ඖෂධ මාෆි­යාව එක්ක ගැටී ඖෂධ වර්ග 272ක මිල අඩු කළ හැටි | සිළුමිණ

ඖෂධ මාෆි­යාව එක්ක ගැටී ඖෂධ වර්ග 272ක මිල අඩු කළ හැටි

බයි­සි­ක­ල­යක් මිල දී ගැනීමේ සිහි­නය සැබෑ කර ගැනීමේ අර­මු­ණින් කුලී වැඩ කරන දුප්පත් කුඩා දරු­ව­කුට අව­සා­නයේ සිය සිහි­නය පසෙක ලා හද­වත් රෝග­යෙන් පීඩා විඳින පියා සුව­පත් කර ගැනීම සඳහා එකතු කළ මුදල් පරි­ත්‍යාග කිරීමේ අනු­වේ­ද­නීය කතා­වක් ගැබ් වී තිබෙන්නේ සෝම­රත්න දිසා­නා­ය­කගේ “සම­නල තටු” චිත්‍ර­ප­ට­යේය. ඔහු විසින් එවැනි පුව­තක් පාදක කර ගනු ලැබුවේ මෑතක් වන තුරුම හෘද සැත්කම් සඳහා විශාල මුද­ලක් වැය වූ නිසාය. එහෙත් රු. 3, 75,000.00 කට මිල දී ගත් ඖෂධ කැවූ ස්ටෙන්ට් එකක් රු. 1,05,000.00 කටත්. රු. 75,000.00 කටත් මිල දී ගැනීමේ අව­ස්ථාව දැන් උදා වී තිබේ. එප­ම­ණක් නොවේ. ඇසේ සුද ඉවත් කිරී­මෙන් පසුව ඇසට යොදන අක්ෂි කාච මිල ගණන් පවා අඩු වී ඇත. මෙවැ­න්නක් සිදු කළ හැකි වූයේ රජය විසින් ඖෂධ මිල ගණන් පහත දැමූ නිසා ය. රජය විසින් ඖෂධ වර්ග 48 ක මිල අඩු කරනු ලැබ‍ුවේ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ 2015 අංක 5 දරන පන­තට අනුව ය. 2016 ඔක්තෝ­බර් 21 වැනි දින ගැසට් පත්‍ර­යෙන් ඖෂධ මිල අඩු කෙරිණි.

ඖෂධ මිල අඩු කිරීමේ ප්‍රධාන පර­මා­ර්ථය වූයේ ජන­තා­වට සහ­න­යක් ලබා දීමයි. එනම් ගුණා­ත්මක තත්ත්ව­යෙන් මෙන්ම ක්‍රියා­කා­රි­ත්ව­යෙන් ඉහළ ඖෂධ ජන­තා­වට අඩු මිල ගණන් යටතේ සැපයී‍ම ය. එමෙන්ම වැඩි මිල ගණන් යටතේ ඖෂධ මිල දී ගැනී­මෙන් පිට­ර­ට­ව­ලට ඇදී යන මුදල් ඖෂධ මිල අඩු කිරී­මෙන් අන­තු­රුව අවම කර ගැනී­මට හැකි­යාව ලැබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­ර­ත්නගේ සංක­ල්ප­ය­කට අනුව ප්‍රථ­මෙන්ම අත්‍ය­වශ්‍ය ඖෂ­ධ­වල මිල අඩු කිරීම සඳහා අව­ධා­නය යොමු කෙරිණි. අත්‍ය­වශ්‍ය ඖෂධ ලෙස සැල­කෙන්නේ නිතර පාවිච්චි වන ඖෂධ වර්ග ය. ඇදුම, හෘද රෝග, කොලෙ­ස්ට­රෝල්, දිය­වැ­ඩි­යාව, අධි රුධිර පීඩ­නය, වාත අමාරු සඳහා භාවිත වන ඖෂධ ඇතුළු ප්‍රති­ජී­වක ඖෂධ අත්‍ය­වශ්‍ය ඖෂධ සඳහා අයත් විය.

