වසර 2700කට පෙර ලෝක වෙ‍ෙළඳ පළක් වූ යාපනය | Page 2 | සිළුමිණ

වසර 2700කට පෙර ලෝක වෙ‍ෙළඳ පළක් වූ යාපනය

යාපනය පුරාණ ලන්දේසි කොටුවේ ශාස්ත්‍රීය පුරාවිද්‍යා කැණීමක් සිදුවෙමින් තිබේ. මේ පරීක්ෂණයෙන් හෙළිවෙමින් ඇති දත්ත අපව නව චින්තන මානයක් වෙත අප යොමු කරමින් හිඳී. යාපනය විශ්වවිද්‍යාලයත් රොබින් කණින්හැම් ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ඩර්ගාම් සරසවියේ විද්වත් වෘත්තික කණ්ඩායමකුත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල සමග එක්ව කරන මෙම කැණීම ආරම්භ වන්නේ පසුගිය වසරේදීය. මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා යාපනය සරසවියේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. පුෂ්පරත්නම් ය.

මහාචාර්ය පුෂ්පරත්නම්ට අනුව ලැබෙන දත්ත අනුව ප්‍රකට වන්නේ වසර දෙදහස් හත්සියයකට එපිටදී යාපනයේ පැවති ජාත්‍යන්තර වෙළෙඳ කලාපයක තොරතුරුය. ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, චීනය සහ රෝමය ඇතුළු විවිධ රටවල් සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා එමගින් හෙළිදරව් වන ආකාරය ඔහු මාධ්‍යයට හෙළි කළේය.

ලන්දේසි කොටුවේ කැණීම

කැණීම සිදුවන්නේ නවීණ තාක්ෂණික ක්‍රම භාවිතයෙනි. කැණීම සඳහා නිශ්චිත ස්ථානය සොයා ගන්නේ පසුගිය වසරේ සිදු කළ භූ ගර්භ පරිලෝකණය කිරීම්වලින් අනතුරුවය. කැණීමේ නිශ්චිත අරමුණ වූයේ මේ ස්ථානයේ තිබූ පැරණි පෘතුගීසි කොටුවේ ඉදිවූ පල්ලියේ වාස්තුවිද්‍යාත්මක තොරතුරු සොයාගැනීමය. ලන්දේසි කොටුව බිහි වන්නේ එම ස්ථානයේ පැවති පෘතුගීසි බළකොටුව මතය. ඉංග්‍රීසීන් පරිහරණය කරනු ලැබුවේ පෘතුගීසින් විසින් ගොඩනැගූ, ලන්දේසීන් විසින් පූර්ණත්වයට පත් කළ එම බළකොටුවය.

දැනට භූමියේ නොදකින පෘතුගීසි කොටුව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ අභිලාෂය සහිතව ඇරඹුණ මෙම කැණීම අවසානයේ ස්පර්ෂ කර තිබුණේ පෘතුගීසි ආගමනයට පෙර අපේ අතීත මුතුන් මිත්තන් විසින් පරිහරණය කළ භූමිය ය. එම බිමෙහි චීන වළං කටු කැබලි තිබිණි. මැදපෙරදිග දී හමු වන පෝසිලේන් බඳුන් කැබලි තිබිණි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කාලදීප්ත මැටි බඳුන් කැබලි තිබිණි. චීන කාසි හමුවිණි.

යුරෝපීය ආක්‍රමණිකයන් ඉදි කළ සොහොන් බඳු යුද බළකොටු යටින් හමුවෙමින් තිබුණේ පුරාණ ලාංකිකයන් ජීවත් වූ සම්භාව්‍ය ජන සමාජයක තොරතුරුය. ක්‍රිස්තු පූර්ව දෙවන තුන්වන සියවස් තෙක් දිවෙන මුල් ඓතිහාසික යුගය නියෝජනය කළ මේ සමෘද්ධිමත් මිනිස්සු ඉසුරුබර අතීත වෙළෙඳ සංස්කෘතියක් ගැන කියමින් සිටියහ. අනාදිමත් කාලයක සිට පෙර අපර දෙදිග යා කළ අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක තොරතුරු සිතන්නට බල කර තිබුණේ තිබුණේ පුළුල් පරිධියක් ඔස්සේ පැතිරී ගිය සමාජ සංස්කෘතික සමබන්ධතාවේ විචිත්‍රත්තවය ය.

