උතුරේ කාන්තා ගැටලුවලට ඉබි ගමනින් ද නීතිය ක්‍රියාත්මක වන්නේ | Page 2 | සිළුමිණ

උතුරේ කාන්තා ගැටලුවලට ඉබි ගමනින් ද නීතිය ක්‍රියාත්මක වන්නේ

උතුරේ කාන්තාවන්ට සිද්ධ වෙන ලිංගික අතවර,හිංසා, මරණයට පත්වීම් වලදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉබි ගමනින් තමයි. ඒකයි අපි මීට දවස් කීපෙකට ඉස්සර වෙලා යාපනය දිසාපති කාර්යාලය ඉස්සරහා විශාල උද්ඝෝෂණයක් කරලා දිසාපතිවරයට ලියවිල්ලකුත් බාර දීලා ආවේ. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා මේකට අපිට උත්තරයක්වත් ලැබෙන්නේ නැහැ කියලා..

උතුරේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ සභාපතිනී එස්. වනිතා එසේ කතා කළේ වසර විසි තුනක් ම ඒ සංගමයේ ක්‍රියා කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරය සමඟයි. ඇය පවසන අන්දමට මහා යුද සමයේදී පවා උගුරට ලේ රසය දැනෙන තුරුම ගිනි අව්වේ වේලෙමින් මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පිරිස කෑ කෝ ගසා තිබේ.

කාන්තාවන්ට උතුරේදී සිදු වුණු ලිංගික අතවර අතරින් සැලකිය යුතු මට්ටමක සාධාරණයක් ඉෂ්ට වුණේ විද්‍යා දැරියගේ සිදුවීමේදී පමණයි. ඒ සිද්ධියට සම්බන්ධ හත් දෙනාට ම මරණීය දණ්ඩනය නියම වුණා. ඒකෙදි අපි ඉලන්චෙලියන් විනිසුරුවරයාට තවමත් ගරු කරනවා. ඔහුගේ සෘජු බවත් එඩිතරකමත් නිසා තමයි විද්‍යා දැරිය වෙණුවෙන් ඒ වගේ තීන්දුවක් ලැබුණේ.

ඒත් දැන් මොකද වෙන්න යන්නේ. ඒ හත් දෙනාම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් ඔවුන්ගේ දඩුවම ලිහිල් වෙන බවක් පෙනෙන්නට තියනවා. අපි විරුද්ධ වෙන්නේ මෙන්න මේ තත්ත්වයටයි.

දැන් බලන්න යාපනයේ සුලිපුරම් ගම්මානයේ වයස අවුරුදු හයක දැරියක් ලිංගික අතවර වලට ලක් වුණා. ඒ දැරියගේ බෙල්ල මිරිකලා ඇයව මරලා ළිඳකට දැම්මේ ඒ දරුවගෙම බාප්පයි. ඒ බාප්පා කියන කෙනාට තවත් දෙන්නෙක් උදව් කළා. ඒ අය පොලීසිය අත්අඩංගුවට ගත්තා. පොලීසිය දැන් කියන්නේ ඇසින් දුටු සාක්කි නෑ කියලා. තව නඩු වාර දෙක තුනකින් ඒ අය නිදහස් වෙලා මේ සමාජයට එනවා. ඒකේ බරපතලකම කවුරුවත් තේරුම් ගන්නේ නැහැ.

දැන් ඒ සිද්ධිය වෙණුවෙන් සාක්කි ලබා ගන්න අධිකරණයට කැඳවලා තියෙන්නේ ඒ දරුවගේ යාළුවෝ වන කුඩා දැරියන් දෙන්නෙකුයි. ඔවුන්ගේ වයසට අනුව ඔවුන් කොහොමද සාක්කි දෙන්නේ. ඒ ළමයි මේ සිද්ධිය දැකලත් නැහැ. ඒ ළමයි උසාවිය පොලීසිය කියනකොට වෙව්ලනවා.

මේ මොන දේ වුණත් අවසානයේදී සැකකාරයෝ කියන අය නිදහස් වෙනවා. පාඩුව වෙන්නේ මැරුණු කෙනාගේ ගෙවල් වල උදවියට විතරයි.

එම්.එම්.ෆර්ෂානා විවාහය නිසා ගුරු වෘත්තිය අතහැර දැන් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන කාන්තාවකි. ඇය උතුරේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ මන්නාරම දිස්ත්‍රික්කය නියෝජනය කරණ තැනැත්තියයි. ඇය ද පසුගියදා යාපනයට ගොස් සිටියේ ලිංගික අතවර වලදී නීතිය ක්‍රියාත්මක වීමේදී උතුරේ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් ගැන විරෝධය පළ කිරීමටයි.

ඔවුන්ගේ සංවිධාන විසින් මේ අන්දමට විරෝධකම් පාන්නට බලපාන හේතූන් එම්.එම්. ෆර්ෂානා විස්තර කළේ මේ අන්දමටයි.

