ප්‍රති­පත්ති රැක්කෙ නැත්නම් බිස්නස් රැකෙ­න්නෙත් නැහැ | සිළුමිණ

ප්‍රති­පත්ති රැක්කෙ නැත්නම් බිස්නස් රැකෙ­න්නෙත් නැහැ

ෆ්‍රීලන් පවුලේ ව්‍යාපා­ර­යක් ද....

ඔව්, අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ ඉන්නේ මගේ බිරිය, දූලා දෙන්නා සහ ලොකු බෑණා. ලොකු දූ යශෝධා සහ එයාගෙ මහ­ත්තයා ජය­රත්න ගමගේ, මේ ව්‍යාපා­රයේ වැඩ. පොඩි දූ තනෝජා ඩිරෙ­ක්ටර් බෝඩ් එකේ හිටි­යට එයා­ටත් මහ­ත්ත­ය­ටත් වෙන ව්‍යාපාර තිබෙ­නවා. මං හදපු බිස්නස් එක, මගේ කැප­වීම අපතේ යන්නෙ නැති බව විශ්වා­සයි. මොකද මටත් වඩා හොඳින් දරුවො ව්‍යාපා­රය කර­ගෙන යන නිසා.

ඔබේ නිෂ්පා­දන තව­මත් අලෙවි වන්නෙ ලංකාවෙ විත­රද...

ඒ කාලෙ අපි දෙන්නම එකතු වෙලයි
මිශ්‍රණ අනු­පාත හැදුවේ. එයත් මාතර.
මගේ නැන්දගේ දූ.
රහට උයන්න
පුළු­වන්. ඒ කාලෙ අපේ ගම්වල උද­විය,
උයන පිහන දේට අවශ්‍ය තුන­පහ මිරිස්
ටික හදා­ගත්තෙ ගෙද­ර­මයි. එයා­ටත් ඒ
පුරුද්ද සහ අත්ගු­ණය තිබුණා.

නැහැ. මේ සෑම නිෂ්පා­ද­න­යක්ම අපි ඕස්ට්‍රේ­ලි­යාව, කොරි­යාව, මාල­දි­ව­යින සහ ඩුබායි ඇතුළු රට­වල් හය­කට යව­නවා. ඉල්ලුම වැඩි නිසා බෙදා­හැ­රීමේ ජාලය ඉදි­රි­යේදී තවත් පුළුල් කළ යුතුයි. ලංකාවෙ අපේම අලෙ­වි­සල් තිස් ගණ­නක් තිබෙ­නවා. දකු­ණෙන් පටන් ගත්තම, යාප­නේට යන­කල් ඒජ­න්ත­වරු එක­සිය ගණ­නක් ඉන්නවා‍.

මොන­වද ඔබේ නිෂ්පා­දන‍‍‍‍...

ප්‍රධාන වශ­යෙන් තුන­පහ වර්ග. මිරිස් කුඩු, රසම්, කුර­ක්කන්, ඉදි­ආප්ප පිටි වගේ නිෂ්පා­දන තිස් ගණ­නක්. වෙළෙ­ඳ­පොළේ තර­ගය අපිට කව­දා­වත් ලොකු­වට දැනිලා නැහැ. මොකද නිෂ්පා­ද­නය කරන සියල්ල අලෙවි වෙනවා. කොයි නිෂ්පා­ද­ක­යාට වුණත් මුළු රට­ටම යමක් නිෂ්පා­ද­නය කරන්න බැහැනේ. ඒ නිසා අපිට හැදිලා තියෙන පාරි­භෝ­ගික ජාලය ගැන සතු­ටුයි. ඒ වගේ ම තර­ගය තියෙන එක හොඳයි. එවි­ටයි, හොඳ නිපැ­යුම් කරන්න කවු­රුත් පෙළැ­ඹෙන්නේ.

කොහේද ඔබේ කර්මාන්ත ශාලා තිබෙන්නේ‍...