මේ අවධිය වන විට ලංකාව තුළ ප්‍රධාන ජාත්‍යාන්තර වෙළෙඳ වරාය හතරක් වූ ආකාරය ඉතිහාසය පැහැදිලි කරයි. යාපනය අර්ධදීපයේ හමුවන මේ අන්තර්ජාතික වෙළෙඳ නගරයට උඩින් උතුරේ දඹකොළපටුන වරාය ය. වයඹ දෙසින් මන්නාරම මහාථිත්ථ වරාය ය. දකුණෙන් ගොඩවාය වරාය ය. නැගෙනහිරින් ගෝකණ්ණ වරාය ය. දඹකොලපටුන වරාය සම්බන්ධව නිශ්දිත මතුපිට තොරතුරු මෙතෙක් හමුවී නැත.

ඒ වකවානුවේ පැවති නාවික තාක්ෂණය අනුව ස්වභාවික පාරිසරික තත්ත්ව මත සෑම වරායක්ම වසරේ සෑම වකවානුවකම භාවිත කළ හැකි නොවීය. එබැවින් මේ සෑම වරායක්ම වසරේ විවිධ වකවානුවල ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා සඳහා පරිහරණය කෙරිණි. දේශපාලනික හෝ ආර්ථික කාරණා මුල් කරගෙන විදේශිකයෝ මේ වරායන් හරහා මේ භූමියට පැමිණියහ. ඒ ප්‍රජාවගේ අවශ්‍යතා අනුව ආගමික සිද්ධස්ථාන ඉදි විය. නිවාස ඉදිවිය. වෙළෙඳපළ නිර්මාණය විය. මේ පුරාවිද්‍යා සාධක හෙළි කරමින් තිබුණේ සංස්කෘතික මනුෂ්‍යයන් පිරිසකගේ පුළුල් චින්තන රටාව ය.

ලංකාවේ අතීත ජන සමාජය හැදෑරීමේදී වැදගත් වන ප්‍රධාන ඓතිහාසික ජනාවාස තොරතුරු සහිත පාංශු සන්ධර්භ හතරක් පුරාවිද්‍යාඥයෝ හඳුනා ගනිති. එකක් අනුරාධපුර ඇතුළු නුවරය. දෙවැන්න තිස්සමහාරාමය ය. තෙවැන්න මන්නාරම මාතොට වරාය ආශ්‍රිත පුරාණ ජනාවාස සන්ධර්භය ය. සිවුවැන්න උතුරේ පුරාණ දඹකොලපටුන වරාය භූමිය ආශ්‍රිත කන්දරෝඩය හෙවත් කදුරුගොඩ ය. වැදගත් දේ වන්නේ මේ පාංශු සන්ධර්භ කතා කරන ඓතිහාසික යථාර්ථය ය. ඓතිහාසික ලාංකිකයා මේ භූමිය පරිහරණය කළ සමෘද්ධිමත් ආකාරය පිළිබඳවය. ඒ සම්භාව්‍ය සමාජය එකිනෙකා ඉවසූ ආකාරය පිළිබඳවය. එහි සිංහල හෝ දෙමළ හෝ මුලිම් හෝ යුරෝපයානු කලවම් සම්බන්ධ ගෝත්‍රික තොරතුරු නැත. හමුවන්නේ පන්සල් මිදුලේ හැදෙන කෝවිල් වන්දනා කළ මිනිස්සුන්ගේ තොරතුරුය.

ජාත්‍යන්තර වෙළෙඳපළක්?

යාපනය විශ්විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. පුෂ්පරත්නම්ට අනුව යාපනයේ කොටුවෙන් මේ මතුවන්නේ ජාත්‍යන්තර වෙළෙඳපළක සලකුණුය.

