දිවුලාන විල්ලුවේ අබිරහස් අලි මරණ පසුපස සිටින නොමිනිස්සු කවුරුද? | සිළුමිණ

දිවුලාන විල්ලුවේ අබිරහස් අලි මරණ පසුපස සිටින නොමිනිස්සු කවුරුද?

අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි එපා නොවන රටක ජීවත් වන අපි වන අලි මෙන්ම හිලෑ අලින් ගැන අසා විටෙක තුටු වන්නෙමු. විටෙක වන අලි හේතුවෙන් පීඩාවට පත්වන මිනිසුන් ගැන දුක් වෙන්නෙමු. තවත් විටෙක මිනිසුන් නිසා පීඩාවට පත්වන අලි ගැන දුක් වෙන්නෙමු. මේ සියලු කතා පසෙක තිබියදී දැන් අපට සිදුවී ඇත්තේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිව්ලාන විල්ලුවේ තුන්මෝදර නම් ස්ථානයේදී එකවර මිය ගිය අලි රංචුව ගැන දුක්වීමට ය; අනේ! අපොයි! කීමට ය.

අභිරහස් ලෙස අලි රංචුවක් ම මිය ගියේ ය. රංචුවක් යැයි කීවාට විල්ලුවේ තිබී සොයා ගත් අලි මළ සිරුරු ගණන මේ වන විට නවයකි. අලි පිළිබඳ අත්දැකීම් ඇත්තන් පවසන්නේ සාමාන්‍යයෙන් අලි රංචුවක අලි විස්ස තිහ වුව සිටින්නට හැකි බව ය. කෙසේ වෙතත් මේ වන විටත් අලින් මිය ගියේ කුමන හේතුවක් මතදැයි යන්න කිසිවෙකුටත් නිශ්චිතව තීන්දු තීරණ වලට එළැඹිමට නුපුළුවන් වී ඇත.

සැබැවින් ම මේ අලින්ට සිදු වුයේ කුමක් ද? අපේ රටේ අදහාගත නොහැකි අන්දමින් දියේ ගිලී අලින් මෙතරම් ප්‍රමාණයක් මියගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට යෑමේදි අලි පිළිබඳ තව තව ප්‍රශ්න මතු වේ. ඒ ප්‍රශ්න මතුවන්නේ ලංකාවේ අලි මිනිස් ගැටුමේම අතුරු කතා සමඟ ය.

මහවැලි සංවර්ධනයත් සමඟ කැලෑ විනාශ විය. සතුන්ගේ ආරක්ෂාව සඳහා සෝමාවතිය, ජල ගැලුම් නිම්න වනෝද්‍යානය, මාදුරුඔය වනෝද්‍යානය හා වස්ගමු වනෝද්‍යානය යනාදිය එක පෙළට දම්වැලක් ලෙසින් වනෝද්‍යාන වෙන් කෙරිණි. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ජල ගැල්ම් නිම්න මායිම් නිර්ණය කර ඇත්තේ මෙයින් වසර විසිපහකට තිහකට පමණ පෙර ය. ජල ගැලුම් නිම්න වනෝද්‍යානය, මහවැලි ගඟ පිටාර ගලන කාලයට එහි ඇති විල්ලු ගංගා ඇල මාර්ග සියල්ල ජලයෙන් යට වී යයි. මෙසේ ජලයෙන් යට වුවද ජලය බැසගිය පසු මේ ප්‍රදේශයේ රොන්මඬ ඉතිරි වෙයි. මේ ඉතිරිවෙන රොන්මඩ වල ඉතා සරුවට තෘණ විශේෂ, මිටි පඳුරු ශාක ආදිය වැඩෙයි. මෙසේ වැඩෙන ශාඛ අලින්ගේ ආහාර ඉවට ලක් වෙයි. අලි මේ ප්‍රදේශවල එහා මෙහා යන්නේත් මේ ශාක ආහාරයට ගන්නේත් බොහෝ කැමැත්තෙනි.

නමුදු කලකට මේ ප්‍රදේශය දැඩි නියඟයට හසු වෙයි. සියල්ල වේළී යයි. එවිට ඉතිරි වන්නේ වියළි පරඬලා පත් පමණි. අලි එහා මෙහා යන්නේ ජලය හා ආහාර සොයාගෙන ය. ඒ යන අතර වතුර හා කෑම කැලයේ නොමැති විට උන් ගම් වදින්නේ ය. උන් වැඩියෙන් ම ගම් වදින්නේ ගොයම් කැපුව කාලයටය. ඒ වෙල් එළියේ ඇති දෑ කෑමට ය.