මනු­ස්ස­යන්ට
වස විස දීලා
හම්බ කරන සල්ලි
යා දෙන්නෙ නැහැ

උඩු­කාව, නාවි­මන, නාදු­ගල කියන ප්‍රදේ­ශ­වල අක්කර ගණ­නා­වක් පුරා විහි­දුණු කර්මාන්ත ශාලා හයක් ක්‍රියා­ත්ම­කයි. දේශීය ව්‍යාපා­රි­කයො හැමෝම වගේ අපිත් මේවා පව­ත්වා­ගෙන යන්නෙ බොහොම බාධා මැද්දෙ. මීට වඩා අඩු පොලි­යට බැංකු ණය, බදු සහන, දේශීය කර්මා­න්ත­ක­රුවා වෙනු­වෙන් රජය ලබා­දිය යුතුයි. රටට කර්මා­න්ත­යක් හදන, රැකියා උප­ද­වන ඔවුන් නඟා සිටු­වී­මට පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ළක් තිබිය යුතුයි.

ඔබේ ආය­ත­නයේ කොයි­ත­රම් සේවක පිරි­සක් වැඩ කර­න­වද...

ඍජුව හා වක්‍රව එක්ද­හස් පන්සි­ය­යක්. රම්ප, කර­පිංචා, එන­සාල්, ගම්මි­රිස්, කුරුඳු වගා­ක­රුවො, සැප­යු­ම්ක­රුවො ගණ­නා­වක් අපි එක්ක සම්බ­න්ධයි. ඒත් කොත්ත­මල්ලි, මිරිස් වගේ ප්‍රධාන අමු­ද්‍රව්‍ය කිහි­ප­යක් ම ඉන්දි­යා­වෙන් ගෙන්ව­නවා. සම­හර දේ පිට­කො­ටු­වෙන්. මිරිස් විත­රක් මාසෙට කිලෝ ලක්ෂ­යක් අව­ශ්‍යයි. අපේ රටේ හොඳ මිරිස් සපයා ගැනීමේ අඩු­පා­ඩුව නිසයි, එහෙම ඉන්දි­යා­වෙන් ගේන්න වෙලා තියෙන්නේ. අපේ ගොවීන් මිරිස් වව­නවා නම්, මීට වඩා අස්වනු නෙළ­නවා නම්, අපිට ඒ අස්වනු මිලදී ගන්න පුළු­වන්.

මොකක්ද ඔබේ ‘බිස්නස් ස්ටයිල්’ එක...

අඩු ලාභය, වැඩි වෙළෙ­ඳාම. බඩු හොඳ නම් ගාණෙත් අඩු­වක් තියේ නම් ආයෙ වෙළෙඳ දැන්වීම් ඕනෙ නැහැ. කටින් කට ගිහින්, පාරි­භෝ­ගි­කයා වැල නොකැඩී එනවා. මොන තරගෙ තිබු­ණත්, ‘කොලි­ටිය ඉහ­ළයි - ගාණ අඩුයි’ කියන දේ පාරි­භෝ­ගි­ක­යාට දැනු­ණොත් ඔවුන් ඒ නිෂ්පා­ද­නය අත් හරින්නෑ.

ප්‍රති­පත්ති රැක­ගෙන කොහො­මද බිස්නස් කරන්නෙ...

හොඳම අමු­ද්‍රව්‍ය හරිම අනු­පා­ත­යට
මිශ්‍ර කිරී­මයි
තුනපහ­වල රහස

ප්‍රති­පත්ති රැක්කෙ නැත්නම් බිස්නස් රැකෙ­න්නෙත් නැහැ. බාල අමු­ද්‍රව්‍ය යෙදීම, පාරි­භෝ­ගි­කයා රැව­ටීම, පිරි­සු­දු­වට නිෂ්පා­ද­නය නොකි­රීම, ව්‍යාපා­ර­ය­කට යා නොදෙන කාරණා. මොකද මේවා මිනි­ස්සුන්ගේ රස නහර උද්දී­ප­නය කරන ආහාර සමඟ ශරී­ර­ග­ත­වන දේ. මනුස්ස ශරී­රෙට වස විස දීලා සල්ලි හම්බ කළොත් ඒවා තමන්ට කව­දාක හෝ ගෙව­න්නම වෙනවා.

තුන­පහ රස වෙන්නෙ යොදන අඩු වැඩි­ය­ව­ලින්. කවුද මේ වට්ටෝරු හැදුවේ...