“ ඔව්... කෙනෙකුට එසේ කිව හැකියි. තවත් කෙනෙකුට කිවහැකියි මෙතැන ඉන්නේ ජාත්‍යන්තර සබඳතා සහිත විශ්ව සම්භාවනාවට පාත්‍රවූ මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වුණා කියලා. ඔවුන් පරිහරණය කළ සුඛෝපභෝගී භාණ්ඩවල තොරතුරු අවටින් ලැබෙනවා. මේක මුහුද ආශ්‍රිත ජනාවාසයක්. ඒත් මේ සංකීර්ණ සම්භාව්‍ය සමාජය ගැන එක කැණීමකින් විතරක් නිශ්චිත අදහසක් පළ කරන්න අපහසුයි. ශාස්ත්‍රීය කැණීම් මාලාවක ප්‍රතිඵල විශ්ලේෂණයෙන් තමයි අවසන් අදහසට පැමිණීම යෝග්‍යය.” තවත් විද්වත් පිරිසක් පවසති.

ආචාර්ය නිමල් පෙරේරා ලෝකය පිළිගත් පුරාවිද්‍යාඥයෙකි. යාපනය අර්ධද්වීපය තුළ මානව ජනාවාසකරණ ඉතිහාසය සම්බන්ධව ඔහුගේ ශාස්ත්‍රීය නිරීක්ෂණය පිළිබඳ සිළුමිණට අදහස් දැක්වූයේ මෙසේය.

“ මීට අවුරුදු දහයකට කලින් අපි කිව්වෙ යාපනයෙ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස නෑ කියලා. ඒත් යුද්ධයෙන් පස්සෙ යාපනය අර්ධද්වීපයෙ කළ ගවේෂණවලින් පෙනෙන විදිහට උතුරෙ ජනාවාසකරණය ප්‍රාග්ඓතිහාසික යුගයට දිවෙනවා. අදින් අවුරුදු ලක්ෂ 26 පස්සෙ එන ප්ලයිටොසීන යුගයෙ ලංකාව සහ ඉන්දියාව තිබුණෙ එකම භූ ස්කන්ධයක් විදිහට. පෘතුවි ඉතිහාසයේ සෑහෙන කාලයක් මේ භූමිය එකම භූ තලයක්. ඉන්දියාවෙ මදුරාසියෙ අට්ටිවම්පක්කම් කියන ස්ථානයෙ අදින් අවුරුදු ලක්ෂ 15 විතර කලින් ජීවත් වූ මානවයගේ සංස්කෘතික ලක්ෂණ හමුවෙලා තියනවා. ඒ සම්බන්ධව අදාළ කාලනිර්ණයන් කළේ ප්‍රකට මානව විද්‍යාඥයෙකු වන සාම්බිපත්තු මහත්මයා. එතැනට යාපනයෙ ඉඳලා කිලෝමීටර 300 දුරක් නෑ. ප්‍රාග්ඓතිහාසි මානවයගේ සංචාරක ජීවන ප්‍රවෘත්තිය බලනකොට මේ භූමිය ප්‍රාග් ඓතිහාසික මානවයගේ ජීවත් වීම සම්බන්ධව මූලික අදහසක් තිබුණා. ”

“එය යම් පමණකට තහවුරු වුණා වර්ෂ 2010 දි. ඒ වකවානුවෙ මා කන්දරෝඩයෙ පරීක්ෂණ කැණීම කරමින් හිටියෙ. එතැනදි මට මුණගැහුණා යාපනය සරසවියේ මහාචාර්ය ක්‍රිෂ්ණරාජා ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ බවට ඔහු විසින් විශ්වාස කළ ගල් ආයුධ වගයක් ගෙනත් දුන්නා. එම ගල් ආයුධ ඔහුට හමුවෙලා තිබුණේ වඩමරච්චිවල මායක්කායි ප්‍රදේශයෙන්. අප ස්ථානීය ගවේෂණයක් කළා. ඒ ආකාරයෙ ගල්ආයුධ භාවිත කරලා තිබුණෙ මීට අවුරුදු ලක්ෂ හයකට පමණ පෙර ජීවත් වුණු ප්‍රාග් ඓතිහාසික මානවයින්. මේ සම්බන්ධව නිශ්චිත අදහසක් ලබා ගත හැක්කේ ශාස්ත්‍රීය කැණීමකින්.”