අපි මේ නීතිය ගැන කතා කරද්දී මුලින් ම කතා කරන්නේ පොලීසිය ගැනයි. ඊට පස්සේ සංස්කෘතිය ගැනත් කතා කරන්න සිද්ධ වෙනවා. මේ හේතූන් දෙකත් දේශපාලනයත් නිසා උතුරේ කාන්තාවන් ලිංගික අතවර වලට ලක් වූ විට නීතිය වෙනස් වීම කෙරෙහිත් නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම කෙරෙහිත් බලපෑම් ඇති වී තිබෙනවා.

මුලින්ම අපි පොලීසිය ගැන කතා කළාම කාන්තාවන් ලිංගික අතවර වලට ලක් වූ විට පළමුවෙන් ම අසාධාරණය සිද්ධ වෙන්නේ පොලීසියෙනුයි. මේ තත්ත්වය වළක්වන්න කියලා පොලීසිය කාන්තා කාර්යංශ ඇති කරලා තිබුණත් ලිංගික අතවර වලට මුහුණ දීලා කාන්තාවක් පොලීසියට ගියාම පොලීසිය හිතන්නේ කාන්තාව කැමැත්තෙන්ම එහෙම කරගෙන බොරු පැමිණිලි දාන්න පොලීසියට ආව කියලයි.

පැමිණිලි කියන කෙනා කාන්තාවක් වුණත් මේ සිද්ධියේ පෞද්ගලිකත්වය රකින්න ඒ අය උත්සහ කරන්නේ නෑ. පැමිණිල්ල ලියන ගමන් අනිත් අයට මේ මෙයාට මෙහෙම වෙලානේ.. කිය කියා තමයි පැමිණිල්ල ලියා ගන්නේ. මේ වෙනකොට ඒ කාන්තාවගේ අබිමානය ආත්ම ගරුත්වය කියන සේරම දේවල් විනාශ වෙලා ඉවරයි.

කෙටියෙන්ම කියනවනම් මේ පරිසරය නිසා කාන්තාවට සිදු වූ දේ හරියටම නිවැරදිව පොලීසියට කියන්න පැමිණිලි කරන්න තරම් හොද මානසික වටපිටාවක් ලැබෙන්නේ නෑ. මේක ලොකුම අසාධාරණයක්.

අපි මීට කලින් මේ ගැන පොලිස්පතිවරයා එක්ක කතා කළා, එතුමා කිව්වා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඉතාම විධිමත් පුහුණුවක් ලබපු විනීත නිලධාරිනියන් පිරිසක් එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්නට යොදවනවා කියලා. ඒත් එහෙම සිද්ධ වුණු බවක් අපිටනම් පෙනෙන්නට නෑ.

ඊළඟ ප්‍රශ්නය තමයි සංස්කෘතිය පිළිබඳ ව තියන ප්‍රශ්නය. මුස්ලිම් කාන්තාවන්ට ලිංගික අතවර සිද්ධ වෙනවා වැඩි වුණත් කවදාවත් ඒ අය පොලීසියට යනවා අඩුයි. හේතුව ගොඩාක් එහෙම එව්වා සිද්ධ වෙන්නේ පවුලටම සම්බන්ධ අයගෙනුයි. පවුල් වල උදවිය කතා කරලා එව්වා විසදා ගන්නවා.

නමුත් නීතිය හමුවට යන අවස්ථාත් බොහෝ විට දකින්න පුළුවන්. ඒ වගේ වෙලාවට මුස්ලිම් කාන්තාවන් පොලීසියෙදි ගොඩාක් අසරණ වෙනවා. කවුරු පැමිණිල්ල ලිව්වත් සිද්ධ වුණු දේ පොලීසියට විස්තර කරන්න වෙනවා. මේක මහා ලැජ්ජා නැති වැඩක්.

අපි මේක නිසා පොලීසියට කළින් යෝජනා කළා ඒ වගේ පැමිණිලි පොලීසියට දෙන්න ලිඛිතව හෝ පටිගත කළ ක්‍රමයක් ඇති කරන්න කියලා. පොලිස්පතිවරයා එකඟ වුණා, ඒත් ඒකත් තවම සිද්ධ වෙලා නැහැ.

ඊළඟට මේ මුස්ලිම් හා දෙමළ කාන්තාවන් අසරණ වෙනවා වගේම සැකකරුවන්ට නීතියෙන් බේරිලා යන්නත් ඉවහල් වෙන ලොකු ම සාධකය තමයි භාෂාව. උතුරේ සියලුම අධිකරණ වල නඩු විභාග වෙන්නේ දෙමළ භාෂාවෙනුයි. පොලීසි වල පැමිණිලි ලියන්නේ සීයට අසූවක්ම සිංහල භාෂාවෙනුයි. පැමිණිල්ල දාන්න යන කෙනාට සිංහල බෑ. ලියන කෙනාට දෙමළ බෑ. අතින් ඇගිලි වලින් එහා මෙහා යන එන අයගෙන් අහලා තමයි පැමිණිලි ලියා ගන්නේ. ඒ ලියන පැමිණිලි උසාවියේදී ආයෙත් දෙමළ භාෂාවට පරිවර්ථනය වෙනවා. මේකෙදි මුලින්ම වෙන්නේ වැරදි පරිවර්තන අධිකරණයට ඉදිරිපත් වීමයි.