මම සහ මගේ බිරිය. ඒ කාලෙ අපි දෙන්නම එකතු වෙලයි මිශ්‍රණ අනු­පාත හැදුවේ. එයත් මාතර. මගේ නැන්දගේ දූ. ඇවැස්ස නෑනා. රහට උයන්න පිහන්න පුළු­වන්. ඒ කාලෙ පටන් අපේ ගම්වල උද­විය, පවු­ල්වල අය උයන පිහන දේට අවශ්‍ය තුන­පහ මිරිස් ටික හදා­ගත්තෙ ගෙද­ර­මයි. එයා­ටත් ඒ පුරුද්ද සහ අත්ගු­ණය තිබුණා. හොඳම අමු­ද්‍රව්‍ය මං ගත්තෙ සතො­සින්. ඒ කාලෙ මං සතොසෙ වැඩ කළ නිසා හොඳම බඩු මොන­වද කියලා මං දැන­ගෙන හිටියා. හොඳම අමු­ද්‍රව්‍ය, හරිම අනු­පා­ත­යට මිශ්‍ර කිරීම තමයි, තුන­පහ රස වන රහස. අපි ඒ රහස දැන­ගෙ­න­මයි වැඩේට බැස්සේ.

ඒත් පිටට නොකි­යන රහස් වට්ටෝ­රු­ව­කුත් ඇති...

නැතුවා නෙවෙයි. නමුත් ඒවා දැන් රහස් විදි­යට ළඟම තියා­ගෙන බැහැ. ඊළඟ පර­ම්ප­රා­වට දෙන්න ඕනෙ. ආය­තන පුළුල් වෙද්දි නිෂ්පා­ද­නය ඉහළ යද්දි හුඟක් අය එක්ක වැඩ කරන්න වෙනවා. හැබැයි තව­මත් මමයි බිරි­යයි හැරු­ණු­කොට, පටන් ගැනීමෙ ඉඳන් අද දක්වා ඒ රහස් වට්ටෝ­රුව හරි­ය­ටම දන්න එක පුද්ග­ල­යෙක් ඉන්නවා. ඔහු තමයි අපේ පර­ණම සේව­කයා.

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරු­ම­යක්ද...

තාත්තට පොඩි පොඩි බිස්නස් තිබුණා. ඒත් ඒ ව්‍යාපාර කට­යු­තු­ව­ලට මං කව­දා­වත් සම්බ­න්ධ­වෙලා නැහැ. ව්‍යාපාර ගැන මං යමක් ඉගෙන ගත්තා නම්, අත්දැ­කී­මක් ලැබුවා නම් ඒ සතොස වැඩ කිරී­මෙන් පම­ණයි. ඒ වගේ ම, පඩි ගත්තම මාසෙට රුපි­යල් පන­හක් හැටක් ඉතුරු කරන එකත් මං පුරු­ද්දක් කර­ගත්තා. මං මගේ බිස්නස් එක පටන් ගත්තෙ සතොස වැඩ කරන ගමන්.

කොහො­මද එහෙම කළේ...

එත­කොට මං වැඩ කළේ ගාලු තොග ගබ­ඩාවෙ.‍ වැඩට ආවෙ ගියේ ගෙදර ඉඳන්. ඒත් හිටියෙ කුලි­යට. මට හිතුණා ඇඹ­රුම් හලක් අරින්න. 1984 අවු­රුද්දෙ, මාතර ටවුමෙ බතූතා පාරේ පොඩි තැනෙක කඩ කාම­ර­යක් කුලි­යට අරන් වැ‍ෙඩ් පටන් ගත්තා. යාළු­වෙක්ට වැඩේ බාර දුන්නා. එයා කර­ගෙන ගියා. ඊළ­ඟට මට කළු­ත­රට මාරු­වී­මක් ලැබුණා. ඉල්ලා අස්වෙන කල්ම මං වැඩ කළේ කළු­තර. මගේ මාසෙ පඩිය වගේ ආදා­ය­මක් එක දව­සින් එන තැනට මං ව්‍යාපා­රය ගෙනාවා. එහෙම ස්ථාව­ර­ය­කට ආවට පස්සෙයි, මං තීර­ණය කළේ රස්සා­වෙන් අයින් වෙලා ප‍ූර්ණ කාලී­න­වම ව්‍යාපා­ර­යට කැප වෙන්න. විශ්‍රාම යන්න අවු­රුදු දහ­යක් තිබෙද්දී මං ඉල්ලා අස්වුණේ ඊට පස්සෙ.