ජල ගැලුම් නිම්නයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් දාසය දාහක් පමණ වේ. සෝමාවතිය වනාන්තරයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් හතළිස් පන්දහසක් පමණ වේ. මේ ජල ගැලුම් නිම්නයේ හා සෝමාවතියේ අද වන විට ගස් කපන, වැලි ගොඩදාන මෙන්ම සතුන් මරණ ජාවාරම්කරුවන්ගේ නිජබිමට පත්ව ඇතැයි තතු දන්නෝ පවසති. එමෙන්ම මේ ඉඩම්වල අනවසර කුඹුරු කරන්නෝ ද වෙති. කැලය අයිති සතා සීපාවාට ය. උන්ගෙන් එ් භූමිය උදුරා ගැනීමෙන් අනතුරුව මිනිසුන් විසින් ම සතුන් වෙනුවෙන් වෙන් කර දුන් රක්ෂිතයකවත් ඉඩක් නොමැති විට අලි ඇත්තු ගම්වදින එක පුදුම වන්නට කරුණක් ද නොවේ.

කෙසේ වෙතත් දිවුලාන විල්ලුව, කරපොළ විල්ලලුව, මූනම්පිටිය විල්ලුව, හදපාන්ගල විල්ලුව ආදී වශයෙන් විල්ලු විස්සක් පමණ මේ ජල ගැලුම් නිම්නයේ ඇත්තේය. නොබොදා අලි නවදෙනකුගේ මළසිරුරු සොයා ගන්නා ලද්දේ දිවුලාන විල්ලුවේ තිබියදීය. මේ විල්ලුවේදී අලින් මැරුණේ කෙසේද යන්න මේ වන විටත් අභිරහසක් බවට පත්ව තිබේ.

වෙන්න බැරි වැඩක්

අලි ඇත්තු පිළිබඳ දිගුකාලීන අත්දැකීම් ඇති, අන්තර්ජාතික අලි විශේෂඥයකු වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා මේ අලි මරණ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.

‘‘මේ සිද්ධිය වෙලා තියෙන්නේ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ. මහවැලි ගඟ එක් කාලයකට පිටාර ගලනවා. මේ ප්‍රදේශය ඒ කාලෙට වතුරින් යට වෙනවා. වතුර බැහැල ගියාට පස්සේ ඉතිරිවෙන රොන් මඩ සමඟ තෘණ පදුරු ඉතා සරුසාරයට වැඩෙනවා. අලි මේ තෘණ පදුරු කෑමට ඉතා ප්‍රිය කරනවා. මේ ප්‍රදේශවල අලි ගැවසෙනවා වැඩියි ඒ කාලයට. මහවැලි ගඟේ අතුගංගාවක් හරස් කරලා මේ සථානයේ ඇනිකට් එකක් බැඳලා තියෙනවා. මේ නිසා ජලය බැස යද්දි සැල්වීනියා ජපන් ජබර වගේ ශාක ඉවත් වන්නේ නැහැ. ඒ ශාක බැම්ම ළඟ රැඳෙනවා.

සැල්වීනියා කියන ශාකය කොයිතරම් ඉවත් කළත් සෑදෙනවා. ඒ වගේම තමයි සැල්වීනීයා පිරුණ වැව් අමුණු ඕනෑ තරම් තියෙනවා.

කැලේ අලි මේ තැන් අඳුනනවා. උන් එකපාරටම ජලයට බහින්නේ නැහැ. මම මගේ සේවා කාලයේදී මඩේ එරුණ අලි දැකලා නැහැ. අලින්ගේ ජීවන රටාව ගෙන බැලුවාම උන්ගේ රැළේ නායිකාවක් ඉන්නවා. ඒ සතා හැම විටම වයස්ගත අත්දැකීම් බහුල ‍එකෙක්. අලි රංචුවක නායකත්වය ගන්නේ හැම විටම ඇතින්නක්. වැඩුණු ගැහැනු සතුන්, නොවැඩුණු නාම්බන්, නෑම්බියන් , පුංචි පැටව් ඉන්නවා. මේ නායිකාව හැම විටම දියට බහින්නෙත් ඉස්සෙල්ලා ඌ ගිහිල්ලා හොඬවැල දාලා බලලා අනතුරක් නැති බව තේරුම් ගත්තට පස්සේ තමයි අනිත් සත්තු එක්ක දියට වුණත් බහින්නේ. ඒ නිසා මට නම් විශ්වාස කරන්න අමාරුයි මේ සත්තු එකපාරට ම වතුරට බැහැලා මඩේ එරුණා කියලා.

