එක දුම්වැටියක්වත් නැති නගර­යක් හදපු හැටි | සිළුමිණ

එක දුම්වැටියක්වත් නැති නගර­යක් හදපු හැටි

දරු­වන් මල් කල­ඹක් දී කඩ හිමි­ය­න්ගෙන් දුම්වැටි වෙළෙ­ඳාම නතර කරන ලෙස ඉල්ල­මින්

මහා පරි­මා­ණ­යෙන් දුම්වැටි අලෙවි කරන වෙළෙඳ සල් පවා අපත් සමඟ එකතු වුණා. ඒ අය අපෙන් කිසි­යම් කාල­යක් ඉල්ලුවා. අව­සා­නයේ ලාබ පැත්තක දමා රටේ හා සමා­ජයේ යහ­පත වෙනු­වෙන් සහාය දුන්නා. සහ­යෝ­ගය වගේම තර්ජන ගර්ජන ද ආවා. එහෙත් අප ප්‍රය­ත්නය අත් හළේ නැහැ. දැන් මේ ගම්වල කිසිම තැනක දුම්වැටි අලෙවි කෙරෙන්නේ නැහැ.

හක්ම­ණ, පුහු­ල්වැල්ල, කිරින්ද ගම්මා­න­වල සුන්දර මන­ස්කාන්ත පරි­ස­රය තව­මත් සුරැ­කිව ඇත්තේය. සවස් යාමයේ කුඹුර කෙටී­මෙන් වෙහෙ­සට පත්වන ගැමි­යන් දැන් ගමේ කඩ මණ්ඩි­යට එක්වන්නේ බුලත් විට­කින් සප්පා­යම් වීමට හෝ කහට කෝප්ප­යක් තොල ගෑම­ටය. බොහෝ දේ අභා­ව­යට යන වක­වා­නු­වක මේ ගම්මාන ආසන්න ප්‍රධාන නගර දෙකේ කිසි­ලෙ­ස­කි­න්වත් දුම්වැටි භාවි­ත­යක් නැත්තේය. ඒ පසු­පස ඇත්තේ හක්මණ හා කිරින්ද - පුහු­ල්වැල්ල නග­ර­යන්හි මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරු වෙති. ඒ කෙසේ විනිද? කොයි ආකා­ර­යෙන් ද කිය­න්නට මේ ගමේ ඇත්තෝ හොඳ­ටම දනිති. මන්ද මේ නග­ර­යන් දෙක වෙනස් කළේ මේ ගම්මුන් මිස වෙන කවු­රු­වත් නොවන නිසාය.

හක්මණ හා කිරින්ද- පුහු­ල්වැල්ල නගර දෙකට පිවි­සෙන ඕනෑම අයෙ­කුට නිතර නෙත ගැටෙන පුවරු කීප­යකි. කඩ මණ්ඩිය පුරාද එවැනි දුම්වැටි පුවරු සවි­කර ඇත්තේය. නග­රයේ ජනයා රැස්වන බොහෝ ස්ථාන­ව­ලද මේ පුවරු වෙයි. ඒ පුවරු මගින් ගම්මුන්ට දෙන්නේ අපූරු පණි­වු­ඩ­යකි.

‘මෙම වෙළෙඳසල සිග­රට් විකු­ණන්නේ නැති අභි­මා­න­වත් වෙළෙඳ සලකි. සමා­වෙන්න අපි ඔබට මර­ණය විකු­ණන්නේ නැත.’ඒ පුව­රු­වල සට­හන් ව ඇති පණි­වු­ඩය නෙත ගැටෙන මොහො­තක් පාසා ගම්මුන්ට දුම්වැ­ටි­යෙන් මිදී­මට මිස එයට ඇබ්බැහි වීමට සිත් නොදේ. එහෙත් ගමේ පිරි­මින් දුමෙන් මුදා ගැනී­මට වෙහෙස ගත්තේ හක්මණ හා කිරින්ද පුහු­ල්වැල්ල නග­ර­යන්හි මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ය. ගමේ වැඩි දෙනෙක්ද නොපැ­කි­ළිව ඊට සහාය පළ කළහ. ඒ සඳහා ඔවුන් විඳි දුක් අප­ම­ණය.