ඒත් අනුන්ට බාර­දීලා දියුණු කරපු බිස්නස් හරි අඩුයි...

ඒ කතාව සිය­යට සිය­යක් ඇත්ත. නමුත් හැම­දේම වුණේ විශ්වා­සය මත. මං හදපු බිස්නස් එකට මහ කාල­යක් එහෙම හුදෙ­කලා වෙන්න මං ඉඩ දුන්නෙ නැහැ. ඒ අවු­රුදු දෙක තුන පුරාම මං නිකම් හිටි­යෙත් නැහැ. දවස ගානේ හෙව්වා, බැලුවා. බිස්නස් එකට තිබුණු මගේ අව­ධා­නය කඩා ගත්තෙ නැහැ.

මොකක්ද ‘ෆ්‍රීලන්’ අර්ථය...

බතූතා පාරේ පොඩි ඇඹ­රු­ම්හල පටන් ගත්තෙම මං වෙලාව බලලා, නම­කුත් හදා­ගෙන. ‘ස්වාධීන’ කියන අර්ථ­යෙන් තමයි ඒ නම තැබුවේ. බිරි­යයි මමයි මුලින්ම හැදූ තුන­පහ මිශ්‍ර­ණ­යට හොඳ ඉල්ලු­මක් ආවා. ඊට පස්සෙ හදපු ‘මස් කරි’ මිශ්‍ර­ණය ඊටත් වඩා ජන­ප්‍රිය වුණා. කටින් කට ගිහින්, අල්ලපු ගම් නග­ර­වල අයත් හොයා­ගෙන ආවා. ඇත්ත­ටම ෆ්‍රීලන් නම මුලින් ම මිනිස්සු අත­රට ගියේ, කිසිම රේඩි­යෝ­වත් පත්තර දැන්වී­ම­ක්වත් නැතිව, කටින් කට ගිහින්.

මොන­වද ඒ වෙන­කොට ඔබ තුන­පහ ගැන දැන­ගෙන හිටියේ...

සතොසෙ ගබඩා පාලක විදි­යට මං හුඟක් ආහාර ද්‍රව්‍ය ගැන දැනු­මක් ලැබුවා.‍ ඒත් මං වැඩි­පුර හිටියෙ තුන පහ අමු­ද්‍රව්‍ය එක්ක. ඒ නිසා ඒවායේ හොඳ නරක ගැන මට අව­බෝ­ධ­යක් තිබුණා. හොඳම බඩු තෝරා­ගෙ­න­මයි මං වැඩේ ආරම්භ කළේ.

එත­කොට බෙදා හැරියේ කොහො­මද...

ව්‍යාපා­ර­යක්
වැටෙන්න ප්‍රබල හේතු­වක් තමයි, නාස්තිය.

බෙදා හැරී­මක් නැහැ. ඇඹ­රුම් හලේම බෝත­ල්වල තියෙ­නවා. කිරලා මැනලා විකු­ණ­නවා‍. බයි­සි­ක­ලේක පෙට්ටි­යක් ගැට­ග­හ­ගෙන ඈත වෙළෙ­ඳාමේ යන මනු­ස්ස­යෙක් හිටියා. දව­සක් ඒ මනු­ස්ස­යත් ඇවිත් අපේ තුන­පහ ගත්තා. එයා තමයි නග­ර­යෙන් පිටට මුලින් ම අපේ බඩු අරන් ගිහින් විකු­ණපු කෙනා. ඒ මනු­ස්සයා නිසා, ඈත ගම්ව­ල­ටත් ෆ්‍රීලන් නම ගියා. කඩ­ව­ලින් අපිව හොයා­ගෙන ආවා.

මේ ආය­ත­නය පහු කළ දුෂ්ක­රම කාලය කුමක්ද...