අලින්ට යම් යම් අනතුරු වෙනවා. කෝච්චි වල රංචු පිටින් වැදිලා මැරෙනවා. විදුලිය වැදිලා අලි මැරිලා තියෙනවා. නමුත් අලින්ට මේ වගේ ව්‍යසනයක් වූ පළමු අවස්ථාව මෙයයි. සමහරු වාද කරනවා මේක අලි මංකඩක් කියලා. නමුත් මෙතන අනතුරුදායක තැනක් වුණා නම් අලි කවදාවත් මෙතනින් යන්නේ නැහැ. මොකද අලින්ට හොඳ ඉවක් තියෙනවා. අනතුරක් තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා.

මම විශ්වාස කරන දෙයක් තමයි අලි යම් අනතුරක් නිසා බියට පත්වීමෙන් දිව යෑමේදි මේ වගුරට වැටෙන්න ඇති. සමහර විට තවත් මිය ගිය අලි ඇති. මේක කාගේවත් වරදක් හැටියට දකින්න බැහැ. නමුත් අලි මේතරම් ගණනක් මේ විදිහට මැරුණෙ කොහොම ද කියන එක අපි අනාවරණය කරගත යුතුයි. මට මතකයි, මීට අවුරුදු විසිපහකට විතර පෙර මහවැලි පාරිසරික ව්‍යාපෘතිය යටතේ සැල්වීනියා ජපන්ජබර ඉවත් කරලා පුච්චා දැම්මා. මං හිතන්නේ ඊට පස්සේ එහෙම සත්ක්‍රියා වෙන්න නැතිව ඇති. අබිරහස් ලෙස අලි මියගිය සිදුවීම පිටුපස යම් මිනිස් ක්‍රියාකාරකමක් තියෙන්න ඕන. අන්න ඒ කුමක්ද යන්නයි අපි සෙවිය යුත්තේ. මේ වගේ සිදුවීම් යළිත් නොවීමටයි දැන් අපි වගබලා ගත යුත්තේ.”

වෛද්‍ය නන්දන අතපත්තු මහතා එසේ පවසන්නේය.

අලි මඩේ එරෙන්නෙ නෑ

ගොඩ ගන්නා ලද අලි මළසිරුරු සියල්ල මේ වන විට පාංශුකුලය දී ආගමික වතාවත් සිදුකර වළදමා අවසාන ය. ඒ ප්‍රශ්නයත් එතැනින් ඉවර යැයි කියා දැන් කාට කාටත් සැනසිල්ලේ හිඳින්නට නුපුළුවන. ‍අලි මැරුණේ මේ මේ පුද්ගලයා නිසා හෝ මේ ‍මේ ආයතන නිසා යැයි ඇඟිල්ල දික්කර වරදකාගේ පිට හෝ පටවන්නට නොහැකිය. දැන් කළ යුතුව ඇත්තේ සිදු වුයේ කුමක්ද යන්න සොයා ගැනීම ය.‍ මිය ගිය අලි හා ඉන් පසු සිදුවුයේ කුමක්දැයි යන්න පිළිබඳ දැන ගැනීමට අප පො‍ලොන්නරු අඩවි භාර උපාලි කුලතුංග මහතාගෙන් තොරතුරු ඇසුවෙමු‍.

අලි මඩේ එරෙන්නේ නැහැ. නමුත් මේ සත්තු මැරුනේ වතුරට වැටිලා මඩේ හිරවෙලා. අලියා කියන්නේ හොඳට පිහිනන්න පුළුවන් සතෙක්. මෙය සිදු වුණේ කොහොම ද කියන එක ප්‍රශ්නයක්. පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අවසන් වුණත් තවමත් වාර්තාව අප‍ට ලැබුණේ නැහැ. මෙවැනි අත්දැකීමක් අප ලද පළමු අවස්ථාව මෙය. ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි සිදුවීමක් වාර්තා වී නැහැ. මිය ගිය අලි අතර වැඩුණ අලි පස්දෙනෙක් හා පැටව් හතර දෙනෙක් ඉන්නවා. දැන් අපි මේ ගැන පුළුල් ව අධ්‍යයනය කරනවා. ටික කාලයක් යැයි තොරතුරු ලබාගන්න. අපි මේ දිනවල ජපන් ජබර ඉවත් කරන්න පටන් ගත්තා. යුද හමුදා ඉංජිනේරු බළකායේ සෙබළුන්ගේ සහායෙන් යන්ත්‍ර සුත්‍ර මඟින් දැන් විල්ලුවේ තියෙන ජපන් ජබර සැල්වීනියා ආදිය ඉවත් කරනවා. මේ යන්ත්‍ර සුත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නේ අපේ ආයතනයෙන්. උපාලි කුලතුංග මහතා පවසන්නේය‍.