නගර දෙකේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක මහ­ත්ව­රුන් , විදු­හ­ල්ප­ති­ව­රුන් හා ‍සිසු දරු දැරි­යන් මෙන්ම ගමේ විවිධ බල­ව­තුන් දුම්වැටි ව්‍යස­න­යට විරු­ද්ධව පෙළ ගැසුණේ මේ නග­ර­යෙන් හෝ රටට යම් ආද­ර්ශ­යක් දීමේ අදි­ට­නෙනි.

මෙවැනි බැරෑ­රුම් කට­යු­ත්ත­කට අත ගස­න්නට මේ නග­රයේ ඇත්තන්ට හේතුවූ කරුණු කාරණා බොහෝ ය. ඒ හැම කාර­ණා­ව­ක­ටම මුල්වූයේ දරු පර­පු­රය. වත්මන් සමා­ජයේ දුම්වැටි වෙළෙ­ඳාම යනු මහා පරි­මාණ ව්‍යාපා­ර­යකි. ධන උල්ප­තකි. දුම්වැටි වෙළෙ­ඳාමේ යෙදෙන්නෝ මෙවැනි ව්‍යාපාර කර­නුයේ ඉන් සමා­ජ­යට වන හානිය නොදැන නොවේ. අත කට පිරෙ­න්නට ලැබෙන මුදල් හමුවේ ඔවුහු මේ සමාජ ව්‍යස­නය නොතකා හරිති. එසේම අද කුඩා වෙළෙඳ සලක් වුවද දුම්වැ­ටි­යෙන් තොර නැත. දුම්වැ­ටිය යනු ගමේ කඩ මණ්ඩියේ ඇති එකම වෙළෙඳ සලට පවා ගනු­දෙ­නු­ක­රු­වන් අද්දවා ගැනීමේ එක් උප­ක්‍ර­ම­යකි. මේ නිසා­දු­ම්වැ­ටි­යෙන් වන හානිය කෙසේ වෙතත් මේ දුම්වැ­ටි­යට එරෙ­හිව සටන් කිරීම ලෙහෙසි පහසු පහසු කට­යු­ත්තක් නොවේ. නමුත් කොත­රම් බාධා පැමි­ණි­යද මේ නගර දෙකේ දැනුම් තේරුම් ඇති ජන­තාව අත ගැසුවේ බර­ප­තළ කර්ත­ව්‍ය­ය­ක­ටය.

“අපේ ඉල­ක්කය වුණේ ගමේ දරු­වන්. ගමේ පාසල් දරු­වන් පවා දැඩි ලෙස සිග­රට් බීමට ඇබ්බැහි වෙලා හිටියා. පාසලේ විදු­හ­ල්ප­ති­ව­රුන්ට වගේම දෙම­වු­පි­යන්ට ගොඩාක් වුව­මනා වෙලා තිබුණා දුම්වැ­ටි­යෙන් දරු­වන් මුදවා ගන්න. මේ නිසා අපි ළමයි මාර්ග­යෙන් තමයි, කඩ­හි­මි­ය­න්ගෙන් ඉල්ලී­මක් කළේ. ගමේ දරු­වන් බුලත් අතක් ගෙන ගිහින් කඩ හිමි­ය­න්ගෙන් ඉල්ලී­මක් කළා. ඒ ඉල්ලීම වු‍ණේ ‘මාමේ අපි වෙනු­වෙන් සිග­රට් විකු­ණන්න එපා. පොඩි ලාභ­යට එහෙම කරන එක අපේ ජීවි­ත­ව­ලට තර්ජ­යක්.’කියන එකයි. හැම දරු­වෙක්ම කඩ­යෙන් කඩ­ය­කට ගියා. වෙළෙඳ සල් හිමි­යන් අපෙන් පොඩි කාල­යක් ඉල්ලුවා. හක්මන නග­රයේ වෙළෙ­ඳ­සල් 178 ක් තිබුණා. ඒ අය සිග­රට් ගබඩා කර­ගෙන හිටියේ. අපි කාල­යක් දුන්නා. ගිය අවු­රුද්දේ පොසොන් පෝය දවස වෙද්දි මේ සිය­ල්ලම කියපු විදි­යට පොරො­න්දුව ඉටු කළා. දුම්වැටි විකු­ණන්නේ නැත කියා බෝඩ් ලෑලි ගහන්න ගත්තා. අන්ති­මේදි දරු­වන්ම ගිහින් ඒ අයට මල් පොකුරු දීලා සතුට පළ කළා. ගමේ හාමු­දු­රුවෝ කඩ­යෙන් කඩ­යට ගිහින් පිරිත් නූල් බැන්දා.” ගම්මාන දෙකක් දුමින් බේරා­ගත් මහා මෙහෙ­යුමේ එක් පුරෝ­ගා­මි­යකු වූ හක්මන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ප්‍රේම­සිරි අබේ­සේ­කර මහතා පැව­සීය.