“මේ අවුරුද්දේ රුහුණු විශ්වවිද්‍යාලය සමග කළ යාපනය ගවේෂණයෙදි මේ දැනුම තවත් වැඩි වුණා. අපි අධ්‍යයනය කළා යාපනය අර්ධද්වීපයේ විසිරුණු බෙලිකටු නිධි. ඒ නිධිවල තිබෙන තිරිවානා ගල් ආයුධ. මේ තොරතුරු අනුමාන වශයෙන් කියන්නෙ මේ භූමියේ මීට වසර දස දහසකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ වග. යාපනය කොටුවේ කැණීම්වලින් ලැබෙන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස. කන්දරෝඩයේ මා කළ පරීක්ෂණ කැණීමෙන් ලැබුණු කාලනිර්ණයන් අනුරාධපුර ඇතුළුනුවර නිර්මාණය වන ක්‍රිස්තුපූර්ව 4 සියවසට සමානයි. විධිමත් ශාස්ත්‍රීය කටයුතු මේ දැනුම තවත් පුළුල් කරාවි.”

ඒ දැනුම මේ දූපතෙන් එපිටට අපව කැඳවාගෙන යන්නේය. අනුරාධපුර ඇතුළුනුවර කැණීම කළ ආචාර්ය සිරාන් දැරණියගල ලෝකයට ඉදිරිපත් කළ The Prehistory and Protohistory of Sri Lanka කෘතිය ලංකාවේ මතු නොව ඉන්දියාවේ ඉතිහාසයත් තහවුරු කළ මහාවංශයට නොදෙවෙනි නිබන්ධනයක් වූයේය. පුරා වසර පහළොවකට අධික කාලයක් තිස්සමහාරාමයේ කැණීම් කළ ජර්මන් ජාතික පුරාවිදයාඥ ආචාර්ය ජේ.වයිසා සමග ආචාර්ය සිරාන් දැරණියගල හා ආචාර්ය ඩබ්ලියු.විජේපාල කළ Ancient Ruhuna කෘතිය ලෝකයට අලුත් දැණුම සම්භාරයක් ගෙනාවේය. යාපනයට එවැනි පුළුල් ශාස්ත්‍රීය කථිකාවක් අවශ්‍යය. ඒ කථිකාව ආචාර්ය නිමල් පෙරේරාට හමුවූ පැලියොලිතික යුගයේ මානවයාගෙනුත් දෙමළ හින්දු හෝ සිංහල බෞද්ධ අනන්‍යතාව සොයන දුගී මනුෂ්‍යන්ගේ ගෝත්‍රික චින්තනයට විෂය නොවන බව සැබෑය.

එහෙත් අබ පියල්ලක මොළයක් සහිත එකෙකුට අප ගමන් කරමින් සිටින්නේ ශිෂ්ටාචාරයේ ආපස්සට බව තේරුම් ගැනීමට ඒ දැනුම ප්‍රමාණවත්ය. අඩුම තරමින් අවුරුදු දෙදහස් හාරසියයක එපිට ජීවත්වූ සංස්කෘතික මනුෂ්‍යන් අබියස අප චින්තනයෙන් ගස් වැද්දන් බව තේරුම් ගැනීමට ඒ දැනුම වැදගත්ය. යාපනයෙන් මතුවෙමින් ඇත්තේ කඳුළු බිඳුවක් සේ සිත්තම් වන මේ භූමිය තුළ දුක, වේදනාව, කුසගින්න, ජඩකම, පාවාදීම, සෙනෙහස හා වෛරය සහිත මනුෂ්‍ය ජීවිතය චිරාත් කාලයක් තිස්සේ බෙදා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව තේරුම් ගැනීමට ඒ දැනුම අවශ්‍යය.

 

අදහස්