ආර­ම්භක යුගය. හුඟක් මූල්‍ය­මය ගැටලු තිබුණා. බැංකු ණය­ව­ලි­න්මයි ගොඩ ආවේ. හුඟක් ව්‍යාපාර, බැංකු ණය අරන් අමා­රුවෙ වැටෙ­නවා. ඒ වුණාට මං හැම­දාම ගත්තෙ ‍මගේ තර­මට ඔරොත්තු දෙන ණය. ඒ නිසා මට කව­දා­වත් ණයක් ගෙවා ගන්න බැරි­වෙ­ලත් නැහැ. බැංකු­ව­ලින් ප්‍රති­ක්ෂේප වෙලත් නැහැ. බිරි­යගෙ කණ කර උකස් කරලා බිස්නස් කර­ලත් නැහැ. ඕන ලොකු ණයක් දෙන්න දැන් නම් බැංකු අපේ පස්සෙන් එනවා. එහෙම වුණා කිය­ලත් අපි අන­වශ්‍ය ලෙස ණය ගන්නෙ නැහැ. නමුත් අවශ්‍ය වෙලා­වට අවශ්‍ය ආයෝ­ජ­න­යට විය­දම් කර­නවා.

මෑත කාලයේ එහෙම කරපු ලොකුම ආයෝ­ජ­නය කුමක්ද...

මිරිස් අඹ­රන්න ඉන්දි­යා­වෙන් ලොකු මැෂි­මක් ගෙනාවා. මිල රුපි­යල් එක්කෝටි දස ලක්ෂ­යක්‍. අපේ කර්මාන්ත ශාලා­වල දැන් හැම දේටම තාක්ෂ­ණය මුහු වෙලා. යන්ත්‍රා­නු­සා­ර­යෙන් බහු­තර වැඩ කොට­සක් කෙරෙන නිසා ඉහ­ළම ප්‍රමි­තිය රඳවා ගන්න අපිට පුළු­වන් වෙලා තිබෙ­නවා.

මේ ව්‍යාපා­රය වෙනු­වෙන් කළ ලොකුම කැප­වීම මත­කද...

සීසන් කාලෙට කව­දත් වැඩි­පුර මහන්සි වුණා. සම­හර දව­ස්වල මහ රෑ වෙන­කල් වැඩ කළා. මං වැඩ කරන මිනිස්සු ළඟ නිතර හිටියා. උප­දෙස් දුන්නා. විමසා බැලුවා. හැබැයි කව­දා­වත් මිරිස් තුන­පහ කුඩු අඹ­ර­ලා­වත් පැකට් කර­ල­වත් නැහැ. කඩ­ව­ලට අරන් ගිහින් විකු­ණ­ලත් නැහැ. ඒවට හැම­දාම මිනිස්සු හිටියා.

ඔබට අනුව, ව්‍යාපා­ර­යක් සාර්ථක වෙන්න බල­පාන හේතු මොන­වද...

හුඟක් තියෙ­නවා. ලාභය ගැන හිතලා, බාල අමු­ද්‍රව්‍ය දැම්මොත් ඒ බිස්නස් එක වැඩි කල් දුවන්නෙ නෑ. ජන­තා­වම ප්‍රති­ක්ෂේප කර­නවා‍. සේව­කයො තුන් දෙන­කු­ගෙන් පටන් ගෙන, වාණිජ මණ්ඩල සම්මාන උලෙ­ළ­වල ජාතික මට්ටමේ රන් සම්මාන දිනා ගන්න තැනට අද අපේ ව්‍යාපා­රය ඇවිත් තිබෙන්නේ හැම­දාම ප්‍රමි­ති­යට මුල්තැන දීපු නිසා. හොඳ දේ දෙනවා නම් පාරි­භෝ­ගි­කයා අපිව අත් හරින්නෑ.

දරා ගැනීම... අර­පි­රි­මැස්ම, ළමා කාලයේ අත්විඳ තිබෙ­න­වද...

අයි­යලා තුන්දෙ­න­කු­ගෙයි අක්කලා පස් දෙන­කු­ගෙයි බාලයා, මං. පවුලේ නව වැනියා. මට අවු­රුදු තුන වෙද්දී අම්මා අපි හැමෝම දාලා යන්නම යනවා. තාත්තා දරුවො නව දෙනෙක් එක්ක තනි වෙනවා. දැන් ඒ ගැන, ඒ තරම් මත­ක­යක් නැහැ. ඒත් මං අම්මව හොයන්න ඇති. අම්මා නැති පාළුව දැනෙන්න ඇති. ටික කාල­යක් මාව බලා­ගත්තෙ අක්කලා. ඊට පස්සෙ තාත්තා මාව රන්සෑ­ගොඩ හිටපු නැන්දට බාර දුන්නා. ඉස්කෝලෙ ජීවිතේ ඉවර වෙන­කල්ම මට අම්මා වුණේ, ඒ නැන්දා. අම්මගෙ අකල් වියෝව තමයි, මගේ ජීවිතේ මං මුහුණ දුන් අමා­රුම දරා ගැනීම.