මෙම කට­යු­ත්තේදී මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ට විවිධ බාධා එල්ල විය. ඉන් සම­හ­රක් මාරා­න්තික බල­පැම්ය. එහෙත් ඒ සියල්ල කෙටි කාල­ය­කට සීමා විය. රාජ­කා­රි­යට වඩා තම නග­ර­යන්හි අනා­ගත පර­පුර රැක ගැනීමේ උතුම් කර්ත­ව්‍ය­යට මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරු නොබි­යව පෙළ ගැසු­ණහ.

“කිරින්ද පුහු­ල්වැල්ල ගමේ ග්‍රාම නිල­ධාරී වසම් 25 ක වෙළෙ­ඳ­සල් 185 ක් තියෙ­නවා. අප මුලින්ම මේ ගමේ වෙළෙඳ සල් හිමි­යන් විවිධ වැඩ සට­හන් මගින් දැනු­ම්වත් කළා. මේ නග­රයේ පාසල් 11 ක් තියෙ­නවා. ඒ පාස­ල්වල ලොකු පන්ති­වල ඇතැම් දරු­වන් දුම්පා­න­යට ඇබ්බැහි වෙලා හිටියේ. මේ නිසා විදු­හ­ල්ප­ති­ව­රුන් වගේම දෙම­වු­පි­යන් ඉල්ලී­මක් කළා මෙය නවත්වා දෙන ලෙස. හක්මණ හා කිරින්ද - පුහු­ල්වැල්ල මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක කාර්යාල අතර දුර තියෙන්නේ කිලෝ මීටර් 5ක් පමණ. අපි අපේ නග­රයේ නව­ත්ව­නවා නම් ඒ අය අල්ලපු ගමට ගිහින් දුම්වැ­ටි­යක් මිලදී ගන්න පුළු­වන්. මේ නිසා අපි මේ ගම් දෙකේම සාකච්ඡා කර මේ කට­යුත්ත ආරම්භ කළා. අපි මුලදි සිග­රට් විකු­ණන කඩ ගැන සොයා බැලුවා. කඩ 181 ක් තිබුණා. ඒ වන කොට විවිධ හේතු නිසා සිග­රට් විකි­ණීම නව­ත්වපු කඩ 4 කුත් තිබුණා. අපිට මුලදි අවශ්‍ය වුණේ සිග­රට් බොන එකට වඩා විකු­ණන එක නව­ත්වන්න. අපි වෛද්‍ය­ව­රුන් ගමට ගෙන්නලා දේශන පැවැ­ත්වූවා. අන්ති­මේදි මේ අය මගින් අනා­ගත පර­පුර බේරා ගැනීම වෙනු­වෙන් නැව­තත් දුම්වැටි විකු­ණන්නේ නැහැ කියලා ප්‍රති­ඥා­වක් ගත්තා. මේ වෙන කොට ගමේ සම­හර කඩ­වල සිග­රට් ලක්ෂ ගණ­නින් ගබඩා කර තිබුණා.

කිරින්දේ කඩේ කියන්නේ නග­රයේ ලොකුම තොග කඩ­යක්. මේ අයත් විශාල පරි­මා­ණ­යෙන් ගබඩා කර තිබුණා. ඒ අය අපෙන් මාස දෙකක් කල් ඉල්ලුවා. අව­සා­නයේ ඒ අය ලාභය පැත්ත­කට දාලා අපත් එක්ක එක්වුණා. නමුත් මේ අතර සම­හරු අපිට විවිධ බල­පෑම් කරන්න ගත්තා. මරණ තර්ජන ආවා. සිග­රට් තහ­නම් භාණ්ඩ­යක් නොවන නිසා අප­ටත් මේ ගැන තහංචි පැන­වීමේ යම් යම් සීමා තිබුණා. ඒත් අපි එල්ල වන බාධා තැකුවේ නැහැ. සම­හරු බිස්නස් නැහැ කියලා කෑ ගහන්න ගත්තා. ගමේ අය කිව්වා සිග­රට් විකු­ණන කඩ­ය­කින් ටොෆි­ය­ක්වත් ගන්න එපා කියලා. මේ වගේ තහංචි මැද්දෙන් ඒ අය­ටත් අක­මැ­ත්තෙන් කැමැති වෙන්න සිදු­වුණා. ඒත් අක­මැ­ත්තෙන් කැමැති වුණු අයත් අද ඉන්නේ සතු­ටින්”

එසේ පැවැ­සූයේ කිරින්ද පුහු­ල්වැල්ල මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ආර්. එස්. රත්නා­යක මහ­තාය.

