උසා­වියේ මනු­ස්ස­කම් ලේක­ම්ව­සම් සර් | සිළුමිණ

උසා­වියේ මනු­ස්ස­කම් ලේක­ම්ව­සම් සර්

සුසන්ත ලේකම්වසම්

මෙය උසාවි කතා­වකි. එහෙත් නඩු හබ­යක් නොවේ. අධි­ක­ර­ණය දවසේ ආර­ම්භයේ එ දිනට නිය­මිත නඩු සියල්ල පාර්ශ්ව­ක­රු­වන් සමඟ විවෘත අධි­ක­ර­ණය ඉදි­රි­යට කැඳ­වයි. එකී කැඳ­වීම් අනුව පළ­මු­වෙන් විභා­ග­යට නිය­මිත නඩු එකින් එක කැඳ­වනු ලැබේ. නඩු විභාග කිරී­මට අවශ්‍ය පැමි­ණිල්ල විත්තිය මෙන්ම සාක්‍ෂි­ක­රු­වන් පැමිණ සිටී­නම් සහ වෙනත් කරුණු සපුරා තිබේ නම් නඩු විභා­ගය සඳහා නියම කරති. නඩු දිනයේ සහ පසු­ගිය නඩු දින­වල අධි­ක­ර­ණය මඟ­හැර සිටි­ය­වුන් පිළි­බඳ අවශ්‍ය පිය­වර ගෙන නියෝග නිකුත් කෙරෙයි. අන­තු­රුව පසුව විභා­ග­යට ගන්නා බවට දැනුම් දෙයි. ඊළ­ඟට කැඳ­වීම් නඩුය. කැඳ­වීම් නඩු යනු එ දිනට විභා­ග­යට නියම නො කළ නඩුවේ.

මෙසේ විභා­ග­යට නියම කරන ප්‍රමා­ණය අධි­ක­ර­ණ­යෙන් අධි­ක­ර­ණට වෙනස් වේ. නඩු­වක් විභා­ගය පිණිස ආරම්භ කළ පසුව සාක්‍ෂි විම­සී­මේදී නඩුව ගමන් කරන දිසාව කල් තබා තේරුම් ගත නො හැකිය. නඩුව අතර මතු­වන නීති තර්ක නිසා සම­හර විට, නඩුවේ පාර්ශ්ව­යන් අධි­ක­ර­ණ­යෙන් පිට­තට යවා පැය ගණන් තර්ක කරනු දැකිය හැකිය. සම­හර විට සාක්‍ෂි­ක­රු­වන් ලෙඩ විය හැකිය. වෙනත් හේතු­මත සාක්‍ෂි දිය නොහැකි තත්ව­යන්ට මුහුණ පෑමට බැරි නැත. බොරු සාක්‍ෂි දීම වැනි අව­ස්ථා­වල කාලය කළ­ම­නා­ක­ර­ණය කර ගැනීම අප­හසු වේ. මෙවැනි අව­ස්ථා­වක නඩු කල් තැබූ විට, විභා­ගය සඳහා පොරොත්තු ලේඛ­න­යක් අවශ්‍ය වේ. එසේම පිට උසාවි වලින් පැමි­ණෙන නීති­ඥ­යන් ප්‍රමා­ණය වැඩි වූ දින­වල බොහෝ නඩු සාක්කි­යක් දෙකක් ගෙන කල් තැබෙයි. තවත් විස්තර කරයි නම් ඇසිය හැකි නඩු ප්‍රමා­ණ­යට වඩා නඩු කිහි­ප­යක් පසුව ගැනීම පිණිස කැඳ­වනු ලැබේ. මේ විස්තර කිරී­මට අම­ත­රව සම­හර විට එකම නඩු­වක් විම­සී­මට තීර­ණය කර අන් සියලු නඩු කල් තබන අව­ස්ථාද නැතිවා නොවේ.

මේ දීර්ඝ විස්ත­රය කරන්නේ උසාවි කාර්ය පරි­පා­ටිය තේරුම් ගැනී­මට පහ­සු­වනු පිණි­සය.

මේ විස්තර කරන අත්දැ­කීම මහ­නු­වර මහා­ධි­ක­ර­ණ­යට සම්බ­න්ධය. එකල මහා­ධි­ක­රණ විනි­ස­කරු සුසන්ත ලේක­ම්ව­සම් මැති­තු­මාය. විනි­ස­කරු ලේක­ම්ව­සම් ගැන මතක හිටින සිද්ධි බොහෝ ය. එක් දිනක විනි­සු­රු­තුමා විනි­සුරු අසු­නට පැමි­ණි­යේය. සුළු මොහො­ත­කින් මා වෙත ලැබුණ පණි­වි­ඩ­යකි. ඒ මට දකුණු පසින් සිටින නීති­ව­ර­යාගේ නම කුමක්ද? යන්නය. පිට පළා­ත­කින් පැමිණි එතු­මාගේ නම මමද නොදැන සිටි­යෙමි. මම ඔහුගේ නම විමසා ඇසූ කෙනා දැනු­වත් කළෙමි. එප­ම­ණකි.

එක් නඩු­වක් කැඳ­වනු ලැබීය. ඒ සමඟ එතෙක් මා පවා නම නොදැන සිටි නීතිඥ­ව­රයා නැගිට තමන් විත්තිය වෙනු­වෙන් පෙනී සිටින බව ගරු අධි­ක­ර­ණ­යට දැන්වීය. නඩුව පිළි­බඳ කරුණු විම­සන අතර, විනි­ස­කරු ලේක­ම්ව­සම් අර නීති­ඥ­ව­ර­යාගේ නම කියා යමක් විම­සීය. එප­ම­ණකි. එදින අධි­ක­ර­ණය දිවා ආහා­රය පිණිස කල් තැබූ අව­ස්ථාවේ අර නීති­ඥ­ව­ර­යාගේ නම විමසා සිටි අධි­ක­රණ සේව­ක­යා­ගෙන් ඒ ගැන විම­සීමි.

