යකා බාස් හදන ගෙවල්වල කාමර ගිලා බැසීමේ රහස | සිළුමිණ

යකා බාස් හදන ගෙවල්වල කාමර ගිලා බැසීමේ රහස

මතුගම මහින්ද විජේතිලක

යකා බාස් ගම්පල ප්‍රදේශයේ ජීවත් වූ පෙදරේරුවෙකි. සුගලා ද මේ ප්‍රදේශයේ ජීවත් වන හැට හැවිරිදි දෙදරු මවකි. ඇගේ නිවෙස හැදුවේ ද යකා බාස් ය. මේ ගෙදර පිට කාමරයේ පොළව ගිලා බහින්නට විය. බිමට දමා තිබුණු කොන්ක්‍රීට් පදනම ද කඩා ගෙන ඇතුළතින් ද කඩා ගෙන පොළව ගිලා බැස ඇත.

මේ කාමරයේ කෙනෙකුට රාත්‍රිය එළි කරන්නට නිදා ගන්නට නොහැකිය. නිදා ගත්තොත් නැගිටින්නේ අසනීපයකිනි. ඔහු ‍හෝ ඇය පසු දින නතර විය යුත්තේ රෝහලකිනි. කුඩා දරුවෙක් මේ කාමරයේ නිදා ගත්තොත් එළිවෙන තුරු ම අසාමාන්‍ය ලෙස හඬන්නට වෙයි. කෑමක් බීමක් ඒ කාමරයට ගෙන ගියොත් විනාඩියක් ගත වන විට එය මිනිසෙකුට පරිභෝග කළ නොහැකි අන්දමින් නරක් වෙයි. එසේ ම ඒ කාමරයේ විටින් විට මහා දුර්ගන්ධයක් හමා යන්නට ද විය. මේ කාමරයේ දෙදෙනෙක් හිටියොත් මොනවා හෝ දෙයක් ගැන මත ගැටුමක් ඇති වී රණ්ඩු සරුවල් කරන්නට පටන් ගනී.

යකා බාස් හැදූ හැම ගෙදරක ම මේ වැනි අමුතු අසාමාන්‍ය දේ සිදු වෙයි. ඔහු ගැන දන්නා කෙනෙකු ඔහුට වැඩක් පවරන්නේ නැති තත්ත්වයක් උදා විය. දැන් යකා බාස් ගමෙන් පිටව ගොස් ඇත. ඔහු ගැන දන්නා කෙනෙකු වැඩක් නොදෙන බැවින් ඔහු ගැන නොදන්නා කෙනෙකු නැති තරමට ඔහුගේ “අත් ගුණය” දන්නා නිසා දැන් යකා බාස් ගම හැර ගොස් ඇත.

සුගලා ගේ නිවෙසේ යකාගේ කාමරයේ පවතින තත්ත්වය මග හරවන්නට නොකළ පිළිවෙතක් නැත. තොවිල් පවිල් ගණනාවක් කළත් කාමරයේ පවතින යක් ගතිය වෙනස් වූයේ නැත. අවසානයේ ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන සුගලා තම දුව සහ පුතා සමඟ ආවාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තම නිවෙසේ පිට කාමරයේ පවතින තත්ත්වය පැහැදිලි කළාය.

ප්‍රතිකාර සඳහා පරීක්ෂාවේදී ශක්ති කිරණ එල්ල කරන විට භූතාත්මයක් ආවිෂ්ට වූ සුගලා “බුකු... බුකු.... බුකු.... යැයි ලොඹු කටකින් සිනාසෙන අයුරක් පෙන්වීය. එදින සිනාසෙනවා හැරෙන්නට වෙනත් දෙයක් නොවූයෙන් ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය. එදින ඔවුන් ගෙදර යන විට නිවෙසේ බඩු මුට්ටු තැන තැන විසුරුවා තිබුණි.

බෝධි පූජා අවසන් ‍කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද සුගලාට භූතාත්මය ආවිෂ්ට වී බඩ අල්ලාගෙන උපහාසයෙන් මෙන් “බුකු... බුකු” හිනාව පටන් ගත්තේය.

“හො... හො... අදත් හිනාව පටන් ගත්තා ද? දැන් ඔය හිනාව නවත්වලා මම අහන දේට උත්තර දෙන්න ඕනෑ” ය ගවේෂකවරයා වේවැළ අතට ගෙන භූතයාට කීවේ ය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන හිනා වෙන්නේ?” යි ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“මම පුංචි ගුරා කට්ටාඩි රාල” යැයි භූතයා උත්තර දුන්නේය.