රත්නා­යක මහතා සමඟ මේ කාර්ය­යට මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරුන් වන ටී.ඩබ්ලිව්. කොඩි­තු­වක්කු මෙන්ම අනුර කෝදා­ගොඩ (පරි­පා­ලන) යන මහ­ත්ව­රුද එක්වූහ. ඔවුන්ට ප්‍රදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රීන්, ග්‍රාම සංව­ර්ධන නිල­ධා­රීන් හා සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රීන්ගේ සහා­යද නොඅ­ඩුව ලැබිණි.

ගමේ සියලු කඩ­හි­මි­යන් මේ සද්කා­ර්ය­යට දායක වුවද මේ කට­යුත්ත සිය­යට සිය­යක්ම සාර්ථ­කව අව­සන් කිරී­මට නොහැ­කිවූ බව මෙම සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරු සඳ­හන් කරති. තව­මත් ඉතා හොර රහසේ නග­රයේ ටිකට් කවු­න්ට­ර­යක දෙකක මෙන්ම යම් යම් පුද්ග­ල­යන්ගේ සාක්කු­වල තබා ගෙන හොර රහසේ විකි­ණීම් කරන බව ඔවුහු පව­සති. ඔවුන්ට මේ කට­යුත්ත සාර්ථක කර­න්නට තවත් එවැනි බාධා ඉති­රිව ඇත්තේය.

“අපට මුලදි පොඩි පාඩු­වක් දැනුණා. ඉස්සර අපේ කඩේ සිග­රට් බණ්ඩ­ල­යක් විකි­ණෙ­නවා. නමුත් ටිකෙන් ටික අපි මේකට පුරුදු වුණා. සිග­රට් ඉල්ලපු අය පස්සේ ටොෆි­යක්, විටක් ගන්න පුරුදු වුණා. දැන් ගමේ අයත් පුරු­දුයි. අප­ටත් සතු­ටුයි” කිරින්ද නග­රයේ පිනි­මුතු හෝට­ලයේ හිමි­ක­රු­වන එම්. විජේ­තුංග මහතා පැව­සීය. මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වෙද්දී මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ දුර­ක­ත­න­ව­ලට නිමක් නොවීය. විවිධ පැමි­ණිලි ඒ අතර විය.

“අපි නැවැ­ත්තුවා. ඒත් අර කඩයේ විකු­ණ­නවා. දැන් අපේ කඩ­යට සෙනඟ එනවා අඩුයි.” ඒ එක් පැමි­ණි­ල්ලකි. එක් කඩ­යක සම්පූර්ණ ආදා­යම පැවැ­තුණේ සිග­රට් විකි­ණී­මෙනි. ඔවුන්ට එය නැවැ­ත්වීම ගැට­ලු­වක් විය. “සාධා­රණ දෙයක් විකු­ණමු” මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂකවරුන් කෙත­රම් පැව­සු­වද ඔහු දුම්වැටි විකි­ණීම නැවැ­ත්වූයේ නැත. අව­සා­නයේ ඔහුට සත්‍යය අව­බෝධ විය.

මේ සද්කා­ර­යට ගමේ විහා­ර­ස්ථා­න­යන්හි භික්ෂු­න්ව­හ­න්සේ­ගෙන් ලැබුණේ අනු­ප­මේය සහා­යකි. ආශි­ර්වා­ද­යකි.

