පූජා­වක් ලෙසත් එවන් පිළි­ම­යක් නෙළීමේ අව­ශ්‍ය­තාව මතු­ව­න්නට ඇත.

එහෙත් අවශ්‍ය සැල­සුම් සකසා දළ ආකෘ­තිය අනුව ගල් පර්ව­තය හැඩ කිරී­මට උත්සාහ ගැනී­මේදී එහි වූ අභ්‍ය­න්තර දෙද­රා­යා­ම­කින් බුදු පිළි­මයේ හිස වෙනු­වෙන් වෙන්කළ කොටස කැබැලි වී ගොස් ඇත.

“ධාතු­සේන රජ­තුමා වැව හදන කාලේ නැව­තිලා හිටියේ උස්ගල. එතු­මාගේ රාජ­සබා මණ්පය හැටි­යට සැල­කෙන ස්ථාන­යක නට­ඹුන් තව­මත් උස්ගල කැලේ ඇතුළේ තියෙ­නවා. කලා­වැවේ ගිල්ම වටේ විහා­රා­රාම දාහ­තක් ධාතු­සේන රජ­තුමා කර­වලා තියෙ­නවා. ප්‍රධාන විහා­රය තමයි උස්ගල. චාම­ර­ගල, ගල්ළි­ඳ­යාය, ගල්කි­රි­යා­ගම විහාර මේ විහාර දාහ­තට අයත්. මෙතන ගල්කුළ දෙද­රලා ගියාට පස්සේ තමයි අවු­කන ගල්කුල තෝර­ගෙන එතැන පිළි­මය කෙරුවේ. එතැන විහා­ර­යක් නොකෙ­රුවේ, ඒ පිළි­ම­යට අදාළ විහා­රය උස්ගල හැදුව නිසයි.”

අජි­ත් කු­මාර මහ­තාගේ පැහැ­දිළි කිරිම අනුව අවු­ක­නට පිළි­ම­යක් මිසෙක විහා­ර­යක් ඉදි නොවූ හේතුව තහ­වුරු කර­ගත හැකි විය.

ඊළ­ඟට අප ගියේ කඩ­වර දේවා­ල­ය­ටය.දහ­ව­ලට දෙවි­යෙකු ලෙස හැසි­රෙන කඩ­වර රාත්‍රී යාමයේ යකෙකු ලෙස හැසි­රෙන බව අපට කිවේ විජි­ත­පුර විෂ්ණු දේවා­ලයේ කපු­ම­හතා වන ඩබ්ලිව. එම්. සෙනෙ­වි­රත්න මහ­තාය. කඩ­වර යනු පුද දෙනු ලබන ඕනැම දෙයක් පිළි­ගන්නා, හොඳ හෝ නරක ඕනෑම ඉල්ලී­ම­කට ඇහු­ම්කන් දෙන, අපේක්ෂා සඵල කරන දෙවි­යෙකු බව ඔහු පැවැ­සීය.

කඩ­වර දෙවි­යෙකු සහ යකෙකු ලෙස ආකාර දෙක­කට හැඳී­න්විම ගැන අපට විස්තර කළේ කඩ­වර දේවා­ලයේ කපු මහ­තාය. එය පසු­ගිය සතියේ සට­හන් කළ කඩ­වර කතා­වේම දිගු­වකි.

කලා­ඔය නිම්නයේ සංචා­ර­යක යෙදෙන රජු ඇතුළු පිරිස වෙනු­වෙන් දඩ­යමේ යන වැද්දාට ‘මුවන් සමඟ වනයේ සැරි­ස­ර­මින් නිධා­න­යක් රකින යකෙකු’ලෙස පෙනෙන මිනි­සාගේ සල­කුණු අනුව ස්වභා­වික තටා­ක­යක් සොයා යන රජු එහි වැවක් කර­වී­මට තීර­ණය කරයි. වන­ගත ප්‍රදේ­ශය හොඳින් දන්නා වන­ගත මිනි­සාට බල­තල පව­රන රජ­තුමා ඔහුගේ සහාය වැව් කර්මා­න්තය වෙනු­වෙන් උප­රි­මව යොදා­ගනී. වැවේ ඉදි­කි­රීම් කට­යුතු අව­සන් වීමෙන් පසුව එම වැව ආරක්ෂා කිරීමේ කට­යුත්ත පව­ර­න්නේද මේ මිනි­සා­ටය. ඔහුට “සෙනෙ­වි­රත්” තන­තු­රක්ද පිරි­න­මයි.