“එතකොට පුංචි ගුරාගෙ ලොකු ගුරා කවුද?”

“අපේ තාත්තා”

“තාත්තා මොකද කළේ?”

“තාත්තත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තමයි කළේ.”

“කෝ දැන් තාත්තා?”

“තාත්තා දැන් විමාන ප්‍රේතයෙක්”

“‍මොකක්ද විමාන ප්‍රේතයාගේ තියෙන වෙනස”

“ජීවත්ව සිටියදී කළ හොඳ වැඩවලට කුසල් විපාක වශයෙන් මාසයේ පුර පක්ෂයේ දිව්‍ය සැප විඳිනවා. කරපු අණවිණ හදි හූනියම්වලට අකුසල විපාක වශයෙන් අව පක්ෂයේ ප්‍රේතයෙක් වෙලා අනන්ත දුක් විඳිනවා.”

“පුංචි ගුරාත් ඒ වගේ ද?”

“මම කළේ නරක වැඩමයි. දැන් ඒ අකුසල විපාක වශයෙන් ප්‍රේත දුක් විඳිනවා.” යි ප්‍රේතයා අඬමින් කීවේ ය.

“නමුත් ඒ කාලෙ මොනවද කරපු හොඳ වැඩ?”

“මතක් කරනවා... මතක් කරනවා... මම කරපු ‍එහෙම හොඳ දෙයක් මතක් වෙන්නෙ ම නෑ.”

“මොනවද කරපු නරක වැඩ?”

“ඉගෙන ගත්ත ගුරුකම් ශාස්ත්‍රයෙන් නරක වැඩමයි කළේ. මගේ දිහා කෙනෙක් නරකට බැලුවොත් උගේ ගෙදරට වැලි මතුරලා ප්‍රේතයෙක් බැඳලා දානවා. ඒ ගෙදර අය ලෙඩ කරවන්න. ගැහැනියක් බැලුවොත් කොහොම හරි මතුරලා යාළු කර ගන්නවා. ඒ නිසා මුළු ගමම මට බයයි.”

“ඉතින් මේ සුගලාට, ඒ ගෙදරට කරදර කරන්නේ මොකද?”

“හිඃ...... හිඃ....... හී.... බුකු... බුකු... ඒ මගේ හැටි මහත්තයා. යකා බාස් මගේ මුනුපුරා. ඌ හදපු හැම ගේකට ම හූනියමක් වැළලුවා. උගේ ඇ‍ඟේ ඉඳගෙන ඌ ලවා හූනියමක් වැළලුවා.”

“ඇයි එහෙම කළේ?”

“ඒ මගේ පුරුද්ද. මගේ සාස්තරේ හැටි බලන්න පුරුද්දට එහෙම කළා. ගමේ මිනිස්සු ඒ ගෙවල්වල අය දුක් විඳිනවා බලන්න මගේ හිත කැමතියි. මම ජීවත් වුණේ පොල් අතු පැලක. සිමෙන්තිවලින් ලොකුවට මාලිගා හදාගෙන ඉන්න හදන අය ගැන ඉරිසියාවෙන් එහෙම කළා. මුනුපුරාගෙ ඇ‍ඟේ ඉඳගෙන හූනියම් මතුරලා ඌ ලවා ම වැළලුවා.”

“කෝ දැන් යකා බාස්?”

“ඌට ගමේ ඉන්න බැරි වුණා. මේසන් වැඩ හම්බවුණේ නෑ. ගම අත හැරලා ගිහිල්ලා.”

“ඇයි පුංචි ගුරා නොගියේ?”

“මම හූනියම් කරපු තැන්වලට බැඳිලයි ඉන්නේ. ඒ නිසා මට ගම දාලා යන්න බැහැ.”

“ලොකු ගුරා මුණ ගැහෙන්නෙ නැද්ද?”

“ඒ මගේ තාත්තා. තාත්තා එනකොට මම හැංගෙනවා. තාත්තාට අහුවුණොත් මට ගහනවා. මට සාස්තරේ දීපු එකලු තාත්තා කරපු ලොකු ම වැරදි වැඩේ. ලොකු ම පාප කර්මය. තෝ කරපු අසමජ්ජාති වැඩවලට මටත් විපාක විඳින්න සිද්ද වුණා කියලා මාව දැක්ක දැක්ක තැන මට ගහනවා. ඒ නිසා මම හැංගෙනවා.” යි ප්‍රේතයා කීවේය.