එත­කොට අර­පි­රි­මැස්ම...

තාත්තට පොල් ඉඩම් ටිකක් තිබුණා. කොන්ත්‍රාත් වැඩත් කළා. පවුලෙ අග හිඟ­යක් තිබ‍‍ුණෙ නැහැ. ඒත් මං හිටියෙ නැන්දා ළඟ නිසා, අවශ්‍ය දේ මිස හිතූ හිතූ දේ ලැබුණෙ නැහැ. කොහො­ම­ටත් මං අර­පි­රි­මැ­ස්මෙන් ජීවත් වෙන්න පුරුදු වුණා. තාත්තා මාව බලන්න ආවා. මම ඉඳ­හිට ගෙදර ගියා. ඒ හැරෙන්න තරුණ ළම­යෙක් විදි­යට, හිතේ හැටි­යට රවුම් ගහන්න විනෝද වෙන්න අත මිට මුදල් ගැව­සුණේ නැහැ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ.‍..

මාතර මැද්දෙ­වත්ත ගමේ ඉප­දු­ණාට, මහ ගෙවල් එහෙ වුණාට, නැන්දා හිටි කොර­ඹු­රා­නට යන්න වුණා. ඒ නිසා ඉස්කෝලෙ ගියේ කොර­ඹු­රාන මහා විද්‍යා­ල­යට. කවු­රු­වත් විශේ­ෂ­යෙන් උනන්දු නොකළා වුණත් මං හොඳින් ඉගෙන ගත්තා. බොහෝ විට මං පන්තියෙ දෙවැ­නියා, නැත්නම් තුන් වැනියා. නැන්දගෙ එක පුතෙක් හිටියා උපා­ධි­ධාරි ගුරු­ව­ර­යෙක්‍. එයා මට පොත්පත් ගෙනැත් දුන්නා. ඉගෙ­නීම ගැන උනන්දු වුණේ හෙව්වෙ බැලුවෙ එයා.

ළම­යෙක් හැටි­යට තිබූ ඉලක්ක මොන­වද...

පුළු­වන් තරම් ඉක්ම­නට රස්සා­වක් හොයා­ගන්න එක. සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පන්තියේ ඉන්න ගමන් ගැසට් එක බල බලා රස්සා­ව­ලට ඉල්ලුම් පත්‍ර දැම්මා. අන්තිමේ මට ආණ්ඩුවෙ රස්සා­ව­කින් උත්ත­ර­යක් ආවා.

මොකක්ද ඒ රස්සාව...

ලංකා සතොසෙ ගබඩා පාලක තන­තු­රක්. පඩිය රුපි­යල් 84 යි. දීම­නාත් එකතු වුණාම එක­සිය හැටක් විතර. මං උසස් පෙළ අත්හැ­රියා. රස්සා­වට ගියා. ඒකත් මං කව­දා­වත් ගිහින් නොති­බුණු හිඟු­ර­ක්ගො­ඩට‍. අද වගේ නෙවෙයි, එදා මුළු ලංකා­ව­ටම අත්‍යා­වශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරුණෙ සතො­සෙන්. වෙළෙ­ඳුන්ට, සමූ­ප­කාර සංග­ම්ව­ලට පවා ආහාර ද්‍රව්‍ය ලැබුණෙ එහෙ­මයි. ඒ කාලෙ සතොස බොහොම බල­වත් රාජ්‍ය ආය­ත­න­යක්. මං රස්සාව කළේ බොහොම කැමැ­ත්තෙන්.

රාජ්‍ය ආය­ත­න­වල සේව­කයො බොහොම අල­සයි. නිද්‍රා­ශී­ලීයි. ඉතින්, ඔබ විත­රක් වෙනස් වුණේ කොහො­මද...