රජුගේ කැමැත්ත සහ වැව ආරක්ෂා කිරිමේ වග­කීම මේ මිනි­සාට ලැබීම ගැන රාජ්‍ය නිල­ධා­රීන් පසු­වන්නේ නොස­තු­ට­කිනි. එහෙත් නිසි ලෙස වග­කීම ඉටු­ක­රන මේ මිනිසා වැව් දියෙන් කුඹුරු අස්වද්දා ප්‍රදේ­ශ­යම සශ්‍රික කර­න්නට මූලි­ක­ත්වය දෙයි. කුම­න්ත්‍ර­ණ­ක­රු­වන් අවස්ථා කිහි­ප­ය­කම වැව බිඳ දැමි­මට උප­ක්‍රම යොදයි. එහෙත් මේ මිනි­සාගේ සූක්ෂම බව නිසා ඒ අවස්ථා වැළකේ. අව­සා­නයේ මේ මිනි­සාගේ පුත්‍ර­යාද කුම­න්ත්‍ර­ණ­ක­රු­වන්ගේ ගොදු­රක් බවට පත්වෙයි.

යෝධ ඇළ තැනී­මෙන් අන­තු­රුව වැව සම්පූ­ර්ණ­යෙන් පිර­වීම සඳහා රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් පිරිත් පින්ක­මක් සූදා­නම් කරන අතර ඒ වෙනු­වෙන් පුර්ණ වග­කීම දර­න්නේද අපගේ කථා නාය­ක­යාය. පිරිත් පින්කම පැවැ­ත්වෙන ස්ථානයේ මැටි ජල මාප­ක­යක් සවි­කර එම­ඟින් වැවේ ජල මට්ටම එම ස්ථානයේ සිටම නිරී­ක්ෂ­ණ­යට කට­යුතු කළ මේ පුද්ග­ලයා පිරි­තට භික්ෂුන් හැට­න­මක් වැඩම කර­වීය.

මෙම අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගත් කුම­න්ත්‍ර­ණ­ක­රුවෝ ව්‍යාජ භික්ෂු­වක්ද භික්ෂු කණ්ඩා­ය­මට ඇතුළු කළහ. ඔහු කුම­න්ත්‍ර­ණ­ක­රු­වන්ගේ උප­දෙස් පරිදි තම සැර­ය­ටි­යෙන් මැටි පාත්‍ර­යට ගසා කුඩා සිදු­රක් සැක­සීය. පිරිත් දේශ­නාව ඇර­ඹී­මත් සමඟ වැසි ඵල ලැබී­මද ඇර­ඹුණු අතර කෘත්‍රි­මව ඇති­කළ සිදුර නිසා මැටි භාජ­නය නොපිරී, වැව පිරී වේල්ල කඩා­ගෙන වතුර ගලා යන්නට විය. මෙය දැක කිපුණු අදාළ පුද්ග­ලයා භික්ෂූන් හැට නමම ඝාත­නය කර කැඩුණු කලා­වැ­වෙන් වතුර වැටෙන ස්ථාන­යට පැන දිවි නසා­ග­ත්තේය. ඒ තම වග­කීම නිසි ලෙස ඉටු නොකි­රී­මෙන්, පැවැති විශ්වා­සය බිඳ­වැටී රජුට මුහුණ දීමට නොහැකි බැවිනි.

අව­සා­නයේ කලා­වැව වෙනු­වෙන් කළ සේව­යට දෙවි­යෙකු ලෙසද, භික්ෂුන් ඝාත­නය කළ නිසා යකෙකු ලෙසද කඩ­වර ඇද­හිල්ල ව්‍යාප්ත වී තිබේ. ‘කඩ­වර’ දෙවි­යන් සේ සලකා කට­යුතු කරන ප්‍රදේ­ශ­වා­සීන් දෙවි­යන් උදෙසා පව­ත්වන කෝල්මු­ර­ව­ලදී නිතර ඇසෙන මෙම කවි­ව­ලින් ද කඩ­වර දෙවි­යන් පිළි­බඳ විස්තර කෙරේ.

සූට්‌ටි අඹුව කීකරු වී සිටියා දුන් වච­නය පිට
දිස්‌ටි වැටී වන්න­කුවා බැන්නා කළ අම­තක කොට
මුට්‌ටි­වල ද කර­ලා­ගෙන පැන්නා මහ ගිරි වන­යට
සට්‌ටි වැදී හැදුවා වැව දාසෙන් කඩ­වර මුල් කොට

ජල­කඳ සමු­දුර නිති හර­වන්නේ
ඇළ දොළ ගංගා­වල වැඩ ඉන්නේ
බල තෙද අණ­සක කෙලෙස කියන්නේ
දළ කඩ­වර සාමිනි වඩි­මින්නේ