ඊළඟට සිද්ධ වෙන්නේ මේවා වැරදියට පරිවර්තනය කෙරෙන්න හරි බොහෝ කාලයක් ගත වීමයි. මේ නිසා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ගතවෙන කාලය ඉතාම විශාලයි. දැන් විද්‍යා දැරියගේ නඩුව විභාග වුණේ දෙමළ භාෂාවෙනුයි. සාක්කි සියල්ල ම ගත්තේ දෙමළ භාෂාවෙන්. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්කියත් රහස් පොලීසියේ වාර්තාත් පමණක් සිංහල භාෂාවෙනුයි තියෙන්නේ.

දැන් අභියාචනාධිකරණයට සිදු වෙලා තියෙන්නේ මේ සියල්ල සිංහල භාෂාවට පරිවර්තනය කරන්නයි. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද කියන එක විශාල ප්‍රශ්නයක්. ඒ මොකද කියනවා නම් අනෙක් දේවල් හැර විද්‍යා දැරියගේ නඩු තීන්දුව පමණක් පිටු 367 ක් වෙනවා.

උතුරේ කාන්තාවන් ලිංගික අතවර වලට ගොදුරු වූ විට ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට විශාල කාලයක් ගතවෙන්න මේ හේතූන් බලපානවා. රටේ නීතිය සියලු දෙනාටම එකයි, පොදුයි කියන දේ අපි බැහැර කරන්නේ නෑ. ඒක පිළි නොගෙන ඉන්නෙත් නෑ.

උතුරේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නියෝජිතවරියන් බොහෝ දෙනෙකු ම කියා සිටියේ උතුරේ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවන සෑම අවස්ථාවක ම දකුණේ බලධාරීන් වගකිව යුත්තන් හා දේශපාලනඥයන් සිදු කරන්නේ දකුණේ සිද්ධීන් සමඟ මේ උතුරේ සිද්ධීන් ගළපමින් සාධාරණය කරණ බවයි.

උතුරේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන යාපනයට එක් වී විරෝධතා පැවැත්වීමට ඉතාම ආසන්න හේතුවක් තිබුණි. ඒ කිළිනොච්චියේ පණ්ණකඩ්ඩි ප්‍රදේශයේදී ඇගලුම් කම්හලක ආරක්ෂක නිලධාරිනියක එ් කම්හලේම තවත් ආරක්ෂක නිලධාරියකු විසින් ගෙළ සිරකොට මරා දැමීමේ සිද්ධියයි.

අනියම් පෙමක ප්‍රතිපලයක් වශයෙන් ඒ කාන්තාව ගැබිණියක් වීමෙන් පසුව දරුවන් දෙදෙනෙකුගේ පියකු වශයෙන් විවාහකයෙක් වූ අනියම් සැමියාට ඇයව විවාහ කර ගන්නා මෙන් කළ බලපෑමේ අවසන් ප්‍රතිපලය වූයේ ඇගේ ගෙළ සිරකොට ඇයව මරා දැමීමයි.

මේ සිද්ධියේ ද ඇසින් දුටු සාක්කි කිසිවක් නොමැත. දැනට පොලීසිය සතුව ඇත්තේ විද්‍යාත්මක සාක්කි හා සැකකරු විසින් කරණ ලද පාපොච්චාරණය පමණි.

ලිංගික අතවරයට ලක් වූ කාන්තාව හෝ දැරිය මරණයට පත් වූ විට ජනමාධ්‍ය මඟින් ඊට විශාල ප්‍රචාරයක් ලබා දෙන බැවින් පොලීසියට හා නීතිය ක්‍රියාත්මක කරණ සෙසු අයට ඒ සම්බන්ධයෙන් අනෙක් සිද්ධීන්ට වඩා සොයා බලා කටයුතු කිරීමට සිදුවන බව උතුරේ කාන්තා සංවිධාන කියා සිටියි.

ලිංගික අතවරයට පත් වූ කාන්තාව මරුමුවට පත් නොවුණේ නම් ඔවුන් පොලීසිවලදී ද, නීතිඥවරුන්ගේ කාර්යාලවලදී ද, අධිකරණයේදී ද දැඩි අපහසුතාවකට පත්වන නිසා ඔවුන්ට සිදු වූ ලිංගික හිරිහැරයට වඩා ඔවුන් යළි යළිත් මානසිකව පීඩා විදින බව උතුරේ කාන්තා සංවිධාන උදාහරණ සහිතව පෙන්වා දෙයි.

අදහස්