“අපි ගමේ කඩ­යක් කඩ­යක් පාසා ගියා. පිරිත් නූල් බැඳලා කඩ හිමි­යන්ට ආශි­ර්වාද කළා. දැන් හැම­දේම හොඳයි. තුන් පොළක් හැරුණු විට නග­රයේ කිසිම තැනක සිග­රට් විකු­ණන්නේ නැහැ. ඒ තුන්පො­ළේත් ළඟ­ඳීම අලෙ­විය නව­තී­වි­යැයි අපට විශ්වා­සයි. එදා ඇතැම් පාසල් දරු­වන්ගේ අතේ රැඳුණු සිග­ර­ට්ටුව අද නැහැ” එසේ පව­සන්නේ කිරින්ද පුහු­ල්වැල්ල පූර්වා­රාම පිරි­වෙනේ කළු­බෝ­වි­ටි­යන කාශ්‍යප හිමිය.

දැන් මේ නගර දෙකේ තරු­ණයෝ තැනින් තැන රස්ති­යාදු නොග­සති. දුම්වැටි උර­මින් තැනින් තැන කල්ලි නොගැ­සෙති. සවස යාමය වෙද්දී ඔවුන් එකතු වන්නේ ගමේ වෙල්යා­ය­ටය. නැති­නම් ක්‍රිඩා පිටි­ය­ටය.

“මේ හැම දේම මුල්වෙලා කළේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක මහ­ව­රුන්. අපි අපේ සහ­යෝ­ගය මේ වැඩ පිළි­වෙළ සඳහා ලබා දුන්නා. දුම්වැ­ටි­යට වැය කළ මුදල දැන් ඉතු­රුයි. එදා ගෙන ගියාට වැඩි දෙයක් අද පිරිමි අය ගෙද­රට ගෙනි­ය­නවා. මේ වගේ හැම ගමක්ම එක්වු­ණොත් ලොකු දෙයක්” හක්මන සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් කේ. ජී. ඩී. අනෝජා මහ­ත්මිය ගමේ විප­ර්යා­සය ගැන පව­සන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

හක්මණ කිරින්ද යන ගම් දෙක මේ කර්ත­ව්‍යට අත ගැසුවේ රජයේ ප්‍රති­ප­ත්ති­යට අනුව පසු­ගිය මස වන විට දුම්වැටි අලෙ­වි­යෙන් තොර නගර හා ග්‍රාමීය ප්‍රදේශ දිව­යින පුරා ඇති කිරීමේ වැඩ සට­හ­නට දායක වීමක්ද වශ­යෙනි.

පසු­ගිය මස වන විට දුම්වැටි අලෙ­වි­යෙන් තොර නගර හා ග්‍රාමීය ප්‍රදේශ 163 ක් දිව­යින පුරා ඇති බව ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මය පෙන්වා දෙයි. මෙම ප්‍රදේශ 163 ට දිස්ත්‍රීක්ක 25 ම ආව­ර­ණය වන බවත් එයි­නුත් මිහි­න්තලේ, අගු­ණ­කො­ළ­පැ­ලැස්ස, නොච්චි­යා­ගම, අලු­වි­හාරේ, පස්සර, පාදෙ­ණිය, පද­විය, කරෛ­යි­න­ගර් මෙන්ම කන්ක­ස­න්තුරේ යන පළා­ත්වල මෙය සාර්ථ­කව ක්‍රියා­ත්මක වන බව වාර්තා වේ.

ඒ අත­රින් හක්මණ සහ කිරින්ද පුහු­ල්වැල්ල සුවි­ශේෂි ඉලක්ක සපුරා ගෙන ඇත්තේය. මේ වැඩ­ස­ට­හ­නට යාප­නය දිස්ත්‍රි­ක්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රි­ක්කයේ නගර 17 ක් සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ නගර 16 ක් ඇතු­ළත් වන අතර මේ වසර අව­සා­නය වන විට දුම්වැ­ටි­ව­ලින් තොර නගර සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරී­මට ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මය බලා­පො­රොත්තු වෙයි.

දුම්වැටි නොද­කින මේ ගමේ දුම්වැ­ටි­ෙයන් නිකු­ත්වන දුමක් හෝ නොන­ඟි­න්නට මේ ගම්මු අද වග­බලා ගනිති. ඔවුන්ගේ එකම අපේ­ක්ෂාව ගමේ හා නග­රයේ දරු පර­පුර රැක ගැනී­මය. එහෙත් ඔවුන්ට කර­න්නට තව බොහෝ දේ ඇත්තේය. ඒ මේ ආ ගමන සාර්ථ­කව ඉදි­රි­යට ගෙන යෑමය. එවිට ඔවුහු ජය ලැබුවෝ වෙති.

අදහස්