“අපේ සර් කැම­තියි නීතිඥ මහ්ත්ත­ය­ලාට නම කියලා කතා කරන්න.” මෙවැනි සිද්ධි කිසි­වි­ටෙක මගේ මත­ක­යෙන් බැහැර නොයයි. මෙහිදී තවත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යෙකු මට සිහි­පත් වේ. එතුමා පසුව ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­ස­ක­රු­වෙකු ලෙස පත්ව ගියහ. ඒ විනි­සු­රු­තුමා කිසි­වි­ටෙක නිති­පතා මහ­නු­වර මහා­ධි­ක­ර­ණයේ පෙනී සිටින ජනා­ධි­පති නීති­ඥ­ව­රුන්ට හෝ නම කියා ආම­න්ත්‍ර­ණය කරන්නේ නැත. එතුමා කාටත් කතා කළේ නීතිඥ මහ­ත්තයා යනු­වෙනි. මේවා චරිත ලෙස සිහි තබා ගැනීම මගේ ස්වභා­වය විය. මේ ලියන්නේ එවැනි අත්දැ­කීම්ය.

ලේක­ම්ව­සම් හිටපු විනි­සු­රු­තුමා අධි­ක­ර­ණය ආර­ම්භයේ තමන් විසින් විභාග කිරී­මට ගන්නා බවට තීර­ණය කළ නඩු­ව­ලින් සම­හ­රක් දිවා විවේ­ක­යට අධි­ක­ර­ණය කල් තැබී­මට පෙර නැවත කැඳවා වෙනත් දින­යන් සඳහා කල් දැමීම සිරි­තක් ලෙස කරනු මම නිරී­ක්‍ෂ­ණය කර ඇත්තෙමි.

වරක් අධි­ක­ර­ණ­යෙන් පිට­ස්තර තැන­කදී එතුමා හමුවූ අව­ස්ථා­වක මම මේ ගැන විමසා සිටි­යෙමි.

“නඩු වැඩි ගාණක් විභා­ගය පිණිස නියම කරන්නේ කාල­යට වටි­නා­ක­මක් දෙන්න. ඒ වුණත් ලන්ච් කිට්ටු වෙන­කොට තේරෙ­නවා එදා දව­සට යන්න පුළු­වන් දුර. එහෙම අව­ස්ථා­වල මම බල­නවා නඩු­වට පැමිණි පාර්ශ්ව කරු­වන් පැමිණි පළාත් කොහෙන්ද කියලා. මම මධ්‍යම පළාතේ හුඟක් තැන්වල වැඩ කරලා තියෙ­නවා. ඒ ප්‍රදේ­ශ­වල ගමන් පහ ගැන මම දන්නවා. හස­ලක ලග්ගල දඹුල්ල ඉනා­ම­ලුව වාගේ පළා­ත්ව­ලින් එන මිනි­ස්සුන්ට දෙක පහු වුණොත් නුව­රින් ආපසු යන්න බස් නැහැ. මම ඒ වාගේ පළා­ත්වල මිනි­සුන් සම්බන්ධ නඩු දිවා විවේ­ක­යට පෙර කල් දාලා මිනි­සුන්ට යන්ට අරි­නවා.” මම ඔහු දෙස බලා සිටි­යෙමි.

ගිය සතියේ මොන­රා­ගල ගියෙමි. ඒ අතර, මට මොන­රා­ගල අධි­ක­ර­ණයේ පෙනී සිටින නීති­ඥ­ව­රි­යක මුණ ගැසිණ. සාමාන්‍ය පරිදි කතා කර වෙන තොර­තුරු මොන­වාද විම­සීමි.

“මේ දව­ස්වල නම් කියන්න දෙයක් නැහැ. පහු­ගිය කාලේ සම­හර සර්ලා අපට දුන්න වදේ නම්...... අනේ මන්දා.” ඇය සිය වෘත්තිය ජීවි­තය ගැන සිහි­කර එසේ කියා සිනා­සිණ. ඇය සර්ලා කීවේ විනි­ස­ක­රු­ව­න්ටය. එය මට අලුත් අත්දැ­කී­මක් නොවේ.

මෙහිදී මහා­ධි­ක­රණ විනි­ස­කරු ලලිත් ඒක­නා­යක මහතා සිහි­පත්වේ. මා එතුමා හමුවේ මුල් වරට පෙනී සිටියේ 2001 මැති­ව­රණ සම­යේය. එව­කට එතුමා දඹුල්ල මහේ­ස්ත්‍රාත් ලෙස සේවය කළේය. මහ­නු­වර මහේ­ස්ත්‍රාත් ලෙස සේවය කරන අතර, මහා­ධි­ක­ර­ණය ආදී වෙනත් අධී­ක­ක­ර­ණ­වල නඩු කට­යුතු යෙදී ඇති නීති­ඥ­යන් පෙනී සිටින නඩු පළ­මුව කැඳවා ඔවුන් නිද­හස් කරන තර­මට මිනිස් මහි­ම­යෙන් අනූන විය. ජන­තාව නිශ්ශබ්ද කළ විවෘත අධි­ක­ර­ණ­ය­න්හි­ පැ­ති­රුණු මිනිස් මහිම ද අපට ඉඳ­හිට කිය­විය හැකිය.

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

Comments