කඩ­වර දේවා­ලය පසු කළ අපි ඊළ­ඟට නැව­තුණේ විජි­ත­පුර හන්දියේ කෑම කඩ­ය­කය. දහ­වල් කෑමෙන් පසුව අප නැව­තුණේ යෝධ ඇළේ සොරොව්ව අභි­ය­සය. යෝධ ඇළ­දිගේ පාර පෙන්ව­න්නට අප සමඟ පැමි­ණියේ විජි­ත­පුර පදිංචි ඇල්බට් සෝමු නම් සොඳුරු මිනි­සෙකි. දෙමළ හා සිංහල හොඳින් දත් ඔහු තෙළිඟු ජාති­ක­යෙකි. එහෙත් හමුවූ සිංහ­ල­යින් බොහෝ දෙනෙ­කුට වඩා ඉති­හා­සය ගැනත්, පරි­ස­රය ගැනත්, ප්‍රදේ­ශය ගැනත් අපට කිය­න්නට ඔහුට හැකි­යා­වත් ඉස්පා­සු­වත් තිබු­ණේය.

රජ සමයේ ඉදි­කළ සොරොව්ව නවී­ක­ර­ණය කර ඇත්තේ 1872 වස­රේය. ඒ ආණ්‌ඩු­කාර ශ්‍රීමත් ආතර් හැමි­ල්ටන් ගෝර්ඩ්න් සම­යේ­දීය. ඒබව සඳ­හන් කළ විස්ත­ර­යක් නවී­ක­ර­ණය කළ සොරො­ව්වෙහි ඉහළ සිංහ­ලෙන් සහ ඉංග්‍රි­සි­යෙන් සට­හන් කර තිබේ.

කලා­වැවේ වේල්ලට පහ­ළින් වූ කට්ට­කා­ඩුව කුඹුක් ගස්ව­ලින් පිරී ඇත. කට්ට­කා­ඩුව යනු අපේ ඉපැ­රණි වාරි කර්මා­න්ත­යේදී ජල පෙර­හ­නක් ලෙස සැකසූ වන­ගො­මු­වකි. වැවක වේල්ලට පහ­ළින් වන තීරු­වක් ලෙස පව­තින කට්ට­කා­ඩු­වෙන් කෙරෙන්නේ වැවේ ජලයේ ඇති කිවුල සහ ලවණ වර්ග උරා ගැනී­මයි. කලා වැවේ කට්ට­කා­ඩුව මීටර සිය­යක් පමණ පළ­ලය.

කට්ට­කා­ඩු­වට පහ­ළින් ඇත්තේ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ප්‍රදේශ රැස­කට ජලය සප­යන ජල සම්පා­දන මණ්ඩ­ලයේ ජල පොම්පා­ගා­ර­යයි. යෝධ ඇළේ ජලය ප්‍රයෝ­ජ­න­යට ගන්නා මුල්ම අව­ස්ථාව ලෙස අපට සට­හන් කර ගන්නට හැකි වූයේ එයයි.

ඉන්ප­සුව අපි යෝධ ඇළේ වේල්ල දිගේ පහ­ළට ගමන් ඇර­ඹු­වෙමු. ප්‍රදේ­ශ­වාසී කාන්තා­වන් සිය දරු­වන්ද රැගෙන විත් ඇළ ඉහ­ත්තා­වෙන් ජල­යට බැස ස්නානය කර­නුද, රෙදි සෝද­නුද පෙනේ. අප ගමන් කරන වේල්ලේ තැනින් තැන දිය­මං­කඩ ඉදි­කර තිබේ. වේල්ල දෙසින් ඇළට බසි­න්නට හැක්කේ මේ දිය­මං­ක­ඩ­ව­ලින් පමණි. නමුත් එහා ඉවු­රෙන් තමන්ගේ ඉඩම මායි­මෙන් ඕනෑම තැන­කින් වතු­රට බසි­න්නට ගම්වැ­සි­යන්ට හැකි­යාව ඇත.

“මේ තියෙන්නේ යෝධ ඇළෙන් කුඹු­ර­ව­ලට වතුර යන පළ­මු­වෙනි සොරොව්ව” පළමු සොරො­ව්වත්, එයින් විහි­දෙන කෙත් ඇළත් දැක­ග­නි­මින් අද දවසේ ලිපිය අහ­වර කළද යෝධ ඇළ දිගේ යන්නට තවත් බොහෝ දුර ඉති­රිව තිබේ.

යෝධ ඇළ ඉස්ම­ත්තේදී මාර­යාට පැර­දුණු බන්ධා­නා­ගාර නිල­ධා­රීන් ගැන කතාව ලබන සතියේ…

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

අදහස්