ඉස්සර නම් කැලේ ඇතුළත කැලේ සතාට බියවන්නට දෙයක් නැත. මහ කැලෑව උගේ රාජධානියයි. නමුත් දැන් මිනිසා කැලෑව ආක්‍රමණය කරන්නට පටන්ගෙන ඇත .එක් අතකින් සිදුව ඇති ඇතැම් දේවලට වරදක් කියන්නට ද බැරිය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව එක්ව ස්වාභාවික ජල පහර හරස්කර ඇනිකට් ඉදිකරන්නේ ය. ඒ කුඹුරු සඳහා ජලය ලබා ගැනීමට ය. අලි මියගියේ යැයි කියන ස්ථානයට ආසන්නයේ, එනම් මහවැලි ගඟේ අතු ගංගාවක් වන පෙරියාරු ගඟ හරස් කර ඇනිකට් එකක් ඉදිකර ඇත. මේ ඉදිකිරීම් සිදු කරන විට යම් ප්‍රමිතියක් තිබිය යුතුය. අනපේක්ෂිත ලෙස සිදු වූ අලි මරණ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදි අපට හමු වූ ගැමියකු පැවැසුවේ මෙවැනි කතාවකි.

‘‘අපේ ගොයම් කැපෙන කාලයට අලි ඉපනැල්ල කන්න රංචු පිටින එනවා. පහුගිය කාලෙම අපේ ප්‍රදේශයට හරිහමන් වැස්සක් නැහැ. මිනිස්සුත් ඉන්නේ අමාරුවෙන් කොට සත්තු කොහොම ඉන්නද. මොනවා වුණත් ඔය අලි මැරිච්ච හරියේ ඇනිකට් එකක් ඉදිකරලා තියෙනවා. ඒ ඇනිකට් එකේ දොරවල් පොඩියි. වැස්සට කොට කෑලි ගහගෙන ආවත් ඒවා ඒ දොරටුවේ හිර වෙනවා. ඇනිකට් හදනකොට නිසි ප්‍රමිතියකට හදන්න ඕන. අලි අමාරුවේ වැටෙන්නෙ මේ තැන්වලදි. කවුරුවත් මේවා හොයලා බලන්නේ නැහැ. අලින්ගෙන් වෙලාවකට අපිට හිරිහැරයි තමයි. එත් මේ සත්තුන්ට වෙච්ච විපත ගැන අපේ හිත් වාවන්නේ නැහැ. මේ කැලේ මිනිස්සු ගස් කපනවා. වැලි ගොඩදානවා ඒවා නීති වීරෝධී දේවල්. ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනවද කියන්න අපි දන්නේ නැහැ. ඒත් අපි දර කෑල්ලක් කඩාගන්න කැලේට ගියොත් නම් නීති ගොඩයි“ ගැමියා පවසන්නට වූයේ දෑසේ කඳුළු පුරෝගෙන ය.

ගෙවී ගිය කාලය ඇතුළත වන අලියාට විවිධ අතුරු ආන්තරා සිදුවූයේ ය. එමෙන්ම හිලෑ අලින්ට ද විවිධ අතුරු ආන්තරා වලට ලක්වූයේය. අලි කවදත් සිටියේ අතුරු ආන්තරා මැද්දේය. එය එසේ වුවත් තවමත් කිසිවෙකුටත් තීන්දූවක් තීරණයක් නොදිය හැකි ලෙස මිය ගිය මේ අලි පිළිබඳ සොයා බැලීම මෙතැනින් අවසන් නොවන්නේ නම් එය හොඳ ය. මන්ද එය අපේ ඉතිරි වන අලින්ගේ ද ජීවිත වලට තර්ජනයක් විය හැකි සිදුවීමක් නම් පෙර සිට ම එයට සුදානම් විය හැකිය.

අදහස්