“ජීවත්ව ඉන්දැද්දිත් ජරා වැඩ කරලා දැනුත් අහිංසක මිනිස්සුන්ට කිසිම හේතුවක් නැතුව කරදර කළා ඇති. දැන් ඉතින් මේ අය අතහැර යන්න ඕනෑ” යි ගවේෂකවරයා ප්‍රේතයාට කීවේ ය.

“බැහැ... බැහැ... මම නම් යන්නෙ නෑ... නෑ... නෑ - මයි.” ප්‍රේතයා දෑත් පොළවේ ගසා කීවේ ය.

“මූ නම් මහා දුෂ්ට ම ප්‍රේතයෙක්” යැයි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවා දුර්වලකොට සුගලා ගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේ ය.

ඇගේ නිවෙසටත් පවුලේ අයටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා නිවෙසේ පිට කාමරයේ දිනපතා බුද්ධ වන්දනාව පවත්වා ඉටු කළ යුතු පිළිවෙත් කීපයක් නියම කළේය.

“මනසා චෙ පදුට්ඨේන භාසනී වා කරෝති වා

කතෝ නං දුක්ඛ මන්මේනි. චක්කං ව වහතෝ පදං”

දුෂ්ට වූ වැරදි සිතින් වාචිකව හෝ කායිකව යමක් කළොත් ගොනා පසු පස එන කරත්ත රෝදය මෙන් දුක්ඛ සහගත කර්ම විපාකය ලුබු බැඳ අත් නොහැර තමන් පසු පස එයි.

අනුන්ට විපත් සිදු කර සතුටු වීමේ දුෂ්ට චේතනාවෙන් කටයුතු කළ ලොකු ගුරාත්. පුංචි ගුරාත් අනන්ත කාලයක් ප්‍රේතයන් වශයෙන් දුක් විඳිනු ඇත. යකා බාස් ද ආ ගිය අතක් නැත.

අනුන්ගේ සැප සම්පත් දැක ලෝභයක් (රාගයක්) තම මනසට පැන නැගුණු සැණින් එය ලෝභයත් අකුසල චෛතසිකයත් බව හඳුනා ගන්න. ලෝභය තුළින් සුඛ යැයි ලබන ආස්වාදයේ ආදීනවය ද දුකක් ම බව වටහා ගෙන නිස්සරණය සඳහා අසුභය වඩන්න.

සුබ අරමුණ අත්හැරීම නාථයි

සුබ අරමුණේ නොඇලීම නාථයි

සුබ අරමුණෙන් මිදිම නාථයි

ඉන් මිදී නිදහස් වීම නාථයි

මෙය තේරුම් ගෙන මෙනෙහි කරන්න. එය යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමයි. අසුබය වඩා ඉන්අනතුරුව මරණ නුස්සතිය හා බුද්ධානුස්සතිය වඩන්න.

අනුන්ගේ සැප සම්පත් දැක ඊර්ෂ්‍යා සිතේ නම් ඒ ද්වේෂයයි. එවැනි ඊර්ෂ්‍යා සිතක්, ද්වේෂයක්, පහළ වූ සැණින් එය අකුසල චෛතසිකයක් බව සැණින් හඳුනා ගෙන පරම මෛත්‍රීය වඩන්න.

“මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා.”

සකෘදාගාමී ඵලයෙන් නීරෝගි වෙත්වා.

අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා.

අරිහත් ඵලයෙන් නිවන් දකිත්වා. දුකින් මිදෙත්වා” යි සිතන්න.

මේ සංසාර ගමනේ අනන්ත වූ දීර්ඝනාව අනුව මෙම විශ්වයේ සියලු සක්වල සියලු ලෝකවල සියලු සත්ත්වයෝ මගේ මවුපියෝ, අඹුසැමියෝ, ඥාති මිත්‍රාදී නොවූ කෙනෙක් නැත. ඔවුන් ගේ සතුටට ඊර්ෂ්‍යා කිරීම අකුසලයකි. තිරිසන් ගතියකි. අපායගාමී හේතුවකි. මේ මගේ ම ඥාතීන්ගේ සතුටෙහි මම ද සතුටු වෙමියි සිතන්න.

අදහස්