ඒවා අක්කර ගණන් විහි­දුණු ගබඩා. වග­කීම් වැඩියි. නිද්‍රා­ශී­ලී­වෙලා බැහැ. හැම වෙලා­වෙම ඉන්න ඕනෙ අව­දි­යෙන්. 1964 හිඟු­ර­ක්ගො­ඩට ආපු මට, අවු­රුදු දෙක තුන­කින් මඩ­ක­ල­පු­වට මාරු­වක් ලැබෙ­නවා‍. එතැ­නින් ඇල්පි­ටි­යට. ඇල්පි­ටි­යෙන් ගාලු තොග ගබ­ඩා­වට. එතැ­නින් කළු­ත­රට. මං කළු­ත­රට ආවෙ අලුත් තොග ගබ­ඩා­වක් අරිද්දි, ඒ වෙලාවෙ හිටපු වෙළෙඳ ඇමැ­ති­තු­මාගේ ආරා­ධ­නා­ව­කට. අවු­රුදු විසි ගණ­නක මගේ සතොස ජීවි­ත­යම මං ගත කළේ සතු­ටින්.

ඔබේ ජීවි­තේට ලැබුණු හොඳම පද­නම කුමක්ද...

අවු­රුදු තුනේදි අම්මගෙ ආද­රය අහිමි වන පුංචි දරු­වෙ­කුට ඊළ­ඟට එයාගෙ තාත්ත­ගෙ­නුත් ඈත් වෙන්න වෙනවා. අයි­යලා අක්කලා පවුල... මේ හැමෝ­ගෙන්ම ඈත්වෙලා නැන්දගෙ පවුලෙ සාමා­ජි­ක­යෙක් වෙනවා. කවුරු හිටි­යත් මට දැනුණු, වෙලා­ව­කට නොදැ­නුණු ඒ තනි­කම නිසා වෙන්න ඇති ස්වාධී­නව නැඟී සිටීමේ උව­ම­නාව මගේ හිතට එන්නේ. ඉක්ම­නට රස්සා­වක් සොයා ගැනීමේ උව­ම­නාව... දියුණු වීමේ ආසාව... ව්‍යාපා­ර­යක් ඇරැ­ඹීම... මහ­න්සි­යෙන් වැඩ කිරීම... දව­සක එය රටේ ඉහ­ළම තැනෙ­කට ගෙන ඒම... මේ සියල්ල පිටු­පස තියෙන්නෙ මගේ ජීවි­ත­යට මමම ඇතුළු කර­ගත්තු ඒ, ස්වාධී­නව සිතීමේ සහ අධි­ෂ්ඨා­න­යෙන් වැඩ කිරීමේ පද­නම.

ඔ‍ෙබ් ජීවි­ත­යෙන් කෙන­කුට ගන්න පුළු­වන් හොඳම ආද­ර්ශය කුමක්ද...

ඔබ ව්‍යාපා­ර­යක් පටන් ගන්න හිත­නවා නම් වෙළෙ­ඳ­පොළේ තිබෙන අවස්ථා හොයා­ගන්න. හඳු­නා­ගන්න. එක පැත්තක් හරි නොගි­යොත් තව පැත්ත­කින් උත්සාහ කරන්න. ව්‍යාපා­ර­යක් කර­ගෙන යද්දී නාස්තිය අවම කිරී­මට, ලොකු අව­ධා­න­යක් දෙන්න. ව්‍යාපා­ර­යක් වැටෙන්න ප්‍රබල හේතු­වක් තමයි, නාස්තිය. වයස 77 ක් වුණාට බිස්නස් එකේ ලොකු වැඩ කොට­සක් නොක­ළාට මං තව­මත් බිස්නස් ගැන මේ දේවල් ගැන හිත­නවා. ඒකෙ ප්‍රති­ඵ­ලය මටද තව කාට හරිද කියලා බල බලා ඉන්නෑ. ඒ වගේ ම, වැඩක් කරද්දී, ඒ ඉල­ක්ක­යට යන­කල් එකම අව­ධා­න­යක සිටී­මයි වැද­ගත්. මං එහෙ­මයි.

 ඉනෝකා පෙරේරා බණ්ඩාර

[email protected]

ඡායාරූප - විමල් කරුණාතිලක

 

අදහස්