“ඉස්සර හෘද රෝගි­ය­කුට මාස­ය­කට ගැනී­මට නිය­මිත ඖෂධ වට්ටෝ­රුව මිල දී ගන්න රු. 8,000 .00 ක් විතර වැය වුණා. දැන් අවශ්‍ය වෙන්නේ රු. 3,000.00 ක් වැනි මුද­ලක් විත­රයි. ඒ දව­ස්වල සම­හර රෝගීන් ඔවුන්ට අවශ්‍ය බෙහෙත්, අවශ්‍ය ප්‍රමා­ණ­යෙන් ගත්තේ නැහැ. මාස­ය­කට බෙහෙත් ලියලා තිබු­ණත් අතේ ති‍යෙන මුදල බලලා සුමා­නෙ­කට විත­රක් ගන්නවා. බෙහෙත් පිරි­මැ­ස්මෙන් පාවිච්චි කරන්න පුළු­වන් දෙයක් නෙමෙයි. නිය­මිත මාත්‍රාව නියම කර ඇති පිළි­වෙ­ළට ගන්න ඕනෑ. අත­රින් පතර ගත්තාම ලෙඩ ‍හොඳ වෙන්නේ කොහො­මද? නමුත් මෙම රජය ඖෂධ මිල අඩු කළ පසු රෝගීන්ට ලොකු සහ­න­යක් සැලසී තිබෙ­නවා.” යනු­වෙන් පැව­සුවේ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් සහ ප්‍රධාන විධා­යක නිල­ධාරි වෛද්‍ය කමල් ජය­සිංහ ය.

මෙම මිල අඩු කිරී­මේදී ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති, මහා­චාර්ය අසිත ද සිල්වා සිය අව­ධා­නය IMS (International marketing ) කෙරෙහි යොමු කළේය. මක් නිසාද ඖෂධ වර්ග, ඒවායේ නිෂ්පා­දන මිල, වෙළෙ­ඳ­පොළ මිල ඇතුළු සිය­ලුම තොර­තුරු එහි අන්ත­ර්ගත වී තිබෙන නිසාය. මෙහිදී ඖෂධ මිල ගණන් පරා­සයේ සාමාන්‍ය අගය නොව මධ්‍ය අගය ශ්‍රී ලංකාවේ ඖෂධ මිල සඳහා තෝරා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මහ­තා­ගේත් ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති, මහා­චාර්ය අසිත ද සිල්වා­ගේත් මූලි­ක­ත්ව­යෙන් සැක­සුණු ඖෂධ මිල යාන්ත්‍ර­ණය නිර්දේශ කරනු ලැ‍බ‍ුවේ විශේ­ෂඥ වෛද්‍ය පාලිත අබේ­කෝන්ගේ සභා­ප­ති­ත්ව­යෙන් යුතු ඖෂධ මිල පාලන කමි­ටු­වෙනි.

“සාමා­න්‍ය­යෙන් විවෘත ආර්ථික වෙළෙ­ඳ­පොළේ බල තුල­නය නිසා ‍බොහෝම­යක් භාණ්ඩ­වල මිල පාල­නය වෙනවා කියලා අද­හ­සක් තිබෙ­නවා. එය වඩාත් පැහැ­දිලි කර­නවා නම් එළ­වළු, සහල්, මාළු, පල­තුරු වගේ භාණ්ඩ තෝරා ගැනීම කරන්නේ පාරි­භෝ­ගි­කයා. ඒත් ඖෂධ තෝරන්නේ රෝගියා නොවෙයි. වෛද්‍ය­ව­රයා හෝ ඖෂ­ධ­වේ­දියා විසින්. ඒ නිසා ඖෂධ මිල වෙළෙ­ඳ­පොළ බල තුල­න­ය­කින් පාල­නය වෙන්නේ නැහැ. ඖෂ­ධ­ව­ලට පාලන මිලක් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. ඉහළ මිල­කින් තිබුණු ඖෂධ මිල පහළ පාලන මිල­කට ගෙනා­පු­වාම ඖෂධ විකු­ණන අලෙ­වි­සැ­ල්වල‍ට වැඩි මිලට විකු­ණන්න බැහැ. පාලන මිලට විකු­ණන්න සිද්ධ වෙනව. ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ පරී­ක්ෂ­ක­ව­රුන් ඒ ගැන විම­ර්ශ­නය කර­නවා.” යනු­වෙන් සඳ­හන් කළේ කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම ය. ඔහු ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ සාමා­ජි­ක­යෙකි.

2016 ඔක්තෝ­බර් 21 සිට මේ ආකා­ර­යට මිල පහ­තට දැමූ ඖෂධ වර්ග ගණන 48 කි. එහෙත් එක් ඖෂ­ධ­යක් පෙති, කරල්, එන්නත් ආදි වශ­යෙන් බෙදුණු විට මිල අඩු වූ ඖෂධ වර්ග ගණන 272 කි.

“අපි ඖෂධ මිල අඩු කරලා පාලන මිලක් දැම්මාම සම­හර ඖෂධ සමා­ගම් ලංකා­වට ඖෂධ සප­යන්න බැහැ කිව්වා. සම­හර සමා­ගම් අපිව දාලා ගියා. ඒත් අපි අපේ තීර­ණය වෙනස් කළේ නැහැ. තානා­ප­ති­ව­රුන් පවා ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මැති­තුමා ‍නොසැලී හිටිය. අපි මේ මිල අඩු කළේ විද්‍යා­ත්මක පද­න­ම­කින් කියලා තානා­ප­ති­ව­රු­න්ටත් සමා­ග­ම්ව­ල­ටත් පැහැ­දිලි කරලා දුන්නා. ඊට පස්සේ ඒ අය අපි කියපු දේ පිළි­ගත්තා. දැන් අපිව දාලා ගිය ඖෂධ සමා­ගම් ආපහු ඇවිත් තිබෙ­නවා.” යනු­වෙන් වෛද්‍ය කමල් ජය­සිංහ තව­දු­ර‍ටත් විස්තර කළේය.

රජය ඖෂධ මිල අඩු කිරී­මට පෙර ඖෂධ ආන­ය­නය සඳහා ඇ.ඩො. මිලි­යන 900 ක් වැය වී ති‍බේ. එහෙත් ඖෂධ මිල පහත දැමී­මෙන් පසුව රු. මිලි­යන 4400 ක් (බිලි­යන 4.4) රජ­යට ඉතිරි කර ගැනී­මට හැකි වී තිබේ. මේ ආකා­ර­යට ඉතිරි කර ගනු ලැබූ මුදල් සෞඛ්‍ය අමා­ත්‍යං­ශය විසින් යෙද­වූවේ තවත් එවැ­නිම කට­යු­ත්ත­කට ය. ඒ රජයේ රෝහ­ල්වල අක්ෂි සැත්කම් කරන රෝගීන්ට අක්ෂි කාච නොමිලේ ලබා දීමට ය. ඉන් අන­තු­රුව රජයේ රෝහ­ල්වල සිදු කෙරෙන හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබා දීමට පිය­වර ගැනිණි. මේ වන විට ඖෂධ කැවූ ස්ටෙන්ට් එකක මිල රුපි­යල් එක් ලක්ෂ පන් දහස දක්වා පහත වැටී තිබෙන්නේ රුපි­යල් තුන් ලක්ෂ හැත්තැ­පන් දහ‍සේ සිට ය. ඖෂධ නොකැවූ ස්ටෙන්ට් එකක මිල රු. හැත්තැ­පන් දහසේ සිට රුපි­යල් විසි­හ­තර දහස දක්වා අඩු වී තිබේ. රජය විසින් අක්ෂි කාච සහ ස්ටෙන්ට් මිල ද අඩු කර තිබෙන නිසා පෞද්ග­ලික රෝහ­ල්වල සිදු කෙරෙන හෘද සැත්කම් සහ අක්ෂි සැත්ක­ම්ව­ලදී රෝගියා දැරිය යුතු පිරි­වැය අඩු වේ. එය රෝගීන්ගේ පසු­ම්බි­ය­ටත් හිත­ටත් සහ­න­යකි. සැන­සී­මකි.

මීට අම­ත­රව තවත් ඖෂධ 25 ක මිල පහත දැමී­මට සෞඛ්‍ය ඇමති රාජිත සේනා­රත්න මහතා තීර­ණය කර තිබේ. ජීවිත ආර­ක්ෂක ප්‍රති­ජී­වක, දිය­වැ­ඩි­යාව ඖෂධ හා උප­ක­රණ , ඇදුම සහ ශ්වසන අප­හ­සුතා සඳහා භාවිත කරන ඖෂධ, පුරස්ති ග්‍රන්ථි රෝග ඖෂධ, වේදනා නාශක, ස්නායු­ගත රෝග සහ පිළිකා රෝගය සඳහා භාවිත වන මිල අධික ඖෂධ වර්ග 10ක් ඊට අතු­ළත් ය. පිළිකා ඖෂ­ධ­ව­ලට යන විය­ද­මෙන් 61% ක් විය­දම් වන්නේ ඖෂධ 10 ක පම­ණක් බව ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල්, ප්‍රධාන විධා­යක නිල­ධාරි වෛද්‍ය කමල් ජය­සිංහ සඳ­හන් කළේ ඖෂ­ධ­වල මිල කොප­ම­ණ­දැයි සිතා ගැනී­මට නිද­සු­නක් සප­ය­මිනි. නුදුරු දින­ය­ක­දීම මෙකී ඖෂධ 25 මිල ගණන් අඩු වූ විට රෝගින්ට තව­ත­වත් සහන සැල­සෙන අතර ඉන් ඉතිරි වන මුදල් රටේ ඵල­දායි කට­යු­ත්ත­කට යෙද­වී­මට නිය­මි­තය.

අදහස්